Print this Article


ධම්මික මෙහෙයවන ධම්ම සාකච්ඡා

1.ප්‍රශ්නය

වැඩි දෙනාගේ යහපත ගැන සළකා පිස්සු බල්ලකු හෝ විෂඝෝර සර්පයෙකු හෝ මැරුවොත් පවක් සිදුවේද ?

විෂඝෝර සර්පයකු කුඩා දරුවකුට දෂ්ඨ කිරීමට සූදානම් වන අවස්ථාවේ කෙනෙකු වහා ඉදිරිපත්ව සර්පයා මරා දමයි. පිස්සු බල්ලෙක් සමහර විට දහ දොළොස් දෙනකු හපා කයි. ඒ අවස්ථාවේ යමෙක් ඒ සතා මරා දමනුයේ සමාජයට යහපතක් කිරීමේ සිතිවිල්ලෙනි. චේතනාව කර්මය වන බැවින් බැලු බැල්මට මෙය සාධාරණ වූ ද පව් නොසිදුවන්නා වූද කාර්යයක් බව පෙනේ.

එහෙත් මේ ඝාතන දෙකේදීම හා එවැනි වු වෙනත් ඝාතන වලදීම පවක් සිදුවේ. ප්‍රාණඝාත අකුසලය සම්පූර්ණ වීමට අවශ්‍ය කරුණු 5 කි.

1.ප්‍රාණියෙක් වීම, 2.ප්‍රාණි සතකු බව හැඟීම 3. මරණ චේතනාව 4. උපක්‍රමය 5. සතා මරණයට පත් කිරීම

මෙහි සඳහන් සතා මැරීමේදී මේ අංග පහම ක්‍රියාත්මක වෙයි.

අංග පහ අසම්පූර්ණ වන අවස්ථාවේ පූර්ණ ඝාතන කර්මය හෙවත් කර්ම පථය ක්‍රියාත්මක නොවූවත් යම් පවක් සිදුවේ. අනෙකකු ලවා මැරෙව්වොත් සිය අතින් මරණ තරම් නොවුවත්, එය ද බලවත් පවකි. මරණවා යන චේතනාව වුව අකුසලයකි. එහෙත් එය කර්ම පථයක් නොවේ.

තමා විසින්ම මැරීම හා අනුන් ලවා මැරවීම හෝ ඝාතනය අනුමත කිරීම හෝ කිසිසේත් බුදු දහම අනුමත නොකරයි. පිස්සු බල්ලා පමණක් නොව දරුණු ත්‍රස්තවාදියකු පිළිබඳවත් මේ කරුණ මෙසේමය.

මෙහිදී කළ යුතු උපක්‍රම ද ඇත. පිස්සු බල්ලකු අනිවාර්යයෙන්ම සතියකදී මරණයට පත් වෙයි. ඒ කාලය දක්වා ඒ සතා බැඳ තැබිය හැකි නම් හොඳයි. ඌ ආහාර හෝ වතුර නොගනී. සර්පයකු අල්ලා සමාජයට කරදර නොවන තැනකට මුදා හැරීම ද යහපත්ය.

2.ප්‍රශ්නය

කර්මය විසින් සත්වයා උසස් පහත් බවට පත් කරයි.

1.එසේ නම් කර්මය නියති වාදයක් නොවේද ?

2.සමාජවල සම්ප්‍රදායිකව පිළිගන්නා ජාති, කුල, භේදය මේ ප්‍රකාශයෙන් බුදු දහමේ පිළිගන්නේද?

ඉතා හොඳ ප්‍රශ්න දෙකකි. බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරනුයේ එම ගැටලුව මතු වු අවස්ථාවේ ස්වරූපය පරිසරය ප්‍රශ්න අසන පුද්ගලයාගේ ස්වභාවය ද සළකායි. එසේ වුව මූලික න්‍යායට විසංවාදී නොවී එම ධර්මය දේශනා කරති. එක දේශනයක් පමණක් සළකා තීරණ ගැනීමේදී විෂය පථයේ ස්වභාවය ද හැදෑරිය යුතු වෙයි. කර්ම විෂය අචින්ත්‍යයි.

1.මජ්ක්‍ධිම නිකායේ චුල්ලකම්ම විභංග සූත්‍රයේ ‘කම්මං සත්තේ විභජති යදිදං හීනප්පනීතතාය” යන ප්‍රකාශය සමග දීර්ඝ විස්තරයක් ද වෙයි. මෙම සූත්‍ර දේශනාව “තෝදෙය්‍ය පුත්‍ර” නම් වු දැඩි ලෝභී, ඊර්ෂ්‍යාධික , වෛරී මනසින් යුක්තව සිට මිය ගිය තැනැත්තාගේ පුත්‍රයා වන සුභ නම් තරුණයාට දේශිතයි. මිය පරලොව ගොස් බ්‍රහ්ම ලෝකයේ උපන්නේ යැයි තමා සිතා සිටි තම පියා බලු පැටවකු ලෙස උපත ලබා ඇති බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ යැයි බුදුරදුන් කෙරෙහි අප්‍රසාදව ඒ ගැන විචාරීමට සුභ මානවකයා පැමි-ණියේය. එහිදී වාද විවාද තොරව බුදුරජාණන් වහන්සේ සුභ තරුණයාට තම පියාගේ හෙලි නොවූ ධනය හෙළිකර ගැනීමට ක්‍රමවේදයක් පෙන්වා දුන්හ. ඒ අනුව මහා ධනස්න්ධයක් හිමි කර ගත් සුභ මෙලොව මනුෂ්‍යයාගේ ප්‍රභේදයේ හෙවත් විසමතාවේ හේතු ගැන විමසයි. යමෙක් දීර්ඝායුක්ෂ වන්නේ කෙසේද? අල්පායුෂ්ක වන්නේ කෙසේද ? ආදී ප්‍රශ්න 14 ක් එහි වෙයි. එහිදී තමා විසින් කරන කුසල හෝ අකුසල කර්මවලට අනුව ලබන තත්වය මෙහිදී පැහැදිලි කර දී ඇත.

නියත වාදය යනු බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ මක්ඛලී ගෝසාල නම් දාර්ශනිකයා ඉදිරිපත් කළ වාදයයි. දීඝ නිකායේ සාමඤ්ඤඵල සූත්‍රයේ මේ වාදය දීර්ඝව සාකච්ඡා වෙයි. කිසිදු හේතු සාධකයක් නිසා වෙනස් නොවන නිත්‍ය, නියත, ලක්ෂණයක් විශ්වගතව පවතී යන මෙම දර්ශනවාදය ෂඩ් ශාස්තෘ දර්ශන අතර ඉතාම අහිතකර දර්ශන වාදයයි. මෙයින් පුරුෂ බලය,උත්සාහය සම්‍යක් ව්‍යායාමය තරයේ ප්‍රතික්ෂේප වෙයි. සම්මා වායාමය ප්‍රගතියේ ප්‍රබලතම සාධකයැයි වදාළ බුදුරජාණන් වහන්සේ උට්ඨාන වීර්යය ප්‍රතික්ෂේප කළ මක්ඛලී ගෝසාලව මිනිස් කෙමනක් ලෙස හැඳින්වූහ.

කර්මයේ විපාකය වෙනස් කළ හැකි හෝ අහෝසි කළ හැකි හෝ ක්‍රම වේද බෞද්ධ කර්ම න්‍යයායේ වෙයි. අංගුලිමාල මහ රහතුන් වහන්සේ මනුෂ්‍ය ඝාතන කර්මයේ විපාක පවා අහෝසි කරලීමට සමත් වූහ. සත්තිස් බෝධි පාක්ෂික ධර්ම වලින් අංග නමයක්ම වීර්යයි. එබැවින් කර්මය නියතයක් නොවේ.

2.ඔබේ දෙවන ගැටලුව බොහෝ දෙනා වරදවා වටහා ගැනීමට භාජනය කර ගන්නා ස්වභාවයේ එක් පැතිකඩකි. බුදු දහම මනුෂ්‍යයාගේ ඒකත්වය පිළිගනියි. මිනිස් වර්ගයා වර්ණ භේදයට පත් වුයේ මිනිසාගේ හමේ පාට නිසාමයි. දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ විස්තර සහිතව මේ කරුණ පැහැදිලි කර ඇත. සුවර්ණ, දුර්වර්ණ භේදය මානව සමාජයේ මුල්ම භේදයයි.

සමාජ ගැටලු පැන නැගීම සඳහා පත්කර ගනු ලබන අධිකරණ නායකයා පහළවන්නේ ප්‍රජාතාන්ත්‍රික හා බහු ජනමත අගය කළ ජන සම්මතවාදී පරිසරයකයි. ඔහු කෙත් වල අධිපති බව ලබන්නෙත් මහා සම්මත වාදීවයි. සාධාරණ තීරණ දෙමින් දැහැමින් අන්‍යයන් රංජනය කරන්නා ලෙස ඔහු රජ යන නාමය ලබයි. මෙසේ ඔහු මහා සම්මත ද ක්ෂත්‍රිය ද , රජ ද වන්නේ ඓතිහාසික සමාජ පරිණාමය යන ගැඹුරු අර්ථ බුදුරජාණන් වහන්සේ වදාළහ. යම් සමාජ ප්‍රභේදයක් වන්නේ පරිණාමි ස්වභාවයෙන්ය

මනුෂ්‍ය දුර්වලතා හඳුනා ගෙන වඩා පවිත්‍රව සිටීමට යොමුවන සමාජ කොටස බ්‍රාහ්මණ වෙති.

නිෂ්පාදන අයිතිය ලැබ රැකී රක්ෂා කර්මාන්ත ව්‍යාපාරවල යෙදීමෙන් හා මනු වග බෝ කිරීමේ ප්‍රදාන වගකීම් දරන්නන් ලෙස වෛශ්‍යයෝ බිහි වෙති.

පහත්, රෞද්‍ර වු චර්යාවලින් යුක්ත වූවෝ ශුද්‍ර වෙති.

මේ සමාජ පරිණාමයේ ලක්ෂණයයි. එය පැරැණි කර්මයේ ප්‍රතිඵලයක් හෝ යම් බලවත් සමාජ ඒකකයක නිර්මාණයක් හෝ නොව වර්තමාන කාය– වාග්, මනෝ චර්යාවලින් ලබන තත්ත්වයකි. එබැවින් ඒ ඒ සමාජ වල පිළිගැනෙන ජාති භේද කුල භේද බුදුදහමෙහි නොපිළිගැනෙයි.

ජාති හෝ වර්ණ හෝ කුල හෝ භේද ජීව විද්‍යාත්මක නොවෙයි.ඒවා සමාජ සම්මුතියි. එම සම්මුතීන් රටින් රටට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙයි. කර්ම විපාකයට එසේ වෙනස් නොවෙයි. අනුන්ට ගර්හා කරන ගරු කළ යුත්තන්ට ගරු නොකරන අතිමානි වූ අය යම් සමාජයක උපදින්නේ ද අපහාස ලබන තැනැත්තකු ලෙස උපත ලබයි. යම් සමාජයක භූමියේ අයිතිය හෝ නිෂ්පාදන සාධකවල අයිතිය නැති සමාජ ඒකක පමණි කුල හීන වන්නේ.

ඉන්දියාවේ වර්ණ භේදය දැඩි ලෙස සැළකු හා සළකන රටකි. එදා ශුද්‍රයන් සේ අද හරි ජනයන් පහත් කොට සළකති. එහෙත් දක්ෂයනට එය උට්ඨානයෙන් වෙනස් කළ හැකිය. හරිජන සාමාජිකයකු වන අම්බෙඩිකාර්තුමා ඉන්දියානු ව්‍යවස්ථාවක් තැනූ ඉන්දීය යුග පුරුෂයෙකි.

උපත නිසා මෝක්ෂයට බාධාවක් නොවෙයි. ඕනෑම සාමාජිකයකුට ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයකු (භික්ෂුවක්) විය හැකියි. එබැවින් චුල්ලකම්ම විභංග සූත්‍රගත කරුණින් කුල හෝ ජාති විෂමතා අනුමත වේ යැයි ප්‍රකාශ කළ නොහැකියි.

3. ප්‍රශ්නය

යම් පුණ්‍යකර්මයක් සිදු කිරීමෙන් පසුව දෙවියන්ට පින් අනුමෝදන් කිරීමේදී වඩා සුදුසු අතක් මත අත තබා පින් අනුමෝදන් කිරීමද, නැතහොත් දෙවිවරුන් අතර සෝවාන් වු දෙවිවරුන් පවා සිටින බැවින් පපුව අසලින් දෑත් එක්කොට වැඳ ගෙන පින් අනුමෝදන් කිරීමද?

එච් ඩී අයි පොන්සේකා - බොරලැස්ගමුව

දෙවියන්ට පින් දීම අපේ උසස් චාරිත්‍රයකි. පින්දීමේදී වම් අත උඩ දකුණ අත තබා, ගාථා කියමින් පින් දීම අපගේ පැරණි චාරිත්‍රයයි. අපේ මුල් මුතුන් මිත්තන් ද දැරුවෝ මේ ආකල්පයයි. එහෙත් මෑතක සිට දෙවියන්ට පින් දීමේදී වැඳ ගෙන පින් දෙන ආකාරය, විශේෂයන් නාගරික පරිසරය තුළ දක්නට ලැබෙයි.

ප්‍රමුඛව අප වැඳිය යුත්තේ පූජ්‍යත්වයටයි. බුදුන්, දහම්, සඟුන් පූජ්‍ය වස්තුයි. ගුරු, දෙගුරු වැඩිහිටි ඤාති, ආදීන්ටද ගිහියෝ, වඳිති. ඒ විශේෂයෙන්ම වයෝවෘද්ධතාව සළකායි. භික්ෂුව ද වැඩිහිටි භික්ෂුවට වැඳුම් කරයි . ඒ වයෝ වෘද්ධතාව නොව සීල වෘද්ධතාව සළකායි. කෙසේ වුවද අපට වැඳුම් කරන කිසිවෙකුට අපි නොව-ඳින්නෙමු. දෙමාපියෝ දරුවන්ට නොවඳිති. වඳින්නේ නම් ඒ තම දරුවන් තමන්ට වඩා උසස් සීලයෙන් යුක්ත නම් පමණි. සාමණේරයන් වහන්සේ නමකට හෝ ඊට වඩා ගරු කටයුතු උපසපන් භික්ෂූන් වහන්සේට හෝ දෙමාපියෝ වඳිති. සිල් මෑණිවරුන් දෙමාපියන්ගෙන් වුවද වැඳුම් ලැබීමට සුදුසුයි.

දෙවිවරු කෙතරම් බලවත් වුවද මිනිසුන්ගෙන් වැඳුම් ලැබීමට සුදුසුකම් නොලබති. දෙවියන්ගේ ශ්‍රේෂ්ඨත්වයට පත් ශක්‍රදේවේන්ද්‍රයා ද මනුෂ්‍යයන්ට වඳින බව සක්ක සංයුක්තයේ දැක්වෙයි. යම් ගෘහස්ථයෙක් පින් කරන්නේද සිල්වත් ද, උපාසක ද දැහැමින් අඹු දරුවන් පෝෂණය කරන්නේද ඔහුට මම නමස්කාර කරම් ශක්‍ර දෙවියා ප්‍රකාශ කරයි.

මේ නිසා දෙවියන්ට වැඳීම යෝග්‍ය නොවේ. පින් ගන්නා දෙවියන් පින් දෙන්නන්ට වඳින බැවිනි. එක පක්ෂයක් පමණක් වැඳීම කළ යුතුයි. එසේ වුවත් ගිහි ජනතාව දෙවිවරුන්ට ගරු කිරීම හොඳ සිරිතකි.

“ධම්මික මෙහෙයවන ධම්ම සාකච්ඡා” සඳහා පාඨකයන්ගේ දහම් ගැටලුවලට පිළිතුරු සපයන බැවින් අදාළ දහම් ගැටලු කෙටියෙන් ලියා “ධම්ම සාකච්ඡා” බුදුසරණ ලේක්හවුස් කොළඹ ලිපිනයට යොමු කරන්න.