සුපසන් දිවියකට හික්මීම
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි
“හික්මීම”කියන වචනයෙන් අප අදහස් කරන්නේ සීලය පිළිබඳවයි. බෞද්ධ
දර්ශනයෙහි සීලය නම් කායික, වාචසික සංවරයයි. අප තථාගත බුදුරජාණන් වහන්සේ
දේශනා කළේත් ‘සීලයේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ’ ප්‍රඥාවන්ත මනුෂ්‍යයෝ සීලයෙහි
ම පිහිටා සිතත්,ප්‍රඥාවත් වඩන බවයි. මනුෂ්‍ය ජීවිතයෙහි යම් වූ ද
ගැටලුවක්, පීඩාවක් විපත්තියක් වේ නම් ඒවාට විසඳුම් සෙවීමට නම් පුද්ගලයා
තුළ කායික වූත්, වාචසික වූත්, මානසික වූත් සංවර බවක් අවශ්‍යයයි.
මේ සඳහා පළමුකොට ම දැක්වූයේ සීලය පිළිබඳවයි. එනම් කායික, වාචසික සංවරය
පිළිබඳවයි. කයින්, වචනයෙන් සංවරවන විට මනුෂ්‍ය සිතෙහි ඇතිවන නොසන්සුන්
බව, ව්‍යාකූල බව සංසිඳිලා හික්මීමක් ඇතිවෙනවා. හරියට කැළඹුන
විලක්,පොකුණක්,ජලාශයක් ඉර පායාගෙන එන විට බොර වතුර යටට ගොස් එය
නිසලවන්නා සේය. කයෙහි, වචනයෙහි සංවර බව නිසා මනසෙහි සංවර වීමක්
සංසිඳීමක් ඇතිවනවා. එවිට ජීවිතය ගැනත්, බාහිර අරමුණු ගැනත් මනාව
හිතන්නත් තේරුම් ගැනීමටත් මනුෂ්‍ය සිතකට පහසු වෙනවා.
‘සියලු සත්වයෝම ගැටලුවෙන් ගැටලුවට පත්වෙලා, ඇතුළතිනුත්, බාහිරවත්
ගැටලුවලට පත්වෙලා. අවුලෙන් අවුලට පත්වෙලා මේ ගැටලුවට විසඳුම් සොයන්නෙ
කවුද? කියල එක්තරා දේවතාවෙක් අප තථාගත බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න
කරන ලදී. එවිට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ සීලයෙහි පිහිටන නුවණැති
මනුෂ්‍යයෝ සිතත්, ප්‍රඥාවත් වඩල මෙන්න මේ අවුල ලිහාගන්න, පිළිතුරු,
විසඳුම් සොයනවා කියායි. මෙතැන සිතත්, ප්‍රඥාවත් කියා යැයි සඳහන් කළේ
සමථ, විදර්ශනා භාවනා දෙක පිළිබඳවයි.
යම් පුද්ගලයෙකුට සීලයෙන් තමන්ගේ ජීවිතය ආරම්භ කරන්න පුළුවනි නම්, ලෞකික
වශයෙන් බොහෝ දියුණුවක්, ලෝකෝත්තර වශයෙන් පෙන්වා දෙන චතුරාර්ය සත්‍ය
ධර්මය අවබෝධයත්, නිවන් මඟ පිණිසත් අවස්ථාව සලසා ගන්නට පුළුවනි. එය
ධර්මයේ පැහැදිලි කරන්නේ,
‘ යත්ථ සීලං තත්ථ පඤ්ඤා
යත්ථ පඤ්ඤා තත්ථ සීලං’ යම් තැනක සීලය පවතිනවා නම්, එතැන ප්‍රඥාව
පවතිනවා. යම් තැනක ප්‍රඥාව පවතිනවා නම් එතැන සීලය පවතිනවා.
මෙන්න මේ නිසා මේ සීලය ලෞකික වශයෙනුත්, ලෝකෝත්තර වශයෙනුත් උතුම්ම
පැවැත්මක් බව ඉතාමත් පැහැදිලියි. අප මේ සීලයට චනයක් යොමු කර ගන්නවා
හික්මීම කියලා. තවත් වචන කීපයක් භාවිත වචන මාලාවෙන් අපට පෙන්වා දෙන්න
පුළුවනි. එනම්, සංවර බව, විනය, ශික්ෂණය, හැදුනුකම ආදි වශයෙනුයි.
බුදුරජාණන් වහන්සේ භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ වේවා, උපාසකයෙක් හෝ
උපාසිකාවක් හෝ වේවා, මේ හැම කෙනෙක් ම සීලයෙහි හෙවත් හැදුනුකමෙහි ම
පිහිටා සැනසුම හෙවත් ධර්මයෙන් ලබන පිහිට සොයා යායුතු බව පැහැදිලි කළා.
හික්මීමක් නැති කෙනෙකුට මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න බැහැ. සාමාන්‍ය
ගෘහස්ථ ජීවිතේවත් ප්‍රයෝජනයක් ලබන්න බැහැ. ගෘහස්ථ ජීවිතයක් ගත කළත්
හික්මීම තිබෙන තැන යහපත් වූ මනුෂ්‍යයෙක් බිහිවෙනවා. හික්මීම තිබෙන තැන
ගුණවන්ත මව්පිය දෙපළක්, ගුණවන්ත ස්වාමි භාර්යාවන්, ගුණවන්ත දරුවන් සකස්
වෙනවා. මනුෂ්‍යයෝ සියලු දෙනා ම සුපසන් මනුෂ්‍යයන් බවට පත්වෙනවා.
සරල වශයෙන් පැවසුවොත්, ලෞකික ව දක්වන ඉගෙනීමක් හෝ වෘත්තියෙන්,
රැකියාවෙන්, බාහිර පෙනුමෙන්, ගේ දොර, ධන ධාන්‍ය ආදී බාහිර වස්තූන්ගෙන්
හෝ කොපමණ නම් ආඩ්‍ය වූවත් හික්මීමක් නැති නම්, එනම් කායික ඇවතුම්
පැවතුම්වල සංවර බවක්, විනයක්, ශික්ෂණයක් නැති නම්, කතා පිළිවෙළෙහි
හික්මීමක්, ශික්ෂණයක් සංවර බවක් නැති නම් අර මුලින් සඳහන් කළ කුමන
වස්තූන්වල ආඪ්‍ය බවක් දියුණුවක් තිබුණත් හැබෑවට ම ප්‍රයෝජනයක් නැහැ.
නොහැඳුනු මනුෂ්‍යයෙකුගේ හදවතින් කුමන නම් කරුණාවක්, මෛත්‍රීයක්,
ලෙන්ගතුකමක්, විශ්වාසවන්ත බවක් බලාපොරොත්තු වෙන්න ද?
මේ නිසා ලෞකික වශයෙන් යම් වූ ද දියුණුවක්, බහුල බවක් නැති වුණත්,
හික්මීමක් තියෙන මනුෂ්‍යයෙක්, එම මනුෂ්‍යයා වාසය කරන පරිසරයට හා එහි
වාසය කරන අනිකුත් පිරිස්වලට මොනතරම් යහපතක් ද? අවසානයේ අප හැම කෙනෙක්ගෙ
ම බලාපොරොත්තුව විය යුත්තෙත් එයයි. එනම් ගුණවන්ත මනුෂ්‍යයෙක් වෙන්නයි.
පවුල් පිරිසරයක නම් ලෞකික දියුණුව උදෙසා මොනවා තිබුණත් ඒ පවුල්
පරිසරයෙහි හික්මීම නිසා සංවරය නිසා, ශික්ෂණය නිසා ගුණවන්ත අම්මා
කෙනෙක්, ගුණවන්ත පියාණන් කෙනෙක්, ගුණවන්ත ස්වාමි දියණියක්, ස්වාමි
පුත්‍රයෙක් වාසය කළොත් එම පවුල් පරිසරය මොනතරම් යහපත් ද කියල, ඔබ බොහෝ
කෙනෙකුට තම තමන්ගේ ජීවිත පැවැත්මෙන් ම අවබෝධය තිබෙනවා ඇති. එසේ නොමැති
වුවොත් මොන ආකාර ඉගෙනීමක්, වෘත්තියක්, පෙනුමක් තිබුණත් එම පවුල් පරිසරය
ම දුගතියක් බඳු අප්‍රසන්න වූ පරිසරයක් බවට පත්වෙනවා. අපි සියලු දෙනා
විසින් ඉතා දුර්ලභව ලැබූ මේ මනුෂ්‍ය ජීවිතයේ සුපසන් බව ආරම්භ වන්නේ
සීලය හෙවත් හික්මීම සමගිනුයි.
අප තථාගත බුදුරජාණන් වහන්සේ ‘ඝණක මොග්ගල්ලාන’ සූත්‍රවල මෙහෙම දේශනා
කරනවා.
මහණ සිල්වත්වන්න පාති මෝක්ෂ සංවර සීලයෙහි පිහිටා සිටින්න. ආචාර ගෝචර
සම්පන්න වන්න. කුඩා අණු කුඩා වරදෙහි පවා භය දක්නා සුළු ස්වභාවයෙන් යුතු
කෙනෙක් වන්න. එවැනි ස්වභාවයකට පත්ව සීලයෙහි පිහිටා සිල්වත් අයෙකු ලෙස
ජීවිතය පවත්වන්න.
මේ බුදු සසුනෙන් යම් කෙනෙක් ප්‍රයෝජනය පිණිස ඇතුළුවෙනවා නම්, භික්ෂුවක්
හෝ භික්ෂුණියක් හෝ වේවා, උපාසකයෙක්, උපාසිකාවක් හෝ වේවා මේ හැම කෙනෙක්
ම පළමුව එසේ සඳහන් කළා වූ සීලයෙහි පිහිටා සිටිය යුතුමය. උපසපන්
භික්ෂුවක් නම් දෙසිය විසිහතක් වූ ඒ පාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතු බව
දැක්වූවා. ගෘහස්ථ ජීවිතයක් ගත කරන අයෙක් නම් පංච සීලයෙහි පටන්, නවාංග
සීලය, දස සීලය ආදී වශයෙන් සීලය ආරක්ෂා කළ යුතුයි.
තව මනා වූ අදහසක් බුදු රජාණන් වහන්සේ මෙහි දක්වනවා, එනම් ආචාර ගෝචර
සම්පන්න වූ සිරිත් – විරිත් දන්නා හා දක්නා නුවණින් යුක්තව කටයුතු
කරන්න යන්නයි. පැවිදි ජීවිතවලත් ආචාර්ය උපධ්‍යායය ශිෂ්‍ය ගුරු
අන්තේවාසික, සද්ධිවිහාරික ආදී වශයෙන් ඔවුනොවුන් විසින් කළ යුතු වතාවත්,
යුතුකම් සිරිත් – විරිත් මනාකොට දක්වා තිබෙනවා.
ගෘහස්ථ ජීවිතවලත් සදිසා නමස්කාරය ලෙස දැක්විය යුතු, කළ යුතු යුතුකම්
සිරිත් – විරිත් සිඟාලෝවාද සූත්‍රයෙහි පෙන්වා දී තිබෙනවා. එනිසා ශික්ෂා
පද ගැන දැනීම පමණක් නොව සිරිත් – විරිත් පිළිබඳවත් මනා වූ අවබෝධයකින්
යුක්තව කටයුතු කළ යුතුමයි.
නොහික්මුණු අසංවර පිළිවෙත් ක්‍රමයක් අනුගමනය කළොත් එම පුද්ගලයාගේ මනස,
හොඳ – නරක තේරුම් ගැනීමට තරම්වත් සිහියක් පවත්වා නොගත හැකි බව
පැහැදිලියි. මේ නිසා හික්මීමම ධර්ම මාර්ගයේ පළමු පියවර වගේ ම
ශ්‍රේෂ්ඨතම කරුණකි.
- දීපා පෙරේරා |