සංසුන් වූ සිත
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක ආචාර්්‍ය
මිරිස්සේ ධම්මික හිමි
පැවිදි උතුමෙක් නම් විශේෂයෙන් ම සීලය පිළිබඳව එනම් හික්මීම පිළිබඳව නම්
වූ ඒ සංවර බව හැබෑවට ම අවශ්‍යයයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ, එනම්
අපැහැදුණු අයගේ පැහැදීම පිණිසත් පැහැදුණු අයගේ වැඩි පැහැදීම පිණිසත්
පැවිදි ජීවිතය පවත්වාගත යුතු බවය. සීලය වගේ ම ආචාර සම්පන්න ගෝචරවීමත්,
හික්මීම, හැදුණුකම, විනය, සංවර බවයි මින් අදහස් කළේ.
පැවිද්දෙක් වුවත් ධර්මය හා විනය පිළිබඳව මොන දැනුමක් තිබුණත් තම කායික
හා වාචසික සංවරය පිළිබඳව අවධියෙන් නොසිටින්නේ නම් එම පැවිද්දාගේ පැවිදි
බවෙහි හීන බවක්, අඩුවක් දකින්නට තියෙනවා. ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ
පැහැදිලි කළේ අපැහැදුණු අයගේ පැහැදීම පිණිසත් පැහැදුණු අයගේ වැඩි
පැහැදීම පිණිසත් කටයුතු කළ යුතු බවට,
මෙහි දී විශේෂයෙන් ම තමා කෙරෙහි පැහැදීමම නොවේ භික්ෂුවක් නම් බුද්ධ
ශාසනයෙහි පැහැදීම පිණිසත්, ගෘහස්ත ජීවිත ගත කරන අයට බුදුසසුනේ පැහැදීම
පිණිස, බුදු සසුනෙහි වැඩ වසන හැම පැවිද්දන් විසින් ම හැසිරීම සකස්කොට
ගත යුතුබවයි.එපමණක් නොවෙයි භාග්‍යවතුන් වහන්සේ විසින් මේ හික්මීම ගැන
සඳහන් කරන විට සේඛියා නමින් ශික්ෂා පද 75ක් පෙන්වා දී තිබෙනවා. ගමන්
කිරීම, සිවුරු පෙරවීම, ආහාර පාන වැළදීම ආදී වශයෙන් මේවා දක්වා තිබෙනවා.
ආහාරපාන ගැනීමේ දී පවා පිටතට ඇසෙන සේ තලු මරමින් ආහාර නොගැනීමත්,
අත්ලෙහි ආහාර තවරා නොගැනීමත්, අමනාප දෑසින් අන් අයගේ පාත්‍රය හෝ පිඟාන
දෙස නොබැලීමත් ආදී වශයෙන් සුපසන් වූ හික්මීමක්, හැඳියාවක් මේ සේඛියා
නම් වූ ශික්ෂා පදවල අප භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදී තිබෙනවා.
මෙම සිරිත් විරිත් අනුගමනය කරන භික්ෂුව හෝ භික්ෂුණිය මොනතරම් ශාන්තගති
ඇවතුම් පැවතුම් ඇති උතුමෙක් දැයි බලා සිටින, දකින ඕනෑම අයෙකුට සිතෙනවා
ඇති. එවැනි සිරිත් විරිත් අනුගමනය කරන භික්ෂුවකට හෝ භික්ෂුණියකට තමාගේ
ඒ හික්මුණු ඇවතුම් පැවතුම් නිසා මනස ව්‍යාකූලත්වයට පත් නොකට ගෙන
සංසිදුණු මනසින්, සමාධිය දියුණු කරගෙන පැවිදි මගෙහි අරමුණු අමතක නොකට,
නිවන් මඟ වෙනුවෙන් පිළිවෙත් මඟ පුරන්නට මනා වූ අවස්ථාවක් සැකසෙනවාමයි.
මෙහි අනික් පැත්ත මොහොතක් කල්පනා කර බලන්න, ගමන බිමනෙහි දී, ආහාරපාන
ගැනීමේ දී ආදී වශයෙන් අසංවර නොහික්මුණු පිළිවෙත් ක්‍රමයක් අනුගමනය
කළොත් එම පුද්ගලයාගේ ම මනැස හොඳ නරක තේරුම් ගැනීමට තරම්වත් සිහියක්
පවත්වා නොගත හැකි බව පැහැදිලියි.ගෘහස්ථ ජීවිතයක් ගත කරන පිරිසකට වූවත්
පැවිදි උතුමන් අරමුණු කරගෙන පෙන්වා දුන්නු මේ ශික්ෂා මාර්ගය හා සිරිත්
විරිත් මොනතරම් වටිනවා දැයි නුවණින් මෙනෙහි කරන්න. එය වඩාත් පැහැදිලි
වන්නේ මෙවැනි අවස්ථා පවුල් පරිසරවලත් මතුවන විටයි.
නිදසුනක් මේ වගේ, නුඹ දරුවන් ලැබුවාට අම්මා කෙනෙකුට ගැළපෙන චරිතයක්
නුඹට නැහැ. නුඹට දාව දරුවන් සිටියාට පිය කෙනෙකුට තිබිය යුතු වටිනා
චරිතයක් නුඹට නැහැ. මේ නිසා නුඹලා ප්‍රශංසා ලැබිය යුතු තැනක නොසිටිනවා
සේම ගරුකළ යුතු තැනකත් නුඹලා සිටින්නෙ නැහැ. නුඹලා නුඹලාගේ පැවැත්මට
නිගාවකි.ස්වාමි දියණියක් ස්වාමි පුත්‍රයෙක් අතර මනා වූ හික්මීම මනා වූ
හැඳුණුකම, විනය, ශික්ෂණය තිබුණේ නැති වුණොත්, මෙවැනි අදහස් පෙළක්
ඔවුනොවුන්ගෙන් මතු වෙන්නට පුළුවනි. එනම් නුඹ වගේ කෙනෙක් මට මුණ
ගැහැන්නේ හෝ මා සමඟ එකතු වුණේ මගේ ම පූර්වෙ කරුමයකට යැයි ඔවුනොවුන්ගේ ම
වදන්වලින් ම පැවසෙන්නට පුළුවනි. එහි යථාර්ථය විමසා බැලුවොත් පැහැදිලි
වන්නේ හික්මීමේ හැඳියාවේ, විනයෙහි ගැටලුවක් නිසාම බවයි. කායික, වාචසික,
අසංවර බව දුර්ලභව ලැබූ මේ මනුෂ්‍ය ජීවිතය මොනතරම් අප්‍රසන්න ස්වභාවයකට
පත් කරනවා දැයි ඉන් පැහැදිලියි.භාග්‍යවතුන් වහන්සේ මේ හික්මීම පිළිබඳව
මනා කොට නැවතත් දේශනා කරනවා. කුඩා අණු කුඩා වරදෙහි පවා බිය දක්නා සුළු
ස්වභාවයෙන් යුක්තව හික්මීම පිළිබඳ, එනම් ශීලය පිළිබඳව අවධියෙන්
සිටින්නට කියාය. කුඩා වරදක් යැයි නොසලකා හැරියොත්, මේ සිත එය වැඩෙන්නට
ඉඩ දී මහත් වූ වරදක් පවා කරන්නට පෙළඹෙනවා නො අනුමානයි.එම නිසා සතර
සතිපට්ඨානයෙහි පෙන්වා දෙන මූලික අවස්ථාවෙහිවත් සලකා ගමන් කිරීම, සිටගෙන
සිටීම, වාඩිවීම, නිදන ඉරියව්ව යන මේ සතර ඉරියව්වේ දී ම හැකිතාක් දුරට
සිහිය පිහිටුවාගෙන ම කටයුතු කිරීම අවශ්‍යයයි. එවිට ස්වල්ප වූ වරදක්වත්,
හැකිතාක්දුරට තමන්ගෙන් වීමට ඇති අවස්ථාව වළකාගෙන යහපත් වූ මනුෂ්‍යයෙක්
ලෙස කටයුතු කළ හැකිමයි.අපේ මේ සිත ඉතාම ප්‍රබලයි. බලවත්,
ශක්තිසම්පන්නයි. ඒ වගේ ම උපතේ දී ඉතාමත් ප්‍රභාෂ්වරයි. එවන් වූ සිත
අනවබෝධයන් හා නොහික්මීමෙන් කටයුතු කිරීම නිසා රාග, ද්වේෂ, මෝහ ආදී
කෙලෙස්වලින් කෙලෙස් බරිත බවට පත් වී ඉතාම අප්‍රසන්න සිතක් බවට පත්වීමත්
ඒ කිලිටි සිතෙන් සිතීම කතා කිරීම, හැසිරීම නිසා අභාග්‍ය සම්පන්න වූ
පුද්ගලයෙක් බවට පත් වී තිබෙනවා. මේ නිසා පරික්ෂාකාරී නුවණින් යුක්තව
හෙවත් සතිසම්පජඤ්ඤයෙන් යුක්තව කටයුතු කිරීමට අපේ මේ ප්‍රභල වූ දක්ෂ වූ
සිත පුරුදු කිරීමෙන් නිතරම කුඩා, අණු කුඩා, පාපයෙන්, වරදින්,
අකුසලයෙන්, වැළකීමේ දක්ෂ වූ අයෙක් ලෙස කුසල් මාර්ගයට නිවැරැදි දේම හරි
දේ ම කිරීමට තරම් සිහිය පවත්වාගත හැකියි. යම් අයෙකුට වරද වරද හැටියට
දැකීමට තරම් දැනුම තියෙනවා. හොඳ හොඳ හැටියට දැකීමට තරම් මනසේ හැකියාවක්
පවතිනවා. නමුත් සිතෙහි ඇති නොහික්මීම නිසා දැන දැනත් වරදට පෙළඹීමත්,
පාපයට හසුවීමත් කුසලයෙන් බැහැරවීමත් සිදුවෙනවා.
මේ ලෝකයේ වැරැදි කළ වැරැදි කරන බොහෝ අයෙක් ඒවා කරන්නේ එය වරදක් බව
දැනගෙනමයි. ඒ වරදින් සිදුවන්නට පුළුවන් අලාභය, හානිය, මෙලොව හා පරලොව
වශයෙන් බරපතල විය හැකි බවත් දැන දැනමයි. එය එසේ වන්නේ කුමක් නිසාද?
මනැසේ ඇති නොහික්මීම නිසාය.
’චිත්තං ධන්තං සුඛා වහං’ සිතේ හි ඇති කරගන්නා වූ ශාන්ත බව, දමනය,
සැපගෙන දෙන බව පෙන්වා දුන්නේ අන්න ඒ නිසයි. සතිච්ච මනුරඛත’ මේ සිත
මනාකොට ආරක්ෂා කර ගන්න යැයි, එනම් හික්මවා ගන්න යැයි දහමේ පෙන්වා
දෙන්නේ මේ නිසයි.
හික්මවන ලද හික්මවාගත් සිතක් ඇති වුණාම කුසල් අකුසල් හරි වැරැද්ද, පාපය
පින දැන ඒ වගේ ම කුසලය හරි දේ පින මනාව තේරුම් අරගෙන කටයුතු කරනවා වගේ
ම ගෝචර සම්පජඤ්ඤය දහමේ පෙන්වා දෙන එනම් ඉරියව් පවත්වන හැම වෙලාවකම
සම්මත ලෝකයේ මම මගේ කියා මොන ඉරියව්ව පැවැත්වූවත්, පරමාර්ථ වශයෙන් හෝ
විදර්ශනාවට අනුව බැලුවහම මේ සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ
ත්‍රිලක්ෂණ ධර්මයට යටත් බවට මේ සිත්වලට ටික ටිකවත් අවබෝධ වේවි.මේ ශරීරය
මොනතරම් මම මගේ කියා පැවැත්වූවත් තමාට අයිතියක් නැති බවත් තමා වසඟයේ
නොපවතින බව ඉතාම පැහැදිලියි. මෙන්න මේ සත්‍ය තේරුම් ගැනීමට තරම් සිතට
ශක්තියක් අවශ්‍යයයි. එවිටයි මේ සිත හික්මෙන්නෙ,සංසුන්වෙන්නෙ.
- දීපා පෙරේරා
|