නිසරු දෙයින්
බැහැර වෙමු
කතරගම උපාලි ධර්මා ශ්රමවාසී
කුඹුකේ විසුද්ධි චිත්ත හිමි
තමන්ටත්, අනුනටත් මෙන්ම තමන්ට සහ අනුන්ට යන දෙපක්ෂයටමත් හිත සුව එළවන,
වැඩදායක , දියුණුව පිණිස පවතින්නේ යමක්ද, ශිෂ්ටසම්පන්න සමාජය පිළිගත්
යම් ගුණධර්මයක් පවතී ද ඒ සරු දෑය. එනම් යහපත් ගතිගුණ , හොඳ සිරිත්
විරිත්, නිවැරැදි ආකල්ප සහ පුද්ගල අභිවෘද්ධියට හෙවත් දියුණුවට ඉවහල්
වන කරුණුය.
“අසාරෙ සාරමතිනො
සාරෙ චාසාරදස්සිනො
තෙ සාරං නාධිගච්ඡන්ති
මිච්ඡාසංකප්ප ගොචරා”
“සාරංච සාරතො ඤත්වා
අසාරංච අසාරතො
තෙ සාරං අධිගච්ඡන්ති
සම්මාසංකප්පගොචරා”
“නිසරු දේ , සරු ලෙස සලකන –
සරු දෑ, නිසරු ලෙසත්
දකින පුද්ගලයෝ සරු දෙයක් නොලබන්නාහ. එම පුද්ගලයෝ වැරැදි සංකල්ප මත
එල්බගෙන සිටින්නාහ” .
”සරු දෑ, සරු ලෙසද – නිසර දෑ, නිසරු ලෙසද හඳුනා ගන්නා පුද්ගලයෝ සරු
දෙයක්ම ලබන්නෝය. එවැන්නෝ නිවැරැදි සංකල්ප මත පිහිටා සිටින්නෝය”.
ධම්මපදය
(යමක වග්ගය – ගාථා 11 සහ 12)
‘නිසරු දෑ’ යන්න තමන්ගේත්, අනුන්ගේත් අහිත පිණිසත්, අවැඩ පිණිසත්,
පරිහානිය පිණිසත් හේතු වන දේ ලෙස හැඳින්විය හැකිය. එනම් සමාජය විසින්
පිළිකෙව් කෙරෙන, නුවණැත්තන්ගේ දෝෂාරෝපණයට හේතුවන්නා වූ නරක, වැරැදි ගති
ලක්ෂණය ක්‍රියාවන්ය.
තමන්ටත්, අනුනටත් මෙන්ම තමන්ට සහ අනුන්ට යන දෙපක්ෂයටමත් හිත සුව එළවන,
වැඩදායක , දියුණුව පිණිස පවතින්නේ යමක්ද, ශිෂ්ටසම්පන්න සමාජය පිළිගත්
යම් ගුණධර්මයක් පවතී ද ඒ සරු දෑය. එනම් යහපත් ගතිගුණ , හොඳ සිරිත්
විරිත්, නිවැරැදි ආකල්ප සහ පුද්ගල අභිවෘද්ධියට හෙවත් දියුණුුවට ඉවහල්
වන කරුණුය.
මනුෂ්‍යයා නිසරු දෙයින් බැහැර විය යුතු වන්නේ මන්ද? වැරැදි සහගත සංකල්ප
දුරලීමටත්, සිත් තුළ නිවැරැදි සංකල්ප ඇති කර ගැනීමටත්, ඉස්මතු කර
ගැනීමටත්, ජීවිතය සරුසාර කර ගැනීමටත් පුද්ගලයා නිසරු වූ දෙයින් බැහැර
වීමට හැම අතින්ම උත්සුක විය යුතුය. බුදු දහමෙහි ඉගැන්වෙන අරි අටඟි
මඟෙහි එන ‘නිවැරැදි සංකල්පය” නම් කාමයන්ගෙන් වෙන්වීමේ නැත්නම් කාමයන්
අත්හැරීමේ කල්පනා, අව්‍යාපාද හෙවත් අනුන් නැසීමේ අකුසල් චේතනාවන්ගෙන්
නිදහස්වීමේ කල්පනා සහ අවිහිංසා හෙවත් කිසිවකුට හිංසා නොකිරීමේ
කල්පනාවෝය.
සිතෙහි ‘නිවැරැදි සංකල්පය’ ඉස්මතු කර ගැනීමටත් , හරියාකාරව තෝරා බේරා
ගැනීමටත් නිරන්තරයෙන්ම බාධා පමුණුවන්නේ සිතෙන් සිදුවිය හැකි
ත්‍රිවිධාකාර අකුසල චේතනා හෙවත් සිතිවිලිය. ඒවා නම් අභිධ්‍යාව,
ව්‍යාපාදය සහ මිථ්‍යාදෘෂ්ටියයි. ‘අභිධ්‍යා නම් යමෙකුගේ වස්තුවක් දැක
‘එය මටත් ඇත්නම්’ කියා සිතෙහි උපදින්නා වූ ලෝභ සහගත සිතුවිල්ලය.
‘ව්‍යාපාදය’ යනු කෙනෙකු නැසේවා’ හෝ ‘කෙනෙකු දුකට පත්වේවා’ යනුවෙන්
සිතෙහි මතුවිය හැකි ද්වේෂසහගත සිතුවිල්ලය. වැරදි සහගත දෘෂ්ටීන් හෙවත්
මතවල එල්බගෙන සිටීම ‘මිථ්‍යාදෘෂ්ටියයි.’ මිථ්‍යාදෘෂ්ටිය ඇති පුද්ගලයා
කුසලයෙහි, එනම් දාන, සීල සහ භාවනා තුළින් යහපත් විපාක හෙවත් ආනිසංස
උදාවන බව විශ්වාස නොකරයි.
අභිධ්‍යාව ,ව්‍යාපාදය සහ මිථ්‍යාදෘෂ්ටිය කියන්නා වූ මේ අකුසල් සිතිවිලි
නිසරු දෑ වේ. මේ අනුව තමා හා අවට ලෝකයේ යථා ස්වභාවය පැහැදිලිව වටහා
ගැනීමට ඇවැසි, ‘නිවැරැදි දැකීම’ මතුකර ගැනීමටත්, තියුණු කර ගැනීමටත්
මූලික පදනම සකස් කර ගත යුතු වන්නේ නිසරු දෙයින් බැහැර වීම තුළින් බව
පසක් කර ගත යුතුය.
මෙලොව සහ පරලොව යහපත පිණිස නොපවතින නිසරු දෙයින් බැහැර විය යුතු ආකාරය
මඳක් විමසා බලමු. පළමුව නිසරු දෑ මොනවාදැ’යි හඳුනා ගත යුතුය. දිනක්,
බුදුරජාණන් වහන්සේ, රාහුල සාමණේරයන් වහන්සේට, ‘තිදොරින්’ එනම් තම
සිතින්, කයින් හෝ වචනයෙන් සිදුවිය හැකි වැරැදි හෙවත් දුර්වලතා
හඳුනාගැනීමට ප්‍රායෝගික , කදිම නිදසුනක් ඉදිරිපත් කළ සේක. එනම්,
කැඩපතක් ඉදිරියේ සිටි විට තම මුහුණ ඇතුළු සිරුරේ අඩුපාඩු සකස් කර ගත
හැකිවන්නාක් සේ, ‘සිහිය’ හෙවත් ‘සතිමත් බව ඇති විට සිතින්, කයින් හෝ
වචනයෙන් සිදුවීමට ඉඩ ඇති ‘අයහපත’ හඳුනාගෙන ඉන් මිදිය හැකිවීමය.
තවදුරටත්, අයහපතින් යහපත වෙන් කර හඳුනාගැනීම සඳහා මිනුම් දඬු තුනක්
බුදු දහමෙහි ඉදිරිපත්කොට තිබේ. ඉන් පළමුවැන්න නම් තම හෘදය සාක්ෂියේ
එකඟතාවය පිරික්සා බැලීමය. අන්අයෙකුට සඟවා යමක් කළ හැකි වුවද, තමන්ට
සඟවා කිසිවක් කළ නොහැකිය. මෙලෙස හෘදය සාක්ෂියට එකඟව සුචරිතයෙහි යෙදීම
පාලි බසින් හඳුන්වන්නේ ‘අත්තාධිපත්‍යෙය’ නමිනි.
දෙවැන්න නම් ‘පොදු මහජන මතය’ සලකා බැලීමය. මේ ආකාරයට සමාජයක බහුතර
පිරිසකගේ මතයට හෙවත් අදහසට අවනත වීම සහ ගෞරවය දැක්වීම ‘ලෝකාධිපත්‍යෙය’
යනුවෙන් හැඳින්වේ.
තමන් පිළිපදින ආගම දහමට අනුකූලව ජීවත්වීම හෙවත් ‘ධර්මිෂ්ඨකම’ දහමෙහි
අර්ථ නිරූපණය වන්නේ “ධම්මාධිපත්‍යය” ලෙසිනි. මේ ආකාරයට ‘යහපත’
කුමක්දැ’යි නිවැරැදිව වටහාගෙන නිගමනයකට එළඹ කටයුතු කිරීම ‘පුද්ගල වගකීම
‘වන බව කිව යුතුය.
‘නිති පන්සිල් රැකීම’ බෞද්ධ සමාජයක දැකිය හැකි ලක්ෂණයකි. සත්ව හිංසාව,
සොරකම, කාමයෙහි වරදවා හැසිරීම,බොරුව සහ මත්ද්‍රව්‍ය ,මත්පැන් ගැනීම යන
මේවා නිසරුදෑය. මෙකී පංච දුෂ්චරිතයෙන් වැළකී සිටීමෙන් ‘තිදොර’ නමින්
හැඳින්වෙන ‘සිත, කය සහ වචනය’ සංවර කර ගත හැකිවේ. එක් එක් සිල් පදය
කොටස් දෙකකට බෙදා වෙන් කර දැක්විය හැකිය. එනම් ‘විරමණය’ සහ ‘සමාදානය’
යනුවෙනි.
නිදසුනක් ලෙස පළමුවන සිල්පදය සලකා බලන කල්හි ‘සත්ව හිංසාවෙන් වැළකීම’
වන්නේ ‘විරමණය’යි මෙලෙස යහපතට නංවා ගත් සිත, තවදුරටත් පිරිසුදුවීමට
හේතුකාරක වන්නේ ‘සමාදානය’ කියන අංශයයි. එනම් ‘බියට පත් නැත්නම් මරණයට
නියම වූ සතෙකු හෝ සතුන් එම අසරණ තත්ත්වයෙන් නැතිනම් අනතුරින්
මුදවාලීමයි.
දෙවන සිල් පදයෙහි ‘විරමණය’ ලෙස සැලකෙන්නේ ‘නුදුන් දෑ ගැනීමෙන් වැළකීමය.
‘සමාදානය’ වන්නේ ‘යම් පුද්ගලයකු සතු කිසියම් වස්තුවක් එම පුද්ගලයා නැති
අවස්ථාවකදී වුවද ආරක්ෂා කර දීම් යනු යහපත් ක්‍රියාවය. මෙලෙස එක් එක්
සිල් පදය සමාදන් වීම තුළින් තම සිත ඵලදායි අන්දමින් යහපතට සහ
සුබසිද්ධියට නැඹුරු කර ගත හැකි වනු ඇත.
තම පියාණන් විසින් දෙන ලද අවවාදයට අනුව, උදෑසන ජල ස්නානය කිරීමෙන්
අනතුරුව සදිසා නමස්කාරයේ යෙදුණූ ‘සිඟාල’ නමැති තරුණයාගේ කතා පුවත
තුළින්ද, ‘සරු’ දෙය කුමක් දැ’යි වටහා ගත හැකිය. එක් එක් දිශාවකට
නමස්කාර කිරීම, සමාජගත ජීවිතයට ප්‍රයෝජනවත් සහ පුළුල් අන්දමින් යොදා
ගැනීම පිණිස, බුදුරජාණන් වහන්සේ මෙම තරුණයාට ඒ ඒ දිශාවට අදාළ සාමජ
කොට්ඨාශය පෙන්වා වදාළ සේක. එවගේම දෙපක්ෂයෙන් ඉටුවිය යුතු යුතුකම් ද
පැහැදිලිව දේශනා කළ සේක. මේ ආකාරයට මව්පිය – දූ දරු, ගුරු– ශිෂ්‍ය ,
අඹූ – සැමි , මිත්‍ර –සහෘද, ස්වාමි – සේවක සහ ගිහි – පැවිදි සබඳතා
මැනවින් පවත්වා ගැනීමට හැකිවන්නාක් සේම එම සබඳතා ක්‍රම ක්‍රමයෙන්
ශක්තිමත් වනුද නිසැකය. තවද, දෙපක්ෂය විසින් එකිනෙකා වෙත පැවරෙන
‘යුතුකම්’ නොපිරිහෙළා ඉටුවන්නේ නම්” ‘අයිතිවාසිකම්’ ඉල්ලා සිටීමට හෝ
ඒවා උදෙසා සටන් කිරීමට හෝ කිසිම අවශ්‍යතාවයක් උද්ගත නොවන බවද සඳහන් කළ
යුතුය.
ආශාව, තණ්හාව , බල ලෝභීත්වය වැනි මිනිස් සිත්සතන් කෙලෙසන දුර්ගුණ
කෙමෙන් කෙමෙන් දුරලීමටත්, පරිත්‍යාගය , දයාව, කරුණාව, මෛත්‍රිය සහ
ඉවසීම යනාදී මානව හිතෛෂී ගුණාංග ඉස්මතු කරලීමටත් බාල, තරුණ සහ මහලු
කොයි කවුරුත් දැන් දැන් උත්සුක විය යුතුය.
“පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු
ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
එක පුන් සඳින් දුරු වෙයි ලොව ගන අඳුරු
නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු”
අලගියවන්න මුකවෙටිතුමා විසින් රචිත ‘සුභාෂිතය’ නමැති කවි පංතියේ එන මෙම
උපදේශාත්මක කවියෙන් ගම්‍යවන්නේ නිසරු දෙයින් බැහැර වී පිනෙන්, ගුණයෙන්
, නුවණින් සහ බලයෙන් යුක්ත වූ කල්හි ඔබ කාගේත් ගෞරවයට හා පිදුමට
පාත්‍රවන්නා බවය. මෙලෙසින් ‘සැබෑ මනුෂ්‍යත්වය” හොඳ හැටි හඳුනාගෙන සාමය,
සමගිය සහ සහජීවනය දස දෙස පතුරුවාලීමෙන් මුළු ලෝකයම ඒකාලෝක කරමු! |