Print this Article


ආර්ය භූමියේ ප්‍රථම පියවර ජය ගැනීම

ආර්ය භූමියේ ප්‍රථම පියවර ජය ගැනීම

සාතිෂය දීර්ඝ වූ සංසාරෙහි සැරිසරන සත්වයාට නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට නොහැකි වුව හොත් සතර අපායේ ඉපදෙමින් අනන්ත අප්‍රමාණ වු දුකකට වැටීමට ඇති ඉඩකඩ අප්‍රමාණය. මනුෂ්‍ය දිව්‍ය, බ්‍රහ්මාදී සුගතිවල ඉපදුනත් එහි ආයුකාලය අවසන් වූ වහාම පූර්වයෙහි සිදුකරන ලද අකුසලයන්හි විපාක වශයෙන් දුගතියට වැටේ. මෙසේ සුගතියත් දුගතියත් අතර දෝලනය වෙමින් අනන්ත වූ ගමනක සැප මෙන්ම දුකද විඳිමින් ගමන් කරනවා විනා ඒකාන්ත සැපයක් නම් නොලැබෙන්නේමයි. එබැවින් සසර නම් අසුරු ගසන ප්‍රමාණයක් වත් මේ කාම රූප අරූප සංඛ්‍යාත ලෝකය වටින්නේ නැතැයි තථාගතයන් වහන්සේ දේශනා කළ සේක.

නිර්වාණ මාර්ගය හෙළිවී පවතින්නේ බුද්ධෝත්පාද කාලයක පමණක් බව මනාව දැනගත යුතුය. බුදු දහම පවත්නා තාක් කල් නිවන් මඟ හෙළි වී පවතින්නේය. සතිපට්ඨාන සූත්‍ර ධර්මය දේශනා කර වදාළේ නිර්වාණය කරා අප්‍රමාදව ගමන් කරනු කැමැතිවුන් හට ඒකාන්තයෙන්ම ප්‍රතිඵල ලබා දෙන ධර්මයක් හැටියටයි.

සති යනු සිහියයි. සිහිය විවිධ අරමුණු ඔස්සේ විසිර යා නොදී රැක ගැනීම සිහිය පිහිටුවා ගැනීම හෙවත් සතිපට්ඨානය නම් වන්නේය. සිහිය පවත්වාගත යුතු ස්ථාන වශයෙන් සතරක් වේ. කාය, වේදනා, චිත්ත, ධම්ම ස්ථාන වශයෙන් සතරක් වේ. කාය, වේදනා, චිත්ත, ධම්ම යනු ඒ සතරය. සතර සතිපට්ඨානය යයි නම් කරන්නේ ඒ නිසාය. මෙලොවදීම සසරින් එතෙර වීමේ අදිටන සහිතව සතර සතිපට්ඨානය වැඩිය යුතු වන්නේය. “සත්තානං විසුද්ධියා සෝක පරිද්දවාන සමතික්කමාය.”

සසුනේ මහණ භික්ෂුව කයෙහි කය අනුව බලමින් වාසය කරයි. කේෂා, ලෝමා, නඛා , දන්තා යන විසින් පිළිකුල් බවද හරයක් නැති බවද දුඟද හමන දේවල් වලින් පිරුණු බවද යන මූලික දැනුම ලැබිය යුතුය. සත්ව පුද්ගල සංඥාවෙන් බැහැරව කය ගැන බැලිය යුතු යථාර්ථවාදී දැක්ම එයයි. “ආතාපි සම්පාජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්ස” යන මේ බුද්ධ දේශනාව පිළිබඳ ශ්‍රද්ධාවෙන් බුදුහිමියන්ගේ යථාකාරි තථාවාදී කියන දෙයක් කරන, නිවැරැදි, දෙයක්ම පවසන ගුණය කෙරෙහි ශ්‍රද්ධාවෙන් මෙනෙහි කර ඒකාන්තයෙන් සැබෑවක්ම දේශනා කරන බව සිහි කටයුතු වන්නේය.

තථාගතයන් වහන්සේ විසින් දේශනා කර වදාළා වූ මේ උතුම් සත්‍යය මා විසින් දැකිය යුතුය. ශ්‍රද්ධාව තහවුරු කරගෙන එය සසල නොවනසේ, පිහිටුවා ගෙන ආතාපි වීර්යයෙන් යුතුව අභිද්‍යා දෝමනස්සයන්ගෙන් දක්වන්නේ දැඩි ලෝභය සහ දුක් දොම්නසයි. මේවා නුවණ දුබල කරන නීවරණයන්ය.මේ මාර්ගය වැඩීමට බාධා පමුණුවන ප්‍රධාන නීවරණ දෙක වන්නේ කාමච්ඡන්දය යන ඉඳුරන් පිනවීමට ඇති කැමැත්තත් ව්‍යාපාදය නම් වන ද්වේෂයත් යන නීවරණ දෙකය. අභිද්‍යාව හා දෝමනස්සය නැති කිරීම යනු වීර්යය දියුණු කිරීමට අවශ්‍ය උපස්ථාම්භන සැලසීමයි.

නුවණ හා සිහිය සමාධිය දක්වාම වැඩිය යුතුය. කයෙහි කය අනුව බැලිය යුත්තේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන ආකාරයටයි. කුමක් හෝ කිරීම මෙයින් අදහස් නොවේ’. කෙසේ හෝ කිරීමද නොවේ. “යානිමානි ආවුසෝ භද්ද කුසලානි සීලානි වුත්තානි භගවතා ඉමානි කුසලානි සීලානි යාවදේව චතුත්තං සතිපට්ඨානං භාවනාය වුත්තානි භගවතා” යනුවෙන් ආනන්ද හිමියන් භද්‍රස්ථවිරයන්ට වදාළේ – ඇවැත්නි භද්දය භාග්‍යවතුන් වහන්සේ යම් කුසල සීලයක් වදාරන ලදද ඒවා සතර සතිපට්ඨානය වැඩීම” පිණිස වදාරන ලදහ”.

සතිපට්ඨානය නිවන් අවබෝධය පිණිසම නිවන් මඟට බැස ගැනීම පිණිසම දේශනා කළහ. “ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය, දුක්ඛ දෝමනස්සානං අත්තං ගමය ඥායස්ස අධිගමාය, නිබ්බානස්ස සච්ඡිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා” මහණෙනි, මෙ සතර සතිපට්ඨානය නම් සත්වයනට රාගාදී කෙලෙස් දුරු කිරීම පිණිසද, කනගාටුවීම්, හැඬීම් ඉක්මවීම පිණිසද දුක් දොම්නස් නැති කරනු පිණිසද ලෝකෝත්තර මාර්ගය හා ඥානය ලැබනු පිණිසද නිවන ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස ද ඇත්තා වූ නිර්වාණය කරා එක එල්ලේම යන මාර්ගයයි .

“කාය යැයි කියනු ලබන රූප සමූහය සත්ව පුද්ගල ආත්ම වශයෙන් හා නිත්‍ය සුඛ ශුභාදී වශයෙන් නොමනා පරිද්දෙන් නොබලා ආශ්වාස ප්‍රශ්වාසාදි ඒ ඒ කායයන් හැටියටම බලන්නා වූද අනිත්‍යාදී වශයෙන් බලන්නා වූද ප්‍රඥාව හා යුක්ත වන සිහිය කායානුපස්සා සතිපට්ඨාන නම් වේ.” රේරුකානේ චන්දවිමල මහා නා හිමි බෝධි පාක්ෂික ධර්ම විස්තරය.

කායානු පස්සනාවේදි ඉන්ද්‍රිය ධර්ම වැඩන්නේ කෙසේද? වීර්යය හා නුවණින් කිරීමෙනි. ගින්නක් ඇවිලවීමට කැමැති අයෙක් ඒ සඳහා අමු දේවල් භාවිතා කළොත් ගින්න නිවී යයි. මහත් වූ ගින්නකට තව තවත් වියළි දේවල් දැමුවොත් ගින්න වඩාත් ප්‍රබල වේ. මේ කරුණ උපමා කරමින් දේශනා කරන්නේ සමාධිය සඳහා සිත වැඩීමේදී පුහුණුව බහුලව කරන විට සිත සැඟවේ. හැකිලේ. නැවත නැවතත් එවිට සමාධිය වඩන්නට ගියහොත් ගින්නට අමුදර එක් කිරීම වැනිවේ. කළ යුත්තේ වියළි දේ එක් කිරීමයි. සමාධි සිත වැඩීමේදී සිත සැඟවේ නම් එබඳු කමටහන් වල නොයෙදී වෙනත් විතර්ක සහිත අරමුණකට යා යුතුය. එය ගින්නට වියළි දේවල් දැමීම වැනිය.

එවිට එම අරමුණින් මිදී මේ ආකාරයට සිත හැකිලීමට හේතුව විමසා බලන අරමුණකට මාරු විය යුතුය. මහ ගින්නක් ඇවිළෙන අවස්ථාවක තව තවත් වියළි දර යෙදුවොත් ගින්න තව තවත් දියුණුවේ. එවිට අමු දර යොදා පාලනය කරගත යුතුය. එසේම සිත බැහැරට යා හැකි විට,අරමුණින් ඉවතට යන බව පෙනේ නම් එයට හේතුව විමසා බැලිය යුතුය. ඒ නිසා එම අවස්ථාවේදී විදර්ශනාව නතර කර සමථ කමටහනකට යා යුතුය. නැතහොත් සිත උද්ධච්චයට හෙවත් විසිරීමට ලක් විය හැක. විරිය, සතිය හා සම්පජඤ්ඤය (නුවණ) වෙත යොමු කළ යුතුය. එයද ප්‍රතිඵලදායක නොවී වැරදුනොත් ශ්‍රද්ධාව වෙත ළඟා වෙමින් සංවේගජනක වස්තුන් මතකයට නගා ගත යුතුය.

මෙහිදී පේ‍්‍රත ලෝකය ගැන අසා තිබෙන බෙහෙවින් සංවේදනාත්මක තොරතුරු සිහිපත් කළ යුතුය. පේ‍්‍රත වස්තුවෙහි එන කතා වස්තු කියවා තිබේ නම් එය පහසුවෙන් කළ හැකි වන්නේය. පේ‍්‍රතයින්ගේ සා පිපාසය ආදි කර්මය බලවත් වූවන් පිළිබඳ තොරතුරු විමසිය හැක. මුළු ශරීරයේ හාත්පස ගිනි ඇවිළෙන හා එම වේදනාවෙන් පෙළෙන පේ‍්‍රතයින් සිටී. එසේම ශරීරය කුණු වී තුවාල වී ඕජස් වැගිරෙන පේ‍්‍රතයන් සිටී. තුවාල සහිත ගවයෙකු වට කරගෙන කපුටන්, කවුඩන්, නිලමැස්සන් ගවයාගේ තුවාල වලින් මස් කඩාගෙන කන්නාසේ තුවාල සහිත පේ‍්‍රතයින් වට කරගත් සෙසු පේ‍්‍රතයින් එම තුවාලවලින් මස් කඩා කමින් ඕජස් උරා බොයි.

සංසාරගත පැවැත්මේ මෙවන් බිහිසුණු දුක් සහිත තොරතුරු මතකයට නගා ගෙන සසර බිය ඇති කරගැනීම ධර්මය දැකීමට මහත් පිටු බලයක් වේ. නිරයේ ඉතා දරුණු ලෝදිය ගින්දර මත පැසවන පිළිස්සෙන ආකාරය සිහියට නගා ගත යුතුය. එබඳු දුකක් මටද උරුම විය හැකියි. ඒ නිසා සසර යනු අවිනිශ්චිත ගමනකි.

ශ්‍රද්ධාව, විරිය, සිහිය, නුවණට උපකාර කරගෙන සමාධිය දියුණු කිරීමට උත්සාහ ගැනීම ප්‍රතිඵල දායකය. කයෙහි කුණපයන් දෙස කය අනුව බැලීම කළ යුත්තේ පෙර සඳහන් දේවල්වලට පිළිතුරු ලැබෙන ආකාරයටයි. කායේ කායානුපස්සී විහරති ආතාපි සම්පජානෝ සතිම විනය්‍යෙ ලෝකේ. අභිද්‍යා දෝමනස්ස. ම් ශාසනයේ විවේක තුනකි. එනම් කාය, චිත්ත, උපධි යනුයි. කාය විවේකය යනු කායික වාචසික ක්‍රියා වලින් ලබන නිදහසයි. චිත්ත විවේකය යනු දානාදී පින්කම් අවස්ථාවලදි නිකලෙස් තාවකාලිකව යටපත් වීමයි. විෂ්කම්භන යනු සමථය වැඩීමේදී ප්‍රථම ධ්‍යානයට එළඹුණු විට කෙලෙස් යටපත් වීමයි. එයද තාවකාලිකයි. සිතට මේ තාක් තිබුණේ රූප බැලීම, ශබ්ද ඇසීම ආදී අධික වැඩකටයුතු රාශියකි. එබඳු ආශාවන් නතර කළ යුතුය. උපාධි විවේකය යනු කෙලෙස් හා ආශ්‍රව සමුච්ඡේද වශයෙන් නැවත හට නොගන්නා අයුරින් ප්‍රහීණ කිරීමෙන් ඇති කරගන්නා මානසික සුවයයි.

ඉතිරි කොටස ජූලි 08 වනදා අධි ඇසළ අව අටවක පෝදා පත්‍රයේ පළවේ