Print this Article


අ.පො.ස (උ.පෙළ) විභාගය – 2015 බෞද්ධ ශිෂ්ටාචාරය ආදර්ශ ප්‍රශ්නෝත්තර

 අ.පො.ස (උ.පෙළ) විභාගය – 2015

බෞද්ධ ශිෂ්ටාචාරය ආදර්ශ ප්‍රශ්නෝත්තර

4 අභ්‍යාසය

(1) ස්ථානෝචිත ප්‍රඥාව බුදුරජාණන් වහන්සේ සතු විශිෂ්ට ප්‍රඥා ගුණයකි. මෙම ප්‍රඥාව අයත් වන බුදුරදුන් සතු ඥාන සම්පත්තිය වූයේ,

1.දසබල ඥානයන්ය
2. අෂ්ඨ විද්‍යාවන්ය
3. පසලොස් චරණ ධර්මයන්ය
4.ත්‍රිවිද්‍යාවන්ය
5.අෂ්ඨ පර්ෂද්‍ය අකම්ප්‍ය ඥානයන්ය

(2) බුදුරජාණන් වහන්සේ වෙතින්ම ශ්‍රමණ භූමියට පත්ව වැරදි සහගත හැසිරීම්වල නිරත වූ භික්ෂූන් බුද්ධ කාලයේද විසූහ. එසේ වැරැදි සහගත හැසිරීම්වල නිරත වූ භික්ෂූන් වහන්සේ නමක් වූයේ,

1.ආනන්ද තෙරුන්ය
2. සැරියුත් තෙරුන්ය
3.සුනක්ඛත්ත තෙරුන්ය
4. අංගුලිමාල තෙරුන්ය
5.රාහුල තෙරුන්ය

(3) සිදුහත් කුමරුගේ දේහ ලක්ෂණ අනුව හෙතෙම ගිහි ගෙයි වාසය කළහොත් නිතැතින්ම සක්විති රජ බවට පත්වන බව බමුණන් ප්‍රකාශ කළ අතර සිය පුත්‍රයා සක්විති රජෙකු කිරීම පියා වූ සුද්ධෝදන රජුගේ මූලික අභිප්‍රාය විය. මේ සඳහා කුමරුට අවශ්‍ය අධ්‍යාපනය ලබා දීම සඳහා යොමු කරන ලද්දේ,

1.අසිත තවුසා වෙතය
2. කොණ්ඩඤ්ඤ තවුසා වෙතය
3.ධජ බමුණා වෙතය
4. ලක්ඛණ බමුණා වෙතය
5.සර්ව මිත්‍ර බමුණා වෙතය

(4) බුදුරජාණන් වහන්සේ දෛනික චර්යා පිළිවෙතෙහි වර්ෂ 45 ක කාලය තුළම පවත්වාගෙන ආ අපූර්ව කාර්යයක් ලෙස සැලකිය හැක්කේ,

1.සෑම දිනකම ගෙපිළිවෙළින් පිඬු සිඟා වැඩීමයි
2.සෑම මොහොතකම භික්ෂූන්ට අවවාද අනුශාසනා කිරීමයි
3.අලුයම නැඟිට මහා කරුණා සමාපත්තියට සමවැදී සත්වයාගේ ස්වභාවය දෙස බැලීමයි
4.අලුයම නැඟිට තම වැඩ කටයුතු යුහුසුළුව කිරීමයි
5.සෑම සිද්ධියක්ම පාදක කරගෙන විනය නීති පැනවීමයි.

5) බුදු දහමේ දැක්වෙන සාමඤ්ඤ ඵල, මංගල, පරාභව යන සූත්‍රයන් බුදුරදුන් දේශනා කරන ලද්දේ ප්‍රශ්න ඇසූ විට ඊට පිළිතුරු වශයෙන්ය. මෙය තථාගතයන් වහන්සේ තුළ පැවැති ධර්ම දේශනා ක්‍රමයන්ගෙන් එකකි. එය නම්

(1) අත්ථජ්ඣාය දේශනා ක්‍රමයයි
(2) පරිජ්ඣාස දේශනා ක්‍රමයයි
(3) පූච්ඡාවසික දේශනා ක්‍රමයයි
(4) අට්ඨුප්පත්තික දේශනා ක්‍රමයයි
(5) ඨපනීය දේශනා ක්‍රමයයි

(6) දිනක් බුදුරජාණන් වහන්සේ සිය ශ්‍රී හස්තයේ මහපටඟිල්ලේ නිය පිටට පස් ස්වල්පයක් ගෙන භික්ෂූන්ට පෙන්වා දෙන ලද්දේ තම නිය පිටේ ඇති පස් ස්වල්පයට වඩා මහ පොළොවේ ඇති පස් ප්‍රමාණය ඉතා විශාල බවයි. තථාගතයන් වහන්සේ මෙම නිදර්ශනයෙන් විදහා දැක්වූයේ.

1. මිනිසුන් අතර පැවිදි ජීවිතයට ඇතුළත් වන පිරිස නිය පිට ඇති පස් තරම් ඉතා අල්ප බවයි.
2.මිනිසුන් අතර සදාචාරවත් ජීවිතයක් ගත කරන පිරිස නිය පිට ඇති පස් තරම් ඉතා අල්ප බවයි.
3.මිනිසුන් අතර සිට සත්වයන්සේ උපදින පිරිස නියපිට ඇති පස් තරම් ඉතා අල්ප බවයි.
4.සතුන් අතර සිට මිනිසුන් සේ උපදින පිරිස මගේ නිය පිට අති පස් තරම් සේ ඉතාම අල්ප බවයි.
5.මිනිසුන් අතර සිටින වැරැදි ක්‍රියාවල යෙදෙන පිරිස මාගේ නිය පිට ඇති පස් තරම් ඉතාම අල්ප බවයි.

(7) අටලෝ දහමෙහි නපුර වඩාත් තදින් දැනෙන්නේ අලාභය, අයස, නින්දා හා දුක ඉදිරියේය. අප තථාගතයන් වහන්සේද එසේ මුහුණ දුන් අවස්ථා ගණනාවක්ම ත්‍රිපිටකයේ දැක්වේ. එවැනි තත්වයකට ඉන්ද්‍රඛීලයක් සේ මුහුණ දීමට හැකි වූ බුදුරදුන්ගේ මෙම ගුණය හඳුන්වනු ලබන්නේ

1.මහා කරුණා ගුණය යනුවෙනි
2.සත්ථා ගුණය යනුවෙනි
3.පුරිසදම්ම සාරතී ගුණය යනුවෙනි
4.අරහං ගුණය යනුවෙනි
5.තාදී ගුණය යනුවෙනි

(8) පැවිද්ද යනු ජීවිතයට අයත් සියල්ල අත්හැරීමයි. මෙසේ ආරම්භ කරන භික්ෂු ජීවිතය අල්පේච්ඡ වූ එකකි. භික්ෂුව යනු සිවුරු දරන්නා වූ පිඬු පිණිස හැසිරෙන්නා වූ සසර බිය දකින්නා වූ අයෙකි. මුල් කල බුදුරදුන් තුළ පැවිද්ද හා උපසම්පදාව විමධ්‍යගත කළ අතර මේ නිසා පැවිද්ද හා උපසම්පදාව ක්‍රම කීපයකට සිදු වූහ. එම ක්‍රම අතර ඕවාදපටිග්ගහන පැවිදි උපසම්පදාවෙන් පැවිදි බව ලැබූ පළමු ශ්‍රාවකයා වූයේ,

1.සුනීතය
2.රාධ බමුණාය
3. පිප්පිලි මානවකයාය
4.කොණ්ඩඤ්ඤ තවුසාය
5. සෝපාකය

(9) “යේ ධම්මා හේතුප්පභවා – තේසං හේතු තථාගතෝ ආහ

තේසංච යෝ නිරෝධෝ – ඒ වං වාදි මහා සමනෝ”

මෙම ගාථාව දේශනා කරන ලද්දේ,

1.අස්සජි තෙරුන් විසින් කෝලිත පරිබ්‍රාජකයාටය
2.අස්සජි තෙරුන් විසින් උපතිස්ස පරිබ්‍රාජකයාටය
3.පුණ්ණ තෙරුන් විසින් සුනාපරන්ත ජනපදවාසීන්ටය
4.ආනන්ද තෙරුන් විසින් කොසොල් ජනපදවාසීන්ටය
5.බුදුරදුන් විසින් අස්සජි තෙරුන් හටය.

(10) ගිහි අයෙකු උත්තරීතර වූ පැවිදි බව ලබා ගන්නේ පහත සඳහන් කවර පරමාර්ථයක් මුදුන් ‘පුමුණුවා’ ගැනීමටද?

1.ඥාති මිත්‍රාදීන්ගෙන් ගරු බුහුමන් ලැබීමටය
2.පහසුවෙන් ජීවනෝපාය ගෙන යෑමටය
3.මහජනයාගෙන් වැඳුම් පිදුම් ලබාගැනීමටය
4.අඹු දරුවන්ට යුතුකම් ඉටු කිරීමටය
5.ගිහි ජීවිතය සම්බාධක සහිත කෙලෙස් ඇතිවන තැනක් බැවින් ඉන් මිදීමටය.

(11) ධර්මාශෝක අධිරාජයා විසින් බුදුරදුන් පිටදී වදාළ ශි‍්‍ර මහ බෝධියේම දක්ෂිණ ශාඛාව ලංකාවට එවන ලදී. එසේ එවීමේදී එහි ආරක්ෂාව හා තේවාව පැවැත්වීමට විවිධ වූ කුල ශ්‍රේණින්ද ඒ සමඟ එවන ලද බව වංශ කථා සාහිත්‍යයේ දැක්වෙයි. එසේ එවන ලද කුල ශ්‍රේණි සංඛ්‍යාව වනුයේ,

1.සොලොසකි
2.සියයකි
3.දහ හතකි
4.දොළොසකි
5.දහ අටකි

(12) තථාගතයාණන් වහන්සේ විසින් දේශිත දේශනා අතර කරණීය මෙත්ත සූත්‍රයට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. එහි සඳහන් වන "සුභර" යන වචනයෙන් සඳහන් වන ගුණාංගය නම්,

1.පමණ දැන ආහර ගැනීමයි
2.අනුන්ගෙන් නොයැපීමයි
3.අනුන්ට බරක් නොවී ජීවත්වීමයි
4.සාර්ථක ජීවිතයක් ගත කිරීමයි
5.පහසුවෙන් පෝෂණය කළ හැකි බවයි

(13) බුදුරදුන් තරම් සෞන්දර්ය වර්ණනාවට ලක් කළ වෙනත් ආගමික ශාස්තෘවරයෙක් එකල භාරතයේ නොසිටියහ. එය පසක් කරමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ” මෙ වනගහනය නිවන් මග සොයා යන්නවුන්ට තවුස්දම් පිරීමට ඉතා හොඳ තැනකි” යනුවෙනි. මේ ආකාරයට වර්ණනාවට ලක් වූ ස්ථානය නම්.

1.කිඹුල්වත් පුරයයි
2. ඉසිපතනයයි
3.අනෝමා ගංතෙරයි
4. උරුවෙල් දනව්වයි 5.වේලුවනාරාමයයි

(14) ඉතා චාම් සරල දිවිපෙවෙතක් ගත කරන භික්ෂුව පිළිබඳ සාවද්‍ය ප්‍රකාශ වනුයේ

1.භික්ෂුව අන්‍යයන්ගෙන් යැපිය යුතුය යන්නයි
2.භික්ෂුව බහුභාණ්ඩිකතාව අගය කළ යුතුයි යන්නයි
3.භික්ෂුව සිව්පසය පවා පරිහරණය කළ යුත්තේ තමන්ගේ බ්‍රහ්මචර්යාවට ඇවැසි ආකාරයට යන්නයි
4.භික්ෂුව අල්පකෘත්‍යතාවයෙන් හා අල්පේච්ඡතාවයෙන් සුසැදිය යුතුය යන්නයි
5.භික්ෂුව මනාකොට විනය නීති ආරක්ෂා කළ යුතුය යන්නයි.

(15) වළගම්බා රජු පළමුවරට රජ වූයේ ක්‍රි.පූ. 106 දීය. නමුත් ඔහුට රාජ්‍ය කිරීමට ලැබුණේ කෙටි කාලයකි. භාරතයෙන් මෙහි පැමිණි ද්‍රවිඩයන් හත්දෙනෙකු රජුට විරුද්ධව යුද වැදී රාජ්‍ය පැහැර ගත්හ. මෙසේ යුද්ධයෙන් පැරදී වන ගත වූ රජුට නොයෙක් ආකාරයෙන් ආධාර උපකාර කරනු ලැබුවේ භික්ෂූන් වහන්සේ නමකි. එම භික්ෂුව නම්,

1.මහා දැලියා තිස්ස තෙරුන්ය
2. දාඨාසිව තෙරුන්ය
3.ගෝදත්ත තෙරුන්ය
4.බාල මහලු තිස්ස තෙරුන්ය
5.කුපික්කල මහා තිස්ස තෙරුන්ය.

(16) ශ්‍රී ලංකාවට බුදුසමය ලැබීමත් සමඟ මහානාම රජු දවස ලංකාවට පැමිණී බුද්ධ ඝෝෂ හිමියන් මහා විහාරයේ අධ්‍යාපන කටයුතු කර මෙහිදීම වටිනා ග්‍රන්ථ රචනා කළ හිමිනමකි. මෙසේ බුද්ධ ඝෝෂ හිමියන් බුදුදහම විග්‍රහ කරමින් ලියන ලද අසහාය ග්‍රන්ථ වනුයේ

1.සමන්ත පාසාදිකාවයි
2. මනෝරථ පූරණියයි
3. සුමංගල විලාසිනියයි
4. පපංච සුදණියයි
5.විසුද්ධී මාර්ගයයි

(17) ශ්‍රී ලංකාවට බුදු සමය ලැබීමත් සමඟ විශාල වශයෙන් වෙහෙර විහාර ඉදිවෙන්නට විය. එවක ලාංකික පාලකයෙක් වූ වළගම්බා රජු, ගිරි නම් නිගන්ඨයා විසු අසපුව කඩා විනාශකොට එතැන බෞද්ධ විහාරයක් කරවු බව නිකාය සංග්‍රහයේ දැක්වෙයි. එම විහාරය නම්,

1.මහා විහාරයයි
2.අභයගිරියයි
3.ථූපාරාමයයි
4.වෙස්සගිරියයි
5.ඉසුරුමුණියයි

(18) වැරැදි අර්ථ නිරුපණයන් ඔස්සේ යහපත් රාජ්‍ය පාලකයෙක් වුවද මිසදිටු පාලකයෙක් වීමට ගත වන්නේ නිමේෂයකි. මෙසේ සංඝමිත්‍ර නම් භික්ෂුවගේ වැරදි උපදෙස් තුළින් කැළඹී ලෝවාමහාපාය ඇතුළු තුන්සිය හැට හතරක් වෙහෙර විහාර මුලිනුපුටා විනාශ කර මහා විහාර භූමියේ පවා උඳු වපුරනු ලැබුණි. මෙම අදහැමි ක්‍රියාවට මුල් වූ රාජ්‍ය පාලකයා වනුයේ,

1.වළගම්බා රජුය
2.දේවානම්පියතිස්ස රජුය
3.මහසෙන් රජුය
4.මිහිඳු රජුය
5.පළමු අග්බෝ රජුය

(19) උයන්කෙළි සඳහා පිටත් වූ දින කිහිපයකදීම සතර පෙර නිමිති පිළිවෙළින් දැකීමෙන් සිදුහත් කුමරු කලකිරීමකට පත් වූ අතර ගිහිගෙය පිළිබඳ ඇල්ම සිඳී යාම හේතුකොටගෙන අභිනික්මන් කළහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් තම මඟුල් කඩුවෙන් සියතින්ම කෙස් කපා රාජාභරණ මුදා කසාවත් හැඳ උතුම්පැවිදි බව ලැබූහ. මෙම සිදුවීම සිදුවූයේ,

1.අචිරවතී ගඟබඩදීය
2. යමුනා ගඟබඩදීය
3.අනෝමා ගඟබඩ දීය
4. නේරංජන ගඟබඩදීය
5.නර්මදා ගඟබඩදීය

(20) සැවැත් නුවර එක්තරා කුල පුත්‍රයෙක් බුදු බණ අසා පැහැදී සසුන්ගත විය. කල්යාමේ දී උන්වහන්සේට දරුණු කුෂ්ඨ රෝගයක් වැළඳුනි. එය කොතරම් දරුණු වීද යත් මුළු ශරීරයම ලේ සැරව ගලන සිදුරු සහිත වනයක් බවට පත්විය. එවැනි සිදුවීමකට මුහුණ පෑ බුද්ධ කාලීන භික්ෂුව වූයේ.

1.මුගලන් හිමියන්ය
2. පූතිගත්තතිස්ස හිමියන්ය
3.වක්කලී හිමියන්ය
4. ඡන්න හිමියන්ය
5. ආනන්ද හිමියන්ය

පිළිතුරු

01 -3
02 -3
03 -5
04-3
05-3
06-4
07-5
08-03
09-2
10-05
11-5
12-5
13-3
14-2
15-5
16-5
17-2
18-3
19-3
20-2