Print this Article


ගිලානෝපස්ථානය

ගිලානෝපස්ථානය

විනය පිටකයේ දැක්වෙන එක්තරා පුවතකට අනුව උදරාබාධයකින් පෙළුණ භික්ෂූන් වහන්සේ නමක් මූලික කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යමෙක් බුදුරජාණන් වහන්සේගේ අවවාදය පිළිපදින්නේ නම් එම තැනැත්තා ගිලානෝපස්ථානය සිදුකරන බවයි. (යෝ ගිලානං උපට්ඨෙය්‍යෙ සො මං උපට්ඨාය්‍යෙ) වෙනත් අයුරකින් පවසන්නේ නම් ගිලනුන්ට උපස්ථාන කිරීම බුදුරදුන්ට කරන පරම උපහාරයයි. ගිලානෝපස්ථානය උතුම් පුණ්‍ය ක්‍රියාවක් මෙන්ම උසස් සද්පුරුෂ ගුණයක් බව අමුතුවෙන් විස්තර කිරීම අවශ්‍ය නොවේ. සෑම ආගමික මෙන්ම ආගමික නොවන සෑම අයෙක්ම මෙම උතුම් චාරිත්‍රය විවාදයෙන් තොරව අනුමත කරයි. බුදුරජාණන් වහන්සේ මෙම උතුම් චාරිත්‍රයේ වටිනාකම ආදර්ශයෙන්ම පෙන්වා දුන්නහ. විවිධ ලෙඩ රෝග හේතුවෙන් පීඩා විඳින රෝගීන් කායික වශයෙන් මෙන්ම මානසික වශයෙන්ද බරපතල ලෙස අසරණ වූවෝ වෙති. ඔවන්ට අන් අයගේ පිහිටකින් තොරව පැවතිය නොහැකිය. විවිධ කායික හා මානසික රෝගාබාධයන්ගෙන් පීඩා විඳින අය අපගේ නිවෙස්වල මෙන්ම රෝහල්වලත් වාසය කරති. මෙම රෝගීන් නොසළකා හැරීම නිසා ඇති වී තිබෙන අර්බුද විවිධය. කාගේත් අවධානයට යොමු විය යුතු එවැනි රෝගීන් කෙරෙහි දක්වන සැලකිල්ල යහපත් නොවන බව වෛද්‍යවරුන් හෙදියන් හා උපස්ථායකයන් මෙන්ම රෝගීන්ගේ භාරකරුවන් සම්බන්ධයෙන් නැගෙන ඇතැම් චෝදනා වලින් පැහැදිලි වේ. රෝගීන් කෙරෙහි දැක්විය යුතු සැලකිල්ල පිළිබඳ වගේම රෝගියා විසින්ද තම උපස්ථායකයා කෙරෙහි කෙසේ ක්‍රියාත්මක විය යුතුද යන්න බුදුරදුන් විසින් පැහැදිලි කළ කරුණු රැසක් විනය පිටකයේ මෙන්ම සූත්‍රපිටකයේද ඇතුළත් වේ. විනය පිටක මහාවග්ග පාලියේ දැක්වෙන තොරතුරුවලින් උපස්ථායකුගේ මෙන්ම රෝගියෙකුගේ වගකීම හා භූමිකාව කවරේදැයි පෙන්වා දෙයි. මෙම කරුණු වර්තමානයට බෙහෙවින් අදාළ වේ.

රෝගියෙකුට උපස්ථාන කිරීම අතිශය දුෂ්කර කාර්යයකි. රෝගියා පෙළෙන රෝගයට අමතරව ඔහු හෝ ඇයගේ විවිධ දුර්වලතා නිසා උපස්ථාන කිරීම තවදුරටත් දුෂ්කර වේ. රෝගියා සතු ලක්ෂණ පහක් නිසා උපස්ථාන කිරීම දුෂ්කර වේ. එනම් රෝගයට අහිතකර දේ කරන, හිතකර දේ වුවද ප්‍රමාණය නොදැනීම, බෙහෙත් නිසි පරිදි භාවිතා නොකිරීම, උපස්ථායකයාට හෝ වෛද්‍යවරයාට තම ආබාධයේ ස්වභාවය මැනවින් ප්‍රකාශ නොකිරීම, රෝගය නිසා උපන් තියුණු වේදනා නොඉවසීම හෝ දරාගැනීමට නොහැකි වීම යන ලක්ෂණ නිසා උපස්ථායකයන්ට රෝගියා රැකබලා ගැනීම දුෂ්කර වේ. මේ එකිනෙක ලක්ෂණයන් ගැඹුරින් විමසන විට පැහැදිලි වන්නේ මෙවැනි ලක්ෂණ සහිත රෝගින් නිසා උපස්ථායකයන් මෙන්ම වෛද්‍යවරුන්ද රෝගියාගේ පවුලේ සාමාජිකයන්ද දැඩිලෙස අපහසුතාවට පත්වන බවයි. මෙම අංග පහෙන් වැළකුන රෝගියාට පහසුවෙන් උපස්ථාන කළ හැකිවේ. බුදුරදුන්ගේ මෙම උපදෙස්වලින් පැහැදිලි වන්නේ රෝගියාගේ ඇතැම් දුර්වලතා නිසා උපස්ථාන කිරීම දුෂ්කර වන බවයි.අනෙක් අතට රෝගියාටද යම් වගකීමක් උපස්ථායකයා සම්බන්ධයෙන් පවතින බව මෙයින් ගම්‍ය වේ. තම උපස්ථායකයාගේ කාර්ය වඩාත් සාර්ථක වීම සඳහා මෙන්ම රෝගය සුවපත් කරගැනීම පිණිස රෝගියාගේ හැසිරීම බලපායි. රෝගියා විසින් අනුගමනය කළ යුතු නිසි පිළිවෙත කවරේද යන්න බුදුරදුන්ගේ මෙම උපදෙස්වලින් පැහැදිලි වේ.

රෝගියාගේ පමණක් නොව උපස්ථායකයාගේ ක්‍රියාකාරීත්වය නිසාද උවටැන් කිරීම දුෂ්කර වේ. උපස්ථායකු සතු අයහපත් ගති ලක්ෂණ පහක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නහ. එනම් රෝගියාට අවශ්‍ය බෙහෙත් සකස් කරන්නට හැකියාවක් නොමැති වීම, රෝගියාට හිතකර හා අහිතකර දේ පිළිබඳ වැටහීමක් නොමැති වීම, මෙත් සිතින් තොරව ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන්ම උපස්ථාන කිරීම, රෝගියාගේ මල මුත්‍ර සෙම්සොටු හා වමනය බැහැර කිරීමට පිළිකුල් කිරිම, කලින් කලට රෝගියාගේ මානසික සුවය වැඩෙන දැහැමි කථාවෙන් සංග්‍රහ නොකිරීම යන අයහපත් ලක්ෂණවලින් යුක්ත පුද්ගලයා උපස්ථායක තනතුරට යෝග්‍ය නොවේ. මෙම දුර්වලතාවන්ගෙන් තොර පුද්ගලයා උපස්ථායක තනතුරට යෝග්‍ය වන අතර එවැනි උපස්ථායෙකුගේ සහයෝගය ලබන රෝගියා කඩිනමින් සුවපත් වේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙම උපදෙස්වල අන්තර්ගත වටිනාකම සර්වකාලීනය. රෝගියාගේ මෙන්ම උපස්ථායකයාගේද වගකීම හා යුතුකම කවරේද යන්න මෙම උපදෙස් වලින් පැහැදිලි වේ. වර්තමානයේ රෝහල් හා රෝගීන් මෙන්ම උපස්ථායකයන් හා වෛද්‍යවරුන් සම්බන්ධයෙන් පැන නැගී තිබෙන අර්බුද හා සැසැඳීමේදි පැහැදිලි වන්නේ බුදුරදුන් වදාළ මෙම උපදෙස් පිළිබද සමාජය දැනුවත් කිරීම කාලීන අවශ්‍යතාවක් බවයි. බුදුසමයේ දැක්වෙන ගිලානෝපස්ථායක (ගිලානුපට්ඨකො) යන වචනයට රෝගියා සම්බන්ධයෙන් කටයුතු කරන වෛද්‍යවරුන්, හෙදියන්, උපස්ථාකයන් සියලු දෙනාම අයත් වේ. ඒ සියලු දෙනාම රෝගීන් වෙනුවෙන් කැපවී සිටින්නෝ වෙති. එබැවින් මෙම උපදෙස් ඒ සියලු දෙනාටම පොදුවේ අදාළවන සදාචාර ප්‍රතිපත්ති සමූහයක් බව අමුතුවෙන් සඳහන් කිරීම අවශ්‍ය නොවේ. බුදුරදුන්ගේ ප්‍රසාදයට පත් ගිලානෝපස්ථානය එක් අතකින් විශාල සමාජ සේවයක් වන අතරම අනික් අතට උසස් පුණ්‍ය කර්මයකි. එය සේවයක් වන්නේ ඉහතින් සඳහන් කළ යහයත් ප්‍රතිපත්ති වලට අනුකූලව සිදුවන්නේ නම් පමණි. මුදලට හෝ ප්‍රතිලාභවලට මුල්තැන දෙමින් එයම එකම අරමුණ කරගත් සෞඛ්‍ය සේවයක් බුදුරදුන් අනුමත නොකළ බව මෙත් සිතින් ක්‍රියා කිරීමට උපදෙස් සැපයීමෙන් පැහැදිලි වේ. මෙත් සිත පැතිරවීම අසීමිතව සිදු කළ යුතු අතර එය කයින්ද (මෙත්තා කාය කම්ම) වචනයෙන්ද (වචීකම්ම) මනසින්ද (මනෝකම්ම) පැතිර විය යුතුවේ. තිදොරින්ම මෙත් සිතින් රෝගියාට අනුග්‍රහ දැක්වීම යනු ලාභය අරමුණු කරගත් එකක් නොවේ’. තම සේවයට සරිලන වැටුපක් ලබාගත්තද එය මුළුමනින්ම මුදල් අරමුණු කරගත් දෙයක් නොවිය යුතුය. ගිලානෝපස්ථානය ආධ්‍යාත්මික වශයෙන් පිවිතුරු අරමුණුවලින් පෝෂණය වු අවංක සේවයක් විය යුතු බව බුදුරදුන් වදාළ මෙම ප්‍රතිපත්තියෙන් අවධාරණය වේ. රෝහලක සේවය කරන සියලු කාර්ය මණ්ඩල මෙන්ම නිසේවල රෝගීන් බලාගන්නා පුද්ගලයන්ද එක් අතකින් බුදුරදුන්ට උපස්ථාන කරන උන්වහන්සේගේ අනුශාසනය අනුගමනය කරන්නෝ වෙති. එහෙත් එය අර්ථවත් වන්නේ ඉහතින් දැක්වූ උපදෙස් අනුව සිදුවන්නේ නම් පමණි.

ඉහතින් දැක්වු යුතුකම් අතර අවසන් අංගයෙන් අදහස්වන කරුණෙහි විශේෂ වැදගත් කමක් තිබේ. එයින් ඉදිරිපත් කරන්නේ ගිලානෝපස්ථායකයාට රෝගියාගේ මනස සුවපත් කිරීමට අවශ්‍ය ධර්මානුකූල අවබෝධය තිබිය යුතු බවයි. ධර්ම ආශ්‍රය කරගනිමින් කලින් කලට රෝගියාගේ සිත සකස් කිරීම සැනසීම පහන් කිරීම උපස්ථායකයාගේ කාර්ය වේ. දරුණු ආබාධවලින් දීර්ඝකාලීනව පීඩා විඳින රෝගීන්ගේ සිත සැනසෙන පරිද්දෙන් බුදු බණ පැහැදිලි කරදීමෙන් මානසික සුවයක් ඇතිකළ හැකිවේ. මේ අනුව රෝගින් හා සම්බන්ධ කටයුතු කරන පුද්ගලයන් ආධ්‍යාත්මික පුහුණුව වැඩි වැඩියෙන් ලැබිය යුතුවේ.

අනෙක් අතට බුදුරදුන් සරණ ගිය, උන්වහන්සේගේ ධර්මය වටහාගත් පුද්ගලයාට ජීවිතයේ යථාර්ථය පිළිබඳ අවබෝධයක් තිබේ. අනවරාග්‍ර සංසාරයේ පුද්ගලයා විඳින විවිධ දුක් වේදනාවන් දුක්ඛාර්ය සත්‍යය යටතේ පැහැදිලි කර තිබේ. විවිධ ලෙඩ රෝග නිසා පුද්ගලයා විඳින ලද පීඩාව ව්‍යාධි දුක ලෙස නම් කෙරේ. විවිධ ආබාධ නිසා පුද්ගලයා කායික හා මානසික වශයෙන් රෝගීවන හෙයින් බුදුරදුන් වදාළේ කායික රෝගීන් පමණක් නොව මානසික රෝගින්ද වෙසෙන බවයි. එවන් රෝගීන්ගේ මනස සුවපත් කෙරෙන වැඩසටහන් හා මගපෙන්වීම් කලින් කලට අවශ්‍ය වේ. ධර්මය පදනම් කරගත් උපදේශනය පිළිබඳ අවබෝධයක් උපස්ථායකයන්ට අවශ්‍ය බව බුදුරදුන් නිර්දේශ කළ මෙම සදාචාරාත්මක ප්‍රතිපත්තිවලින් පැහැදිලි වේ.

බෞද්ධයෙකුට තමාගේ ශරීරයට වැළදෙන ලෙඩ රෝග ජීවිතයේ යථාර්ථය මෙන්ම පංචස්ඛන්ධයේ යථා ස්වභාවය පෙන්වන කායගතාසතිය වැඩිය හැකි භාවනා නිමිත්තකි. ඒ අනුව රෝගියා යනු උපස්ථායකයාට තම ජීවිතයේ යථා ස්වභාවය පෙන්වන නිමිත්තක් හා අරමුණක් බව දේවදූත සූත්‍රයෙන් පැහැදිලි වේ. එසේම මෙම ශරීරය මෙබදු ධර්මතාවයෙන් යුක්තය. (එවම් ධම්මෝ)( මෙබඳු ස්වභාවයෙන් යුක්තය (එවම් භාවී) ( එම ස්වභාවය හා ධර්මතාව ඉක්මවා නොපවතී (එවම් අනතීතොති) යනුවෙන් වටහා ගැනීම යහපත් උපස්ථාකයෙකු වීමට මෙන්ම රෝගියෙක් ලෙස අන් අයට පහසුවෙන් පෝෂණය කළ හැකි අයෙකු වීමටද හේතුවේ. මේ අනුව රෝගියා හා ගිලානෝපස්ථායකයා පිළිබඳ බුදුරදුන් වදාළ මෙම යහපත් ප්‍රතිපත්ති වර්තමානයේ රෝහල් හා වෙනත් සෞඛ්‍ය මධ්‍යස්ථාන මෙන්ම ගෘහාශි‍්‍රතව ඇති වී තිබෙන සෞඛ්‍ය අර්බුද විසඳා ගැනීමෙහිලා බෙහෙවින් උපයෝගී වේ.