Print this Article


දහම් පණිවුඩය ලැබිය යුතුමය

දහම් පණිවුඩය ලැබිය යුතුමය

දරුවන්ට ධර්ම දානය දිය යුත්තේ දෙමව්පියන්ය. ඇසුරු කළ යුතු නොකළ යුතු පුද්ගලයන් පිළිබඳව දරුවන්ට පහදා දෙමින් බාලයන්ගෙන් දරුවන් ඉවත්කර ගැනීමේ ධර්ම දානමය අත්තිවාරම මුලින්ම දැමිය යුත්තේ දෙමාපියන්ය. මුළු දවසම දරුවන් පිළිබඳව ගින්දරෙන් සිත සිතා සිටින දෙමව්පියන් දැනගත යුතු මූලිකම කරුණ ‘අසේවනාච බාලානං” යන්න පිළිබඳව දරුවාට පැහැදිලි කර නොදීම තුළ ගැටලු මතුවන බවයි.

ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිපැදීමෙන් තොරව නිවන ලැබීමට නොහැකි වන අතරම නිවන් දැකීමෙන් තොරව සංසාර දුක අවසන් කළ නොහැකි බව අප වටහා ගත යුතුය. අප ලොව්තුරා සම්මා සම්බුදුපියාණන් වහන්සේ පුරා සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී පුරා අවබෝධ කොට මුළු මහත් ලෝක සත්ත්වයා සංසාර සාගරයෙන් මුදාලනු පිණිස දේශනා කළා වූ ධර්මය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළයුතු ප්‍රතිපත්ති හා පිළිපැදිය යුතු ආචාර ධර්ම පද්ධතියකින් සමන්විතව පවතී. බුදුපියාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය භාවනානුයෝගී මුනිවරයන් වහන්සේලාට පමණක් සීමා නොවුණ සුදු වස්ත්‍ර අඳින කසී සළු සුවඳ විලවුන් දරන අඹුදරුවන් පෝෂණය කරන ගිහි පිරිසට අදාළ වන කරුණු කාරණා සූත්‍ර දේශනා තුළ අඩංගුව පවතී.

බුදුපියාණන් වහන්සේ මංගල සූත්‍රයේදී දේශනා කරන ලද මංගල කරුණු තිස් අට තුළ පවතින සාර භෞමික ලක්ෂණ නිසාම එහි අඩංගු කරුණු කාරණා ප්‍රායෝගික වශයෙන් බෞද්ධ ජනයාට පමණක් නොව ලෝකයේ ජීවත් වන ඕනෑම පුද්ගලයකුට තම තමාගේ ජීවිතයට සමීප කර ගත හැකි වන අතර දේශනා කරන ලද එම මංගල කාරණා මිනිසාගේ මෙලොව පරලොව හිත සුව පිණිස දියුණුව පිණිසම පවතී.

පාසල් යන දරුවන්ගේ දියුණුවට, වැඩිහිටියන්ගේ දියුණුවට, පවුල් සංස්ථාවේ දියුණුවට ආයතනික දියුණුවට, සමාජයේ ආර්ථික, සමාජාත්මක, සදාචාරාත්මක අධ්‍යාත්මික දියුණුවට අදාළ වන ඉගැන්වීම් මෙම සූත්‍රවල සඳහන් වන අතර එම සූත්‍ර ධර්ම උදේට, හවසට පිරිත් වශයෙන් සජ්ඣායනා කරමින් සිටිනවාට වඩා එය ප්‍රායෝගික ජීවිතයට භාවිතයට ගත යුත්තේ කුමන ආකාරයෙන් ද? යන වග අප විමසා බලා අවධාරණය කර ගත යුතු ය. වසර දෙදහස් පන්සියයකට පෙර දේශනා කරන ලද මෙම ධර්මය හොඳ ආර්ථිකයක් ඇති පී‍්‍රතිමත් පවුලකට එහි වටිනාකම කෙතරම්ද? යන්න වග වර්තමානය වන විට විදේශිකයන් පවා වටහා ගනිමින් සිටී.

ගිහි පින්වතුන්ලා මේ තරම් කාලයක් තුළ දී දාන මාන පිරිනමමින් සිල් සමාදන් වෙමින්, වෙහෙර විහාර පන්සල් ඉදිකර පූජා කරමින් ද දරුවන් දහම් පාසල් යවමින්ද, තමා ද දහම් පාසල් ගොස් ඇති අයකු වශයෙන් ද තමා කෙතරම් දුරට බෞද්ධයකුද? තමා තුළ කෙතරම් ශ්‍රද්ධාව පවතිනවාද යන්න මංගල කාරණාවලට අනුව සිතා බැලිය යුතුය. මංගල කාරණාවලට අනුව තමා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙමින් නොමැති නම් නැවත වතාවක් ආපසු තම පවුල් සංස්ථාව තුළට හැරී ගෙදර පිරිසට කරුණාව, මෛත්‍රීය, දයාව පතුරවමින් තමාට ද ආදරය කරුණාව දක්වමින් බෞද්ධයකු වීමේ මූලික අඩිතාලම නිවස තුළින්ම ගොඩනගා ගත යුතු ය.

“අසේව නාච බාලානං
පණ්ඩිතානංච සේවනා
පූජාච පූජනීයා නං
ඒතං මංගල මුත්තමං”

බුදුපියාණන් වහන්සේ ආනන්ද හිමියන් අමතා දේශනා කරනු ලැබුවේද? බුද්ධ ශාසනය පන්දහසක කාලයක් පවතින්නේ කල්‍යාණ මිත්‍රයන් නිසා බවයි.

වර්තමාන සමාජය තුළ ජීවත් වන දරුවන් හදාවඩා ගැනීමේ දී ඒ පිළිබඳව විශාල වගකීමක් දෙමව්පියන්ට පැවරී ඇත. මෙම සමාජය තුළ නිවැරදිව ගුණ යහපත් දරුවකු තැනීමේ දී සමාජීය වශයෙන් ගැටලු රාශියකට දෙමව්පියන් මුහුණ දෙමින් සිටී. ඇසුරට ගත යුතු ඇසුරට නොගත යුතු පුද්ගලයන් පිළිබඳව බුදුදහමට අනුව කෙසේද? යන්න දෙමව්පියන් විසින් දරුවන් දැනුවත් කළ යුතු ය. හැම විටම බුදුදහම සාර භෞමික ලක්ෂණ තුළින් හෙබි දහමක් බව දරුවන්ට වටහා දිය යුතු ය. සෑම අවස්ථාවකදීම වැඩිහිටියන්ට දෙමව්පියන්ට ගෞරවය දක්වමින් සියලුම කරුණු කාරණාවලදී වැඩිහිටියන්ගේ උපදෙස් විමසා කටයුතු කළ යුතු බව දෙමව්පියෝ විසින් දරුවා දැනුවත් කළ යුතු ය. රුපියල් එක්දහස් පන්සියයක් වැනි මුදලකට තමා දසමසක් කුස දරා සිටි තම මෑණියන් මරා දමන ලද පුතකු පිළිබඳව පසුගිය දිනවල වාර්තා විය. එහිදී සිතිය යුතුව ඇත්තේ අප බලාපොරොත්තු වන ආකාරයට ධර්මය ඇසිය යුතුම පිරිසට දහම් පණිවුඩය ලැබෙනවාද? නැද්ද? යන්න වගය. එය දේශකයාණන් වහන්සේලාද සිතිය යුතු ය. හැමදාමත් ධර්මය අසන සැම විටම ධර්මය පිළිපදින පිරිසම ධර්මානුකූල වීම තුළින්ම පමණක් අපගේ සමාජීය පරිසරය ධාර්මික කරගත නොහැකිය. එවිට “පතිරූප දේස වාසෝච” යන්න යහපත් පරිසරයක ජීවත්වීමේ වාසනාව උදානොවේ. ගමේ ගොඩේ කඩේ පිලේ පිරිස විවිධ වෙළෙඳාම් කරන පිරිස මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූ පිරිසට වුවද ධර්මය ශ්‍රවණය වෙනවාද? නැද්ද? යන්න ගැටලුවකි. විශ්වවිද්‍යාල ගුරුවරු, ඉන්ජිනේරුවරු, වෛද්‍යවරුන් මහ පාරවල් තුළ රණ්ඩු දබර ඇති කරගත්තේ නැත. එනිසා ධර්මය අවශ්‍යව ඇති පිරිසට ලැබෙනවාද? එම පිරිස සඳහා ඔවුන්ගේ භාෂාවෙන් ආමන්ත්‍රණය වෙනවාද, යන්න ගැටලුවකි. අපරාධයකට යොමු විය හැකි පරිසරයක පීඩනයෙන් ජීවත්වන පිරිසට වර්තමාන සමාජය තුළ ප්‍රායෝගිකව ධර්මය අවශ්‍යව පවතී. බුදුපියාණන් වහන්සේ උදෑසන මහා කරුණා සමාපත්තියට සමවැදීම තුළින් බලනු ලැබුවේ එම දවස තුළ කවුරුන් හෝ අසරණ පුද්ගලයකුට පිහිට විය හැකිද? යන්න. “චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය” යනුවෙන් බුදුපියාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට දේශනා කරනු ලැබුවේද බොහෝ දෙනාගේ හිතසුව පිණිස අස්සක් මුල්ලක් නොහැරම ධර්මය ප්‍රචාරය විය යුතු බැවිණි.

බුදුදහම ශරීරයටම කා වැදුණු ගුණ යහපත් සදාචාර සම්පන්න පිරිසක් අප රට තුළ ජීවත් වූයේ ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දානය තුළින් මෙම කරුණු කාරණා තේරුම් කර දීම තුළිනි. දරුවන්ට ධර්ම දානය දිය යුත්තේ දෙමව්පියන්ය. ඇසුරු කළ යුතු නොකළ යුතු පුද්ගලයන් පිළිබඳව දරුවන්ට පහදා දෙමින් බාලයන්ගෙන් දරුවන් ඉවත්කර ගැනීමේ ධර්ම දානමය අත්තිවාරම මුලින්ම දැමිය යුත්තේ දෙමාපියන්ය. මුළු දවසම දරුවන් පිළිබඳව ගින්දරෙන් සිත සිතා සිටින දෙමව්පියන් දැනගත යුතු මූලිකම කරුණ ‘අසේවනාච බාලානං” යන්න පිළිබඳව දරුවාට පැහැදිලි කර නොදීම තුළ ගැටලු මතුවන බවයි. සමහර නිවෙස්වල සේවනය නොකළ යුතු බාල දූ දරුවන්ද ජීවත් වන වග ඇතැම් ප්‍රවෘත්ති තුළින් අපට දැක ගත හැකියි. අනුන්ට ගරු නොකරන, අනුන්ගේ අදහස් පිළිබඳව තැකීමක් නොකරන, වරදකදී සමාවක් අයැදීමට අකැමැති, යම් උපකාරයකදී ‘ස්තුතියි’ යන වචනය කීමට පවා නොපෙළඹෙන අදහස් ඇති දරුවන් සේවනය කිරීමේ දී ඔවුන් නිවැරැදි මාර්ගයට ප්‍රවේශ කරගැනීමට උත්සාහ කළ යුතු සේම ඔවුන් ඇසුරුකිරීමේ දී ඔවුන්ගේ ගොඩට නොවැටිය යුතු ය. එනිසා දරුවන් මිත්‍රයන් ඇසුරු කිරීමේ දී දෙමව්පියන් සොයා බැලිය යුතු ය. අසේවනාච බාලානං පේස්බුක් තුළ බොහෝ දුරට සිදුවේ. වර්තමාන සමාජය තුළ පුද්ගලයා හඳුනාගැනීමට වසර ගණනක් ගත වුවද එය අපොහොසත් වන්නේ නම්, එය අසීරු කාර්යයක් නම් මේ පරිසරය තුළ දරුවන් අසරණව ගොදුරු බවට පත්වන බව වගකිව යුතු දෙමව්පියන් විසින් වටහා ගත යුතු ය. මංගල සූත්‍රය වැනි වටිනා සූත්‍රයක් ළඟ තබාගෙන උදේට හවසට කියමින් සිටිනවාට වඩා දෙමව්පියන් විසින් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු යි. එය වටහා ගත නොහැකි නම් ඊට අදාළ පිරිස් ශාසනය තුළ හා වෙනම හඳුනාගත හැකියි.

බාලයාගේ ලක්ෂණය ලෙස හඳුනාගත හැක්කේ පිරිසුදු බව අඩුකම අනුන්ගේ තොරතුරු සොයමින් විමසමින් ඕපාදූප සොයමින් කතා කළ අදහස් පවා එක දෙක කර ප්‍රකාශ කරමින්, කුමන පුද්ගලයකුගේ හෝ අගුණක් කියෙවෙනවා නම්, එය වැඩිදියුණු කිරීමට එයට පොහොර දමමින් කතා කරන පුද්ගලයෙකි.

“ඉමිනා පුඤ්ඤ කම්මේන” ගාථාවේ දේශනා කරනු ලබන්නේ “සතං සමාගමෝ හෝතු” මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාණ පත්තියා. නිවන් දක්නා ජාති දක්වා මට අසද්පුරුෂයන් ආශ්‍රය කිරීමට නොලැබේවා. සද්පුරුෂයන් ආශ්‍රය කිරීමට ලැබේවා යන්න බුදු දහමේ පදනමයි.

“අසේවනාච බාලානං පණ්ඩිතාන්ංච සේවනා” යනුවෙන් මංගල කාරණාවක් ලෙස දේශනා කොට ඇත්තේ කුමන හේතුවක් නිසාද? යන්න කල්පනා කර බැලිය යුතුය. පණ්ඩිතයන් යන අදහස තුළ පණ්ඩිත බව, බුද්ධිමත්කම, උගත්කම, පණ්ඩිතභාවය, බහුශ්‍රැතභාවය ආදී වශයෙන් විවිධාකාරයෙන් පැහැදිලි කරනු ලැබුවද, මෙම කාරණා එකින් එක වෙනස් ස්වරූපයක් ගනු ලබයි. පණ්ඩිතයා යනු බොහෝ දේ කටපාඩම් ඇති පුද්ගලයාය. බුද්ධිමතා යනු අලුත් ක්‍රමයට හිතන, පතන පුද්ගලයාය. බහුශ්‍රැතභාවය යනු බොහෝ ඇසු පිරූ තැන් ඇති පුද්ගලයාය. ආදී වශයෙනි.

ඇතැම්විට නූගත් පුද්ගලයන් සැප සම්පත් විඳිමින් සිටිනවා සමාජයේත් පන්සලේත් ගරු සැලකිලි කරමින් මුල් තැන ලැබෙන්නේ ඒ පිරිසටය. අසනීපයකදී බෙහෙතක් ලබා දෙන්න අවබෝධයක් තිබෙන, රට තොට සිදුවීම් පිළිබඳ අවබෝධයෙන් සිටින බණ දහම් හොඳින් දන්නා, පණ්ඩිත පිරිසක් ගමේ ජීවත් වූවත් ඔවුන් පොල්අතු සෙවිලි කරන ලද කුඩා පැල්පත්වල ජීවත්වන නිසාම ඔවුන්ට මෙම සමාජයේ පිළිගැනීමක් නැතිවී ඇතැයි සිතිය හැකිය. ලෝකෝපකාරයෙන් සසදාවතෙන්, අමාවතුරෙන්, බුත්සරණෙන්, කව් සිළුමිණ, දම්පියා ගැටපද, ජාතික කතා පොතේ අඩංගු බණ දහම් කරුණු කාරණා පිළිබඳ නිවැරැදි අවබෝධයක් ඇති ඕනෑම උපදේශයක් දිය හැකි එවැනි පුද්ගලයන් ඇසුරට ගත යුතු පණ්ඩිතයන් බව හඳුනාගත යුතු ය. ඔවුන් විභාග සහතික නැතිවූවාට ඔවුන්ට යාන වාහන සුපිරි නවාතැන් නැතුවාට ඔවුන් පස්පව්වලින් වැළකී නිවැරදි ජීවිතයක් ගත කරන මනසින් පොහොසත් පිරිසක් වෙයි. පොහොසත්කම මැනිය යුත්තේ මිල මුදලින් හෝ විභාග සහතික වලින් නොව යම් පුද්ගලයකුට උපදේශයක් දිය හැකි මට්ටමක ජීවත් වනවා නම්, එය පණ්ඩිතයාගේ ලක්ෂණයකි.

පණ්ඩිතයන් ආශ්‍රය කිරීමට පමණක් සීමා නොවී ඔවුන්ගේ ගුරුහරුකම් උපදෙස් ලබාගෙන දැනුම උකහා ගත යුතු ය. දෙමාපියන් විසින් දරුවන් යොමුකළ යුත්තේ එවැනි පණ්ඩිතයන් ඇසුරු කිරීමටය. මාගේ ධර්මය උගතුන්ට මිස නූගතුන්ට නොවන බව බුදුපියාණන් වහන්සේද වදාරා ඇත. බෞද්ධයා යනු බුද්ධිමත් පුද්ගලයාය. බුදුපියාණන් වහන්සේ පවා දැන උගත් බුද්ධිමත් පිරිස අගය කර ඇත. පණ්ඩිතයන් ඇසුරු කිරීම තුළින් ආලෝකමත් ජීවිතයක් ගොඩනගා ගත හැකි බව දෙමව්පියන් විසින් දරුවන්ට අවධාරණය කළ යුතු ය.

හේමමාලා රන්දුනු