බුදුදහම හා මාර සංකල්පය 18
උප්පලවණ්ණා භික්ෂුණියගේ යොවුන් බව වර්ණනා කළ මාරයා
ශාස්ත්‍රපති
රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි
වන මැදට වී හුදකලාව සිටින මා හට බිය ඇති කරනු පිණිස, ලොමු දැහැගනු
පිණිස, සමාධියෙන් වළක්වනු පිණිස කවරෙක් නම් බාධා කරන්නේද , ඔහු
මිනිසෙක් ද නොමිනිසෙක් දැයි විමසනුයේ, ඒ වෙනකෙකු නොව පාපී මාරයාම බව
දැනගත්තේය. ඉන්පසු ඔහුට පිළිතුරු වශයෙන් උප්පලවණ්ණා භික්ෂුණිය මෙසේ
වදාළහ.
පසුගිය පොහෝ දිනයේදී අපගේ සාකච්ඡාවට බඳුන් වූයේ සංයුත්ත නිකායේ
භික්ඛුණි සංයුත්තයට අයත් කිසාගෝතමී සූත්‍රය විමසා බැලීමටයි. එහි ඇතුළත්
වූයේ අන්ධ වනයෙහි හුදකලාව බවුන් වඩමින් සිටි ‘කිසාගෝතමී භික්ෂුණිය
හමුවට මාරයා පැමිණ එතුමියට පෙර ඇති වූ පුත්‍ර ශෝකය පිළිබද සිහිපත් කළ
අවස්ථාවකි.
අද දින අප ඉදිරිපත් කරන්නේ අන්ධ වනයෙහි හුදකලාව බවුන් වඩමින් සිටි
උප්පලවණ්ණා භික්ෂුණිය හමුවට මාරයා පැමිණ එතුමියගේ අතීතාවර්ජනය කළ
අවස්ථාවකි.
අපගේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන මහා විහාරයෙහි වැඩවසන සමයේ
කිසාගෝතමී භික්ෂුණිය මෙන් උප්පලවණ්ණා භික්ෂුණිය ද පෙරවරු කාලයේ පිඬු
පිණිස සැවැත් නුවර හැසිර පස්වරු කාලයේ පිණ්ඩපාතයෙන් වැළකී දිවා විවේකය
පිණිස අන්ධ වනයට වැඩම කොට මනාව පිපුණු මල් ඇති සල් ගසක් මුල වැඩ සිට
සමාධි සුවයෙන් කල් ගෙවූ සේක. එකල උප්පලවණ්ණා භික්ෂුණිය අන්ධ වනයෙහි
හුදකලාව වැඩ සිටින බව දැනගත් පාපි මාරයා උප්පලවණ්ණා භික්ෂුණියට බිය ඇති
කරනු පිණිස, ලොමු දැහැගනු පිණිස සමාධියෙන් වළක්වනු පිණිස, උප්පලවණ්ණා
භික්ෂුණිය වැඩසිටි අන්ධ වනයට පැමිණ ඒ උත්තමාවියට ඇසෙනු පිණිස මෙසේ කීය.
“සුපුප්විතග්ගං උපගම්ම භික්ඛුනි.
එකා තුවං තිට්ඨසි සාලමුලෙ
න වත්ථී තෙ දුතියා වණ්ණධාතු
බාලෙන ත්වං හායසි ධුත්තකාන”න්ති
මෙහෙණියනි, අග පටන් මනාව පිපුණූ සල් ගසක් කරා පැමිණ ඔබ හුදකලාව
සිටින්නෙහිය.මේ වනයට පැමිණි මෙහෙණියන් අතර ඔබට සමාන රූ ඇති මෙහෙණියක්
මා කිසිදා දැක නැත. මෙසේ තනිව සිටින ඔබට සලෙලුන්ගෙන් බියක් නැද්ද ?
මෙය ඇසූ උප්පලවණ්ණා භික්ෂුණිය මෙසේ වන මැදට වී හුදකලාව සිටින මා හට බිය
ඇති කරනු පිණිස, ලොමු දැහැගනු පිණිස, සමාධියෙන් වළක්වනු පිණිස කවරෙක්
නම් බාධා කරන්නේද , ඔහු මිනිසෙක් ද නොමිනිසෙක් දැයි විමසනුයේ, ඒ
වෙනකෙකු නොව පාපී මාරයාම බව දැනගත්තේය. ඉන්පසු ඔහුට පිළිතුරු වශයෙන්
උප්පලවණ්ණා භික්ෂුණිය මෙසේ වදාළහ.
“සතං සහස්සානිපි ධුත්තකානං
ඉධාගතා තාදිසකා භවෙය්‍යුං
ලොමං න ඉඤ්ජාමි න සන්තසාමි
න මාර හායාමි තමෙකිකාපි
ධූර්තයන් සිය දහසක් මෙහි පැමිණියත් ඔවුන්ට මෙන්ම ඔබ හා සමාන
කිසිවෙකුටත් ලෝමයක් වත් නොසලමි. තැති ගන්නේ ද නැත. මාරයා, හුදකලා වූ මම
ඔබටද බය නොවෙමි.
“එසා අන්තරධායාම්, කුච්ඡීං වා පවිසාමි තෙ
පබුමන්තරිකායම්පි තිට්ඨන්තිං මං න දක්ඛසි
එවිට මාරයා උප්පලවණ්ණා භික්ෂූණියට මෙසේ කීය. මේ මම අතුරුදන් වෙමි. ඔබගේ
කුසට හෝ පිවිසෙමි. ඔබගේ දෙබැම අතරේ හෝ සිටින මා ඔබට නොපෙනෙන්නෙහිය.
යනුවෙන් පැවසීය.
“චිත්තස්මිං වසීභූතාම්හි, ඉද්ධිපාදා සුභාවිතා
සබ්බබන්ධනමුත්තාම්පි න තං හායාමි ආවුසො” ති
එවිට උප්පලවණ්ණා භික්ෂුණිය පවිටු මාරයාට මෙසේ පැවසීය. සිත වශී වූයෙමි.
මා විසින් සතර සෘද්ධිපාදයෝ මැනවින් වඩන ලද්දාහ. සියලු බැමිවලින්
මිදුනෙමි. එබැවින් මා ඔබට කිසිසේත් බිය නොවෙමි.
උප්පලවණ්ණා භික්ෂුණිය අරහත් ඵල අධිගමයෙන් පසු බුදුරජාණන් වහන්සේ හමුවට
පැමිණ තමාගේ අතීත භව කතා ප්‍රවෘත්තිය ප්‍රකාශ කළ අවස්ථාවේ ඒ
උත්තමාවියගේ මුවින් මෙසේ ප්‍රකාශ වී ඇත.
“මහා වීරයන් වහන්ස, මාගේ පැහැය උපුල් මලක් බඳුය” නමින් උප්පල නමැත්ති
වෙමි” පසැස් ඇතියාණන් වහන්ස, ඒ ඔබ වහන්සේගේ දුහිතෘතොමෝ සිරිපා වඳියි.
බොහෝ නොයෙක් සිය ගණන් ජාතීන්හි රාහුල තෙමේද, මමද එකම ජාතියෙහි
උපන්නාහු. සමවූ අදහස් ඇත්තෝ වූහ. බොහෝ සෙයින් ජාතීන්හි මාගේ උත්පත්තිය
රාහුලයන් හා එක්වම විය. අන්තිම භවය පැමිණි කල්හි දෙදෙනාම වෙන වෙන
උත්පත්ති ඇත්තේ වූහ. පුත්‍ර තෙමේ රාහුල නම් විය. දුහිතෘ තොමෝ
උත්පලවණ්ණා නම් වූවාය.”
නිබ්බත්ති එකතො හොති, ජාතියාපි ච එකතො
පච්ජිමෙ භවෙ සම්පත්තෙ, උභොපි නානාසම්භවා
පුත්තො ව රාහුලො නාම, ඨිතා උප්පලසවහයා
පස්ස විර මමං ඉද්ධිං බලං දස්සෙමි සත්ථුනො
“වීරයන් වහන්ස, මාගේ සෘද්ධිය බලනු මැනව“ ශාස්තෘන් වහන්සේට මාගේ බලය
දක්වමි, ළදරු වෙදකමෙහි දක්ෂ වෛද්‍යවරයෙක් තෙම අත්ලට ගත් තෙලක් මෙන්
සිව්මහ සමුදුරු අත්ලෙහි දැමුවාය” තරුණ කුමරුවෙක් තෙම විත්තමුඤ්ජ නම්
තෘණ විශේෂය යම්සේ ඉදිරීනම් පොළොව උදුරා අත්ලෙහි බැහුවාය. සක්වලක
ප්‍රාණීන් මතුයෙහි වාස නන්වත් දියබිඳු නැවත වස්වා, පොළොව වංගෙඩියක්
කොට, බොරළු කැට ධාන්‍යකොට සිනෙර පර්වතය මොහොලක් කොට ළැදැරියක මෙන්
මැඩුවාය. මම නමින් උත්පලවණ්නා නම්වූ අභිඥාවන්හි වශීභූත වූ ඔබ වහන්සේගේ
සසුන කරන්නාවූ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ දුහිතෘවක් වෙමි. පසැස්
ඇතියාණන් වහන්ස, නානාවිධ ඍද්ධි ප්‍රතිහාර්යයන් කොට, ලෝක නායකයන්
වහන්සේට දක්වා, නම් ගොත්ද අස්වා සිරිපා වඳිමි.
මහාසමුද්දෙ චතුරො
පක්ඛිපි හත්ථිපාතියං
තෙලං හත්ථගතඤ්චෙව
ඛිඩ්ඩො කොමාරකො යථා
උබ්බත්තයිත්වා පඨවිං
පක්ඛිපි හත්ථපාතියං
චිත්තං මුඤ්ජං යථා නාම
ලුඤ්චි කොමාරකො යුවා
වක්කවාළාසමං පාණිං
ඡාදයිත්වාන මත්ථකෙ
වස්සාපෙත්වාන ඵුසිතං
නානාවණ්ණං පුනප්පුනං
මෙවැනි විවිධ ඍද්ධි ප්‍රාතිහාර්යයන්ගෙන් සමලංකෘත වූ සියලු කෙලෙස්
ප්‍රහීණ කළ රහත් උත්තමාවියක් වූ උප්පළවණ්නා භික්ෂුණියගෙන්ය පාපි මාරයා
බිය ගැන විමසන්නේ.
මෙහෙණියනි, අග පටන් මනාව පිපුණු සල් ගසක් කරා පැමිණ එම හුදකලාව
සිටින්නෙහිය.මේ වනයට පැමිණී මෙහෙණියන් අතර ඔබට සමාන රූ ඇති මෙහෙණින් මා
කිසිදා දැක නැත. මෙහේ තනිව සිටින ඔබට සලෙලුන්ගෙන් බියක් නැද්ද ?
උප්පලවණ්ණා භික්ෂුණිය පාපි මාරයාට ලබාදෙන මෙම පිළිතුරෙන් ලජ්ජාවට පත්වන
මාරයාට ඉතිරි වූයේ වහා එතනින් පලායෑම පමණි.
ධූර්තයන් සිය දහසක් මෙහි පැමිණියත් ඔවුන්ට මෙන්ම ඔබ හා සමාන
කිසිවෙකුටත් ලෝමයක් වත් නොසලමි. තැති ගන්නේද නැත. මාරය, හුදකලා වූ මම
ඔබටද බය නොවෙමි.
මතු සම්බන්ධයි
|