අනුරාධපුර මහා විහාර පුරාණය
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය
හඟුරන්කෙත ධීරානන්ද හිමි
අනුරාධපුර මුල් කරගත් මහාවිහාරය වනාහි ශ්‍රී ලංකාවේ ප්‍රථම භික්ෂු
මූලස්ථානය ලෙසින් මෙන්ම බෞද්ධාගමික හා සංස්කෘතික නිජභූමිය ලෙසින්ද
හැඳින්වීම නිවැරදිය. ක්‍රි.පූ. තෙවැනි සියවසේදී මිහිඳු මහරහතන්
වහන්සේගේ නායකත්වයෙන් ලක්දිවට වැඩම කළ ධර්මදූත කණ්ඩායම විසින්
මහාවිහාරය මුල්කරගත් භික්ෂු සම්ප්‍රදායක් ආරම්භ කරන ලදී. ථෙරවාදී
බුදුදහම මෙරටට හඳුන්වාදීමෙන් පසු සංවර්ධනය වී ස්ථාවරත්වයට පත්වනුයේ
අනුරාධපුර මහාවිහාරය කේන්ද්‍රගත කරගනිමින්ය. ථෙරවාදී සම්ප්‍රදාය ගරු කළ
බැවින් ථේරයන් නැතහොත් ථෙරවාදීන් යනුවෙන් සාමාන්‍යයෙන් හඳුන්වනු ලැබූ
මහාවිහාර වාසින් බෞද්ධාගම මෙරට පිහිට වූ තැන් සිට එහි ආරක්ෂකයන් වු අතර
සිය සම්ප්‍රදායේ පැවැත්ම අරභයා මහත් වෙහෙසක් දීර්ඝ කාලයක් දැරූ බව
ශ්‍රී ලංකා ඉතිහාසයෙන් පැහැදිලි වේ. මුල් කාලයේ මහා විහාරයේ
අනුගාමිකයන්ගේ තර්කය වූයේ සැබෑ ථෙරවාදී සම්ප්‍රදායක් නියෝජනය කරන ලද්දේ
තමන් විසින් පමණක් බවත් අනෙක් නිකා දෙකේ (අභයගරි හා ජේතවන) අනුගාමිකයන්
භේදකාරි බවත්ය. මහාවිහාරයේ ස්ථාවරත්වය න්‍යායාත්මකව නියෝජනය කරන මතවාද
දෙසිය තිස් දෙකක් පැවැති බව ප්‍රංශ ජාතික ආන්ද්‍රෝ බාරෝ විසින්
හඳුනාගෙන ඇත.
මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට දේශනා කළ දහම් අසා පැහැදිමට
පත් දේවානම්පියතිස්ස රජු ප්‍රමුඛ රජ පවුලේ විශාල පරිසක් බුද්ධාගම වැළඳ
ගනිමින් බුද්ධාගමේ අනුගාමිකයන් බවට පත් වූහ.දේවානම්පියතිස්ස රජුගේ
(250-210) ආරාධනයෙන් මිහින්තලේ සිට අනුරාධපුරයට වැඩම කළ මිහිඳු තෙරුන්
ප්‍රමුඛ භික්ෂු පිරිසට නුවරට ඉතා නුදුරු නොළං වු මහමෙවුනා උයන සකස් කර
දුන් අතර භික්ෂුන්ගේ සුඛ විහරණය පතා සංඝයාටම පුජා කළේය. මහාවිහාරයේ
ආරම්භය ලෙසින් මෙම අවස්ථාව සැලකිය හැකිය.
එතැන් පටන් උන්වහන්සේ මහමෙවුනාව ශ්‍රී ලංකාවේ භික්ෂූ ශාසනයේ මූලස්ථානය
ලෙසින් වර්ධනය කරලීමේ මුල් පියවර සකස් කළේය. දේවානම්පියතිස්ස රජුගේ
පියාවන මුටසිව රජු විසින් මහාමේඝ නම් උද්‍යානයක් කරවන ලද අතර ඒ සඳහා
පළමුවෙන් බිම් සකසන අවස්ථාවේ නොකල් මහාවැස්සක් වැටුනු නිසා මහාමේඝ
යනුවෙන් මෙම උයන නම් කරන ලදැයි මහාවංසය කියයි.
මහාවිහාරය තුළ පිහිටිය යුතු විහාරාංග පිළිබඳව ද මිහිඳු මහ රහතන්
වහන්සේ් විසින් රජුට උපදෙස් දෙන ලදී. ඒ අනුව ශාසනික වශයෙන් වූ වැදගත්
කාර්යය වූයේ රජුගේ ද සහාය ලබා ගනිමින් ස්වර්ණමය නඟුලකින් සීමා සම්මත
කිරීමය.
ඒ මගින් මහාවිහාර භුමියේ ථෙරිය භික්ෂු අයිතිය තහවුරු කරනු ලැබු අතර
සුනභාත පිරිවෙන, දීඝවඩ්කමන පිරිවෙන. ලග්ග පිරිවෙන, ථෙරපස්ස පිරිවෙන,
මරුගණ පිරිවෙන, දීඝසන්ද පිරිවෙන, හා භික්ෂුණීන් සඳහා හත්ථාළ්හක මෙහෙණවර
ද මෙම භූමිය තුළ පිහිටුවනු ලැබීය. එමෙන්ම මහාවිහාර භූමිය තුළ බුදුන්
වහන්සේගේ ධාතු තැම්පත්කොට ථූපාරාමය ඉදිකිරීම, දඹදිව සිට සඟමිත් තෙරණිය
ඇතුළු භික්ෂුණීන් පිරිසක් විසින් ශ්‍රී ලංකාවට ගෙනෙන ලද මහාබෝධියේ
දක්ෂිණ ශාඛාව මහමෙවුනා උයනේ රෝපණය කිරිම, අරිට්ඨ තෙරුන්ගේ මුලිකත්වයෙන්
ථූපාරමායේ දී විනය සංගීතියක් පැවැත්වීම ශාසනික සිද්ධිදාමය මහාවිහාරයේ
හා එම භූමියේ ස්ථාවරත්වය සනිටුහන් කිරීමට මහත් දායකත්වය ලබා දී ඇත.
මහා මිහිඳු මා හිමියන් ප්‍රමුඛ ධර්මදූත කණ්ඩායම ලක්දිවට වැඩම කොට
පස්වැනි දිනයේදි නගරයට වැඩම කොට දන් වළඳා දහම් දේශනා කොට තිස්සාරාමයට
වැඩමවීමෙන් පසු රජු එහි ගොස් ආරාමය පිහිටියේ දැයි මිහිඳු තෙරුන් ගෙන්
විචාරණ තැනේදී පිළිතුරු දුන් මිහිඳු මාහිමියන් වහන්සේ සංඝයාගේ උපෝෂථාදී
කර්මයන් පිණිස බුද්ධ ආඥාව පරිදි සීමාවක් පිහිටුවන තුරු සසුන නොපිහිටන
බව දැන්වූහ. ඒ අනුව භූමිය පරිත්‍යාග කොට උඩුගංතොටට ගොස් ඇතුන් යෙදු රන්
නඟුලින් මායිම්කොට නගරය හා විහාරය පැදකුනු කොට ගංතෙරට පැමිණ සීමා ලකුණු
කිරීම අවසන් කළ බවත් ඉන් පසු සංඝයා රැස්ව සමාන සංවාසය සීමාවක් සම්මත කළ
බවත් දීපවංසය සඳහන් කරයි. ඒ අනුව උතුරින් අස්සමණ්ඩලයත්, ඊසාන දිගින්
සසක පාෂාණ හා මරථය අම්බත්ථයත්, නැගෙනහිරින් ද්විකම්බ හා සීහසීනාත්ථයද
ගිණිකොණ දිගින් පාෂාණ තිත්ථයත් කුම්බකාරාවාටයත් මහානිපපාදපයත්,
කකුපාළිය හා මහාකාරාම අංගනරුක්ඛයද දකුණින් ඛූජ්ජමාතුලයද නිරිතින්
මරුත්තපොක්ඛරණියත් විජයාරාම උද්‍යායනයත් ගජකුම්භපාසාණයත් ථුසවට්ට හා
බලාකපාසාණයද බටහිරින් මහා සුසානයත් දීඝපාෂාණය ත් හා චණ්ඩාලගාමයත්
වයඹින් කම්මාරදේවතා සීමානිග්‍රෝධය වේලුවංගණ නිගන්ඨාරාම,
පරිබ්බාජකාරාමය, හීයගල්ල හා තේලුපමඵාලිය යන ස්ථාන ද ඇතුළත් වන
පරිද්දෙන් පදුමය කුඤ්ජරය යන ඇතුන් දෙදෙන යොදන ලද රන් නඟුලින් මහාසීමාව
සනිටුහන් කොට තිබේ. බෝධිවංසයේ දැක්වෙන මෙම තොරතුරුවලට වඩා වෙනස්
විස්තරයක් මහාවංසය දක්වයි. කොළොම් ඔය පහණ තොටින් කුඹල් ඔළුවට ගිය සීමාව
එතැනින් බක්මී ගසට ගිය බව මහ බෝධිවංසයේ දැක්වේ. මහාවංසයේ එය කොළොම් ඔය
පහණ තොටි කුඩා වලටද රතැනින් කුම්බල නම් වළ අගටද එතැනින් මහා දූවටද ගිය
බවය. මහාදූවේන් කුඹූක් පොලටද එයින් මුරුත පොකුණටද එතැනින් වියාරාම
උයනෙහි උතුර කොටුවටද ගිය බව දැක්වේ.
මහා බෝධිවංසයට අනුව බක්මි ගසින් කුඹුක්කන් පොලටද එයින් මහා අඟුණරුක
මුලටද එතැනින් කොරමයිල් රුකට ද එයින් මුරුත පොකුණට ද එතැනින් විජයාරාම
උයනේහි උතුරු කොරටුවටද ගිය බව ගියේය. දිගුගල් විලෙන් කර්මාරදේවගේ
බඩහැලට ද ගිය බව මහාවංසයේ දැක්වේ. මහාබෝධිවංසයේ දිගුගල් විලෙන් පෙහෙළි
නම් සැඩොල්ගම වම් භාගයෙන් ඉවත් කොට කුමරු දෙවොලටද ගිය බව වම් පස සැඩොල්
සොහොනටද බේලුවංගන පිළිබඳව හා මහාසීමාව වර්තමාන අභයගිරිය පෙදෙසට ඇතුළු
වු ජෝතිය ගිරි කුම්භාණ්ඩ නම් ඇති නිඝණ්ඨාරාම ඇතුළුකොට නොයෙක්
පරිබ්‍රාජක ආරාමවලින් ඉවත් කොට සීමාව ගිය බව දක්වයි. මහාවංසය මෙන්ම
බෝධිවංසය දැක්වෙන පරිදි මිහිඳු හිමියන්ගේ උපදෙස් මත දෙවන පෑතිස් රජු
සීමාව සනිටුහන් කිරීම පැහැදිලිව ආරම්භකරනුයේ කදම්භනදිය හෙවත් මල්වතු
ඔයේ පාෂාණ තිත්ථයෙනි. කොලොම් ඔය යනුද මල්වතු ඔයයි. පාෂාණ තිත්ථයෙන්
ආරම්භවන මෙම සීමා සලකුනු කිරීම, බටහිර දෙසට නැඹූරුව ගොස් අභයවැව
ප්‍රදේශයෙන් උතුරට හැරී අභයගිරියට එම සීමාව බටහිරින් ඇතුළු වේ. එතැනින්
නැවත නැඟනහිරට නැඹූරුව ගොස් කොළොම් ඔය ඉවුරේ දකුණට හැරීගොස් පාෂාණ
තිත්තය නම් ස්ථානයයේදී නවැත එකට එක ගැලපූ බව පෙනේ.
එමෙන්ම රජ මැදුරට දකුණින් පුලිල ගස පිහිටි තැන සංඝකර්ම කිරීමට අවශ්‍ය
සීමාමාලකයටද රජ මැඳුරට උතුරින් පොකුණට වැඩම කොට ගිනිහල් පොකුණ
පිහිටුවීමටද රජ මැඳුර දොර කොටුවට වැඩ එහි එක්තරා තැනක් සලකුණූ කොට
ජයශි‍්‍ර මහාබෝධියේ දකුණූ ශාඛාව පිහිටුවීමටද මහා මුචල මාලකයට වැඩ
සංඝයාගේ උපෝසථාගාරය පිහිටුවීමටද පැනඹ මලුවට වැඩ සංගයාගේ ලාභයන්
බෙදාගන්නා ස්ථානයද චතුස්සාලා නම් දාන ශාලාව පිහිටුවන තැනද රාජ උද්‍යානය
ඇතුළත වු කුඩා කකුධ නම් වැව පිහිටි තැන ස්ථානයක් පෙන්වා මහාථූපය
පිහිටුවීමටද තීරණය කරන ලදී.
ඉතිරි කොටස අධි ඇසළ අව අටවක පෝදා (ජූලි 08) පත්‍රයේ පළවේ |