Print this Article


ගලගම ධම්මසිද්ධි ශී‍්‍ර ධම්මානන්ද අත්ථදස්ස්‍යභිධාන  මහා නායක මා හිමිපාණන් වහන්සේ

 මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක ධුරන්දර

ගලගම ධම්මසිද්ධි ශී‍්‍ර ධම්මානන්ද අත්ථදස්ස්‍යභිධාන  මහා නායක මා හිමිපාණන් වහන්සේ

අක්තපත්‍ර පිරිනැමීමේ රාජ්‍ය උත්සවය ජූලි 06 දින පස්වරු 2.30 ට මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ඓතිහාසික මඟුල් මඩුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජදවස ලක්දිවට වැඩමකර සම්බුද්ධ ශාසනය පිහිටුවාලීමෙන් අනතුරුව මෙරට වැඩවිසූ මහා සංඝරත්නය අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් පාලකයින්ට මෙන්ම ජනතාවටද නිසි මග කියා දෙමින් උදාරතර ජාතික, ආගමික හා ශාසනික සේවාවක නිරතවූහ. උන්වහන්සේලා අතරින්ද තව තවත් පෙරට විත් තුන් දොර සංවර කර ගනිමින් නිහතමානි ගුණයෙන් පෝෂිතව බුද්ධ ශාසනය වෙනුවෙන් අචල ප්‍රසාදයෙන් කටයුතු කැර අපමණ ජනතා ගෞරවාදරයට පාත්‍රව සසුන්කෙත බැබළවූ භික්ෂූන් වහන්සේලා මෙම පින්බිමෙහි වැඩ සිටියහ.

එවන් වූ උදාරතර සේවාවක් ඉටු කළා වූ අතීත භික්ෂු පරපුරේ මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අභිනව මහා නායක ධුරන්දර අතිපූජ්‍ය ගලගම ශී‍්‍ර අත්ථදස්සාභිධාන මහා නාහිමියෝ ගිහි පැවිදි කාහටත් එකසේ ආදර්ශයට ගත හැකි ආදර්ශවත් සංඝ පීතෘන් වහන්සේ නමකි.

පෙර සිදුකළාවූ පින් බල මහිමය තුරුලු කර ගනිමින් සසුන්කෙත තුළ රිදී රේඛාවක් මෙන් පායා විත් සඟ සසුන බබළවාලීමට සමත්වූ උන්වහන්සේ මේ වන විට ළඟාවී සිටිනුයේ පැවිදි දිවියේ අටවන දශකයටය.

මාතලේ අස්ගිරි සියපත්තුවේ පල්ලේ සියපත්තුවේ ප්‍රභූ පවුලක 1922 ජනවාරි මස 11 දින උපත ලද මහා නාහිමියෝ කුඩා කල සිටම හැදී වැඩුනේ ආගමට ලැදි දන් පින් සිදුකරන පවුල් පසුබිමකය. කුලතුංග මුදියන්සේලාගේ ඩිංගිි බණ්ඩා නිළමේතුමන්ට දාව තෙන්නකෝන් මුදියන්සේලාගේ පිංචි අම්මා කුමාරි හාමි මාතාව බිහිකළ මෙම උතුම් පුත්‍රරත්නයට කුඩා කල නම් තැබුවේ කුලතුංග මුදියන්සේලාගේ කිරිබණ්ඩාර යනුවෙනි.

පැරණි රජයේ විදුහලක්වූ යටවත්ත වීර පරාක්‍රම මධ්‍යම මහ විදුහලින් ගිහි ජීවිතය තුළ මූලික අධ්‍යාපනය ලද උන්වහන්සේ වයස අවුරුදු 14 සම්පූර්ණවූ 1936 වසරේදි අති උතුම් පැවිදි බිමට පිවිසුනාහ. උඩුරාවන ශී‍්‍ර ධම්මානන්දාභිධාන ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් සසුන්ගතවූ මහා නාහිමියෝ මාතලේ ශ්‍රී ධර්මරාජ පිරිවෙනට ඇතුළුව දශකයක කාලයක් හොඳින් අධ්‍යාපන කටයුතු සිදු කළහ.

පැවිදි බිමට පිවිස සයවස් සපිරූ තැන එනම් 1942 වර්ෂයේදි අස්ගිරි මහා විහාරිය මංගල උපෝසථාගාරයේදී උපසම්පදාව ලද්දේ මුල්ලේගම ශ්‍රී ගුණාරතන නාහිමි උපාධ්‍යාය කොටගෙනය. උරුලෑවත්තේ ගුණරතන, ගල්මුල්ලේ චන්ද්‍රජෝති හිමිවරු කර්මාචාර්යවරු වූහ.

පැවිදි බිමට පිවිස උපසම්පදාව ලබමින් අධ්‍යාපන කටයුතුද නිසි ලෙස සිදුකළ මහා නාහිමියෝ 1947 වසරේදී සිංහල, පාලි, සංස්කෘත හා දෙමළ යන විෂයන් විශිෂ්ට ලෙස සමත්වෙමින් ප්‍රාථමික, ප්‍රාරම්භ හා මධ්‍යම යන විභාගවලින් විශිෂ්ට ප්‍රතිඵල පෙන්වා පණ්ඩිත උපාධිය ලබා ගත්හ. පසුව විද්‍යෝදය පිරිවෙන මඟින් පැවැත්වූ ත්‍රිපිටක ධර්ම පරීක්ෂණයේදී සද්ධර්මාචාර්ය උපාධියද 1952 වසරේදී අභිධර්මාචාර්ය උපාධියද ලැබ පසුව ත්‍රිපිටකාචාර්ය උපාධියද හිමිකර ගත්හ.

එම වසරේදීම අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ කර්මාචාර්ය පදවියට පත් ගලගම ශී‍්‍ර අත්ථදස්සී මහා නාහිමියෝ 1963 සිට පුරා වසර 14 ක් මාතලේ ශ්‍රී ධර්මරාජ පිරිවෙනේ ගුරුවරයකු ලෙසත් පරිවේණාධිපති ලෙසත් කටයුතු කළහ.අනතුරුව 1977 වසරේදී පරිවේණාධිපති ලෙස කවටයාමුණ ශී‍්‍ර ධර්මාරාම පිරිවෙන නඟා සිටුවමින් දරුපරපුර දහම් අධ්‍යාපනයෙන් පෝෂණය කැර නිසිමඟට යොමු කරලීමට උන්වහන්සේ කළ මෙහෙවර අගනේය.

උරූලෑවත්තේ ශ්‍රී ධම්ම සිද්ධි දහම් පාසල 1970 වසරේදී ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුතු කළ මහා නාහිමියෝ ප්‍රදේශයේ දුවා දරුවන්ට ධර්ම ඥානය ලබාදීමට සුවිශේෂි මෙහෙවරක් සිදු කළහ.

ශ්‍රී දළදා වහන්සේ උදෙසා දෛනිකව සිදුකෙරෙන්නා වූ තේවා කටයුතු සඳහා සහ සම්බන්ධ වීමට ලැබීමේ මහා විහාරවංශික භික්ෂුවකට පූර්වාකෘත පුණ්‍ය බලමහිමය නිසාම හිමිවන්නාවූ පූජනීය ප්‍රතිලාභයකි. 1981 දී තේවා කටයුතු සඳහා වරම් ලද උන්වහන්සේ 1997/98 තේවා මුරයේදී තේවාභාර නායක හිමි ලෙස දළදා සමිඳුන් උදෙසා මහත් ශ්‍රද්ධා භක්තියෙන් පුද සිරිත් ඉටුකරන ලද්දාහ. ස්වකීය පාර්ශ්වයේ මහා නායක හිමිවරුද ප්‍රමුඛ මහා සංඝරත්නය සමඟත් සෙසු නිකායික මහ සඟරුවන සමඟත් නොමද ප්‍රසාදය දිනා ගනිමින් අර්ථවත් පැවිදි දිවියක් ගත කරනු ලබන අත්ථදස්සි නාහිමියෝ 1982 වසරේදි අස්ගිරි මහා විහාර පාර්ශවයේ විංසත් වර්ගික කාරක සංඝ සභාවටද ඉන් දොළොස් වසරකට පසු ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ධුරයටද පත්වූහ. 1996 දී අති උතුම් ශාසනික පදවියක්වූ මහෝපාධ්‍යාය පදවියට පත්වූ උන්වහන්සේ 1999 වසරේදී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පදවියට පත්වූයේ එවකට මහානායක පදවිය හෙබවූ අපවත් වී වදාළ උඩුගම ශී‍්‍ර බුද්ධරක්ඛිතාභිධාන මහා නාහිමියන් වහන්සේ ප්‍රමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභාවේ සමානච්ඡන්දයෙනි.

1988 දී උඩුරාවන ශ්‍රී ධම්මානන්දාභිධාන ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් අනතුරුව මාතලේ උරුලෑවත්තේ පුරාණ විහාරය, අලව්වේ අම්බුළුව රජ මහා විහාරය,අස්ගිරිය උරුලෑවත්ත පන්සල හා මැටියගනේ රජ මහා විහාරයන්හි විහාරධිපති ධුරයට පත් මහා නාහිමියෝ බුදුරදුන්ගේ පාද ස්පර්ශය ලද ඓතිහාසික මයියංගණ රජමහා විහාරයෙහි විහාරාධිපති ධුරයට පත්වූයේ 2000 මාර්තු මස 25 දිනය.

විද්‍යාලංකාර මහ පිරිවෙන මඟින් වසර 2002 දී “ස්ථවිර වංශාලංකාර ශාසන ශෝභන” ගෞරව නාමය උන්වහන්සේට පුදකරනු ලැබීය. ජාතික හා ආගමික අවශ්‍යතා ඉටුකරළීම උදෙසා ඉන්දියාව, සිංගප්පූරුව, බුරුමය, තායිලන්තය වැනි රටවලට උන්වහන්සේ වැඩමකර තිබේ. සම්බුදු සසුනේ චිර පැවැත්ම රඳා පවතිනුයේ ජ්‍යෙෂ්ඨ මහා සංඝරත්නය ශිෂ්‍ය පරම්පරාවක් බිහිකරළීමට ගන්නා වෑයම මතය. අප මහ නාහිමියෝ පැවිදිකම සුරකින විනීත ශිෂ්‍ය පරපුරක් බිහිකළ භාග්‍යවන්ත මහ තෙරනමකි. ඓතිහාසික මහියංගණ රජමහා විහාර භාරකාර ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික උරුලෑවත්තේ ධම්මරක්ඛිත, ඵෙතිහාසික සම්බුද්ධ රජමහා විහාර භාරකාර උරුලෑවත්ත ධම්මකිත්ති යන නාහිමිවරු ඇතුළු ශිෂ්‍ය පරම්පරාවක් උන්වහන්සේ විසින් බිහිකරනු ලැබ ඇත.

කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ සියම් දේශයෙන් මෙරටට උපසම්පදාව වැඩම කැර මල්වතු අස්ගිරි උභය මහා විහාර පිහිටුවීමත් සමඟ රජු විසින් 1765 දී විහාර පාර්ශ්ව ද්විත්වය සඳහා මහා නායක පදවි දෙකක් ස්ථාපිතකොට නාහිමිවරු දෙනමක් පත්කරනු ලැබීය. අස්ගිරි පාර්ශ්වයේ ප්‍රථම මහා නායක වූ උරුලෑවත්තේ ශ්‍රී ධම්මසිද්ධි මහා නාහිමියන්ගෙන් පැවත එන ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුරේ කීර්තිමත් සඟරුවනක් වන මහ නාහිමියෝ එම පරපුරේ නවවන මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේය. අස්ගිරි පාර්ශ්වයේ මහා නායක මාහිමි නාමාවලියේ 21 වන මහ නාහිමි ලෙස උන්වහන්සේගේ නම ශාසන ඉතිහාසයට එක්වෙයි.

අනුනායක පදවිය වසර 16 ක් පුරා දරමින් දිවයිනේ ඈත ගම් දනව්වලට පවා වැඩම කරමින් ජාතික, ආගමික හා ශාසනික සේවය වෙනුවෙන් කැපවූ අත්ථදස්සි මහා නාහිමියෝ බුද්ධ ගෞරවයත්, ගුරු ගෞරවයත් නිසිලෙස සුරැකි ආදර්ශවත් භික්ෂූ චරිතයකි. සසුන් කෙත සරුකරන සුපේශල ශික්ෂාකාමී විනය ගරුක මහා සඟරුවන වැඩිවශයෙන් රටට පහළ විය යුතුව ඇති කාලවකවානුවක උන්වහන්සේ මහා නායක පදවියට පත්වීම මෙරට සසුනේ උන්නතියට හේතුවනු නොඅනුමානය.


මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පදවියෙන් පුද ලද වරකාගොඩ ඤාණරතන අනු නා හිමි

අස්ගිරි මහාවිහාරයීය විංශද්වර්ගික කාරක මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික උපාධ්‍යාය උඩගුන්නෑපාන බෝධිමල්කඩ විහාරාධිපති බදුලු මුතියංගණ රජමහා විහාරාධිපති, වරකාගොඩ ඤාණරතන ස්වාමින් වහන්සේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය ගලගම අත්ථදස්සි මහා නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන කාරක මහා සංඝ සභාව විසින් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පදවියට පත්කිරීම අස්ගිරිය මංගල උපෝෂථාගාරයේදී නොබෝදා සිදුකැරිණි.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පදවියට පත් ශාස්ත්‍රපති වරකාගොඩ ඤාණරතන අනුනාහිමියන් ධර්මධර විනයධර පඬිරුවනකි. සසුනඹරේ දිදුලන උන්වහන්සේ පැවිදි මිණිපහනකි. හාරිස්පත්තුව වරකාගෙඩ දුල්දෙණිය ග්‍රාමයේදී 1942 මාර්තු මස 18 වෙනිදා ජන්මලාභය ලැබු වරකාගොඩ ඤාණරතන හිමිපාණෝ කුඩා කල සිටම දීප්තිමත් ශිෂ්‍ය රත්නයක් වූහ. රාජකරුණා නවරත්න අතපත්තු වාසල මුදියන්සේලාගේ මුදියන්සේ සහ හිගුල්වල අලකොළදෙණියේ දුග්ගන්නාරාළලාගේ පිංචි අම්මා දම්පතීන් උන්වහන්සේගේ දෙමව්පියන් වූ අතර හාරිස්පත්තුව වරකාගොඩ කනිටු විදුහලින් මූලික අධ්‍යාපනය ලබාගත්තේය.

උන්වහන්සේගේ ගිහිනාමය වූයේ රාජකරුණා නවරත්න අතපත්තු මුදියන්සේලා ගේ රත්නායක නාමයයි.

එවකට අස්ගිරි මහා විහාරයේ වැඩ සිටි පැවිදි පඬිරුවනක් වූ උඩපිටියේ ශ්‍රී සුමංගල , මැදගොඩ පඤ්ඤානන්ද,අලුදෙණියේ ශ්‍රී රතනපාල, රඹුක්වැල්ලේ සද්ධානන්ද මහතෙරවරුන්ගේ ආචාර්යත්වයෙන් 1955 බක්මස 07 වන දින අස්ගිරිය මහාවිහාරීය මංගල උපෝෂථාගාරයේදී පැවිදි දිවියට ඇතුළත් විය.

වරකාගොඩ ඤාණරතන අනුනාහිමියන් බදුල්ල විද්‍යාත්තංස, වත්තේගම ධර්මදීප අස්ගිරි මහා විහාර පිරිවෙන යන අධ්‍යාපන ආයතන තුළින් මූලික පිරිවෙන් අධ්‍යාපනය හදාරා 1962 ජුනි මස 09 වැනි දින අස්ගිරි පාර්ශ්වයේ මහානායක යටවත්තේ ධම්මරතන මහා නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදාව ලැබීය. ප්‍රාචීන පණ්ඩිත විභාගයෙන් උසස් ලෙස සමත් වූ ඤාණරතන අනුනාහිමියෝ 1970 දී විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලැබූහ. වර්ෂ 1998 තෙක් අස්ගිරි මහා විහාර පිරිවෙනේ ධර්මාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ උන්වහන්සේ දිවයිනේ ප්‍රකට විද්‍යාල 05 ක 23 වසරක් සේවය කළේය.

1990 දී එවකට අස්ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක පලිපාන ශ්‍රී චන්දානන්ද මහානායක හිමියන් විසින් අස්ගිරි කාරක සංඝ සභාවට පත්කරන ලදී. 1976 , 2004 වර්ෂවල දළදා සමිඳුන් වෙනුවෙන් තේවාව සිදුකිරීමත් 2000 දී උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානාහිමියන් විසින් බදුලු මුතියංගණ විහාරාධිපති පදවියටත් 2006 ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ධුරයටත් 2006 දී කාරක සංඝ සභාවේ’ උපාධ්‍යාය පදවියටත් පත්කරනු ලැබූ උන්වහන්සේ මේ කාලය තුළ බෞද්ධ පුනරුදය ඇතිකිරීමට සුවිශාල මෙහෙයක් ඉටුකළේය.

උන්වහන්සේ අතින් බෞද්ධ අධ්‍යාපන ක්ෂේත්‍රයට මාහැඟි කාර්යයන් රැසක්ම ඉටුකරනු ලැබිණි. 1969 දී ශ්‍රී සුධර්මෝදය දහම් පාසල ආරම්භ කිරීමත් ගුන්නෑපාන බෝධිමල්කඩ විහාරස්ථාන පිළිසකර කර නවාංග එක්කොට අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත්කිරිමටත් ඤාණරතන අනුනාහිමියෝ පියවර ගත්හ. වරකාගොඩ ඤාණරතන, අනුනාහිමිපාණන් වහන්සේගේ නිහඩ ශාස්ත්‍රීය ,ආගමික, සමාජීය යුග මෙහෙවර මතු පරපුරට මහඟු ආදර්ශයකි. උන්වහන්සේ කළ ශාසනික මෙහෙවර ඉදිරියටත් ඉටුකිරීමටත් රටට දැයට හා බෞද්ධාගමික පුනරුදයට තව තවත් සේවාවන් ඉටුකිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.


මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පදවියෙන් පිදුම්ලද වේඩරුවේ උපාලි අනු නා හිමි

සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය පිණිස ධර්ම, විනයධර, සුපේෂල, ශික්ෂාකාමී තෙරුන් වහන්සේ උදෙසා ශාසනික තනතුරු පිරිනැමීම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්ම අරඹන ලද්දකැයි ශාසන වංශකථා ඉතිහාසය සාක්ෂි දරයි.

කාලයෙන් කාලයට ඇතිවූ විවිධ හේතු නිසා එවන් ශාසනික තනතුරු පිරිනැමීම විවිධ ස්වරූපයන් ගත් අතර, ලක්දිවෙහි බුදුදහම ස්ථාපිත කළ පසු එය තවදුරටත් පැතිරෙමින් ගරුතර අතිපූජ්‍ය මහානායක, අනුනායක, පළාත් නායක ආදි විවිධ තනතුරු බිහිවී ඇත.

පරම පවිත්‍ර ථෙරවාදී බෞද්ධ ලෝකයේ මුදුන්මල්කඩ ලෙස සැළකෙන අස්ගිරි මල්වතු උභය මහා විහාරයන්හිද පිරිනමනු ලබන ගරුතර මහානායක, අනුනායක තනතුරු සම්බන්ධවද ඇත්තේ ඉතා දිගු ගෞරවනීය ඉතිහාසයකි. එම ගෞරවණීය ඉතිහාසය තව තවත් දීප්තිමත් කරමින් අස්ගිරි මහා විහාරිය පාර්ශ්වයේ අනුනායක වංශකථාවට තවත් ධර්මධර විනයධර, සුපේෂල, ශික්ෂාකාමී ගරුතර මහා තෙර නමක් ලෙසද අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ රාජ මහා විහාරාධිකාරි, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති, ශාස්ත්‍රපති වේඩරුවේ උපාලි හිමිපාණන් වහන්සේ පත්වනුයේ සසුන් කෙත බබළවමිනි. මහනුවර හයගිරි විජය සුන්දරාමාධිපති ඓතිහාසික මහියංගන රාජ මහා විහාරධිපති ගලගම ධම්ම සිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්ථදස්ස්‍යාභිධාන මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අතිගරු මහානායක හිමිපාණන් වහන්සේ ප්‍රධාන විංසද්වර්ගික කාරක මහා සංඟ සභාව විසින් අස්ගිරිය මහාවිහාර පාර්ශ්වයේ අති ගෞරවණීය අනුනායක පදවියට උන්වහන්සේ එසේ පත් කරනු ලැබිණි. 1953 ජනවාරි 28 දිනට යෙදුන දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයේ ජන්ම ලාභය ලද උපාලි අනුනාහිමියන්ගේ මවුපියන් වූයේ මාරස්සන ඇලිකේවෙල ආර්.එම්. ලොකුබණ්ඩා, සෙනරත්වෙල ඩබ්ලිව්. එම්. අධිකාරම් වලව්වේ කුමාරි හාමි යන දම්පතීන්ය.

රත්නායක මුදියන්සේලාගේ ජයතිලක බණ්ඩා ගිහිනම උරුම කරගත් උන්වහන්සේ උත්තරීතර සසුන්කෙතට ප්‍රවිශ්ඨ වනුයේ 1967 ජුනි මස 23 දිනය. ඒ අස්ගිරි මහා විහාර කාරක පදවිය හා මහියංගන රජ මහා විහාර භාරකාරධුරය ඉසුලූ ගොමගොඩ රතනපාල, පණ්ඩිත රණවන සද්ධාතිස්ස යන නාහිමිපාණන් වහන්සේලාගේ ආචාර්යත්වයෙනි.

ඉක්බිතිව අස්ගිරිය මංගල උපෝෂථාගාරයේදී 1976 ජුනි මස 26 දින උපසම්පදා ශීලයෙහි පිහිටුවා වෑවල දෙනිය මහින්දෝදය , මහනුවර සංඝරාජ, මාදන්වල ධර්මෝදය යන පිරිවෙන් වෙතින් මුලික ධර්ම දැනුමත්, පේරාදෙණිය, කැලණිය යන විශ්වවිද්‍යාල වලිනුත් පාලි හා බෞද්ධ අධ්‍යාපන පශ්චාත් උපාධි ආයතනය වෙතින්ද ශාස්ත්‍රවේදි හා ශාස්ත්‍රපති උපාධි වරම් ලද අනුනාහිමියෝ ධර්මාචාරයවරයකු වූහ. එම පිරිපුන් ධර්ම දැනුම උකුවෙල, නාගොල්ල, ගිරිහාගම, මහනුවර ධර්මරාජ, බදුල්ල ධර්මදූත යන විද්‍යාලයන්හි සිසු දරුවන් වෙත දශක තුනක වැනි කාලයක් පුරා, ලබාදෙමින් ඉටුකළ මෙහෙවර ඔස්සේ බිහිවු යහපත් පුරවැසියන් එමටය. ධර්මධර, බහුශ්‍රැත. අධ්‍යාපන විශාරද තෙරනමක් බවට පත්වු අනුනා හිමියන් වහන්සේ අස්ගිරි මහා විහාර පාර්ශ්වය මුල්කොට සිදුකරන ලද ධර්ම ශාස්ත්‍රීය සේවයද අගනේය. ඒ නිසාම උන්වහන්සේ අස්ගිරි මහා නාහිමියන් වහන්සේ විසින් කාරක මහා සංඝ සභාවේ කාරක සභික ධුරයටත්, බදුලු මුතියංගන රජ මහා විහාර භාරකර පදවියටත් පත් කරන ලදී.

මුතියංගන රජ මහා විහාරයේ පූජාභූමි සංවර්ධනයට මුල්වු අනුනාහිමියෝ මුතියංගන රජ මහා විහාරය අංගසම්පූර්ණ සිද්ධස්ථානයක් බවට පත්කිරීමේ උදාරතර ශාසනික මෙහෙවරට අඩිතාලම දැමූහ. අස්ගිරිය ගෙඩිගේ රාජමහා විහාරය, ගොමගොඩ මාදවළුව විහාරය, අංග සම්පූර්ණ පුණ්‍ය භූමි බවට පත්කොට එම දායක කාරකාදීන්ට අනුශාසනා දෙමින් දෙස්, විදෙස් ජාත්‍යන්තර තලයේ ධර්මදූත මෙහෙවරක් පවත්වන්නට ඇති කුසලතා පිරි ධර්මධර බහුශ්‍රැත පැවිදි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා අටනමක් ශාසනයට දායාද කිරීමද අනුනාහිමියන්ගේ තවත් එක් ශාසනික මෙහෙවරකි. අති උතුම් ශ්‍රී දළදා සමිඳුන් වෙනුවෙන් තේවා භාර කටයුතු සඳහා කිහිපවිටක් නියැලී අනුනාහිමියෝ මෙම උත්තරීතර පදවියට පත්වන විටත් ශි‍්‍ර දළදා සමිඳුන් වෙනුවෙන් තේවාව භාරවත්, කටයුතු කළහ. ශ්‍රී දළදා මාලිගාවේ විවිධ චාරිත්‍ර, නිසි අයුරින් ඉටු කළ අනුනාහිමියෝ ශ්‍රී දළදා පෙරහරේ දහවල් පෙරහර සිදුකරන ඓතිහාසික ගෙඩිගේ රාජමහා විහාරය පිළිබඳව ශාස්තී‍්‍රය ලිපිමෙන්ම ග්‍රන්ථ සංස්කරණයෙහිද නියැලී ඇත.

පුරාවිද්‍යා, බුද්ධශාසන, සංස්කෘතික, නාගරික හා පූජාභූමි සංවර්ධන යන ක්ෂේත්‍රවලද උපදේශක තනතුරු හොබවමින් බොදු ශාසනික උරුමයන් සුරක්ෂා කිරීම සිය කාලයත් ශ්‍රමයත්, නිතැතින්ම කැපකරන ශාස්ත්‍රපති, වේඩරුවේ උපාලි අස්ගිරි පාර්ශ්වයේ අභිනව අනුනායක හිමිපාණන් වහන්සේට මෙම මා හැඟි ශාසනික සේවාව තවදුරටත් ඉටු කිරීමට අතිඋතුම් ශී‍්‍ර දළදා සමිඳුන්ගේ ආශිර්වාදය නිතැතින්ම හිමිවේවායි ප්‍රාර්ථනා කරමු.


අක්ත පත්‍ර ප්‍රදානය කිරීමේ රාජ්‍ය උත්සවය

සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අභිනව මහා නායක අතිපූජ්‍ය ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්ථදස්ස්‍යාභිධාන මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත අක්තපත්‍ර පිරිනැමීමේ රාජ්‍ය උත්සවය ජූලි 06 දින පස්වරු 2.30 ට මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ඓතිහාසික මඟුල් මඩුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.

අස්ගිරි පාර්ශවයේ අනුනායක පදවි දෙක සඳහා පත්වූ ඓතිහාසික බදුලු මුතියංගන රජමහා විහාරාධිපති වරකාගොඩ ශ්‍රී ඥානරතනාභිධාන ස්වාමීන් වහන්සේට හා ඓතිහාසික පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති වෙඬරුවේ උපාලි ස්වාමීන්වහන්සේට එම පදවිවලට අදාළ අක්තපත්‍ර ප්‍රදානයද එදින සිදු කෙරෙති.

අස්ගිරි මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා අනුනායක හිමිවරුද දෙනමට අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ රාජ්‍ය උත්සවයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයද, විපක්ෂනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, තානාපතිවරුන්, විදේශ දුත පිරිස් මෙන්ම අන්‍යාගමික පූජකවරුන් ද සහභාගි වීමට නියමිත බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරංපනාවේ ආනන්ද හිමියෝ පැවසූහ.