මං කොළඹ විශ්වවිද්‍යාලයේ
මහාචාර්ය වුණත්
මගේ මහාචාර්යවරිය මගේ අම්මා
කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශ ප්‍රධානී
අගලකඩ සිරිසුමන හිමි
අපේ අම්මලා තමයි එදා ගමේ හිටපු හොඳම වෛද්‍යවරු. පාරම්පරික ඥානයෙන්
පොහොසත් අපෙ අම්මා ගිනි ගහන අව්වෙ දඟලලා සෙල්ලම් කරලා ආ ගමන් අපට නාන්න
ඉඩ දෙන්නෙ නෑ. ටික වේලාවක් ඇඟ නිවෙන්න ඉන්න. ඇය ඒ වෙලාවට කියනවා. රත්කළ
යකඩයකට එක පාරට වතුර ඉස්සොත් මොකද වෙන්නෙ?. ඒ වගේ ශරීරය ගිනි ගහන රස්නය
තිබෙද්දී නාන්න එපා ඇය කියනවා.
තැලිකෝරලගේ හින්නිහාමි මාතාව පිළිබඳ මම අද ඔබට ලියමි. ඇය සැළලිහිණියේ
කවියක් මෙන් සුන්දරය. බුදුරදුන් පමණක් අදහන යකුන්, ප්‍රේතයන්, නැකැත්
කරුවන් නොතකන ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හේතුවාදිනියකි. තම දරුවන්
පස්දෙනා අතරින් හතර දෙනෙකු විශ්වවිද්‍යාලයට ගෙන ගියේ ඇයගේ දිරිය
ශක්තියයි. අවුරුදු 89 ක් ජීවත්ව සිටි තම සැමියාගේ සිරුරින් සිරින්ජරයකට
ලේ බිඳක් ගෙන පරීක්ෂාවකට නොයවන්ට තරම් ඔහු නිරෝගීව ජීවිත කාලයම
තබාගත්තේද මේ පතිනියයි. දැනටත් දිවමන් මේ උතුම් අම්මාගේ මතක සුවඳ අවදි
කරන්නට ඇයගේ කනිටු පුත්‍ර දැන් බුද්ධ පුත්‍ර කොළඹ විශ්වවිද්‍යාලයේ
සිංහල අධ්‍යයන අංශ ප්‍රධානී අගලකඩ සිරිසුමන හිමියන් දැන් මා අභිමුව වැඩ
හිඳී.
මගේ ගිහිනම මාතර ගමගේ සිරිල්. පියාණන් මාතර ගමගේ පැන්ටිස්. මගේ ආදරණීය
අම්මා තැලිකෝරලගේ හින්නිහාමි. පියා ගොවිතැන් බත් කළ ගොවියෙක්. එතුමා
කුඹුරු යායක් අස්වැද්දුවා. අවුලෙ අපි ඔක්කොම දරුවො පස්දෙනයි.
මාතර දිසාවේ අකුරැස්සට නුදුරු අගලකඩ කියන්නේ බොහොම පැරණි ගම්මානයක්. ඒක
පියාගේ ගම. අම්මගෙ ගම නිල්වලා ගඟ අසබඩ කැකුණවෙල. තාත්තා අම්මාව අගලකඩට
කැන්දගෙන ඇවිත්. මේ ගම ඉපැරැණිය කීවේ මහනුවර යුගයේ වැලිවිට සරණංකර
මාහිමියන් වෙතින් (ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කාලයේ). මේ ගමේ උපාසක
ඇත්තෙකු උපසම්පදාව ලබලා තියෙනවා. උන්වහන්සේ වැඩ සිටියේ අගලකඩ ඉතිහාසය
කියන ශ්‍රී ධර්මරක්ෂිත විහාරයේ. වැලිගම අග්‍රබෝධි විහාරයත් නිර්මාණය කළ
උන්වහන්සේ පහතරට ප්‍රධාන සංඝනායක ධූරයත් ඉසුලුවා.
මේ ගම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගමක තිබෙන සියලුම අංගෝපාංගයන්ගෙන්
සමන්විත අපූරු ගමක්. ඇළ, දොළ, කුඹුරු බිම් නියර, කඳුවැටි, ලඳු, දෙණි මේ
හැම එකක්ම අපේ ගමේ තිබුණා. ඒ විතරක් නොවේ, තේ, වී, කුරුඳු, පොල්
වගාවත්, එළවළු වගාව ආදී හැම දෙයකින් පරිපූර්ණයි.
පියා ගමේ සමිති සමාගම්වල නිලතල දරපු ගමේ ශක්තිවන්තම කෙනෙක්. අම්මා අපේ
ගමට පිටින් ආපු ඒත් කිසියම් මට්ටමක පාසල් අධ්‍යාපනයක් ලබා ගත්
කාන්තාවක්. ඇයට පත්තර, සඟරා, පොත්පත් කියැවීමේ පුරුද්දක් තිබෙනවා. දැනට
84 වියේ ඉන්නා මගේ අම්මා තවමත් වැඩ කරගන්නේ තනියෙන්. අපේ අම්මා අපට හැම
විටම කීවේ අධ්‍යාපනයේ වටිනාකම. ඒ නිසා අපට කියවන්ඩ දැන ඉගෙන ගන්ඩ නිතරම
වෛහෙසුව මුලකුර විතරක් නොවෙයි. ජීවිතයත් කියා දුන්නා.දරුවන් හතර
දෙනෙක්ම සරසවියට යවන්නේ මේ අම්මාගේ ඒ උනන්දුව නිසාමයි. මට මතකයි ඇය
හැමවිටම අපට කීවා මුද්‍රිත පොතේ තිබෙන පිටු අභ්‍යාස පොතක පිටපත් කරන්ඩ
කියලා. දවසකට වචන 1500 කට නො අඩු පාඩමක් එහෙම ලියන්න ඕනෑ. ඒ නිසා තමයි
අදත් මට ලස්සනට යමක් පිටපත් කරගන්න පුළුවන්. මං මුලින්ම ගියේ පේරුතොට
පාසලට. එදා මුල් ගුරුතුමා ළඟට මාව එක්කගෙන ගියේ පියා වුණත් ඒ මුල්
පාඩම් පොත මට උගන්නලා හොඳට ධාරණය කරවලා මාව පාසලට ඇරියෙ අම්මා, මාව
බාරගත්තු ගුරුතුමියගේ නම මලවල ආරච්චි මහත්මිය. එතුමිය අදත් හොරණ
ප්‍රදේශයේ ජීවත්ව ඉන්නවා. පුදුමය කියන්නේ මට හරිම ආස්වාදජනකයි.
එතුමියගේ දුව අද කොළඹ විශ්වවිද්‍යාලයේ මගේ ශිෂ්‍යාවක්.
ඒ ගුරුතුමිය ගල්කූර අතින් අල්ලලා, ගල්ලෑල්ලෙ ලියන හැටි මට කියා දුන්නා.
පොත්පත් ගෙනැල්ලා දුන්නා. ඊළඟට එච්.බී. පැන්සල, හැබැයි පාසලට එන්න
ප්‍රථම අම්මත් මට ඒ විධියටම ලියන්න පුරුදු කළා. මං අද කොළඹ
විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වුණත් මගෙ හැබෑ මහාචාර්යවරිය මගේ අම්මා.
අපේ අම්මා මට සිංහල අක්ෂර මාලාව කියා දුන්නා. මේ ලෝකෙ ලස්සනම අකුරු
තියෙන්නෙ අපේ භාෂාවෙ. ඒවා අලංකාරව ලියන්න පුරුදු වෙන්න කියලයි ඇය කිවේ.
අම්මගෙ ශාස්ත්‍රීය ඥානය මා හිතන්නෙ මගේ ගමනට යම්බඳු පිටුබලයක් වුණා. ඇය
අපේ පස්සෙන්ම හිටපු නිසා පළමුවැනි ශ්‍රේණියෙ ඉඳන් පස්වැන්න දක්වාම මං
පන්ති නායක. ගුරුවරුත් වැඩට දක්ෂ නිසා අපට ආදරෙයි. ඒ නිසාම ශිෂ්‍යත්ව
විභාගෙන් පාස්වෙලා අපේ ගමෙන් තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයට ගිය
දෙවැනියා වුණෙත් මමයි.
අපේ අම්මට වත්තෙ එළවළු කොටුවක් තිබුණා. ඒකෙ තිබෙන නැවුම් එළවළු තමයි ඇය
අපට කන්න දුන්නෙ. බටු, වට්ටක්කා, වම්බටු, පතෝල, කරවිල අම්මා වැව්වා
මතකයි. තෙලිජ්ජවිල ඉස්කෝලෙට යනවිට පාරෙ කිලෝමීටර දෙකක් පමණ දුර ගිහින්
බස් දෙකකින් විදුහලට යන්න ඕනෑ. ඒ නිසා 7.30 ට එතැන ඉන්න උදේ 5.30 ට
ගෙදරින් පිටත්වෙන්න ඕනෑ. ඒනිසා මගේ අහිංසක අම්මා උදේ 4 ට විතර අවදිවෙලා
එළවළු හතරක් එක්ක බතක් හදලා කන්ඩ දීලයි මා පිටත් කරවන්නේ.
පුතේ, උදේට රජෙක් වගේ කන්ඩ ඕනෑ. හොඳට කාපන්. පාඩම් වැඩ ටික හොඳට කරගන්ඩ
ඕනෑ. එහෙම කියන අම්මා හුළුඅත්තක් දල්වල මගේ අතට දීලා පිටත් කරවනවා. ඒ
වෙලාවටත් කළුවරයි. ඒ බත් ගෙඩිය බඩට වැටුණාම සවස 3 – 4 වෙනකම් බඩගින්නක්
දැනෙන්නෙම නෑ.
අපේ අම්මලා තමයි එදා ගමේ හිටපු හොඳම වෛද්‍යවරු. පාරම්පරික ඥානයෙන්
පොහොසත් අපෙ අම්මා ගිනි ගහන අව්වෙ දඟලලා සෙල්ලම් කරලා ආ ගමන් අපට නාන්ඩ
ඉඩ දෙන්නෙ නෑ. ටික වේලාවක් ඇඟ නිවෙන්න ඉන්න. ඇය ඒ වෙලාවට කියනවා. රත්කළ
යකඩයකට එක පාරට වතුර ඉස්සොත් මොකද වෙන්නෙ?. ඒ වගේ ශරීරය ගිනි ගහන රස්නය
තිබෙද්දී නාන්ඩ එපා ඇය කියනවා.
අපේ බත් වේලට අම්මා නොවරදවාම මුගුණු-වැන්න එකතු කරලා මැල්ලුමක් හදනවා.
ඇයටත් අපටත් තවමත් හොඳට ඇස් පෙනෙන්නෙ ඒකයි. බණ්ඩක්කා මාළුවත් වරදින්නෙම
නැති තරම්. ඒවා අම්මගෙ එළවළු කොටුවෙන් බත් මේසෙට එන්නෙ.
හැම තිස්සෙම අපේ කුස්සියෙ මුල්ලෙ වැලි කොස් ඇට 10,000 ක් වත් තිබුණා. ඒ
වගේම දෙල් හා කොස් අටු කොස් ඕනෑ තරම් දරුවන්ට තිබුණා. අපට පාන් බනිස්
කන්ඩ දුන්නෙම නෑ. ආසාවට ඉඳ හිටලා පාන් පෙත්තක් හවසට දෙන අවස්ථා තිබුණා.
ඇගෙ මිටිහාල් මුට්ටිය හරිම විශාලයි. උයන්ඩ ගන්න වෙලාවට මිටට අරගෙන
ඉතිරි කරපු හාල්වලින් හදපු ඒ මුට්ටියෙන් දවස් හතකට වුණත් බත් උයන්ඩ
පුළුවන්. අපට තුන් වේලට කන්න දුන්නෙ රතු කැකැළු නිවුඩු හාලේ බත්. පේර,
ගස්ලබු, වැල් දොඩම්, වෙරළු මේ වගේ පලතුරු ජාතිත් අපට ලැබුණා. ඒවත්
අම්මා වත්තේ වැවු දේවල්. ඒ නිසා අපට මතක ඇති කාලෙක ඉහෙන් බහින රෝගයක්
හැදුණෙ නෑ. අපෙ තාත්තාට ස්වභාවික මරණය (89) වන විය සිද්ධවෙනතුරු ඇය
සිලින්ජරයකින් ලේ ටිකක් පරීක්ෂාවකට ගන්ඩ ලෙඩක් හැදෙන්නටත් ඉඩ තිබ්බේ
නෑ.
අපේ ගමේ රාත්‍රියට බෙර හඬක් නෑසුණු දවසක් නැති තරම්. මිනිස්සු
තොවිල්පලවල් ආදිය ඒ ගෙවල්වල කරනවා. යකුන්, ප්‍රේතයන් ගැන කියනවා. ඒත්
අපේ අම්මගෙ ශබ්දකෝෂෙ දෙවියන්, ප්‍රේතයන්, යකුන් නෑ. ඇය ඇදහුවේ බුදුන්
විතරයි. නැකැත්කරුවන් පස්සෙ ගියෙත් නෑ. ඇය භෞතික දේ විශ්වාස කළා. අධි
භෞතික දේ විශ්වාස කළේ නෑ. ඌරුමුත්ත එළමල්දෙණිය වෙසක් කාලෙට පෙරහර ආදියට
එක්කරගෙන ගියානම් ඒ අපේ සංස්කෘතිය ගැන තේරුම් ගන්න. දරුවන්ට කියා දෙන්න
පමණයි.
ඇය ලෝවැඩ සඟරාවේ ගාථා, නරසීහ ගාථා නිතර කියනවා. හැබැයි! පන්සල් ගියත්
සතර පෝයට ගමට පෙනෙන්නට සිල් ගන්නා කාන්තාවක් නොවේ. ගෙදර දරුවන්
කැඳවාගෙන උදේ හවස බුදුන් වඳිනවා. ගෙදර පහන වුණත් රාත්‍රියට පත්තු
කරන්නෙ විශේෂ දවසකට. ඒ ලොකු පැට්‍රල් මැක්ස් එකක් හැමදාම අපට පත්තු
කරන්න බෑ. එක දවසකට ඒකෙන් පිච්චෙන භූමිතෙල්වලින් සතියක් කුඩා කුප්පි
ලාම්පු දල්වන්න පුළුවන් බව අම්මා කල්පනා කළා. ඇත්තටම අම්මා නිරර්ථක
වියදම් දරුවෙ නෑ. එතුමිය හොඳ මැනේජර් කෙනෙක්. කළමනාකරණය ඉතාම හොඳින්
දැන සිටියා. අරපරෙස්සම ගැන නිතර කීවා. ඇය ගෙදරට ආ කෙනෙකුට නොසලකා
හිටියෙ නෑ. බුලත් විටක් තේ වතුර ටිකක් නොදුන්නොත් අම්මගෙ හිතට හරි මදි.
ඒත් ඇය ගමේ ගෙවල් ගානේ ආශ්‍රයට නම් ගියේ නෑ. ගමේ මිනිස්සුත් ඇයට
ආදරෙයි. කවුරුත් ඇය ඇමතුවේ කැකුණවෙල හාමිනේ නමින්. අපෙ තාත්තා ගමේ
සමිතිවල හිටිය බව කීවනෙ. 1970 මැතිවරණයේ දී එජාපයෙන් ඉල්ලූ වී.පී.ඒ.
අබේසිංහ මහත්මයාගේ පක්ෂ කාර්යලය වුණෙ අපෙ ගෙදර. එයාගේ පෝස්ටර් ගෙදර
පිරිලා තිබුණා. ඒ අයටත් කන්ඩ බොන්ඩ දුන්නෙ අම්මා.
මේවා දැකලා මාත් අපේ ගෙදරට උඩහින් තිබෙන තරමක කඳුවැටියට නැඟලා පොල්කටු
මයික්‍රෆෝන හදාගෙන එනවුස් කරනවා. මේවා බලලා අම්මා මාව හුරතල් කරලා
ආස්වාදයක් ලැබුවා.
අපෙ මිදුලට කෙළින්ම පෙනෙන්නෙ ගමේ පන්සල. ඒ චෛත්‍යය. මට නිතරම හිතුණා.
පොඩි හාමුදුරුවරු ඉන්න සැහැල්ලුකම ගැන ගෙදර හිටියාට අපට අනවශ්‍ය බරක්
තිබුණෙත් නෑ. ඒත් ඒ පොඩි හාමුදුරුවරු විභාග පාස් කරලා ඉහළට යනකොට මටත්
හිතුණා. ඒ සැහැල්ලු ගමන යන්න. මං මහණ වෙන්න හිතුවා. ඒත් අම්මයි තාත්තයි
දෙන්නම ඒකට මනාප වුණේ නම් නෑ. මං හිතුවක්කාරව ඒ තීරණය ගන්න යනකොට
ඥාතීන් පවා විරුද්ධ වුණා. අම්මා තාත්තට මා ගැන ලොකු අපේක්ෂා තිබුණා.
මාව වෛද්‍යවරයෙක් කරන්ඩ. ඉංජිනේරුවෙක් කරන්න. ඒ අය හිතුවෙ, මේ විරෝධතාව
නිසා ගමේ පන්සලේ පැවිදි වෙන්ඩ බැරි බව මා තේරුම් ගත්තා. ඒ වන විටත් මා
සිළුමිණ, බුදුසරණ, කවි පුවත්පත්වලට කුඩා ලිපි ආදිය ලියනවා. මට එතකොට
අවුරුදු 16 ක් විතර ඇති.
මං සල්ලි දීලා රිවිරැස පත්තරේ පුංචි දැන්වීමක් දැම්මා. ඒකත් අම්මා
ඉස්කොලෙ යන්න දෙන්න සල්ලි ඉතිරි කරගත් මුදලින්. ගම්බද විහාරස්ථානයක
පැවිදිවීමට කැමැතියි. උසස් ගුරුවරයෙක් යටතේ ඒ අවස්ථාව ලැබෙනවා නම්
හොඳයි කියලා. ලියුම් 30 ක් විතර ආවා. ඒ අතර එක හිමිනමක් මා සොයාගෙන අපේ
ගමටත් ගෙදරටත් වැඩියා. මාපලගම අමර හිමිපාණෝ ඒ හාමුදුරුවො. ගෙදරටම
වැඩියත් කවුරුවත් හේතුව දැනගෙන හුන්නේ නෑ. ඒත් හාමුදුරුවො කියපු ආකාරයට
කළුබෝවිටියන රුවන්කන්ද රජ මහා විහාරයට පැවිදිවෙන්ඩ යන අතරේ දී මං අම්මට
තාත්තාට මේ ගැන කීවා.
මගේ හිතුවක්කාර තීරණය ගැන අම්මා කලබල වුණා. ඇය එතැන් පටන් මා යනතුරු
වහන්වෙලා හිටියෙ. මගේ හැඩි දැඩි ශක්තිමත් තාත්තා මුල්වරට අඬනවා දැක්කෙ
මං එදා. හැබැයි! එදාට පස්සෙ තාත්තා හැඬුවෙත් නෑ. සති දෙකකට විතර පස්සෙ
කළුබෝවිටියන රුවන්කන්ද රජ මහා විහාරය දෙහිගස්පෙ සුමනසාර ලොකු
හාමුදුරුවන් යටතේ මා පැවිදි වුණා. එදා අම්මයි තාත්තයි පවුලෙ හැමෝම ආවා.
මං අම්මට තාත්තාට වැඳලා මගේ ගිහිනම සිරිල් කියන එකට සිරි කෑල්ල අරන්
සුමන යන නම එකතුකරලා අගලකඩ සිරිසුමන නමින් නම්වර ගත්තා. ඊට පස්සෙ
අම්මත් තාත්තාත් මට වැන්දා. එදා තමයි මා හරිම සංවේදී වුණේ. අම්මා
තාත්තාව සංසාරෙන් එගොඩ කරන්න මං පැවිදි ජීවිතය හරියටම රකිනවා කියලා
හිතා ගත්තා. ඊළඟට මං ගාල්ල බද්දේගම ඉන්දසර පිරිවෙනට ගිහින් ඉගෙනගත්තා.
කොහොම හරි කොළඹ විශ්වවිද්‍යාලයටත් ආවා. ඊළඟට තාත්තාට ලිපියක් ලීවා.
තාත්තේ මං අවශ්‍ය තැනට ආවා. දැන් ඕනෑනම් ගෙදර එන්නම් කියලා නිකමට
ලියුමක් යැව්වා. තාත්තා පන්සලට නොයෙක්වර ඇවිත් ගියත් කවරදාවත් ඒ ලියුම
ගැනවත් ඊට පිළිතුරක්වත් කතා කළේ නෑ.
උර්සුලා බයර් නම් විදේශීය මැතිනිය රුපියල් කෝටි 1 1/2 ක් වියදම් කරලා
මට ලුනාවෙ පන්සල හදලා දුන්නෙ. ඒකෙ තමයි අද මා ඉන්නෙ. ඒ පන්සලේ
ශ්‍රවණාගාරය විවෘත කළේ මගේ අම්මා. අදත් අම්මගෙ ලෙඩ දුක බලන්න මාත් දායක
වෙනවා. අප කවරදාවත් වැරැදි වැඩ කළේ නෑ. විනයගරුකව හැදුණා. අපේ ගෙට
උඩින් තිබුණ මාළු වළේ මාළු බාන්න පිට ගම්වලින් අන්‍ය ආගමික මිනිස්සු
ආවත්, ඒ මාළු බාන්න අපට ඉඩක් දුන්නෙ නෑ. හොරකම, වංචාව, මිථ්‍යාදෘෂ්ටිය,
මේ හැම දේකින්ම අප වැළැකුවේ අම්මා. කුමාරතුංග මහත්මයාගෙ ‘පිය සමර’
ග්‍රන්ථයේ පුංචි කාලෙ අඹ ගසකින් අඹ ගෙඩියක් කඩාගෙන ආපු කුමාරතුංගයන් ඒ
ගැන අම්මට කිව්වා. අම්මා ඒක තාත්තාට කිව්වා. තාත්තා ඔහුට පහර දෙකක්
ගහලා ඒ අයිතිකාර මනුස්සයගෙ වත්තටම ගෙන ගිහින් අඹ ගෙඩිය බාරදෙන්ඩ
කිව්වා.
ඒ වගේ ලජ්ජා බයට, හොරකම් නොකරන වියන ගරුක දරුවන් හැටියට අපව හදන්ට
අම්මා මුල් වුණා. ඒ හැටියෙන් බැලුවත් මගේ ජීවිත ආචාර්යවරියත් අම්මා. මං
ආයිත් කියනවා මොන මහාචාර්යවරුන් යටතේ මා ශිල්ප හැදෑරුවත් මං කොළඹ
විශ්ව-විද්‍යාලයේ මහාචාර්ය වුණත් මගේ හැබෑම මහාචාර්යවරිය මගේ අම්මා.
ලියන්නේ උපාලි සමරසිංහ |