යහපත් වෑයම
පොල්ගහවෙල
මිතභාණි හිමි
භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි රාත්‍රි
කාලයෙහි එක්තරා දෙවි කෙනෙක් පැමිණ තමන්ට පැනනැඟුණු ප්‍රශ්නයක් අසන
ලද්දේය. යමෙකින් ලොව බබළානම් එබඳු එළි ලොව කෙතෙක්ද? අපි කෙසේ දනිමුද?
ලොව එළිසතරෙකි. මෙහි පස්වැන්නක් නැත. හිරු දවල් බබළයි. සඳු රාත්‍රි
බබළයි. ගින්න දිවා , රෑ දෙකෙහි ඒ ඒ තැන බබළයි. තථාගතයන් වහන්සේ බබළන්නා
වූ අතුරෙන් ශ්‍රේෂ්ඨයහ. මේ ආලෝකය නිරුත්තරයි.
සඳු හිරු දෙදෙනාගේ ආලෝකය ප්‍රජාවට බොහෝ උපාකාරී වේ. එහෙත් වැසි කලට
හිරුගේ බැබළීම අතුරුදහන් වේ. එවිට ලෝකයා දුකසේ වාසය කරයි. තද හිරු
රශ්මිය ඇතැම් විට පීඩාකාරි වනු ඇත. සඳුද සැමදා ආලෝකය නොපවත්වයි. මාසයකට
එක් දවසක් තාරකා පරදවා සඳු බබළයි. නමුත් එම එළියද පහව යයි. ගින්න සුළු
වූවත්, මහත් වූ විපතක් ගෙන දෙයි. මෙම ආලෝකයද හිත අහිතකර දෙකෙන්ම යුක්ත
වෙයි.මේ හැම තාවකාලික ද වන්නේය.
එහෙත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළවීම බබළන්නා වූ අතර
උතුම් වන්නේය. මේ ආලෝකය හිත සුව පිණිසම උපකාරී වේ. ශ්‍රේෂ්ඨතම වේ.
කෙලෙස් නැසුවා වූ උත්තමයන් වහන්සේලාගේ පහළවීම ප්‍රජාවට මෙන්ම ස්වාභාවික
පරිසරය ටද මහත් වූ සිසිලක් ආලෝකයක් වනු ඇත. අවිදු අඳුරෙහි ගිලී
ජීවත්වෙන ලෝකයාට ලොව්තුරා බුදුන් වහන්සේ ධර්මය දේශනා කරන විට තම තමන්ගේ
නුවණ මෙහෙය වන ආකාරයට සද්ධර්මය නමැති අමෘතය (දහම් ඇස) ප්‍රකට වන්නේය.
විද්‍යාමාන වනු ඇත. මෙම ආලෝකය තුළ ශේෂයක් වත් අවිද්‍යාව මුහු නොවන්නේය.
ලෞකික ආස්වාදය තුළ නිත්‍ය වූ සැපයක් ඇතැයි විශ්වාස කරන උගත් නූගත් සෑම
පුද්ගලයෙක් තුළම තෘෂ්ණාවට දාස වීම නිසා අවිද්‍යාව ම උපදවන්නේය. ඒ තුළ
අසහනය අතෘප්තිමත්භාවය හට ගන්නේය. නැවැත නැවැත හඹා යෑමෙන් දුකම උරුම
වන්නේය.
සිතෙහි ප්‍රදීපය දුරස්ථ වී අඳුරට යන අකුසල මූල තුනක් ඇත. ඒ පිළිබඳ
පුහුදුන් සත්ත්වයාට වැටහීමක් නොමැත. එතරම්ම ලොව තවත් අඳුරක් නැත. ලෝභ,
ද්වේෂ, මෝහ මූල තුන චිත්ත සන්තානය තුළ බැස ගත්තා ද, පවත්වයිද නැවැත
නැවත බහුල කරයිද, ආලෝකය අතුරුදහන් වී අඳුරම ඇතිකරවන්නේය. කර්මයන්ගේ
සමුදයට (රැස්වීමට) නිදාන තුනෙකි. ලෝභය,නිදානයෙකි. නිදානයෙකි. මෝහය,
නිදානයෙකි. ලෝභයෙන් අලෝභය නූපදනේය. නුනුවණින් මෙනෙහි කරන්නාට (අයෝනිසෝ
මනසිකාරය) ද්වේෂය ලෝභයෙන් ලෝභයම උපදවන්නේය. මෛත්‍රය නූපදනේය. ද්වේෂයෙන්
ද්වේෂය උපදනේය. මෝහයෙන් අමෝහය නූපදනේය මෝහයෙන් මෝහයම උපදනේය.
ලෝභයෙන් අනේක ප්‍රකාර අකුශලයෝම උපදිත්. ලෝභය පවත්වන විට විපුල කරන විට
දහම් ඇස අඳුරු කරන්නේමය. ආලෝකය නසන්නේය. ලෝභය කරණකොට ගෙන කාය දුශ්චරිතය
, වචීදුශ්චරිතය, මනෝ දුශ්චරිතයම කරන්නේය. මෙය අකුසල ය වේ. බාලතෙම
අඳුරටම වැටෙන්නේය.
ද්වේෂයද සැනසිල්ල නැති කර හිංසා පීඩාවන්ට සිත යොමුකරයි. මවට පියාට
හිංසා පමුණුවයි. සමාජයටද කරදර පීඩා කරනු ලබයි. ද්වේෂය ඝෝර විෂ කටුවෙති.
එම විෂ මර්ධනය වීමෙන් තමාද අනුන්ද නසා සතර අපා නමැති අඳුරටම වැටෙන්නේය.
මෝහයද අන්ධ භාවයට පත්කරවන ධර්මයෙකි. මෝහය තරම් දැලක් තවත් නැත. මෝහය
පැමිණිවිට. යහපත අයහපත හොඳ නරක, අර්ථය අනර්ථය, කළයුත්ත නොකළයුත්ත,
ධර්මය අධර්මය, කුමක් ද කියා වැටහීමක් නොමැත. එතරම් අන්ධභාවය ට සිත
පත්කරවයි. සියලු අකුසලයන්ට මුල්වන බැවින් මෝහය අකුසල මූලයකි.
ලෝභයෙන් උපන් කර්මයෙන්, ද්වේෂයෙන් උපන් කර්මයෙන්, මෝහයෙන් උපන්
කර්මයෙන් දෙවියෝද නොපැණෙත්. මනුෂ්‍යයෝද නොපැණෙත්, අනෙකුදු සුගති හුද
නොපැණෙත් , නිරය, තිරිසන්, පේ‍්‍රත ආදී අනේක වූ දුගති යම පැණෙත්.
ලෝභ, ද්වේෂ ,මෝහය සිතේ පවත්වන තාක් දහවල් ආලෝකය තිබුණද බාලතෙම අඳුරේම
කල්ගෙවයි. සිවු ඉරියව්වෙම පිරිහීමට පත්වෙති. ක්ෂණයක් ක්ෂණයක් පාසාම පංච
නීවරණයම පෝෂණය කරයි. එය බලවත්ම ඝන අඳුරෙකි. රාත්‍රි කාලයෙහි විවිධ ආලෝක
ප්‍රදීප දල්වා නිවසේ හෝ මොනයම් තැනක ජීවත්වුවත් නීවරණයන් සහිත බැවින්
සිත ආලෝකයෙන් අඳුරට වැටී ඇති බව මතකයට ගත යුතුව ඇත. මෙසේ වයසගත වී මරණය
පැමිණි කල දුගතියම බලාපොරාත්තු විය යුතුය. සිතෙහි ප්‍රභාස්වර භාවය නසන
නීවරණ හඳුනාගනිමු. එය දැන ගැනීම කාහටත් ඵලදායක වේ. යමක් හේතු කොට ගෙන
නූපන්නා වූ කාමච්ඡන්දය උපදනේද, උපන්නා වූ කාමච්ඡන්දය නැවත නැවත වර්ධනය
වේ නම්, විපුල වේ නම් සිත අන්ධ භාවයට පත්කරවයි. එයින් ආලෝකය දුරස්ථ
වන්නේය. මෙයට හේතුව වන්නේ ශුභ නිමිත්ත නුනුවණින් මෙනෙහි කිරීමයි. රූප,
ශබ්ද, ගන්ධ ,රස, පහස අරමුණු සීමාව ඉක්මවා යෑමෙන් ගිජුවීමෙන් සිහි
මුළාවට පත්වෙයි. කාමයන් කෙරෙහි බැස ගැනීම බහුල කිරීම ණය කාරයකු මෙන්
සමාන වන්නේය. ණය ගෙවන තෙක් සිතට නිදහසක් නැත. විවිධ පීඩා කරදර, නින්දා
අපහාසවලට ලක් වන්නේය.
යමක් හේතු කොට ගෙන නූපන්නා වූ ව්‍යාපාදය, උපදනේද, උපදන්නා වූ ව්‍යාපාදය
වර්ධනය වන්නේද එය සිතෙහි දුර්වර්ණ භාවය ඇති කරවන්නකි. ඒ තාක් සිතෙහි
සන්සිඳීමක් , ආලෝකයක් පහළ නොවන්නේය. ද්වේෂයෙන් අකුසල ධර්මයෝ වේගයෙන්
නැඟ එති. නුනුවණින් මෙනෙහි කරන්නාට එය පාලනය කරගැනීමට ශක්තියක් නැත.
මෙයට හේතුව වන්නේ පට්ඝ නිමිත්තයි. මෙම නිමිත්ත බහුල කිරීමෙන් තමාට අහිත
පිණිස දුක් පිණිස, කටුක පිණිස කරුණු සලස්වා ගනියි. මෙරමාටද අහිත පිණිස
දුක් පිණිස අපහසු විහරණය පිණිස කටයුතු කරයි. දෙලොව විනාශයද පමුණුවාගෙන
සතර අපාදී අඳුරටම ඇද වැටෙති. කල්ප ගණන් දුක් විඳිති. ව්‍යාපාදය ද්වේෂය
හරියට උණ රෝගියකුට සමාන වන්නේය, උණ හටගත් විට ඇතිවෙන ස්වභාවය මෙනෙහි
කොට ද්වේෂයේ ආදීනවය තේරුම් ගන්න.
යම් කාරණයක් හේතුකොට ගෙන නූපන්නා වූ ථීනමිද්ධය උපදනේද (චිත්ත
චෛතසිකයන්ගේ හැකිලීම() උපන්නා වූ ථීන මිද්ධය වැඩිවීම පිණිස පවතින්නේ
නම් එයද අඳුරු සහගතයි. ලෝකෝත්තර සුවය කියා ලෞකික දියුණුවටද අලසකම,
මැලිකම ප්‍රමාදයට හේතු වන්නේය. මෙයට තවත් හේතුව වෙන්නේ අධි” කුසලයෙහි
නොඇල්ම චිත්තයාගේ ලීනත්වය, සසර බිය මෙනෙහි නොකිරීම, ස්මරණ සතිය
නොවැඩීම, සංවේග වස්තු සිහිපත් නොකිරීම සාධක වනු ඇත. ථීන මිද්ධයට හසුවීම
සිරකරුවකුට සමාන වන්නේය. සිරභාරයට හසුව සිරකරුවකුට මුහුණ දීමට සිදුවන
අඳුර මෙනෙහි කොට අසලකම දුරු කිරීමට උත්සාවත් වන්න.
යමක් හේතුකොට ගෙන නූපන්නා වූ උද්ධච්ච කුක්කුච්චය උපදනේ නම් ,උපන්නා වූ
උද්ධච්ච කුක්කුච්චයාගේ වැඩිවීමක් , විපුලවීමක්, පිණිස පවතින්නේ නම්
හෙතෙම ලොව්තුරු සුවයෙන් පහවන්නේය. අඳුරු සහගත නිරයම වැටෙන්නේය .
චිත්තයාගේ නොසන්සුන්බව හා විපිළිසරබව මහත්වූ පිරිහීමට කාරණයක් වනු ඇත.
සිතේ එකඟ බව සමනය බිඳ දමා ලෞකික ලෝකෝත්තර මඟඵල නුවණ වනසා දමන්නේය.
උපන්නා වූ උද්ධච්ච කුක්කුච්චය , නූපන්නාවූ උද්ධච්ච කුක්කුච්චය භාවිතා
බහුලී කිරීම දාසයකුට සමාන වන්නේය. දාසයකුට කිනම් සැනසීමක් නිදහසක්
ලැබෙන්නේද? සැමදාම දුකසේ ජීවිතය ගෙවිය යුතු වන්නේය. යුක්තින් අයුක්තිය,
සාධාරණ අසාධාරණ ගැන කථා කිරීමට අයිතියක් නොමැත. නිදහසේ විවේකීව
ජීවත්වීමට වරම් නැත. කතා කෙළොත් හිංසා පීඩා මරණය හෝ සිදුවන්නේය. එසේත්
නැත්නම් රැකියාව අහිමි වන්නේය. එවිට මහත්වු දුකට පත්වන්නේය. එසේම මෙම
නීවරණය පවත්වන විට සිතෙහි සහනය, පී‍්‍රතිය ,සතුට දුරුවී දුකම උරුම
වන්නේය.ආලෝකය පහව යන්නේය.
යමක් හේතු කොට ගෙන නූපන්නා වූ විචිකිච්ඡාව (බුද්ධාදී අට තැන සැකය)
උපදනේ නම්,උපන්නා වූ විචිකිච්ඡාව විපුලභාවය පිණිස පවත්නේ නම් එයද
සිතෙහි ප්‍රභාස්වර භාවය ප්‍රදීපය නැතිවෙන අකුසල ධර්මයෙකි. සතර අපායට
වැටී දුක් විඳීමට හේතුවන බලවත් නීවරණයකි. ධ්‍යාන මඟඵල නිවනට කෙසේවත්
පත්විය නොහැක. ජීවිතය අඳුරටම වැටෙන්නේය. මෙම නීවරණය පවත්වන්නේ නම්
හරියට කාන්තාරයකට බැසගත් කෙනකු සමානවන්නේය.මෙලෙස පංච නීවරණයන්ම ආලෝකය
නැතිකර අඳුරු සහගත සතර අපායටම සත්ත්වයා ඇද දමන්නේය. මෙහි දෝෂයන් මෙනෙහි
කොට සද්පුරුෂ සේවනය ලබාගෙන සාර්ථක දිවි පෙවෙතක් ගත කොට දෙලොව ජයගන්න. |