Print this Article


ධම්මික මෙහෙයවන ධම්ම සාකච්ඡා

ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේට නිවැරැදිවම ගෞරව දැක්වීම නම් ප්‍රතිපත්ති පූජාවෙන් උන්වහන්සේ පිදීමයි .එසේ වුවත් අද විවිධාකාරයේ ලෞකික විනෝදාස්වාදය මිශ්‍ර වුණූ ආමිස පූජාවෙන් බුදුරදුන් පිදීමට මුල් තැනක් ලබා දී ඇත. මේ ස්වභාවය ධර්මයට පටහැනි නොවේද?

බුදුරජාණන් වහන්සේට පූජා කිරීමේ ක්‍රම දෙකක් වෙයි. ඒ ප්‍රතිපත්ති පූජාව හා ආමිස පූජාවයි. මෙයින් 'ප්‍රතිපත්ති පූජාව' ප්‍රමුඛ වෙයි. ධම්මදායාද සූත්‍රයේ මේ කරුණ මැනවින් දේශිතයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවනට ආසන්න අවස්ථාවේ ධර්මාරාම භික්ෂුව ප්‍රතිපත්තියෙන් බුදුරදුන් පිදූ ආකාරය මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වෙයි. එය බුදුරජාණන් වහන්සේ මැනවින් අගය කළහ.

'ආමිස පුජාව' යනු මල් පහන් පූජා ආදියෙන් බුදුරදුන් පිදීමයි. බුදුරජාණන් වහන්සේ සඳහා කෙරෙන සියලු පූජා පෙරහර, තොරණ, වෙසක් කූඩු තැනීම පටන් ප්‍රතිමාකරණය, චෛත්‍යකරණය ආදි සියලු දෑ ආමිස පුජායි. මේ පූජා කිරීමේදි යම් පරිත්‍යාගයක්, ධනය යෙදවීමක් කෙරෙන්නේ නම් එය තෘෂ්ණාව අඩු කරලීමට හේතුවන කරුණක් වෙයි. වෙසක් පහනක් ඉදිකිරීමේදි පවා පිරිසුදු කාය , වාග් ,මනෝ චර්යාවලින් යුක්ත වෙයි. එයද භාවනාවකි. ඒ අනුව සිත තාවකාලික නිවැරැදි එකඟතාවයට ගෙනෙයි. සෑම ආමිස දානයක් තුළම ලෝභ,ද්වේෂ, අකුසල මූලයන් තදංඟ වශයෙන් යටපත් කර ගැනීමක් සිදුවෙයි.

'ප්‍රතිපත්ති පුජාව' යනු ත්‍රිලක්ෂණ භාවනාවෙන් යුක්තව සිටිමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාළ නිවන් මග වැඩීමයි. අද අදම, කෙලෙස් නැසීමට කටයුතු යෙදීමයි. මූලික පරමාර්ථ සාධනය කර ගැනීම පිණිස ධර්මයෙන් බුදුරජාණන් වහන්සේ හඳුනාගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදීමයි. නිර්වාණය සාක්ෂාත් කිරීමට බාධක වන ද්වේශය සපුරා නැති කිරීමට සීලයෙන් යුක්ත වීමයි. බ්‍රහ්මචරියාව පදනම් වු ජීවිතය ගොඩ නැඟීමයි. ඇලීමෙන් ගැටීමෙන් තොරව පාරමිතාමය වූ දානයේ යෙදීමයි. ශ්‍රද්ධාව පදනම්ව කටයුතු කිරීමයි. කිසිවෙක් මේ උතුම් වූ ප්‍රතිපත්ති පුජා ලඝු කොට නොසලකති.

ආමිස පූජාව කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා ඕනෑම වයසක කෙනෙකුට පිදිය හැකි පූජාවකි. ශ්‍රද්ධාවෙන් හා භක්තියෙන් මේ පූජාව කෙරෙයි. වෙසක් දිනට සෑම බෞද්ධ නිවසක යටත් පිරිසෙන් පොල්තෙල් පහනක්වත් අලුතින් දැල්වෙයි. තොරණ යනු දැනුම, ආශ්වාසය කුසලතා වර්ධනය ලබා දෙන උසස් නිර්මාණයකි. පෙරහර අපේ සම්ප්‍රදායික බුද්ධ වන්දනා ක්‍රමයකි. ඒ නිසා ආමිස පූජාවද ලඝු කොට නොසැලකිය යුතු වේ. සමාජයේ බෞද්ධ බව, ප්‍රදර්ශනය වනුයේ ආමිස පූජාවෙනි. වෙසක් දින දන්සැල් දීම ආදිය ඉතා උසස් චර්යායි. මර්සිලින් ජයකොඩි පියතුමා ප්‍රකාශ කළේ “වෙසඟේ දුගියා බත් කන දාය” යනුවෙනුයි.

ප්‍රතිපත්ති පූජාව කළ යුතු යැයි ප්‍රකාශ කරමින් ආමිස පූජා සියල්ල නැවැත්විය යුතුයයි කියන්නේ එක්තරා මූලධර්මවාදී පිරිසක් විය හැකියි. යමක් දීමට අකැමැති සමහරු ප්‍රතිපත්ති පූජාවම අගය කරමින් වංචනික ධර්මයන්ටය ද පත්වෙති. ද්වේශය හා ලෝභයට ප්‍රතිපත්ති ස්වභාවයෙන් පැමිණිය හැකියි. එබැවින් ආමිස පූජාව ධර්මයට පටහැනි යැයි ප්‍රකාශ කළ නොහැක.

2 ප්‍රශ්නය
තමන් රහත් යැයි ප්‍රතිඥා දෙන ගිහි පැවිදි ඇතැම් දෙනකු අද සමාජයේ ප්‍රචලිතයි. මෙය ඇත්තක්ද? ධර්මානුකූල පිළිතුරක් දෙන්න.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් වු සද්ධර්මයේ ස්වභාවය ස්වාක්ඛාතෝ භගවතො ධම්මෝ “යන පාඨයෙන් මැනවින් පැහැදිලියි.

ඒ අනුව ධර්මය සන්දිට්ඨික හෙවත් වඩන්නාට අදම විපාක ලබා දෙයි. අකාලික හෙවත් කාලයකට සීමා නොවේ එබැවින් ආQ්‍ය මාර්ගය වඩන, විදර්ශනා භාවනාවෙ නියුතුව, සප්ත විසුද්ධියට පත්ව නිර්වාණය සාක්ෂාත් කළ තැනැත්තන් හෙවත් රහතන් වහන්සේලා අද වැඩ සිටිය හැකියි. රහතුන් අද නැතැයි යමෙක් කියන්නේද එය ධර්ම විරෝධියි. කෙනෙකුට මම රහත් නොවෙමි යැයි කිය හැකිය. එහෙත් රහතුන් නැතැයි කිය නොහැකි වෙයි. මග හරි නම් අපේක්ෂිත නිෂ්ටාව වැරදිය නොහැකියි.

රහතුන් වහන්සේ තමන් රහත් යැයි ප්‍රකාශ නොකරති. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අරහත් බව, සම්බුද්ධ බව, කෙලෙස් නැසූ බව ප්‍රකාශ කළ බැවින් මම ද රහත් බව ප්‍රකාශ කරමින් පසුගිය දිනක ලංකාවේ ගිහි පින්වතකු ප්‍රකාශ කර තිබුණි.

බුදුරජාණන් වහන්සේ ධර්ම රාජ්‍යයේ අධිරාජ්‍යයයි. රජුට කළ කිය හැකි දෑ සාමාන්‍ය පුරුෂයාට කළ නොහැකියි. පෙර නොඇසූ විරු දහමක් දේශනා කළ බුදුරජාණන් වහන්සේ තමාගේ ස්වභාවය තමාම හඳුන්වා දිය යුතුව තිබුණා. නො එසේ නම් ශ්‍රාවකයෝ තම ශාස්තෘන් වහන්සේ කවුදැයි නොදැනගනිති. බුදුමග වඩන්නෝ අනුගාමිකයෝයි. ඔවුන්ගේ ස්වභාවය ඔවුන් වටහා ගත යුතු වෙයි. වර්තමානයේ සමහරු තම රහත් බව ප්‍රකාශ කරමින් ප්‍රසිද්ධිය ලබා ගැනීමට යැයි යම් ආන්දෝලානාත්මක දෑ සිදුකරති. අයෙක් තමාට විරුද්ධව තමාම ප්‍රචාරක වැඩ කරවමින් ප්‍රසිද්ධිය ලැබීම සඳහා එසේ සිදු කළ බව ප්‍රකාශ කරති. සත්‍ය නම් රහතන් වහන්සේ තම මවට වත් තමාගේ රහත් බව තබා තමා ඇයගේ පුතා බවවත් ප්‍රකාශ නොකිරීමයි.

අයෙක් උම්මන්තකව මම රහත්මි’යි ප්‍රකාශ කරති. අයෙක් ද්වේශාධිකව පරවම්භනය සඳහා මම රහත්මි”යි ප්‍රකාශ කරති. අයෙක් පොත පත දැනුම යම් ප්‍රමාණයකට ලබා අත්තුක්කංසනය සඳහා රහත්මි’යි ප්‍රකාශ කරති. මෙයින් මුලාව හෝ උම්මන්තකව හෝ රහත් බව ප්‍රකාශ කරන්නන් හැර අන්‍යයෝ සසර ගමන අවගාමි බවට පත් කර ගනිති. කෙසේ වුවද වර්තමානයේ රහතන් වහන්සේලා නැතැ’යි ප්‍රකාශ කිරීම මම රහත්මි’යි ප්‍රකාශ කිරීමට වඩා ධර්ම විරෝධි වෙයි.

3 ප්‍රශ්නය

අප විටෙක දිනකට හතර පස් වතාවක පන්සිල් සමාදම් වන්නෙමු. සීලය ආරක්ෂාව තිබියදී එසේ නැවත සමාදන් වීම අනවශ්‍යයි නේද?

ඔබ ඉතා හොඳ බෞද්ධයෙකු බව පෙනේ. එයට ප්‍රධාන හේතුව මූලික නිගමනයක් ගෙන එක් වරක් පමණක් පන්සිල් සමාදන්ව නැවත එය ඡේදනය වන තෙක් බලා නොසිට නැවත ද පන්සිල් සමාදන් වීමේ සම්ප්‍රදායික සම්මතය රැක ගෙන සිටීමයි. යමක් දුටු පමණින් නොවිමසා තීරණ නොගෙන විමසා තීරණ ගැනීමේ ගුණයද මේ ප්‍රශ්න කරුගෙන් පෙනේ.

පංච ශීලය ප්‍රඥප්තියක් පමණක් නොව භාවනාවකි. සිල් අතර චේතනා ශීල චෛතසික ශීල නම් විශේෂතා වෙයි. ඒ අනුව මේ විරති ශීලය භාවනාවට අරමුණූ වෙයි. සතුනට හිංසා නොකරමි, සතුන් නොමරමි යැයි නිතර නිතර ප්‍රකාශ කිරීම මෛත්‍රි භාවනාව ප්‍රකට කිරීමකි. අනික් සිල් පද පිළිබඳ ද එසේය. එම නිසා පංච ශීලය දවසට සියක් වරක් ගන්නේද අනවශ්‍ය වන්නක් නොවේ’. ඔබ බසයක හෝ දුම්රියක වාඩි වී යන විට පංච ශීලය අර්ථ සහිතව ආවර්ජනය කරමින් යන්නේ නම් ඉතා උසස් ප්‍රතිඵලයක් ලබා ගත හැකිවෙයි.

4 ප්‍රශ්නය

පුනරුප්පත්තිය පිළිබඳ පැරැණි හා වර්තමාන ප්‍රකාශ වල පෙර ‘ආත්මය ‘ ගැන කියයි එසේ නම් ආත්මයක් නැතැයි බුදුරජාණන් වහන්සේ කළ අනාත්මවාදි දේශනයට විසංවාදි නොවන්නේද ?

විමාන වත්ථූ, පේත වත්ථු, ධර්ම පදට්ඨ කථා ආදියේ පුනර්භවය පිළිබඳ සාධක ඇති අතර වර්තමානයේ ලොව බොහෝ පඬිවරු පුනර්ජන්මය ගැන පරික්ෂණ පවත්වා විවිධ ලේඛන සකසා ඇත්තාහ. එඩිගාකේසි මහතාගේ වර්තා ඉතා ප්‍රකටයි. මේ සියලු දැ දැන ගන්නා විට ඇති වන හැඟීම් නම් කෙනෙකුගේ මරණය සමග ආත්මය ඊළඟ ජන්මය ලබා ඇති බවයි. සුඛාවබෝධය පිණිසද මෙය ඉතා පහසුයි.

බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම සංස්ඛාර සම්බන්ධ මූලික ලක්ෂණය නම් ත්‍රිලක්ෂණයයි. එනම් අනිත්‍ය දුක්ඛ, අනාත්ම යන්නයි. එහි අනාත්මය යනු පංචස්කන්ධයේ කිසිවක් ‘මම නොවෙයි මගේ නොවෙයි. මගේ ආත්මය නොවේ යැයි පිළිගැනීමයි. ඒ නිගමනයට බුදුරජාණන් වහන්සේ පැමිණියේ ආර්ය පරික්ෂණයේ ප්‍රතිඵල ලෙසයි. හේතුන්ගෙන් හටගත් සියල්ල නිරුද්ධ වන බව (යං කිඤ්චි සමුදය ධම්මං සබ්්බං තං නිරෝධ ධම්මං) යන කරුණු පිළිබඳ නිත්‍ය අවබෝධය ලැබීම සෝතාපන්න බව හෙවත් ධර්ම චක්ඛුසය පහළ වීම බව බුදුරජාණන් වහන්සේ දේශනා කරති. කොණ්ඩඤ්ඤ හිමියන් අඤ්ඤාකොණ්ඩඤ්ඤ හිමි බවට පත් වූයේ මෙම අනිත්‍ය පිළිබඳ අවබෝධය නිසාය. යමක් අනිත්‍යයද එය දුකකි. යමක් අනිත්‍යද එය අනාත්මයි. මේ බුදුරජාණන් වහන්සේ අනාත්මය දේශනා කළ ක්‍රමයයි. බුදු දහම අනිත්‍ය වාදයක්. දුක්ඛ වාදයක් නොවන්නා සේම අනාත්ම වාදයක්ද නොවේ’.

යමෙක් කරන කුසල හෝ අකුසල කර්ම වල ශක්තිය තුළින් ඊළඟ වීමක් හෙවත් භවයක් වේ. එයං සංඛාර පච්චයා විඤ්ඤාණ යැයි කුසලාකුසල නිසා ප්‍රතිසන්ධි විඤ්ඤාණය පහළ වෙන බව ද්වාදසාංග පටිච්ච සමුප්පාද ඉගැන්වීමේ පැහැදිළියි. එම වීම ආත්මයක් ගමන් කිරීම නොවේ. ජීවත් වන අවස්ථාවේදි නැති ආත්මය පරලොව දී පහළ වන්නේ නැත. කෙනෙකුට මෙය එකවර තේරුම් ගැනීමට අපහසු වන බැවින් ථේරවාදි ආචාර්යවරයෝ “න ච සො ච අඤෙඤා “ (ඔහු ද නොවේ ඔහු ගෙන් පිට අයෙකුද නොවේ) යැයි මෙම ස්වභාවය පැහැදිලි කළහ. භෞතික කිසිවක් මේ භවයෙන් ඊළඟ භවයට ගමන් නොකරයි. විඤ්ඤාණය හෝ වෙනත් නාම කාණ්ඩයේ කිසිවක් ද ගමන් නොකරයි. මේ විග්‍රහය බුදුරජාණන් වහන්සේගේ පෙර නොඇසූ විරූ දහමේ ඇති විශේෂතාවයි.

“ධම්මික මෙහෙයවන ධම්ම සාකච්ඡා” සඳහා පාඨකයන්ගේ දහම් ගැටලුවලට පිළිතුරු සපයන බැවින් අදාළ දහම් ගැටලු කෙටියෙන් ලියා “ධම්ම සාකච්ඡා” බුදුසරණ ලේක්හවුස් කොළඹ ලිපිනයට යොමු කරන්න.