Print this Article


බුදු දහමයි ගිහි දිවියයි 15 ගෘහස්ථයාගේ ‍ජීවන රටාව

බුදු දහමයි ගිහි දිවියයි 15

ගෘහස්ථයාගේ ‍ජීවන රටාව

බුදුදහම පෙන්වන මෙකී ආර්ථික න්‍යාය පවුල් සංස්ථාව තුළ ඉතා ක්‍රමානුකූලව සිදුකිරීම මගින් එහි යාවත්කාලීන සංවර්ධනීය ස්වරූපයට හදුනාගත හැකි වේ. විවිධ සාමාජීය යුතුකම් නොපිරිහෙලා ඉටුකිරීම මගින් සුහද වටපිටාවක් ධාර්මික පරිසරයක් සලසා ගැනීමට ඉන් හැකියාව ඇත. ලෞකිකත්වය භුක්ති විඳිනු ලැබුව ද ඊට ගිජු නොවී සම්පන්තීන්හි මුසපත්මක් නොකොට ආදීනව හදුනාගෙන කටයුතු කිරීමට බුදුසමය අවධාරණය කෙරේ. සංයුක්ත නිකායේ රාසිය සූත්‍රයේ දැක්වෙන ‘භෝගා අගඨිතො, අමුච්ඡිතෝ, අනජ්ඣාපන්නෝ, ආදීනව දස්සාවී , නිස්සරණ පඤ්ඤෝ පරිභුඤ්ජති” යනුවෙන් දක්වා ඇත්තේ එයයි.

උපයන ලද ධනය විනාශ නොවී නොපිරිහී පවත්වාගෙන යෑම සඳහා අංගුත්තර නිකායේ කුල සූත්‍රයේ සදහන් ක්‍රමවේදය ඉතා සාර්ථක වූ දේශනාවකි. “යානි කානිච භික්ඛවේ කුලානි භෝගේසු මහන්තං පත්තානි නං චිරට්ඨිතිකානි භවන්ති සබ්බානි තානි චතුභිඨ්‍යානේහි ඒතේසං වා අඤ්ඤතරේන , මෙසේ දැක්වෙන්නේ පවුලක දියුණුව සම්බන්ධයෙන් දේශනා කර ඇති වැදගත් දේශනාවකි. ඒ කරුණු සතර අතුරින් එකක් හෝ තිබේ නම් පිරිහීම සිදුවන බව එහි කියවේ.

1. නට්ඨංත ගවේස්සන්ති – නැසුණු දේ නැවත උපයා නොතිබීම මෙහි අදහසයි. යම් සම්පතක් විනාශ වුවහොත් එය නැවත උපයා සකසා තැබිය යුතුය.එසේ නොකරන පවුලේ ධනය විනාශ වේ. 2.ජින්නං න පටිසංකරොත්ති – දිරාපත්වන දේ නැවත ප්‍රතිසංස්කරණය නොකරනු ලබන පවුලේ ධනය පිරිහීමට පත්වේ. දිරන දෙය ප්‍රතිසංස්කරණය කිරීමේ මානසික තත්ත්වය දැන් සමාජයෙන් ගිලීහි යමින් පවතී. එබැවින් ආදායමට වඩා වියදම වැඩිවීමත් පෝෂණය කළ නොහැකි ජීවිතයත් පවුල් අවුල් වීමට හේතුවන බව නොරහසකි. එබැවින් ඉක්මනින් අලුත්වැඩියා කළ යුතු තත්ත්වයේ භාණ්ඩ නිෂ්පාදනයෙහි නියුක්තව ඇති සැටි අද යුගයේ දක්නට ලැබේ’. මෙයින් අපේක්ෂා කරන්නේ අඛණ්ඩ අලෙවි තත්ත්වයක් පවත්වා ගෙන යෑමයි.මේ නිසා අමුද්‍රව්‍ය ප්‍රමාණයක් අපතේ යෑම නොවැළැක්විය හැකිය. 3.අපරිමිත පාන භෝජන, හොන්ති–ආහාර පාන ආදින්ගේ සීමා විරහිත ලෙස භුක්ති විඳීම පවුලක විනාශය පිණිස හේතු වේ. 4. දුස්සීලං ඉත්ථිං වා පුරිසං වා අධිපව්වේ ඨපේති – පවුලක ධනය විනාශ වීමට මූලිකම හේතුවක් වශයෙන් මෙය සැලකිය හැකිය. දුශ්ශීල ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් පවුලේ මුලිකයා වශයෙන් තැබීම මගින් ධ්‍රර්ත ක්‍රියාවනට යොමු වී ධනය පිරිහීමට පත්වෙයි. මේ දොස් සතරෙන් තොර පවුල පිරිහීමට නොයයි. මේ අනුව ධනෝපායනත් ධන පරිභෝජනයත් පිළිබද බෞද්ධ ආකල්පය හඳුනාගත යුතුය. ආර්ය ශ්‍රාවක ගෘහස්ථයෙකුගේ ආර්ථික ජීවන රටාව මෙයයි. මේ කරුණු අනුසාරයෙන් නිරවුල් ජීවන ආකල්පයක් ගොඩනගා ගැනීමත් මේ මගින් ලබාගන්නා අවබෝධය මත නිවන් මගට පිවිසීමත් බෞද්ධයාගේ අධිෂ්ඨානය විය යුතුය.

දෙමාපියන්

දරුවන් ලත් අඹුසැමියන් මව්පියෝ නම් වෙති. දරුවන් ඇති බව ඔවුනට මහත් සතුටකි. එමෙන්ම සැපතකි. ඇතැම්විට දරුවන් නොමනා ආකාරයෙන් ජීවත් වන්නේ නම් එයද ඔවුනට මහත් දුක් පිණිස පවතී. දරුවන් නිසි පරිදි තනා සමාජ ගත කරන්නේ දෙමාපියන්ය. ගුණ දහම් උගන්වා පාප මිත්‍ර සේවනයෙන් මුදවා කල්‍යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයට පමුණුවා සිප්සතර උගන්වා නියමාකාර දරුවෙකු තැනුවහොත් ඒ දරුවා යහපත් දරුවෙක් වේ. දෙමාපියෝ ද යහපත් වේ. සමහර දෙමාපියෝ බොරුවෙන් වංචාවෙන් සටකපටකමෙන් මිනිසුන් රවටා විවිධ සමාජ අසම්මත ක්‍රියාකාරකම්වල නියැළෙමින් කටයුතු කරයි. මෙමගින් සිය පවුල ද දරුවන් ද විනාශ වේ. එපමණක් නොව එය ලෝකයටත් ඉතා අශුභදායි වේ.

තම ලෙයින් උපන් දරුවන් යහපත් අය වීමට නම් තමන් විසින් ඉටුකළ යුතු යුතුකම් මව්පියන් දැනගෙන ඒවා මනාව ඉටුකර ගත යුතුය. සිඟාලෝවාද සූත්‍රයේ දී දෙමාපියන් විසින් දරුවන්ට කළ යුතු යුතුකම් පසක් මෙසේ විස්තර කර ඇත. “පාපා නිවාරෙන්ති කල්‍යාණේ නිවෙසෙන්ති සිප්පං සික්ඛාපෙන්ති, පතිරූපෙන දාරෙන සංයෝජනේති, සමයේ දායජ්ජං නීයාදෙන්ති” යනුවෙන් වදාළ සේක. පාපයෙන් වළක්වාලීම, යහපත් දෙයෙහි යෙදවීම ශිල්ප, උගැන්වීම සුදුසු භාර්යාවක් හා යෙදවීමට, සුදුසු කල්හි දායාද පවරා දීම යන මේ පස දරුවන් සම්බන්ධයෙන් දෙමාපියන් කළ යුතු යුතුකම්ය.

අප මෙලොව උපදිනුයේ දින ගණනක්වත් ස්වශක්තියෙන් නැගී සිටීමටවත් නොහැකි ආකාරයෙනි මාපියන්ගේ උපකාරය නොලදහොත් මෙලොවින් චුත වීමට සිදුවේ. දරුවෙකු ස්වශක්තියෙන් නැගීසිටීම දක්වා මහා මෙහෙයක් සිදු කරනුයේ දෙමාපියන්ය.ඒ වෙනුවෙන් ඔවුන් දිවා රෑ නොබලා අපමණ වෙහෙසක් දරයි. මව තමාගේ ශරීරයේ ලේ ධාතුව කිරි බවට පෙරලා දරුවන් කෙරෙහි අප්‍රමාණ සෙනෙහසකින් කරුණාවකින් තමාගේ ශරීරයේ උණුසුමින් දරුවා උණුසුම් කරවන්නී ය. පිළිකුල් නොකොට සෙම් සොටු මළ මුත්‍රා ආදිය පහකොට පවිත්‍ර කරවන්නීය. මාපියෝ රෑ දිවා නිදි නොලබා දරුවන් රකින්නාය. මෙසේ දීර්ඝ කාලයක් පුරාවට මාපියන් දරුවන් කෙරෙහි අපමණ මෙහෙයක් කරමින් කටයුතු කරයි. එහෙයින් ඔවුන්ගේ ගුණ දක්වන්නා වූ බුදුරජාණන් වහන්සේ. “බ්‍රහ්මාති භික්ඛවේ මාතාපිතුන්නමේතං අධිවචනං පුබ්බපදේවානි භික්ඛවේ මාතාපිතුන්නං එතං අධිවඩනං පුබ්බචරියානි භික්ඛවේ. මාතාපිතුන්නමේතං අධිවචනං ආහුණෙය්‍යාති භික්ඛවේ මාතාපිතුන්නමේතං ආදිවචනං තං කිස්සහේතු? බහුපකාරා භික්ඛවේ මාතාපිතරෝ පුත්තානං, ආපාදකා, පෝසකා ඉමස්සලෝකස්ස දස්සේතාරෝ” යනුවෙන් වදාළ සේක. මෙහි “බ්‍රහ්මයා” යනු මව්පියන්ය. අූර්ව දේවයෝ, පූර්වාචර්යයෝය. යනු ඔවුනට නම්ය. ආහුණ්‍යෙයෝ යනු මාපියනට නම්ය. කුමක් හෙයින්ද යත්? මාපියෝ දරුවන්ට බොහෝ උපකාර ඇත්තේය. දරුවන්ගේ දිවි රකින්නෝය. කවා පොවා දරුවන් වැඩිදියුණු කරන්නෝය. දරුවනට මේ ලෝකය දක්වන්නෝ ය. යනු එහි සරලාර්ථයයි. මාපියන් සතු ප්‍රධාන ගුණාංග සතරක් පිළිබඳව බුදුරදුන් දේශනා කළ සේක. එනම් මෙත්තා ,කරුණා,මුදිතා, උපේක්ඛා, යනු එම ගුණ සතරයි. ඒවා සතර මහ බඹ විහරණ යනුවෙන් දැක්වේ. මහා බ්‍රහ්මයා සතු මේ ගුණ සිය දරුවන් කෙරෙහි අපමණ ආදරයකිනපසුවන මාපියන් සතුව පවතින උසස් ගුණ ධර්මයෝය. අනන්ත ගුණ ඇත්තා වූ ඔවුන් කෙරෙහි දරුවන් විසින් පිළිපැදිය යුතු සැටි.

“තස්මාහිතේ නමස්සය්‍යෙ
සක්කරෙය්‍යාථ පණ්ඩිතො
අන්නෙන අථ පානේන
වතේථන සයනේනච
උච්ඡාදනේන නඟාපනේන
පාදානං ධෝවනේනච”


බුදු දහමයි ගිහි දිවියයි 14 -ගෘහස්ථ ජීවිතයේ ධනය පරිහරණය