Print this Article


ශ්‍රී ලංකාවේ වස් සමාදානයේ සමාරම්භය

ශ්‍රී ලංකාවේ වස් සමාදානයේ සමාරම්භය

‘අනුජානාමි භික්ඛවේ වස්සානෙ වස්සං උපගන්තුං න භික්ඛවෙ වස්සං උපගන්තබ්බං යො න උපගච්ඡෙය්‍ය,ආපත්ති දුක්ඛටස්ස’ මහණෙනි වැසි සමයේ වස් විසීමට අනුදැන වදාරමි, මහණෙනි වස් නො එළඹිය යුතු නොවේ. යමෙක් වස් නොඑළඹෙන්නේ නම් ඒ භික්ෂුවට දූකුලා ඇවතක් සිදුවේ යන බුද්ධ ප්‍රඥප්තියට අනුකූලව වස්සාන ඍතුව එලඹෙත්ම වස් විසීමට සුදුසු ස්ථානයක් සොයායාම හෝ වස් සමාදානයට තැනක් පිළියෙල කරගැනීම උපසම්පදාලාභී භික්ෂුවගේ ශික්ෂණ ක්‍රියාවලියේ එක් අංගයක් ලෙසින් පවතියි.

මහාවග්ගයේ වස්සුපනායිකඛන්ධකයේ දැක්වෙන ආකාරයට වස් සමාදන්වන කාල සීමාව වස්සාන ඍතුව වන අතර එහි ද කාල සීමා දෙකක් හෙවත් වස්සුපනායික දෙකක් දක්වා ඇත. ඉන් පළමුව වස් එළඹුම” පෙරවස් එළඹුම” වන අතර එය ඇසළ හෙවත් ජූලි මස පුර පසළොස්වක පොහොය උදාවී එළඹෙන අවපෑලවියදා සිදුවිය යුතුය. (ද්වෙ මෙ භික්ඛවෙ වස්සානෙ වස්සං උපගන්තුං ද්වෙ මෙ භික්ඛවෙ වස්සුපනායිකා පුරිමිකා පච්චිමිකාච අපරජ්ජුගතාය ආසළ්හියා මුරිමිකා උපගන්තබ්බා මාසගතාය ආසාළ්හියා පච්ඡිමිකා උපගන්තබ්බා ඉමා ඛො භික්ඛවෙ ද්වෙ වස්සුපනායිකාති) භික්ෂූන්ට විනය ප්‍රඥප්තියක් ආරක්ෂාකර ගැනීමට දායකවීම තමාට ලැබෙන මහඟු අවස්ථාවක් ලෙසින් සැලකීමට එදා සිට අද දක්වා දායකකාරකාදීන්ද ඒ අනුව පුරුදු පුහුණු වී සිටිති. වස් සමාදානය සමඟ විනය හා සම්බන්ධ ක්‍රියාවලි රාශියක් ඒකාබද්ධව පවතියි. එනම් පොහෝකරණය, ආරාධනය, වැසිසළු පූජා, වස්සමාදානය, සිවුපසය පූජාව, වස් සමාදාන වූ භික්ෂුවගේ පිළිවෙත්, වස් පවාරණය හා කඨින පූජාව ආදියයි. මෙම පුණ්‍ය ක්‍රියකාරිත්වයන් තෙමසක් ආවරණය කරමින් පැවැත්වේ. එබැවින් වස් කාලය පින් ලැබෙන පින් වැඩෙන කාලයක් ලෙසින් සැලකීමට භික්ෂුව මෙන්ම දායක පක්ෂය ද පෙළ ගැසී සිටිති. බුද්ධ ශාසනය ලක්දිව පිහිට වූ ක්‍රිස්තු පූර්ව තෙවැනි සියවසේ සිට අඛණ්ඩව මෙරට තුළ පවත්වාගෙන එනු ලබන සාම්ප්‍රදයික ආගමික උත්සවයක් ලෙසින්ද වස් සමාදානය සැලකිය හැකිය. ශී‍්‍ර ලංකාවේ බෞද්ධ ජන ජීවිතය සකස් වී ඇත්තේ සෑම මාසයකම එළඹෙන පොහෝය උත්සව ප්‍රධාන කරගෙනය. ඇසළ ගිය පෑලවිය භික්ෂුන්ගේ වස් සමාදාන දිනය ලෙසින් මෙරට වාර්ෂික දින දර්ශනයට ඇතුළත්ව පවතියි. වස් සමාදානය මෙරට ආරම්භ වූ තැන් සිට සාමාන්‍ය ජනයා මෙන්ම බොහෝ පාලකයින්ගේ ද ප්‍රසාදය දිනාගත් බෞද්ධ පූජා චාරිත්‍රයක් ලෙසින් ද වස් සමාදන්වීම හා කඨින පූජෝත්සවය සඳහන් කළ හැකිය. මහාපරාක්‍රමබාහු රජු, සවැනි පරාක්‍රමබාහු, කීර්ති ශ්‍රී රාජසිංහ ආදී නරපතින් දහස් ගණනින් භික්ෂුන් වහන්සේලාට ඇප උපස්ථාන කොට වස් සමාදන් කරවා කඨින පින්කම් සිදුකළ බව වංසකථාව දක්වයි. මෙම උත්සව ඉතිහාසය තුළ සඳහන් වනුයේ උදාර ආගමික ජාතික මෙන්ම රාජකීය උත්සව වශයෙනි.

අනුබුදු මිහිඳු හිමියන් විසින් බුද්ධාගම පමණක් නොව මහා සභ්‍යත්වයක්ම ගෙන එන ලද්දේය යන වල්පොළ රාහුල හිමියන්ගේ ප්‍රකාශය තුළ මහින්දාගමනයෙන් ඇති වූ සංස්කෘතික පුනරුදය කවරේද? යන්න නිර්ණය කළ හැකි බැවින් ශී‍්‍ර ලාංකේය බෞද්ධ ඉතිහාසයේ මෙන්ම සිංහල සංස්කෘතියේද වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් වන කාල පරිච්ඡේදයක් ලෙසින් ක්‍රිස්තු පූර්ව තෙවැනි සියවස සැලකීම නිවැරදිය. ක්‍රිස්තු පූර්ව සවැනි සියවසේ සිට ක්‍රිස්තු පූර්ව තෙවැනි සියවස තෙක් ඉන්දියාවේ ප්‍රාදේශීය ආගමක් ලෙසින් වර්ධනය වූ බෞද්ධාගම, මෞර්ය පාලක වූ අශෝකයන්ගේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ ජාත්‍යන්තර ආගමක් ලෙසින් ව්‍යාප්තිය මෙන්ම විනයධර ධර්මධර සඟ සසුනේ පැතිරීමක් ද මෙම අවධිය තුළ සනිටුහන්වීම බෞද්ධ ඉතිහාසයේද සුවිශේෂ කරුණක් ලෙසින් ඉතිහාසගත ය. එවකට ලක්දිව අනුරාධපුර පාලක වූ දේවානම්පියතිස්ස රජු හා අශෝක අධිරජයා අතර ගොඩනැඟෙන අදෘෂ්ට මිත්‍රත්වයේ එක් ප්‍රතිඵලයක් ලෙසින් ප්‍රථමයෙන් ලක්දිවින් අරිට්ඨ ඇමති ප්‍රමුඛ දූත කණ්ඩායමක් අශෝක අධි රජු වෙත පඩුරු ද ගෙන යන අතර ඊට දැක්වූ ප්‍රතිචාරයක් ලෙසින් මෞර්ය අභිෂේක ක්‍රමය මෙරටට හඳුන්වා දෙනු ලැබීය. ඉන් තෙමසක් ගිය තැන පොසොන් පුරපසළොස්වක් පොහෝ දිනක සිය පුත් වූ මිහිඳු හිමියන් ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්භල, භද්දසාල, සුමණ සාමණේර හා භණ්ඩුක උපාසකගෙන් සැදුම්ලත් පඤ්ච ධර්මදූත කණ්ඩායමක් ලක්දිව බුද්ධශාසනය පිහිටුවීම අරභයා පිටත් කොට එවීමද ශාසනික වශයෙන් සිදුවූ ආගමික වශයෙන් මෙන්ම ශාසනික වශයෙන් සිදුවූ වැදගත් කරුණක් ලෙසින් සැලකිය හැකිය. මිහිඳු හිමියන් ප්‍රමුඛ ධර්මදූත කණ්ඩායම ලක්දිවට වැඩම කොට මිහින්තලාවේ අම්බස්තලයේ දී රජුට දහම් දෙසා තෙරුවන් පිළිබඳ හැඟීමක් හා දැනීමක් ඇති කිරීම ලක්දිව බෞද්ධ ශාසනයේ ආරම්භක පියවර සනිටුහන් කරයි. මිහින්තලයෙන් ආරම්භ කළ මිහිඳු හිමියන් ප්‍රමුඛ ධර්මදූතයන් වහන්සේලාගේ ශාසනික මෙහෙය රජුගේ සිට සාමාන්‍ය ජනතාව දක්වා සැමට සමානාත්මතාවයෙන් පිරිපුන් ශාසනික හා සංස්කෘතික කාර්යදාමයක් සඳහා අවතීර්ණවීමට මං හෙළිකිරීමක් වූ අතර ලක්දිව ඉතිහාසය එතෙක් ගමන් කළ මඟ වෙනස් මාවතකට යොමු කිරීමට බලපෑ ප්‍රධාන එක් සාධකයක්ද විය. එමෙන්ම පළමු මහණ උපසම්පදාව මෙන්ම පළමු වස් සමාදානය ද මිහින්තලය කේන්ද්‍ර කොට ඇතිවීම නිසා එම ස්ථානයද වත්මන දක්වා සුවිශේෂ ස්ථානයක් හිමි කරගෙන ඇත. පළමු වස් සමාදානය සිදු වූ අයුරු දේශීය සාහිත්‍ය මූලාශ්‍ර විස්තර කරනුයේ මෙසේය. එනම්

මිහිඳු මාහිමියන් ප්‍රමුඛ ධර්මදූත කණ්ඩායම සවිසිදිනක් අනුරපුර මහමෙවුනා උයන්හි වැඩ වාසය කොට ඇසළ මාසයේ ශුක්ල පක්ෂයේ තෙළෙස්වන දින රජ ගෙයි වළදා මහරජු ප්‍රමුඛ සැමට මහාප්‍රමාද සූත්‍රයෙන් ධර්ම දේශනා කොට චේතියගිරියේ විහාරයක් කරවනු පිණිස නැඟෙනහිර දොරටුවෙන් පිටත්ව චේතිය ගිරියට වැඩම කළ බව වංසකථාව කියයි. නැඟෙනහිර දොරටුවෙන් නික්ම චේතිය ගිරියට වැඩම කළ බව අසා දේවානම්පියතිස්ස රජු ද සිය දේවීන් දෙදෙනා ද කැටුව තෙරුන් වැඩම කළ පියවර ඔස්සේම පසුපසින් ගියහ. එසේ චේතියගිරියට වැඩම කළ මිහිඳු මා හිමියන් ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා එහි වූ නාග චතුෂ්කයෙහි වූ පොකුණෙන් ස්නානය කොට පර්වතයට වැඩමවනු පිණිස පිළිවෙළින් වැඩම කළහ. එසේ වැඩමවන භික්ෂූන් දකින රජු රියෙන් බැස බිසොවුන් පසෙක තබා තෙරුන් වෙත එළඹ සිටියේ. මිහිඳු මා හිමියන් විසින් රජුගෙන් ගී‍්‍රෂ්මයෙන් පෙළෙමින් මෙහි පැමිණීමට හේතු කාරණා කවරේද? යන්න විමසන ලදින් රජු ප්‍රකාශ කරනුයේ ඔබ වහන්සේලා පෙරළා වඩින්නේද? යන්න විචාරීම පිණිස මෙහි පැමිණි බවය. එම අවස්ථාවේ ඛන්ධක විෂයෙහි ප්‍රවීණයෙකු වූ මිහිඳු මා හිමියන් විසින් චේතියගිරියේ වස් විසීම පිණිස පැමිණි බව (ඉධෙව වස්සං වසීතුං ආගතාම්හ)

දන්වමින් වස් විසීම හා සම්බන්ධ වූ වස්සුපනායිකක්ඛන්ධකය වඩාත් සවිස්තරව පැහැදිලි කර දෙන ලදී. එම අවස්ථාවේදී රජු සමඟ සිටි අරිට්ඨ ඇමැති ප්‍රධාන ඔහුගේ කනිටු සොයුරන් පනස් පස් දෙනෙකු ද මිහිඳු හිමියන් ලඟ පැවිදි වීමට කැමැත්ත පළ කර සිටියෙන් ඒ අවස්ථාවේ තෙරුන්ට රජු විසින් ඒ බව දන්වා සිටියෙන් අරිට්ඨ කුමරු ඇතුළු පනස් පස් දෙනා එදිනම මිහිඳු හිමියන් විසින් මහණ කරන ලදී. පැවිදි කිරීමට හිස බාන ලද අවස්ථාවේදීම ඒ සියලු දෙන රහත් බවට පත් වූ වංසකථාව කියයි.

රජු එදිනම කණ්ඨක චේතිය පිහිටි ස්ථානයේ භික්ෂූන්ට වාසය පිණිස අටසැටලෙනක් නිර්මාණය කොට නගරයට පිටත් විය. විහාර, අඩ්ඪයෝග , පාසාද, හම්මිය හා ගුහා ආදිය වස් සමාදනය සඳහා සුදුසු ස්ථානයන් ලෙසින් බුදුරදුන් විසින් අනුදැන වදාළ සේක. විහාරය යනු සුදුසු ආරාමයන්ය. ආඩ්ඪයෝග යනු අඩක් සෙවන කළ ගුරුලකුගේ පියාපත් වැනි වහල සහිත ගෙයයි. පාසාද යනු පහසුකම් සහිත සිවුරැස් ගෙය නම් වූ ගෘහ මන්දිරයයි. හම්මිය යනු සඳලු සහිත සොල්දර සහිත මුදුන් ගෙයයි. ගුහා නම් ස්වාභාවිකව පිහිටා ඇති පර්වත ගුහාවන්ය. වස් සමාදානය පිළිබඳව කරුණූ දැනගත් රජු එම අවධිය තුළ භික්ෂූන්ට වස් සමාදානය පිණිස ලබාදිය හැකි උසස්ම ගෘහය හැටියට ගල්ලෙන තෝරාගන්නට ඇති අතර එම පර්වත මත වූ ගුහාවන් සුද්ධ පවිත්‍රකොට වාසයට සුදුසු පරිදි සකසන්නට ඇතැයි අනුමාන කළ හැකිය.

ඇසළ මස පුන් පුර පොහෝ දවස්හි එසේ නිමවන ලද විහාරයන් පූජා කළ අතර ඒ අවස්ථාවේ දී තෙරුන් මහා අරිට්ඨාදීන්ගේ ප්‍රයෝජනය පිණිස දෙතිසක් සීමා මාලකයන්ටද ඒ දසවස්හිම සීමා ඛන්ධනය කොට තමන් විසින්ම බඳනා ලද තුම්බරූ නම් ඛණ්ඩ සීමාවෙහි දී අරිට්ඨ හිමියන් ඇතුලු පනස් පස්දෙන පළමු කොට උපසම්පදා ශීලයෙහි පිහිටුවන ලදී. ඒ අනුව දැනට ලක් බුදු සසුනට එක්ව සිටින හැට දෙකක් වූ භික්ෂූන් වහන්සේලා ඇසළ ගිය පෑලවිය දින රජුගේ ආරාධනයෙන් වස් සමාදානය චේතයගිරියේදී සිදුකරන ලදී. මෙය ලක්දිව සිදු වූ පළමු වස් වැසීම ලෙසින් ඉතිහාසගත ය. වස් සමාදාන, වස්කාලය හා වස් ගේ වැනි වදන් අපගේ භාෂාවට එක්වූ අතරම ලක්දිව ආරාමවල ඉතිහාසය අධ්‍යයනයේදී වස් ගේ නිරන්තරයෙන් පසුකාලීන ආරාම බවට පත් වූ බවට සාක්ෂි ඇත.