Print this Article


නාථකරණ ධර්ම

නාථකරණ ධර්ම

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ නාථකරණ සූත්‍රය ගිහියන් ගේ ජීවිතයද සනාථ කර ගැනීමට ඉවහල් වේ. “සනාථා භික්ඛවෙ විහරථි, මා අනාථා, දුක්ඛං භික්ඛවෙ අනාථො විහරති” දස ඉමෙ භික්ඛවෙ නාථ කරණා ධම්මා. කතමෙ දස? ඉධ භික්ඛවෙ භික්ඛු සීලවා හොති. බහුස්සුතො හොති. කල්‍යාණමිත්තො හොති. සුවචො හොති. යානි තානි සබ්‍රහ්මචාරීනං උච්චාවචානි කිංකරණීයානි තත්ථදක්ඛො හොති අනලසො. ධම්මතා මො හොති පියසමුදාහාරො. ආරද්ධ විරියො හොති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය. සන්තුට්ඨො හොති ඉතරීත පරික්ඛාරෙනං සතිමා හොති පඤ්ඤවා හොතී ති.

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ සිටිය දවසක භික්ෂූන් අමතා දේශනා කළ නාථකරණ සූත්‍ර දේශනා දෙකක් ඇතුළත් ව තිබෙන්නේ අංගුත්තර නිකායේ දහවන නිපාතයේ එකොළොස්වන නාථ කරණ වර්ගයටයි. ඉහත දැක්වෙන පළමු නාථකරණ සූත්‍රයෙහි සම්පිණ්ඩනය කළ කොටසේ තේරුම මෙයයි.

බුදුහාමුදුරුවෝ භික්ෂූන් අමතා වදාරනව මහණෙනි, නුඹලා සනාථව (පිහිටක් ඇතිව) වාසය කරමු. අනාථ වන්න එපා. මහණෙනි, අනාථව විසීම දුක්ඛ සහගතයි. මහණෙනි, නාථකරණ ධර්ම දහයක් තියෙනව. ඒවා කවරේද? 1. මේ ශාසනයෙහි භික්ෂුවක් සිල්වත් වෙයි. 2. බහුශ්‍රැත (උගත්) වෙයි. 3. කලණ මිතුරන් ඇත්තේ වෙයි. 4. සුවච වෙයි. 5. තමාට වඩා වැඩිහිටි භික්ෂූන්ගේ අවශ්‍යතා කවරේදැයි විමසමින් ඒවා ලබාදෙයි. 6. පෙළ දහමට කැමැතිව ඒවා අනුන්ට දේශනා කරයි. 7. අකුශල දහම් නොකිරීමටත් කුශල දහම් කිරීමටත් උත්සාහ කරයි. 8. තමාට ලැබෙන සිවු පසෙන් සතුටු වෙයි. 9. සිහියෙන් යුක්තව උතුම් ස්මෘතියෙන් යුක්ත වෙයි. 10. ප්‍රඥාවෙන් යුක්තව ආර්ය භාවයට හා කෙලෙස් දුරලීමට හේතු වන උදයාස්තං ගම ප්‍රඥාවෙන් යුක්ත වෙයි. මෙසේ පළමු සූත්‍රයෙන් නාථ කරුණු දහය වදාළ බුදුරජාණන් වහන්සේ දෙවන සූත්‍රයේ වදාළේ එම ගුණ දහය කිසියම් භික්ෂුවක් තුළ තියෙනව දකින ථේර, මධ්‍යම, නවක භික්ෂූන් එම ගුණ අගය කිරීම් වස් එම භික්ෂුවට ප්‍රශංසා කෙරේනම් භික්ෂුවගේ එම ගුණ තව තවත් දියුණු කර ගැනීමට උපකාර වන බව පෙන්වා දීමටයි.

භික්ෂුවකගේ භික්ෂු ජීවිතය සනාථ කරන ධර්ම දහයෙන් පළමුවැන්න විස්තර කරමින් බුදුරජාණන් වහන්සේ වදාරනව මහණෙනි, සිල්වත් මහණ තෙමේ ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වියයුතුයි. එනම් බුදුන් භික්ෂූන්ට පැන වූ 227 ක් ශික්ෂා රැක ගන්න ඕන. ඒවා කිකිළිය බිජු රකින්නාක් මෙන් හා සෙමරිය වලිගය රකින්නාක් මෙන් ද මවක් තම එකම පුතා රකින්නාක් මෙන්ද එක ඇසක් ඇත්තා එය රකින්නාක් මෙන් ද ශීලය අඛණ්ඩව රැකගත යුතුයි.

පැවිද්දා පමණක් නොවෙයි ගිහියා ද තමා රකින නිත්‍ය පඤ්චශීලයත් උපොසථ අෂ්ටාංග ශීලයත් ගිහි දශ ශීලයත් වීරති ශීලයත් රැකගන්න ඕන. රකින්නෙ නැතිව සිල්පද කිව්වට වැඩක් නැහැ. රැකගත්තොත් තමයි පුද්ගලයා සනාථ වන්නෙ. මේ සූත්‍රවල සඳහන් නාථ කරන ධර්ම දහය රැකීම පැවිද්දා මෙන්ම ගිහියාත් තමන් රකින සීලය හරියට රැක්කොත් පමණයි. අනාථ නොවී සනාථ වන්නේ කියල හිතන්න. බුදුරදුන්ට රහතුන්ට තවත් කෙනෙක් රකින්න බැහැ. ‘තුම්මේහි කිච්චං ආතප්පං අක්ඛාතාරො තථාගතා” යනුවෙන් වදාළ පරිදි මේ බෞද්ධ ප්‍රතිපදාව දේශනා කිරීම පමණයි බුදුකෙනෙකුගෙන් රහත් කෙනෙකුගෙන් සිදුවන්නේ. එම අනුශාසනාව පිළිපැද තමාගේ විමුක්තිය (සනාථ බව) අත්කර ගතයුත්තේ තම තමා විසිනුයි. සිල් ආරක්ෂා කරන භික්ෂුව ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය රකින අතර (ආචාර) වත් පිළිවෙත් කිරීමෙන් හා (ගෝචර) මනා හැසිරීමෙන් යුක්ත වීම, ඉතාම සුළු වූ වරදක් පවා කිරීමට බියව, ශික්ෂා පද සමාදන්ව ඒවා මනාව පිළිපදිමින් රැකගන්න ඕන. මෙසේ ශීලය රැක ගන්නා අනාථ නොවේ. සනාථ වේ. එනම් තමා තමාට පිහිටවූවෙක් වේ. මේ භික්ෂුව මෙලොවින් මෙන්ම පරලොවින්ද තමා ආරක්ෂා කර ගත්තෙක් වේ. මේ පළමු නාථකරණ ධර්මයයි.

දෙවන නාථ කරණ ධර්මය නම් (බහුස්ස්‍රැත) භික්ෂුව ඇසූ පිරූ දෑ (අසා හෝ කියවා හෝ සිතාමතා හෝ උගත් දෑ) දරාගන්න ඕන. සිතේ රැස්කර ගන්න ඕන.

දහම පිළිබඳව මුල, මැද, අග යහපත් බව එහි අර්ථ මැනවින් දැන එහි ව්‍යඤ්ජනාක්ෂර මැනවින් දැන අක්ෂර උච්චාරණය මැනවින් දැන ඒ අනුව හාත්පසින්ම පරිපූර්ණ, පිරිසුදු බ්‍රහ්මචරියාව දේශනා කරන්නට සමත් වන්නට ඕන. එබඳු භික්ෂුවගේ දේශනාව බහුශ්‍රැත වෙයි. ඇසූ ධර්මය දරා ගත්තෙක් (හිතේ තබා ගත්තෙක්) වෙයි. ඔහු ධර්මය පුරුදු පුහුණු කළ භික්ෂුවක් වෙයි. සිතින් මනාව ධර්මය පරීක්ෂා කළ අයෙක් වෙයි. නුවණින් දැකීමෙන් මනාව වටහා ගත්තෙක් වෙයි.

මෙබඳු ගුණයන්ගෙන් සමන්විත භික්ෂුව සම්‍යක්දෘෂ්ටිකයෙක් වෙයි. මේ භික්ෂුව සනාථ කරණ දෙ වන නාථ කරණ ධර්මයයි.

තෙ වන නාථ කරණ ධර්මය නම් කල්‍යාණමිත්‍ර ආශ්‍රයයි. තමා ඇසුරු කරන්නා ශීලාදී ගුණවලින් යුක්ත විය යුතුයි. ඇසුරු කරන්නා පවින් වළකා කුශල ධර්මයන්හි යොදවන අර්ථය අනර්ථය කියා දී අනර්ථයෙන් වළකා අර්ථයෙහි (නිවැරදි දෙයෙහි) යොදවන කල්‍යාණ මිත්‍රයකු විය යුතුයි. කාට වූවත් එ බඳු යහපත් මිතුරන් තමයි ඇසුරට ඉන්න ඕන. එ බඳු යහපත් මිතුරන් සහායකයන් වන්න ඕන. සිතින් මෙන්ම කයිනුත් තමන්ට අවනත මිතුරන් ඉන්න ඕන. මෙ බඳු කල්‍යාණ මිත්‍රයන් සිටින භික්ෂුව සනාථයකු වන බව බුදුන් වහන්සේ වදාළහ. මේ තෙවන නාථකරණ ධර්මයයි.

සිව්වන නාථ කරණ ධර්මය වශයෙන් බුදුන් වදාළේ සුවච (කීකරු) බවයි. යමෙක් දෙනලද අවවාද ඉවසනසුළු ප්‍රදක්ෂිණාවෙන් (ගෞරවයෙන්) ඒවා පිළිගන්නා සුළු, සුවච භාවයෙන් යුක්ත ඔහු සනාථ වේ. අනාථ නොවේ. මේ සිව්වන නාථ කරණ ධර්මයයි.

පස්වන නාථ කරණ ධර්මය නම් ස්වාමීනි, ඔබ වහන්සේට මාගෙන් යමක් කරගන්න තිබේ නම් කියන්නැයි කියා අස අසා එය කරදීමයි. වැඩිහිටි භික්ෂූන් සමීපයට ගොස් ස්වාමිනි, ඔබවහන්සේට කළයුතු කුදු මහත් යමක් තිබේ නම් මට කියන්නැයි අස අසා විචාරා ඒවා ඉටුකර දීමයි. එනම් ‘සිවුරු මැසීම්’ රඳන් කිරීම්. සුණුපිරියම් කිරීම්, දාගැබ්, බෝමළු, බෝධිඝර ආදිය පිරිසුදු කිරීම් ආදියෙහි දක්ෂ නම් එසේම සබ්‍රම්සරුන් වහන්සේගේ උසස් පහත් උපකාරක කටයුතු කරන්නේ නම් එබඳු කටයුතුවල දක්ෂව කම්මැලි නැතිව ඒ පිළිබඳව විමසමින් ඒවා කිරීමට ඒවා සංවිධාන කිරීමට සමත් වීම පස්වන නාථ කරණ ධර්මයයි.

සයවන නාථ කරණ ධර්මය නම් ධර්මයට කැමැති, ත්‍රිපිටකයට අයත් බුද්ධ වචනය පි‍්‍රය කරන අන්‍යයෙක් එය කියන විට මනාව අසා සිටින, එසේම අනුන්ට ධර්මය කියා දෙන්න කැමැති.

අභිධර්මය (විශිෂ්ට ධර්මය) අභිවිනය පිළිබඳ ඉමහත් සතුටක් ඇති භික්ෂුව (ධර්ම යයි කීයේ සූත්‍රපිටකය, අභිධර්ම යයි කීයේ සප්තප්‍රකරණය) විනය යයි කීයේ විභංග දෙකට, අභිවිනය යයි කීයේ බන්ධක, පරිවාර හෝ සූත්‍ර පිටකය හා අභිධර්ම පිටකය යන ධර්ම කොටස්වලට බවත්, මාර්ග ඵල ලබාදෙන අභිධර්මයට බවත් සම්පූර්ණ විනය පිටකය විනය බවත්, කෙලෙස් සංසිඳුවීම නම් අභිවිනය බවත් අට්ඨ කථාව පෙන්නා දෙයි. මේ සියල්ලම ධම්ම විනය දෙකට අයත් ධර්ම බවත් මේ ධර්ම පුද්ගලයාගේ ඉමහත් සතුටට හේතුවන බවත් අට්ඨ කථාව කියයි.) මේ භික්ෂුවගේ හයවන නාථකරණ ධර්මයයි.

හත්වන නාථ කරණ ධර්මය නම් භික්ෂුව අකුශල ධර්ම ප්‍රහාණය පිණිසත්, කුශල ධර්ම, වැඩීම පිණිසත් පටන්ගන්නා ලද වීර්යය ඇතිව දැඩි උත්සාහයෙන් යුතුව කුශල ධර්මයන් ආරක්ෂා කර ගැනීමේ වීර්යයෙන් වාසය කරයි. මෙසේ විසීම හෙවත් කුශල් ආරක්ෂා කර ගැනීම හත්වන නාථකරණ ධර්මයයි.

අටවන නාථ කරණ ධර්මය නම් භික්ෂුව තමාට ලැබෙන කවර තත්ත්වයේ හෝ චීවර, පිණ්ඩපාත, සයනාසන, ගිලානප්‍රත්‍ය බෙහෙත් පරිෂ්කාර ආදිය ලැබෙන පමණින් සතුටුවීමට හෙවත් සෑහීමට පත්වීම අටවන නාථකරණ ධර්මයයි.

ඉතිරි කොටස ජුලි 08 වන දා පත්‍රයේ...