Print this Article


බුදුදහම හා මාර සංකල්පය 17 කිසාගෝතමි භික්ෂුණිය හමුවට පැමිණි මාරයා

බුදුදහම හා මාර සංකල්පය 17

කිසාගෝතමි භික්ෂුණිය හමුවට පැමිණි මාරයා

පසුගිය පොහෝ දිනයේ දී අපගේ සාකච්ඡාවට බඳුන් වූයේ සංයුත්ත නිකායේ භික්ඛුණී සංයුක්තයට අයත් විජයා සූත්‍රය විමසා බැලීමටයි. එහි ඇතුළත් වන්නේ පාපී මාරයා විජයා භික්ෂුණිය හමුවට පැමිණි අවස්ථාවකි. අද දින අප ඉදිරිපත් කරන්නේ අන්ධ වනයෙහි හුදකලාව බවුන් වඩමින් සිටි කිසාගෝතමි භික්ෂුණිය හමුවට මාරයා පැමිණි අවස්ථාවකි.

අපගේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන මහා විහාරයෙහි වැඩවසන සමයේ විජයා භික්ෂුණිය මෙන් කිසාගෝතමි භික්ෂුණියද පෙරවරු කාලයේ පිඬු පිණිස සැවැත්නුවර හැසිර පස්වරු කාලයේ පිණ්ඩපාතයෙන් වැළකී දිවා විවේකය පිණිස අන්ධ වනයට වැඩමකොට ගසක් මුල වැඩසිට සමාධි සුවයෙන් කල් ගෙවූ සේක. එකල කිසාගෝතමී භික්ෂුණිය අන්ධ වනයෙහි හුදකලාව වැඩ සිටින බව දැනගත් පාපී මාරයා කිසාගෝතමි භික්ෂුණියට බිය ඇති කරනු පිණිස, ලොමු දැහැගනු පිණිස, සමාධියෙන් වළක්වනු පිණිස කිසාගෝතමි භික්ෂුණිය වැඩසිටි අන්ධ වනයට පැමිණ ඒ උත්තමාවියට ඇසෙනු පිණිස මෙසේ කීය.

“කිං නු ත්වං මතපුත්තාව, එකමාසි රුදම්මුඛී,
වන මජ්ඣගතා එකා, පුරිසං නු ගවෙසසී”
ති.

පුතා මියගිය ඔබ, කඳුළු වැකුණු දෙනෙතින් යුතුව වන මැදට වී හුදකලාව සිටින්නේ කුමක් නිසාද? පුරුෂයෙක් සොයමින් සිටින්නීද?

මෙය ඇසූ කිසාගෝතමි භික්ෂුණිය මෙසේ වන මැදට වී හුදකලාව සිටින මා හට බිය ඇති කරනු පිණිස, ලොමු දැහැගනු පිණිස, සමාධියෙන් වළක්වනු පිණිස කවරෙක් නම් බාධා කරන්නේ දැයි විමසනුයේ, ඒ වෙනකෙකු නොව පාපී මාරයාම බව දැන ඔහුට පිළිතුරු දෙමින් මෙසේ වදාළහ.

“අච්චන්තං මතපුත්තාම්හි, පුරිසං එතදන්තිකා,
න සොවාමි න රොදාමි, න තං භායාමි ආවුසො”

මිත්‍රය, මගේ පුතා මළේ ය. එය අතීතයට එක් වූවකි. මා ජීවත් වන්නේ වර්තමානයේ ය. පුරුෂයෙකුගේ සෙවීමක් හෝ එනතෙක් බලා සිටීමක් මට අවශ්‍ය වන්නේ නැත. මා ශෝක වන්නේ ද නැත. මා හඬන්නේ ද නැත. මාගේ දෑසේ කඳුළු ද නැත. මා හට බිය වීමට ද හේතුවක් නැත.

“සබ්බත්ථ විභතා නන්දි, තමොක්ඛන්ධො පදාලිතො,
ජෙත්වාන මච්චුනො සෙනං, විහරාමි අනාසවාති”

සියලු ආශාවන් මා විසින් විනාශ කරන ලදී. මෝහය නමැති අඳුරු පටලය ඉරා දමන ලදී. මරුහුගේ සේනාව ජයගෙන කෙලෙස් වලින් තොරව (නික්ලේශීව) වාසය කරමි.

කිසාගෝතමි මහරහත් මෙහෙණියගේ මේ අනපේක්ෂිත පිළිතුරෙන් ලජ්ජාවට පත් මාරයා ‘කිසාගෝතමි භික්ෂුණිය මා හඳුනා ගත්තේයැ’යි දොම්නසට පැමිණ එහිම අතුරුදන්ව ඇත.

අථ ඛො මාරො පාපිමා “ජානාති මං කිසාගොතමි භික්ඛුනී” ති දුක්ඛි දුම්මනො තත්ථෙවන්තරධායීති.

කිසාගෝතමි භික්ෂුණීයගේ චරිත කතාව බෞද්ධ සාහිත්‍යයේ එන ජනපි‍්‍රය කතාවකි. එබැවින් බොහෝ දෙනා අතර ප්‍රකට වූවකි. තම ප්‍රාණය හා සමාන එකම පුතා මියගිය කල්හි එය විශ්වාස කිරීමට තරම් ආත්ම ශක්තියක් නොතිබූ කිසාගෝතමිය, තම මළ පුතුට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරයෙක් සොයා ගියා ය. ඇගේ මේ ක්‍රියාකලාපය දුටු බොහෝ දෙනෙක් ඇයට උසුලු විසුළු කරන්නට විය. ඇගේ මේ මානසිකත්වය තේරුම් ගත් එක් බුද්ධිමත් අයෙක් ඇගේ පුතාට ප්‍රතිකාර කිරීමට හැකි වෛද්‍යවරයෙක් සැවත්නුවර ජේතවනාරාමයේ සිටින බව පවසා ඇය අප තථාගත අසරණ සරණ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වෙත යොමු කළේ ය.

ඇගේ මානසිකත්වය තේරුම්ගත් තථාගත බුදුරජාණන් වහන්සේ ඇගේ මළපුතුට ප්‍රතිකාර කිරීමට තමන් වහන්සේට හැකි බව පවසා ඇයට එක් කොන්දේසියක් පැනවූහ. එනම් කිසිවෙක් නොමළ ගෙයකින් අබමිටක් ගෙන එන ලෙසයි. තම පුතු සුවවන්නේ නම් එය ඉතා පහසු කාර්යයක් ලෙස සැලකූ ඇය ගෙවල් කිහිපයකට ගිය කල ගෙවැසියන් අබ දීමට සූදානම් වුවද නොමළ අයෙක් එම නිවෙස් වල නොමැති නිසා එම අබ ලබාගැනීමට නොහැකි විය. මෙසේ ඇය යන යන ගෙයින් අබ දීමට සූදානම් වුවද, නොමළ අයෙක් නැති නිසා එයින් පලක් නොවීය. මෙසේ ගමන් කරන කිසාගෝතමියට ටිකින් ටික මරණය පිළිබඳ තතු අවබෝධ වන්නට විය. එය හැමෝටම පොදු ධර්මතාවක් බව අවසන තේරුම් ගත් ඇය තම මළ පුතු සොහොනෙහි දමා බුදුරදුන් හමුවට නැවත පැමිණියාය. ඒ වන විටත් ලෝක ස්වභාවයට පිළිබඳ යම් අවබෝධයක් ඇතිව තිබූ කිසාගෝතමියට සත්‍ය අවබෝධවීමට වැඩි කලක් ගත වූයේ නැත. භික්ෂුණියක් බවට පත් වූ ඇය බවුන් වඩා නොබෝ කලකින්ම රහත් මෙහෙණියක් බවට පත් වූවා ය. දරුවා පිළිබඳ අවබෝධය පමණක් නොව ලොව සියල්ල පිළිබඳව ද යථාවබෝධය ලත් ඒ උත්තමාවිය සියලු ආශාවන් ප්‍රහීණ කළා ය.

එදා පෙරවරු කාලයේ පිණ්ඩපාතයේ වැඩමකොට සවස් කාලයේ එයින් වැළකී දිවා විවේකය සමාධියෙන් ගත කිරීමට අන්ධ වනයට පිවිසියේ මේ නික්ලේශී උත්තමාවියයි. හුදකලාව වැඩසිටි මේ උත්තමාවියගේ සමාධියට බාධා කරමින් එතුමියගේ අතීත මතක් කරදෙමින් මානසික වශයෙන් පහළ ස්ථරයකට ඇද දැමීමට හා එතුමිය වනගතව වඩන සමාධිය නිශ්ඵල එකක් ලෙස හැඟවීමට මේ පාපී මාරයා කල්පනාකොට ඇත. ඒ නිසාමය ඔහු මෙවන් ප්‍රශ්නයක් එතුමියගෙන් විමසනුයේ.

“පුතා මියගිය ඔබ කඳුළු වැකුණු දෙනෙතින් යුතුව වන මැදට වී හුදකලාව සිටින්නේ කුමක් නිසාද, පුරුෂයෙක් සොයමින් සිටින්නීද?”

උපේක්ෂා සහිතව මේ පැනයට පිළිතුරු දෙන කිසාගෝතමි භික්ෂුණිය මාරයාට මිත්‍ර ලීලාවෙන් ආමන්ත්‍රණය කොට ලබාදෙන පිළිතුර නැවත ඒ පාපී මාරයාට ප්‍රශ්න ඇසීමට කිසිසේත්ම අවස්ථාව නොසලසයි, පුතා මිය ගිය බව සැබෑවක්ය, තමා ඒ පිළිබඳ දුක් වූ බවද සැබෑවක්ය. එහෙත් ඒ සියල්ල අයත් වන්නේ අතීතයට බව පවසන කිසාගෝතමි භික්ෂුණිය තමා ජීවත් වන්නේ අතීතයේ නොව වර්තමානයේ බව පවසමින් ඒ පාපී මාරයාට නැවත හිස එසවීමට නොහැකි තත්ත්වයට පත් කරයි.

මිත්‍රය, මාගේ පුතා මළේ ය. එය අතීතයට එක් වූවකි. මා ජීවත් වන්නේ වර්තමානයේ ය. පුරුෂයෙකුගේ සෙවීමක් හෝ එනතෙක් බලා සිටීමක් මට අවශ්‍ය වන්නේ නැත. මා ශෝක වන්නේ ද නැත. මා හඬන්නේ ද නැත. මාගේ දෑසේ කඳුළු ද නැත. මා හට බිය වීමට ද හේතුවක් නැත. සියලු ආශාවන් මා විසින් විනාශ කරන ලදී. මෝහය නමැති අඳුරු පටලය ඉරා දමන ලදී. මරුහුගේ සේනාව ජයගෙන කෙලෙස්වලින් තොරව වාසය කරමි.

මේ පිළිතුරත් සමඟ ලජ්ජාවට පත්වන මාරයාට ඉතිරි වනුයේ වහා එයින් පලායෑම පමණි.

මතු සම්බන්ධයි


බුදුදහම හා මාර සංකල්පය 16 - විජයා භික්ෂුණියගේ යොවුන් බව වර්ණනා කළ මාරයා