බුදුදහම හා මාර සංකල්පය 16
විජයා භික්ෂුණියගේ
යොවුන් බව වර්ණනා කළ මාරයා
ශාස්ත්‍රපති
රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි
අප මෙවර ඉදිරිපත් කරන්නේ අන්ධ වනයෙහි හුදෙකලාව බවුන් වඩමින් සිටි විජයා
භික්ෂුණිය හමුවට මාරයා පැමිණ එතුමියගේ යොවුන් බව හා පස්කම් සැපය පිළිබඳ
වර්ණනා කළ අවස්ථාවක් ගැන සඳහන් වන ‘විජයා සූත්‍රය’ විමසා බැලීමටයි.
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන මහා විහාරයෙහි වැඩවසන සමයේ විජයා
භික්ෂුණිය පෙරවරු කාලයේ පිඬු පිණිස සැවැත්නුවර හැසිර පස්වරු කාලයේ
පිණ්ඩපාතයෙන් වැළකී දිවා විවේකය පිණිස අන්ධ වනයට වැඩම කොට ගසක් මුල වැඩ
සිට සමාධි සුවයෙන් කල්ගෙවූ සේක. එකල විජයා භික්ෂුණිය අන්ධ වනයෙහි
හුදෙකලාව වැඩ සිටින බව දැනගත් පාපි මාරයා විජයා භික්ෂුණියට බිය ඇති
කරනු පිණිස ලොමු දැහැගනු පිණිස, සමාධියෙන් වළක්වනු පිණිස විජයා
භික්ෂුණිය වැඩසිටි අන්ධ වනයට පැමිණ ඒ උත්තමාවියට ඇසෙනු පිණිස මෙසේ කීහ.
දහරා ත්වං රූපවති,
අහඤ්ච දහරො සුසුඞ
පඤ්චවංගිකෙන තුරියෙන,
එහය්‍යෙහිරමාම්සෙ”ති
ඔබ තරුණියකි. එමෙන්ම රූමත් වූවෙහිය. මම ද නව යොවුන්විය ඇත්තෙක්මි. එන්න
අපි දෙදෙනා පස්කම් සැපයෙහි එළඹෙමු.
මෙය ඇසූ විජයා භික්ෂූණිය, මෙසේ වන මැදට වී හුදෙකලාව සිටින මා හට බිය
ඇති කරනු පිණිස, ලොමු දැහැගනු පිණිස, සමාධියෙන් වළක්වනු පිණිස පස්කම්
සැප පිළිකුල් කරන මා හට එහි නැවත ඇලීමට කවරෙක් නම් කතා කරන්නේද, ඔහු
මිනිසෙක්ද නොමිනිසෙක් දැයි විමසනුයේ , ඒ වෙනකෙකු නොව පාපි මාරයාම බව
දැන ගත්තේය. එබැවින් මාරයා වර්ණනා කළ ඒ පස්කම් සැපතෙහි යථා ස්වභාවය
ඔහුට පහදා දෙමින් තමන්ගේ විරාගී බවද පවසමින් ඔහුට පිළිතුරු වශයෙන් මෙසේ
වදාළහ.
රූපා සද්දා රසා ගන්ධා
ඵොට්ඨබ්බා ව මනොරමා
නිය්‍යාතයාමි තුය්භෙච
මාර නාහං තෙනත්ථිකා
සිත ඇදගන්නා සුළු වු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යනුවෙන් යමක් ඇද්ද
ඒවා ඔබටම පවරමි. මාරය ඉන් මට වැඩක් නැත.
ඉමිනා පූතිකායෙන
භින්දනෙන පහංගුනා
අට්ටියාමි හරායාමි
කාමතණ්හා සමූහතා
බිෙඳන සුළු වූ, සුණුවිසුණු වන සුළු වූ, මේ කුණූ කයින් පීඩාවක්ම වන්නේය.
එය මම පිළිකුල් කරමි. කම් සැපයෙහි ඇල්ම මම විසින් මුලින්ම උපුටා දමන
ලදිමි.
යෙ ව රූපූපගා සත්තා
යෙ ච අරූපට්ඨායිනො
යා ච සන්තා සමාපත්ති
සබ්බත්ථ විභතො තමොති
රූපය සහිතව ලොවට එළෙඹි යම් සත්වයෙක් වෙත්ද, අරූප ලොවෙහි සිටින යම්
සත්වයෙක් වෙත් ද, එමෙන්ම යම් ලෞකික සමාපත්තියක් වෙත්ද ඒ සියල්ලෙහි අඳුර
හෙවත් මුළා බව මා විසින් නසන ලදී.
මිනිසා පසිඳුරන් පිනවමින් ප්‍රමාදව ගත කරන ජීවිතය අස්ථීර වූවක්ය. යන්න
අවබෝධ වන්නේ කිහිප දෙනෙකුට පමණි. බොහෝ දෙනෙක් මේ අස්ථීර ලෝකයේ ස්ථිර
ලෙස ජීවත් වීමට උත්සාහ කරන්නේ තමා මැරන බව කිසිතේත් නොසිතාය. එසේ
මොහොතකට හෝ ඔහු සිතන්නේ නම්, එය ඔහුට බොහෝ කාලයක් හිත සුව පිණිස පවතී.
සැප පිණිස පවතී. එසේ වන්නේ ඔහු අප්‍රමාදව කටයුතු කිරීමට සිතන බැවිනි.
එහෙත් මෙය අවබෝධයෙන් සිතන්නේ කීදෙනෙක්ද ? බොහෝ අය ජීවත් වන්නේ මාරයා
විසින් මවන ලද පංචකාම නමැති උගුලට හසු වී සිහින ලෝකයේය. එම සිහින
ලෝකයෙන් සැබෑ ලෝකයට යමෙක් පැමිණෙන විට ඔහුට තේරුම් යන්නේ ඔහු එයටද
ප්‍රමාද වී වැඩි බවය. බොහෝ දෙනෙක් එයද තේරුම් නොගෙන පංචකාම නමැති
මාරවිෂයෙහිම ඇලී ගැලී මාරයාගේ වසඟයට පහසුවෙන්ම යයි. මෙම ස්වභාවය තේරුම්
ගන්නේ ඉතා අල්ප දෙනෙකි. ඒ පිරිස අප්‍රමාදීව කුසල් දහම් වර්ධනය කොට මාර
විෂය ඉක්ම වූවන් බවට හෙවත් මාරයාගේ නොපෙනීමට යෑම උත්සාහ කරයි. ඒ
නිවැරැදි ලෙස ධර්මය තේරුම් ගත් සම්බුද්ධ ශ්‍රාවකයන්ය.
විජයා භික්ෂුණිය මාර විෂය ඉක්ම වූ හෙවත් මාරයාගේ නොපැමිණීමට පැමිණි
මාරයාගේ දෑස අන්ධ කළ උත්තමාවියකි. රහත් සිතක නැවත කෙලෙස් පහළවීමක් නැත.
“ඛීණාජාති චුසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්ථායාති” යනුවෙන්
ධර්මයේ සඳහන් වන්නේ අරහත් සිතක අසිරියයි. එනම් ඉපදීම නැති කළෙමි. බඹසර
වැස නිම කළෙමි. කළ යුතු සියල්ල කළෙමි. නැවත මෙහි පැමිණීමක් නැත යන්නයි.
රහතන් වහන්සේට පස්කම් සැපයට ද තම ශරීරයටද කිසිඳු ආශාවක් නැත. රහතන්
වහන්සේලා ලෝකය දකින්නේ පුහුදුන් කෙනෙක් ලෝකය දෙස බලන අයුරින් නොව
යථාර්ථවාදීවය. එනම් සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් සිහිපත්
කරමිනි.
අන්ධ වනයෙහි හුදෙකලාව බවුන් වඩමින් සිටි විජයා භික්ෂුණිය තරුණ වයසෙහි
වූ අයෙකි. එමෙන්ම මනා රූසපුවෙන්ද යුක්ත වූ අයෙකි. මාරායාට අවශ්‍ය වුයේ
මේ රූමත් භික්ෂූණිය ඇත්තෙන්ම විරාගී අයෙක්ද එසේ නැතිනම් තවමත් තමාගේ රූ
සපුව හා තරුණ බව ගැන සිතමින් ලතවෙන අයෙක් ද යන්න විමසා බැලීමයි. ඒ
නිසාමය ඔහු නව යොවුන් තරුණයෙකුගේ වෙස්ගෙන විජයා භික්ෂුණියගේ සමීපයට
පැමිණ ඇගේ රූ සපුව වර්ණනා කොට ඈ සමඟ අභිරමණයට කැමැති බව පවසන්නේ. එහෙත්
ඒ වනවිටත් විජයා භික්ෂූණිය පාපි මාරයා පරාජය කොට, ඔහුගේ ඇස් අන්ධ කොට
ඔහුට නොපෙනෙන තැනට පැමිණ හෙවත් අර්හත් උත්තමාවියක් බවට පත්ව අවසන්ය. ඒ
නිසාම ඒ උත්තමාවිය පාපි මාරයාට මෙසේ යථාර්ථවාදීව පිළිතුරු පහ දන්නීය.
“සිත ඇදගන්නා සුළු වූ රූප, ශබ්ද, ගන්ධ,රස, ස්පර්ශ යනුවෙන් යමක් ඇද්ද,
ඒවා ඔබටම පවරමි, මාරය ඉන් මට වැඩක් නැත. බිෙඳන සුළු වූ, සුණුවිසුණු වන
සුළු වු, මේ කුණූ කයින් පීඩාවයක්ම වන්නේය. එය මම පිළිකුල් කරමි. කම්
සැපයෙහි ඇල්ම මම විසින් මුලින්ම උපුටා දමන ලදිමි. රූපය සහිතව ලොවට
එළෙඹි යම් සත්වයෙක් වෙත්ද, අරූප ලොවෙහි සිටින යම් සත්වයෙක්ද වෙත්ද,
එමෙන්ම යම් ලෞකික සමාපත්තියක් වෙත්ද ඒ සියල්ලෙහි අඳුර හෙවත් මුළාබව මා
විසින් නසන ලදී.”
මේ පිළිතුරත් සමඟ අපේක්ෂා භංගත්වය හා ලජ්ජාවට පත්වන මාරයාට ඉතිරි වූයේ
වහා එතනින් පලායෑම පමණි.
මතු සම්බන්ධයි
|