Print this Article


කේන්තිය පාලනය කර ගනිමු

කේන්තිය පාලනය කර ගනිමු

අප නොරුස්නා යමක් යමකු විසින් කළ විට හෝ අප කැමති නැති අයුරින් යමක් සිදුවන විට අපි කේන්ති ගනිමු. කේන්තිය සාමාන්‍යයෙන් ඕනෑ ම නිරෝගී අයකුට වුවද සිදුවිය හැකි දෙයක් බව මනෝ විද්‍යාඥයෝ පවසති. එය ඉබේ ම මෙන් ඇවිස්සෙන චිත්ත වේගයකි. තරහ ගැනීම යමකු යම් කිසි සිදුවීමකට, චර්යාවකට හෝ අවස්ථාවකට අකැමැති බව, එය නො ඉවසන බව ප්‍රකාශ කරන ආකාරයකි. අප්‍රසන්න උත්තේජකයකට අප්‍රසන්න ප්‍රතිචාරයක් ලෙස මනෝ විද්‍යාඥයෝ එය හඳුන්වති. එහෙත් එම තරහ හෝ කේන්තිය දැඩි වන්නට නොදී පාලනය කර ගන්නට අප සමත් විය යුතුයි. එසේ නොවුණහොත් කේන්තිය වෛරයක්,ආඝාතයක් බවට පත්වීමට ඉඩ තිබේ. එය අපේ නිරෝගීකම නැති කර මානසික මෙන්ම කායික රෝග තත්ත්වයකට අප පත් කරයි.

කේන්තිය පාලනය කර නොගතහොත් කේන්තිය අප පාලනය කරනු ඇත. එමෙන්ම අප ලවා අප කිසිසේත් බලාපොරොත්තු නොවූ විනාශකාරි ක්‍රියාකරවන්නට කේන්තියට හැකි වෙයි. කේන්ති ගත් විට හොඳ නරක තේරුම් බේරුම් කර ගන්නට අමාරු තත්ත්වයකට අප පත්වන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙති. (කුද්ධො අත්ථං න ජානාති)

මානසික වේගයක් ලෙස ඇති වන කේන්තිය දිගින් දිගට ම දැඩි වන විට කායිකව විනාශකාරි චර්යාවන් දැක්වීම කරා වර්ධනය වනු ඇත. අපට තරහේ පීඩනය දරා ගත හැක්කේ එක්තරා ප්‍රමාණයකට පමණි.

එය බැලුමක් පුපුරා යන මෙන් පුපුරා යන තත්ත්වයකට පත් විය හැකිය. මුහුණේ අප්‍රසන්න විලාසය, කායික අභිනය,අසභ්‍ය හෝ ආවේගාත්මක වචන භාවිත කරමින් කෑගැසීම, නපුරු ප්‍රචණ්ඩ ක්‍රියා ආදියෙන් බොහෝදෙනා බලා සිටියදී ම ආක්‍රමණශීලීව කලහකාරීව හැසිරීම කේන්ති ගත්තවුන්ගෙන් ප්‍රකට වන හැසිරීම් බව සියල්ලෝම දනිති. කේන්ති ගත් කෙනෙකුට තමා පාලනය කර ගන්නට අපහසු වෙයි.

කෙනකු කේන්තියට පත් වන්නේ ඇයි? මෙය බොහෝ මනෝ විද්‍යාඥයන්ගේ අවධානය යොමු වු සංකීර්ණ ප්‍රශ්නයකි. එමෙන්ම සමහර අය තවත් අයට වඩා අඩුවෙන් කේන්ති ගන්නා අතර කලාතුරකින් පමණක් කේන්ති ගන්නා අය ද සිටිති.අධ්‍යාත්මික ගුණ වර්ධනය කර ගත් උතුමන් එබඳු සංවරයෙන් යුක්ත බව අපි දනිමු. එසේ වුවත් ඕනෑම කුඩා දෙයක් හේතුවෙන් උග්‍ර ලෙස කේන්ති ගන්නා පුද්ගලයන් සිටීම සමාජයේ ජීවත් වන හැම දෙනාටම මහත් හිරිහැරයකි. මනෝවිද්‍යාඥයන් පවසන අන්දමට එවන් අයගේ කේන්ති ගන්නා සුළු ස්වභාවයෙහි රහස ළමා වියේ ඇති වු අප්‍රසන්න අත්දැකීමක ප්‍රතිඵලයක් විය හැකිය. හැමදේටම කේන්ති ගන්නා එක් තරුණියකගේ අතීතය හාරා බැලූ විට ඇයට වයස 15 දී පමණ දෙමාපියන් දික්කසාද වීම නිසා ලද කම්පනය එයට හේතු වූ බව හෙළි විය.

දෙමාපියන් ගේ දික්කසාදය නිසා ඇති වූ කේන්තිය වෙනත් අය වෙත හැරවී ඇති බව හෙළි කර ගන්නා ලදී. යටපත් කර ගත් වෛරය මෙබඳු අනර්ථකර චර්යාවන් ඇති කිරීමට හේතුවෙයි. වැඩි වයසට පත් වූ පසු තමන් තුළ ජීවත් වන මේ “අපේක්ෂාභංගත්වයට පත් ළමයාට” එම සිද්ධීන් එතරම් ලොකුවට නොගත යුතු බව පිළිබඳ යථාර්ථාවබෝධයක් ලබා දීම තුළින් මේ ගැටලුව විසඳා ගත හැකි වෙයි. මේ සඳහා මනෝවිද්‍යා උපදේශකයකුගේ සහාය ලබා ගත හැකියි.

බොහෝ විට තමන් රුචි නොකරන හෝ තමන්ට පීඩා දෙන දෙයක් සිදු වූ විට තරහක් ඇති වෙයි. එය දිගින් දිගටම සිත තුළ පැසවන්නේ නම් එය වෛරයක් බවට පත් වන බව බුදුරජාණන් වහන්සේ පැහැදිළි කළහ.

අකොච්ඡි මං අවධි මං
අජිනි මංඅහාසි මෙ
යෙ තං උපනය්හන්ති
වෙරං තෙසං න සම්මති

ඔවුන්ගේ වෛරය නොසංසිඳී වැඩි වෙනවා පමණක් නොව එයින් අනර්ථකාරි ප්‍රතිඵලද උදාවෙයි. කේන්තිය හෝ වෛරය අප තුළ පවත්වා නොගත යුතුයි. එය දුරු කර ගත යුතුය. කේන්තිය සඟවා ගැනීම නොව එය සංසිඳුවා ගැනීම කළ යුතුයි. කේන්තිය මර්දනය කරන්නට යාමෙන් වික්ෂේපය (depression)  ඇති වන්නට ඉඩ ඇති බව කියනු ලැබේ. එහෙයින් කේන්තිය පිට කළ යුතු බව සමහරු කියති. ඇතුළත ගිනි ගෙන දුම් දමන්නට පටන් ගත් විට ඒ උණුසුම පිට කළ යුතුයැයි ඔවුහු පවසති. එම චිත්ත වේගය වෙනත් අනර්ථකාරි දෙයක් බවට පත් වන්නට ඉඩ ඇතැයි ඔවුහු පවසති. මෙය මති භ්‍රමයකි.

හුදු ප්‍රලාපයකි. මහත් මුලාවකි. මහාචාර්ය වින්ඩ් ඩ්‍රයිඩන් පවසන්නේ කේන්තිය පිට කරන්නට යාමෙන් කේන්තිය තවත් වැඩිවන්නට ඉඩ ඇති බවයි. කේන්තිය පිට කළ පමණින් එය දුරු වන්නේ නැත.යමක් හෝ යමකු පිළිබඳ අරුචියක්, දොම්නසක් හෝ සුළු තරහක් ඇතිවීම ස්වභාවයකි. එය එතරම් ලොකුවට ගත යුතු නැත. එහෙත් අපේ කායික සහ මානසික සුවයට අහිතකර දෙයක් වන කේන්තිය ඒවායින් වෙන් කොට හඳුනා ගත යුතු වෙයි. ඔබ අකැමැති දෙයක් සිදු වන විට ඒ ගැන ඔබගේ අකමැත්ත සංසුන්ව පවසා සාකච්ඡාවකට මග පාදා ගත හැකි නම් කේන්ති ගන්නට උවමනා නැත. හොඳින් පැහැදිලි කර සමනය කර ගැනීම කෑ කෝ ගසා ගන්නවාට වඩා යහපත් නොවේද?

කේන්තිය නිසා ජනිත වන්නේ බලවත් ශක්තියක් බව අප තේරුම් ගත යුතුයි. එම ප්‍රබල ශක්තිය අපතේ යවන්නේ ඇයි? වෙන වැඩකට ගන්නට බැරිද? එය සිරුර තුළම තබා ගන්නට උවමනා නම් කෙතරම් හොඳද? එය නාස්ති වන පරිදි බැණ වදිමින් කෑ ගසන්නට ද පුළුවන. එහෙත් බොහෝ විට එයින් සිදුවන්නේ කේන්ති වැඩිවීමය. මහාචාර්ය ඩ්‍රයිඩන් මෙසේ කියයි.

“කේන්තිය ගන්නා අය වටහා ගත යුතු ඉතා වැදගත් ම කරුණ නම් තමන්ගේ හැසිරීම සහ ක්‍රියා වෙනුවෙන් තමා වගකිව යුතු බවයි. තරහ ගිය විට අප කරන්නේ අනුන්ට චෝදනා කිරීමයි. දොස් කීමයි. තමුසෙ මට මෙහෙම කළා යනුවෙන් චෝදනා කරනු වෙනුවට ඔබ කළ දේට මට කේන්ති ගියා යයි සිතන්නට පුරුදු වන්න. එවිට ඔබේ කේන්තිය ඔබේ වගකීම බව තේරුම් යයි.

කේන්තිය අපේය.අපගේ වගකීම එය දුරුකර ගැනීමයි. කේන්තිය විනාශකාරි වන්නට ඉඩ දෙනවා වෙනුවට එම ශක්තිය වෙන අතකට යොමු කර ගත හැකියි. ඔබ ගෙයක් මිලදී ගන්නට කතා කර ගෙන එය ගන්නට ගිය විට අයිතිකරු එය වැඩි මිලකට විකුණාගෙන ඇත්නම් ඔබ බලවත් ලෙස කේන්ති ගන්නවා ඇත. ඔහුට බැණ වැදි පහරදී පලි ගන්නට සිතුවහොත් සිදුවන්නේ ඔබේ ශක්තිය නරක ක්‍රියාවක් වෙනුවෙන් වැය කර නීතියෙන්ද දඬුවම් ලැබීම පමණි. ගනුදෙනුව ආපසු හරවන්නට හැකියාවක් නැත. ඒ වෙනුවට ඔබ කළ යුත්තේ ඒ නිවසට වඩා හොඳ නිවසක් සොයා ගෙන සතුටු වීමය. කේන්තියක් ආ විට සිත සංසුන් කර ගැනීම සඳහා මෙසේ කරන්න. සංසුන් වීම සඳහා මඳ විවේකයක් ගන්න. එළිමහනට ගොස් ගැඹුරු හුස්ම හත අටක් ගන්න. බොහෝ විට අපට කේන්ති යන්නේ අප ගැන හොඳ ඇගයුමක් , තක්සේරුවක් නැති නිසායි. තමා ගැන දැනට වඩා හොඳ හැඟීමක් ඇති කර ගන්න. “මම වගේ අය මීට වඩා හොඳින් හැසිරෙන්න ඕන” යනුවෙන් සිතන්න. ඇඟ පත වෙහෙසෙන්න වැඩක් කරන්න.

රවුමක් දුවන්න, බැරි ම නම් කොට්ටයකට බොක්සිං පහර කීපයක් අනින්න. සිදු වුණු දෙයෙහි හාස්‍ය ජනක පැත්ත දකින්න. සරලව සිනාසෙන්න.(එහෙත් එහි වැදගත්කමක් තිබේ නම් ඒ නැතැයි සිතන්නට උත්සාහ නොකරන්න)

කේන්තිය අප තුළ හටගන්නා බලගතු ශක්තියක් බවත් එයින් අපට වැඩ ගන්නට පිළිවන් බවත් අපි කලින් සඳහන් කළෙමු. කේන්ති ශක්තියෙන් ප්‍රයෝජන ගන්නට නම් පහත දැක්වෙන උපදෙස් පිළිපදින්න. කේන්තිය ඔබට දෙන සංඥාවක් බව හිතන්න එය හරියට ඔර්ලෝසුවේ බෙල් එක වැදුණා. මෙන් ඔබට දෙන සංඥාවකි. කුමට දෙන සංඥාවක්ද? හිත ඇතුළේ අපි‍්‍රය හැඟීම් පැහැවන්නට නොදී චිත්ත වේගය සමනය කර ගන්න යැයි දෙන සංඥාවක් ලෙස සිතන්න.

පෑනක් සහ කඩදාසියක් ගන්න තමාට තරහ ගියේ ඇයි දැයි තම සිත තමාම විග්‍රහ කර එහි ලියන්න. කාගේ හෝ ක්‍රියාවක් නිසා තරහ ගිය විට ඔබ මා කේන්ති ගැස්සුවා කියනු වෙනුවට මම කනගාටුවට දුකට පත් වුණා කියන්නට පුරුදු වන්න. ඔබ දිගට හරහට යමකුට චෝදනා කරමින් කෑ ගසන විට අනිත් තැනැත්තාටද තමන් නිවැරැදි බව කියා පාන්නට තර්ක කරන්නට සිදුවෙයි. ඔබට ඇහුම්කන් දෙනවා වෙනුවට වාද රන්නට ඔහුත් පෙලඹෙන බව තේරුම් ගන්න. එකට එක කියා ගැනීමෙහි කෙළවර භයානක ප්‍රතිඵල විය හැකි බව සිතන්න. එහෙයින් නිහඬ වීම පරාජය නොව නියම ජයග්‍රහණයයි. ඔබ කතා කරන්නට ගන්නා තරම්ම වේලාවක් අනිත් තැනැත්තාටද කතා කරන්නට දෙන්න. එවිට ඔහු ඔබට ඇහුම්කන් දෙන්නට සූදානම් වනවා ඇත.

ප්‍රශ්න විසඳා ගත හැක්කේ රණ්ඩු කිරීමෙන් නොව සාකච්ඡා කිරීමෙනි. වැරැදි වචනයක් කියැවුණොත් ඇති විය හැකි විනාශය බරපතළ බව මෙනෙහි කරමින් අඩුවෙන් කතා කරමින් වැඩියෙන් සවන් දෙන්න.