හෙළ කලා කෙතයි සංස්කෘතියයි
මැල්සිරිපුර උස්සාව
සිරි ධම්මරතන දහම් පාසලේ
චතුමිණී විතංගා රත්නායක
මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව නිමිත්තෙන් ‘බුදුසරණ’ පුවත්පත ජාතික
ඉතිරි කිරීමේ බැංකුව අනුග්‍රහයෙන් පවත්වන ලද දීපව්‍යාප්ත රචනා තරගයේ
ප්‍රථම ස්ථානය හිමිකරගත් රචනය
පුරා විද්‍යාත්මක හා සාහිත්‍යාත්මක සාධකවලට අනුව බුදුන්වහන්සේ ලංකාවට
තෙරවක් ම වැඩම කළ බව සඳහන් ය. ලංකාවේ බුදු සසුන පිහිටවන බව දැන ගත්
බුදුන්වහන්සේ පිරිනිවන් පාන දිනයේ ම ලංකාවට සැපත් විජය රජු ඇතුළු
පිරිසගේ ආරක්ෂාව ශක්‍රයාට බාරදුන් බව වංශ කතාවලින් තව දුරටත් අනාවරණය
වෙයි.
සිංහල බෞද්ධ සංස්කෘතියක් ගැන විමසීමට හැකි වන්නේ විජයගේ ලංකා තරණයෙන්
සියවස් දෙකකට පසු සිදු වූ මහින්දාගමනය නිසාය. මුටසීව රජුගේ ඇවෑමෙන් පසු
ඔහුගේ පුත් තිස්ස සිහසුනට පත්විය. මෙරජ දඹදිව දම්සෝ රජුට වටිනා මුතු
මැණික් දූතයන් අත යැවීය. අනතුරුව මෙම දෙදෙනා අතර පැවැති අදෘෂ්ට
මිත්‍රත්වය ද දම්සෝ පුත් මහින්ද හිමියන්ගේ ලංකා ගමනට හේතු විය.
මිහිඳු මහ රහතන් වහන්සේගේ සහ දේවානම් පියතිස්ස මහරජතුමාගේ හමුවීම ලංකා
ඉතිහාසයේ සඳහන් ඉතා විශිෂ්ට වූ සිද්ධියක් සේ සැළකේ. මෙලෙස හමුවීමේ
ප්‍රතිඵලය වූයේ සිංහල ජාතිය බුද්ධාගම වැළඳ ගැනීමත් ඔවුන්ගේ සංස්කෘතිය
බුදු දහමෙන් හා ජන විඥානයෙන් පෝෂණය වීම ආරම්භ වීමය. මෙසේ දේවානම්
පියතිස්ස මහරජ බුදු සසුනෙහි පිහිටුවා අනතුරුව ජනතාව අතරට ද බුදු දහම
ව්‍යාප්ත කරවීය.
මිහිඳු හිමියන් ඇතුළු පිරිස මෙරටට ගෙන එන ලද්දේ බුදුන්වහන්සේගේ ධර්මය
පමණක් නොව, සියවස් ගණනාවක් තිස්සේ වර්ධනය වූ ලලිත කලා, සාහිත්‍යය ආදී
අංගෝපාංගයන්ගෙන් යුත් සංස්කෘතියක් ද වන්නේ ය. මහින්දාගමනයට පෙර
බ්‍රාහ්මණ, නිගණ්ඨ, ආජීවක ආදී පූජකයන්ගේ යම් යම් දර්ශන වාද පැවැති අතර
බුදු දහම ලැබීමත් සමඟ බොහෝ පිරිසක් බෞද්ධ අනුගාමිකයන් විය. එබැවින්
සිරිත් විරිත්, ඇඳුම් පැළඳුම්, කලා ශිල්ප, ගෘහ නිර්මාණ ආදී සියල්ල ම
පාහේ කලින් තිබුණාට වඩා දියුණු සංස්- කෘතියකට උරුමකම් ඇති ඒවා බවට පත්
විය.
සිංහල ජාතියත්, බුදු දහමත් අතර පවත්නා සම්බන්ධය එකකින් අනික වෙනස් කළ
නොහැකි තරමට එකට බැඳී පවතී. ‘බුද්ධාගම නැතිදාට සිංහල ජාතියත්, සිංහල
ජාතිය නැතිදාට බුද්ධාගමත් නැතැයි’ ශ්‍රේෂ්ඨ ද්‍රවිඩ නායකයෙකු වූ සර්
පොන්නම්බලම් අරුනාචලම් මහතා විසින් ප්‍රකාශ කළේ මේ නිසා ය.
බුදු සමය, සිංහල ජාතිය, සිංහල සංස්කෘතිය යන මේ තුනට වසර දෙදාස්
පන්සියකට වඩා අඛණ්ඩ ඉතිහාසයක් ඇත. බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් රට
පුරා වපුරන ලද බෞද්ධ අධ්‍යාපනයත් ඒ හා බැඳුණ සංස්කෘතිය නිසා ලාංකිකයා
එකම සමාජයක් ලෙස සංවිධානය වූහ. විවිධ පංතිවලට අයත් ලාංකිකයන් පන්සලට
ගිය විට ඔවුන් ක්‍රියා කළේ එකම පවුලක් ලෙසය. මේ සමාජය තුළින් කැපී
පෙනෙන ඉතා වැදගත් අංගයක් වූයේ ගිහි සමාජය, සංඝ සමාජය කෙරේ ඇති කරගත්
භක්තිය නිසා විශේෂ සංස්කෘතියක් බිහිවීමය.
මෙයට හේතු වූ කරුණු වන්නේ උපන්දා සිට මරණ මංචකය දක්වාත් ඉන් නොනැවතී
මතු ආත්මය දක්වාත් බුදු දහම ජනතාවට පිහිට වීමයි. මේ නිසා පන්සල හා
බැඳුණ ජනයා එහි හරවත් සංස්කෘතික අංගයන් තම ජීවිතයට සමීප කර ගන්නා ලදී.
පන්සල තුළින් ජන ජීවිතයට සමීප වූ හෙළ කලා කෘතියක් වන්නේ චෛත්‍යයයි.
බුදුන් වහන්සේගේ හෝ රහතන් වහන්සේලාගේ ධාතු තැම්පත් කරන ලද චෛත්‍යයන්
හෙළ කලාව පෝෂණය කරමින් ගිහි ජීවිතයට ආගමික පැතිකඩක් විවර කරයි. මිහිඳු
හිමියන් ලංකාවට බුදු දහම රැගෙන ඒමට ප්‍රථම චෛත්‍යයක් ඉදිවී තිබීම ද හෙළ
කලාවේ සුවිශේෂී දෙයකි.
චෛත්‍යයන් නොහොත් ස්ථූපයන්ගේ අංග විමසීමේ දී බාහිර හා අභ්‍යන්තර හැඩ තල
රාශියක් දක්නට ලැබේ. මේවායේ පහළම කොටසෙහි පේසා වළලු දැකිය හැක. ‘මල්
පිසාවාසා’ හා ‘පුෂ්පදාන’ යන නම්වලින් හඳුන්වනු ලැබීමෙන් තහවුරු වන්නේ
ඉපැරණි කාලයේදී මල් පිදීම සඳහා මේවා පරිහරණය කළ බවය. කලාත්මක
පරිසමාප්තිභාවයට පත් විශිෂ්ටතම පේසා වළලු දක්නට ලැබෙන්නේ රුවන්මැලි
සෑය, කණ්ඨක චේතිය යන ස්ථානවල දී ය.
ශ්‍රී ලංකාවේ ස්ථූපවල වර්ගීකරණයක් මෙසේ දැක්විය හැක.
ධාන්‍යාකාර – (වී ගොඩක හැඩය) උදාහරණ – මුලින් පැවැති ථූපාරාමය,
බුබ්බුලාකාර – (දිය බුබුලක හැඩය), ඝටාකාර – (කළයක හැඩය), ඝන්ඨාකාර –
(ඝන්ඨාරයක හැඩය), පද්මාකාර – (නෙළුමක හැඩය), ආමලකකාර – (නෙල්ලි ගෙඩියක
හැඩය), චතුරස්‍රාකාර – (චතුරස්‍රායක හැඩය), අෂ්ඨාකාර – (අටපට්ටමක හැඩය)
ශ්‍රී ලංකාවේ ස්තූපයන්හි පරිමාණයෙහි සැලකිය යුතු දියුණුවක් දක්නට
ලැබෙන්නේ එහි උපරිභාගයෙහිදී ය. හතරැස් කොටුවේ ඉර සඳ රූපවලින් ධර්මාලෝකය
ධ්වනිත වන්නේ ය. ඊට ඉහළින් දේවතා කොටුව හා ඊටත් ඉහළින් කොත් කැරැල්ල
ධර්මතාවයන් රාශියක් පිළිබිඹු කිරීමට හෙළ කලාකරුවා සමත් වී ඇත. ස්තූප
මළුව සතරැස් හෝ වෘත්තාකාර වේ. මේ හැම දෙයකින් ම හෙළ කලාවෙන් ඔප නැංවුන
සංස්කෘතියක මහිම පෙන්වා දෙයි. එසේ ම පස්කම් සැප භුක්ති විඳින ගිහි ජනයා
ස්වකීය කර්මාන්තවලින් නිදහස්ව විහාරාරාමවලට පැමිණ චෛත්‍ය මළුව තුළ වාඩි
වී මොහොතක් හෝ රැඳී සිටීම තුළින් ඔවුන් තුළ චෛත්‍ය නිර්මාණයේ පේසා
වළල්ලේ සිට කොත දක්වා විහිදී ඇති චෛත්‍යාංග දකිමින් තුණුරුවන් සරණ යාමේ
සිට නිර්වාණය දක්වා ගමන් මඟ මෙනෙහි කරයි. එමඟින් අනුගාමිකයා තුළ බුදු
බැතිය සහ ධර්ම ගමන් මඟ සිය විඥානය තුළ නිධහන්ගත වෙයි. එය දිගු කාලීන
සංස්කෘතියකට හිමිකම් කියන බෞද්ධයා ලද භාග්‍යයකි.
බෞද්ධ ප්‍රතිමා කලාව හෙළ කලා කෙත පෝෂණය කළ තවත් කලා නිර්මාණයන් වන්නේ
ය. බෞද්ධ ප්‍රතිමා ලංකාවේ සංස්කෘතිය හා බැඳුණ විශිෂ්ට නිර්මාණයන් වන්නේ
ය. ඒවාට ගෞරව දැක්වීම සඳහා සුවිශාල සංස්කෘතික අංගයන් නිර්මාණය වී ඇත.
බුද්ධ පූජා සඳහා හේවිසි වාදන, වන්දනා ක්‍රම හා විශේෂ වූ ආහාර
සංස්කෘතියක් ද බිහි වී ඇත.
ධ්‍යාන මුද්‍රාවෙන් යුතු අනුරාධපුර සමාධි ප්‍රතිමාව තුළ බුදුන්වහන්සේගේ
මහා කරුණාව, ප්‍රඥාව, නෙත් සඟලින් හා මුහුණින් පිළිබිඹු කිරීමට සමත් වූ
හෙළ කලාකරුවා ලොව විශිෂ්ට නිර්මාණ අතරට ගියහ. මෙයින් දැනෙන්නේ ලාංකීය
ජනතාව තුළ තිබුණ අති විශිෂ්ට සංස්කෘතියක මහිමයයි.
අවුකන බුද්ධ ප්‍රතිමාව බුදුන්වහන්සේගේ මහේශාක්‍ය ලීලාව ලොවට ම පෙන්වා
දෙන්නේ තද කළුගල් මුදු මොලොක් භාව රූප බවට පත් කරමිනි.
තොලුවිල බුද්ධ ප්‍රතිමාව, ගල් විහාරයේ හිටි පිළිමය, රැස්වෙහෙර බුද්ධ
ප්‍රතිමාව, මාලිගාවිල බුද්ධ ප්‍රතිමාව ආදී බුද්ධ ප්‍රතිමා නිර්මාණය කළ
හෙළ කලාකරුවා අපගේ සංස්කෘතියේ අගනා ලක්ෂණ දැක බලා ගැනීමට අවස්ථාව උදා
කර දී ඇත.
එසේ ම බුදු පිළිම නිර්මාණය තුළින් සාමාන්‍ය බෞද්ධ ජනතාව තුළ
ආධ්‍යාත්මික ගුණාංග රැසක් ද ඉස්මතු වූ බව සඳහන් කළ හැකිය. කාර්ය බහුල
ජීවිතයක් ගත කරන මිනිසුන් තුළ එදි නෙදා සාමූහික සබඳතා පැවැත්වීමේ දී
අවශ්‍යයෙන් ම තිබිය යුතු ඉවසීම, කරුණාව, දයාව, මැදහත් බව ආදී ගුණාංග
සංවර්ධනය වූ බව නොකිව මනාය.
බුද්ධ ප්‍රතිමා හා ස්තූපයන් ගිහි සිත් තුළ පහන් සිතුවිලි අවදි කරන්නක්
බවට පත්ව ඇත. මේවා දැකීම, වන්දනා කිරීම, පුද සත්කාර කිරීම තුළින් හෙළ
කලාව හා බැඳුණ සංස්කෘතියක උරුමය කියා පාන්නේ ය. ලක්වැසි ජනතාව අතීතයේ
කරන ලද එම නිර්මාණයන්ට අදත් ඉතා ඉහළින් ගරු සරු කරනු දැකිය හැක.
සංස්කෘතිය හා බැඳුණ හෙළ කලා කෙත බෞද්ධ ගෘහ නිර්මාණ තුළින් පියවර
ගණනාවක් ඉදිරියට ගොස් ඇත. බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පය ඇසුරෙන් නව මං පෙත්
හෙළි කරමින් බෝධිඝර, උපෝසථාගාර, පධානඝර, ආසනඝර ආදිය ඉදි කොට තිබේ.
අප සංස්කෘතිය හා බැඳුණ ජලස්නානය සඳහා පොකුණු ඉදිකිරීමේ දී කලාව මනාව
උපයෝගී කරගත් අයුරු නෙළුම් පොකුණ, කුට්ටම් පොකුණ ආදිය පෙන්වා දෙයි.
සංස්- කෘතික වශයෙන් අලංකාර පිරිසුදු නිර්මාණශීලි ජාතියක් බව මෙම පොකුණු
දෙස බැලීමෙන් පැහැදිලි වන්නේ ය. ලොව පිහිනුම් තටාක සංකල්පය හඳුන්වා
දීමටත් ප්‍රථම මේවා ඉදිවී තිබීම හා ජල විදින වතුර මල් හා ජලයේ
පවිත්‍රතාව රැක ගැනීමට යෙදූ විධි ක්‍රම නිර්මාණශීලි සංස්කෘතියක ලක්ෂණ
පෙන්නුම් කරයි.
මෙසේ ආගම දහමට ජනයාගේ සිත් අලවාලීමට පන්සල තුළින් ලැබුණ පිටිවහල ඉමහත්
ය.
හෙළ කලා නිර්මාණයන් අතර තවත් සුවි-ශේෂී අංගයක් ලෙස සඳකඩපහන දැක්විය
හැක. ලංකා සඳකඩපහන්වල කැටයම්කොට ඇති සත්ත්ව රූපයන්හි සංකේතාර්ථ
මහාචාර්ය බෙල් මහතා පෙන්වා දෙයි. ඒ අනුව නැගෙනහිර දිසාව හස්ති රූපද,
දකුණු දිසාව අශ්වයා ද, උතුරු දිසාව සිංහයා ද, බටහිර දිසාව වෘෂභයා ද
යනුවෙනි. නමුත් ගිහියාට අනුව සංකේතාර්ථ මහාචාර්ය පරණවිතාන මහතා
අනාවරණයකොට ඇත. විඥාන ලෝකයේ ඉහළින් ම සිටින භව තලය වන බ්‍රහ්ම ලෝකය
සංකේතවත් කිරීමට පියුම ද, සඳකඩපහනෙහි පිටතින් ඇති ගිනි දැල් ක්‍රෝධාදි
ද නිරූපණය කරයි. සත්ත්ව රූපයන් ජාති, ජරා, මරණ, ව්‍යාධි යන්න නිරූපණය
වන බව මහාචාර්ය පරණවිතාන මහතාගේ මතය වේ. ලියවැල් තෘෂ්ණාව ද, එහි සිව්වන
වටයේ නෙළුම් පොහොට්ටුව ගත් හංසයන් දකුණට වේගයෙන් ගමන් කරන ඉරියව්වෙන්
ක්ලේශයන්ගෙන් පිරුණ ගිහි ගෙය හැර යන පුද්ගලයන් යොදා ගත් බව ද, පොදුවේ
සඳකඩපහන සංසාර චක්‍රය නිරූපණය වේ යැයි වැඩි දුරටත් පවසයි. මෙහි දී
සඳකඩපහන මඟින් ජන ජීවිතය විවරණය වන බවක් දක්නට ලැබේ. විහාර ගෙයක
පාපිස්නාවක් ලෙස යොදා ගන්නා සඳකඩපහන ගෘහ ජීවිතය නිෂ්ඵල බවක් කියා පායි.
ගිහියන් වශයෙන් හෙළ කලාව අතීතයේ පටන් භික්ෂූන් හා සමඟ ලාංකික ජනයා
භුක්ති විඳී. මෛත්‍රීය, පරිත්‍යාගය, ඉවසීම, සම ජීවි කතාව වැනි ගුණධර්ම
නිසා ලාංකිකයාට පවුල් ජීවිතය අවුල් වියවුල්වලින් තොරව සාමයෙන් ගෙන
යෑමටත්, ආධ්‍යාත්මික ගුණ වගාවන් හා බුද්ධියෙන් උසස් තැනකට යාමටත් හැකි
වී ඇත. සංඝයා වහන්සේලා කුල දේවතාවුන් ලෙස සැලකූ ලාංකික ගිහි සමාජය එකී
සංඝයා වහන්සේලාට දක්වන ලද ඉමහත් ගෞරවය හේතුවෙන් බෞද්ධ කලා නිර්මාණ
තුළින් සංස්කෘතිය පෝෂණය වෙමින් ජන ජීවිතය ඔපමට්ටම් විය.
ගංගා ඇළ දොල ආශ්‍රිතව වැව් තැනීය. වැව් ආශ්‍රිතව ගම්මාන බිහි විය. ඉහත
බත් ගම්මානවල හෙල් බිමක් හෝ පර්වතයක් පිරිවැරුනේ නම් එය පූජනීය
ස්ථානයක් විය. මෙසේ සෑම ගම්මානයක ම වෙහෙර විහාර දාගැබ් පිළිම ඉදිවිය.
කෙතින් බොජුන් ද, වෙහෙර විහාරවලින් දෙ ලෝ වැඩට සුදුසු පරිදි
සංස්කෘතියක් ද බිහි විය. මෙසේ පොළොව ද, මිනිස් ජීවිතය ද සරු විය. ඒ
අනුව වෙහෙර විහාර දාගැබ් පිළිම ආදි හෙළ කලා නිර්මාණවලින් පිරිපුන්
ගම්මානවල සංස්කෘතියන් ගොඩනැඟුනාහ.
සුදු පැහැති නාමල්, වතුසුද්ද, පිච්ච, කහ පැහැති කිණිහිරියා මල් ආදියෙන්
පිරුණු මල් ආසනවලින් නික්මෙන සුවඳින් ද සඳ එළියෙන් ආලෝකමත් වූ වෙහෙර
බිමෙහි අගනා දර්ශන මිනිසුන්ගේ සිත්වල තදින් කා වැදී ඇත. වත පිරිත සජ්-
ඣායනා කරන භික්ෂූන් වහන්සේලාගේ හඬ ජනයාගේ කන් පිනවයි. සෑම පෝය දිනකම
මෙම පන්සල් සංස්කෘතිය තුළින් සාමය සමාදානය එකමුතුව තුළින් උසස්
සංස්කෘතියක් බිහි විය. ජනයා ඇද බැඳ ගැනීමට පන්සල්වල නිර්මාණය වූ හෙළ
කලා කෙත හේතු පාදක විය.
වෙහෙර විහාරයන්ගේ පිහිටි බුදු පිළම, පෙති පිළිම, චෛත්‍ය, බෝධිඝර,
සඳකඩපහන්, කැටයම් ගල් කණු, ගල් පහන්, ගලින් නිර්මාණය කරන ලද වැසිකිළි
කැසිකිළි දක්වා හෙළ කලාවෙන් පෝෂිත සංස්කෘතියක් ලාංකිකයන්ට උරුම විය.
බෞද්ධ අධ්‍යාපනය ලාංකික ජන ජීවිතයේ සෑම අංශයක් වෙතම විනිවිද ගියේ ය.
බුද්ධ, ධම්ම, සංඝ, යන බෞද්ධ සංකල්ප මුල් කරගෙන ලාංකික ජන ජීවිතයේ
අදහස්, සිරිත් විරිත්, ගතිපැවතුම් සියල්ල බෞද්ධ දර්ශනය අනුව පෝෂණය විය.
බෞද්ධ පින්කම් හා පෙරහරවලින් සංගීතයෙන්, නැටුම්වලින්, නෘත්‍යයන් යනාදී
කලාව පිළිබඳ දක්ෂතා එළිදැක්වීමට පන්සල අවස්ථාවක් උදා කර දුන්හ.
ලංකාවට බුද්ධාගම පැමිණීමෙන් ඇති වූ ප්‍රතිඵලය විවිධාකාරය, ලලිත
කලාවන්ගේ, ගෘහ නිර්මාණ ශිල්පයේ හා මුර්ති කලාවේ දියුණුවට හේතු වූ
හැඟීම් මාලාවන් බුද්ධාගමෙන් ලැබුණ රුකුල ඉමහත් ය. වෙසක්, පොසොන් සමය
තුළ නිර්මාණය කරන ලද වෙසක් පහන් කූඩු, කැරකෙන කූඩු, වෙසක් නාට්‍ය හා
පොසොන් මිහිඳු පෙරහරට අයත් සියලු සංස්කෘතික අංග හෙළ ලලිත කලා බව
පැහැදිලිය.
‘ගමයි පන්සලයි, වැවයි දැගැබයි’
යන්න සුදුසුම යෙදුමකි. මන්ද හෙළ කලාවට සංස්කෘතිය එක් වූයේ ගමේකම,
මනුස්සකම, එකමුතුකම, බෞද්ධකම හා කෙතේ අස්වනු ද සමඟය. මෙනයින් බලන කල
ලාංකීය ජන හදවතට හෙළ කලා කෙතයි, සංස්කෘතියයි ඉබේ ම සිහියට නැඟෙනු නො
අනුමානය. |