Print this Article


පූජාච පූජනීයානං

පූජාච පූජනීයානං

වරකාගොඩ ඤාණරතන අනු නා හිමි

ඓතිහාසික බදුලු මුතියංගණ රාජ මහා විහාරාධිපති අස්ගිරිය මහා විහාරයීය විංශද්වර්ගික කාරක මහා සංඝ සභාවේ ජේ්‍යෂ්ඨ කාරක සංඝ සභික උපාධ්‍යාය උඩගුන්නැපාන බෝධිමල්කඩ විහාරාධිපති ශාස්ත්‍රපති වරකාගොඩ ඤානරතන ස්වාමින්වහන්සේ මහනුවර ශ්‍රී හයගිරි විජයසුන්දරාරාම විහාරද්වයාධිපති ඓතිහාසික මහියංගණ රාජ මහා විහාරාධිපති ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්ථදස්ස්‍යාභිධාන මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අතිගරු මහනායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන කාරක මහා සංඝ සභාව විසින් අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ අනුනායක පදවියට පත්කිරීම නොබෝදා අස්ගිරිය මංගල උපෝසථාගාරයේදී පවත්වන ලද සංඝ සභා රැස්වීමේදී සිදු කෙරුණි.

හාරිස්පත්තුව වරකාගොඩ දුල්දෙණිය ග්‍රාමයේදී 1942 මාර්තු 18 වෙනි දින ජන්ම ලාභය ලැබූ ඤාණරතන නාහිමිපාණන්ගේ දෙමව්පියන් වූයේ රාජකරුණා නවරත්න, අත්පත්තුවාසල මුදියන්සේලාගේ මුදියන්සේ සහ හිගුල්වල අලකොලදෙණියේ දුග්ගන්නාරාලලාගේ පිංචි අම්මා දම්පති යුවලයි.

හාරිස්පත්තුව වරකාගොඩ කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ අනුනායක හිමිපාණන්ගේ ගිහි නාමය වූයේ රාජකරුණා නවරත්න අතපත්තු මුදියන්සේලාගේ රත්නායකයි. අස්ගිරිය මහා විහාරයේ වැඩ සිටි ධර්ම විනයධර බහුශ්‍රැත පඬිරුවනක්වන උඩපිටියේ ශ්‍රී සුමංගල, මැදගොඩ පඤ්ඤානන්ද, අලුදෙණියේ ශ්‍රී රතනපාල, රඹුක්වැල්ලේ සද්ධානන්ද මහ තෙරවරුන්ගේ ආචාර්යත්වයෙන් 1955 අප්‍රේල් 07 වන දින අස්ගිරිය මහා විහාරයීය මංගල උපෝසථාගාරයේදී පැවිදි දිවියට එවකට අස්ගිරිය පාර්ශ්වයේ මහා නායක ධුරය හෙබ වූ යටවත්තේ ධම්මරතන මාහිමිපාණන්ගේ උපාධ්‍යායත්වයෙන් පත් වූ වරකාගොඩ අනුනාහිමියන් බදුල්ල විද්‍යාත්තංස, වත්තේගම ධර්මදීප, අස්ගිරි මහා විහාර යන පිරිවෙන් තුළින් මූලික පිරිවෙන් ධර්ම ශාස්ත්‍රය ලබා 1962 ජුනි 09 වෙනි දින අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ එවකට වැඩ සිටි යටවත්තේ ධම්මරතන මාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදාව ලබා ගත්තේ ය. අස්ගිරි මහා විහාර පිරිවෙනෙහි ධර්ම ශාස්ත්‍රය ප්‍රගුණ කරගෙන ප්‍රාචීන පණ්ඩිත විභාගයෙන් උසස් සාමාර්ථය ලබා 1970 දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා 1998 තෙක් අස්ගිරි මහා විහාර පිරිවෙනේ ධර්මාචාර්යවරයෙකු වශයෙන් ද දිවයිනේ ප්‍රධාන විද්‍යාල පහක වසර විසිතුනක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ධර්මාචාර්යවරයෙකු වශයෙන් ද සේවය කළ ඤාණරතන අනුනායක හිමිපාණන් 1990 දී එවකට අස්ගිරි මහානායක පදවිය හෙබවූ පලිපාන ශ්‍රී චන්ද්‍රානන්ද මාහිමි විසින් අස්ගිරිය කාරක සංඝ සභාවට පත් කරන ලදී. 1976, 2004 වර්ෂවල ශ්‍රී දළදා සමිඳු තේවාව සිදුකිරීමත්, 2000 දී උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානායක මාහිමි විසින් බදුලු මුතියංගන රජ මහා විහාරාධිපති පදවියටත්, 2009 ජ්‍යෙෂ්ඨ කාරක සභික ධූරයටත්, 2006 කාරක සංඝ සභාවේ උපාධ්‍යාය පදවියටත් පත්කරනු ලැබූ වරකාගොඩ ඤාණරතන අනුනාහිමිපාණන් 1969 දී ශ්‍රී සුධර්මෝදය දහම් පාසල ආරම්භ කිරීමත්, ගුත්තෑපාන බෝධිමල්කඩ විහාරය අංගසම්පූර්ණ විහාරස්ථානයක් බවට පත්කිරිමත්, සිය ජීවිතයේ සිදුකරන ලද ශාසනික, අධ්‍යාපන සේවාවන්ගෙන් කිහිපයකි. මෙවැනි ජාතික ආගමික සේවාවක් ඉටුකිරීමට ඤාණරතන අනුනාහිමිපාණන්ට ශක්තිය, ධෛර්ය සිය ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නය වන කාරක සභික මුතියංගණ රජමහා විහාර භාරකාර මුරුද්දෙණියේ ධම්මරතන හිමි ප්‍රධාන ශිෂ්‍ය පිරිසගෙන් ලැබීම අගයමු.


වේඩරුවේ උපාලි අනු නා හිමි

මහනුවර ශ්‍රී හයගිරි විජයසුන්දරාරාම විහාරද්වයාධිපති, ඓතිහාසික මහියංගණ රජමහා විහාරාධිපති ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්ථදස්ස්‍යාභිධාන මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන විංසද්වර්ගික කාරක මහා සංඝ සභාව විසින් අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ අනුනායක පදවියට, අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ රාජ මහා විහාරාධිකාරි, පොළොන්නරුව සොළොස් ස්ථානාධිපති, ශාස්ත්‍රපති වේඩරුවේ උපාලි හිමියන් පත්කිරීම, අස්ගිරිය මහා විහාරයීය මංගල උපෝසථාගාරයේ දී සිදු කෙරුණි.

1953 ජනවාරි 28 වෙනි දිනට යෙදුන දුරුතු පුරපසළොස්වක පෝය දින උපත ලැබූ උපාලි නාහිමියෝ, සිය දෙමව්පියන් වන මාරස්සන ඇලිකේවෙල ආර්. එම්. ලොකුබණ්ඩා, සෙනරත්වල ඩබ්ලිව්. එම්. අධිකාරම් වලව්වේ කුමාරිහාමි යන දම්පති යුවළ විසින් රත්නායක මුදියන්සේලාගේ ජයතිලක බණ්ඩා දරුවා පැවිදි බිමට ඇතුළත් කිරීම 1967 ජුනි 23 දින අස්ගිරි මහා විහාර කාරක පදවිය හා මහිංගණ රජ මහා විහාර භාරකාරධුරය දැරූ ගොමගොඩ රතනපාල, පණ්ඩිත රණවන සද්ධාතිස්ස නාහිමි දෙනමගේ ආචාර්යත්වයෙන් සිදු කෙරුණි. අස්ගිරිය මංගල උපෝසථාගාරයේදී 1976 ජුනි 26 වෙනි දින උපසම්පදා ශීලයෙහි පිහිටුවා වෑවලදෙණිය මහින්දෝදය, මහනුවර සංඝරාජ, මාදන්වල ධර්මෝදය පිරිවෙන් වෙතින් මූලික ධර්ම ශාස්ත්‍රයත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය, පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය වෙතින් ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති උපාධි හිමිකරගත් උපාලි හිමි ධර්මාචාර්යවරයෙකු වශයෙන් උකුවෙල නාගොල්ල ගිරිහාගම, මහනුවර ධර්මරාජ, බදුල්ල ධර්ම දූත යන විද්‍යාලවල දශක තුනක් ධර්මාචාර්ය වශයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි නිරතව රටේ අනාගතය වෙනුවෙන් යහපත් පුරවැසියන් පිරිසක් බිහිකළ ධර්මධර බහුශ්‍රැත අධ්‍යාපන විශාරද තෙරනමක් බවට පත්විය.

උපාලි හිමි අස්ගිරි විහාරය කේන්ද්‍රස්ථානය කරගෙන සිදුකරන ලද ධර්ම ශාස්ත්‍රීය හා ශාසනික සේවාවන් අගය කළ අස්ගිරි මහා නාහිමි පාණන් විසින් අස්ගිරි මහා විහාරකාරක මහා සංඝ සභාවේ කාරක සභික ධුරයටත්, බදුලු මුතියංගණ රජ මහා විහාරභාරකාර පදවියටත් පත් කරන ලදී. මුතියංගණ රජ මහ විහාරයේ පූජාභූමි සංකල්පයට මූලික වූ උපාලි හිමියෝ මුතියංගණ රජ මහා විහාරය අංගසම්පූර්ණ සිද්ධස්ථානයක් බවට පත්කිරීමේ ශාසනික මෙහෙවරට අත්තිවාරම් දැමීය. වසර හතළියකට පෙර අස්ගිරිය ගෙඩිගේ රාජ මහා විහාරය පැවැති තත්ත්වයත් වත්මන් තත්ත්වයත් නිරීක්ෂණය කිරීමේ දී, ගෙඩිගේ විහාරයේ අද දක්නට ඇත්තේ පුරා විද්‍යාත්මක බෞද්ධ සිද්ධස්ථානයක පවතින පූජනීයත්වයකි. මෙහි ගෞරවය හිමිවන්නේ ද උපාලි නාහිමිපාණන්ට ය. ගොමගොඩ මැදමළුව විහාරය ප්‍රධාන වෙහෙර විහාර සිද්ධස්ථානයන්හි ආධිපත්‍ය දරමින් ගිහි පැවිදි දෙපිරිසගේ දායකත්වයෙන් එම ස්ථාන අංගසම්පූර්ණ පූජනීයත්වයෙන් පවත්වාගෙන යෑමට දායකයින්ට අනුශාසනා කරන උපාලි නාහිමියෝ, දෙස් විදෙස් ජාත්‍යන්තර මට්ටමෙන් ධර්ම දූත සේවාවක් පවත්වාගෙන යෑමට ධර්මධර බහුශ්‍රැත ශිෂ්‍යයින් අටනමක් ශාසනයට කැපකර ඇත.

ශ්‍රී දළදා සමිඳු තේවාව වෙනුවෙන් අවස්ථා කිහිපයක් ම ශ්‍රී දළදා මාලිගාවේ වැඩ සිටි උපාලි නා හිමිපාණන් අස්ගිරි අනුනායක පදවියට පත්වන විටත්, ශ්‍රී දළදා සමිඳු තේවාව බාර නායක හිමිපාණන් වශයෙන් ශ්‍රී දළදා සමිඳු චාරිත්‍ර සිරිත් විරිත් ඉටු කරයි. ශ්‍රී දළදා මාළිගාවේ චාරිත්‍ර, සතර මංගල්‍ය චාරිත්‍ර සම්බන්ධව දළදා තේවාව බාර නාහිමිපාණන් ලෙස සිය වගකීම් ගැනත් ශාස්ත්‍රීය ලිපි විශේෂාංග රැසක් සමඟ ශ්‍රී දළදා මාලිගාවේ දවල් පෙරහර මංගල්‍ය සිදු කරන ගෙඩිගේ රාජ මහා විහාරයේ කාර්යභාරය ගැනත් ශාස්ත්‍රීය පොත් කිහිපයක් ද සංස්කරණය කර ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, බුද්ධ ශාසන අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය, නාගරික හා පූජාභූමි සංවර්ධන අමාත්‍යාංශය යන රාජ්‍ය ආයතනවල උපදේශන තනතුරු දරමින් බෞද්ධ ශාසනික උරුමයන් ආරක්ෂා කර ගැනීමට අනුශාසනා කරමින් සිය කාලයත්, ශ්‍රමයත් කැප කරන ශාස්ත්‍රපති වේඩරුවේ උපාලි නාහිමිපාණන් වෙත පිරිනමන ලද අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පදවියෙන් තව තවත් ශාසනික සේවාවන් ඉටු කිරීමට ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලැබේවා.


බද්දේගම ශ්‍රී බුද්ධසාර මා හිමි

පිටිගල, සුද්දැල්ලාව ආරණ්‍ය සේනාසනය මුල්කොට සෙනසුන් කිහිපයක ප්‍රධාන අනුශාසක ධුරය දරමින්, ධර්මානුධර්ම ප්‍රතිපන්නව වැඩසිටින මහෝපාධ්‍යාය ධුරන්දර බද්දේගම ශ්‍රී බුද්ධසාරාභිධාන පණ්ඩිත මාහිමිපාණෝ 1933 දුරුතු මස 10 වන දින ගාල්ලේ, බද්දේගම නම් ගම්පියසේ ප්‍රභූ නිවසක දම්පතීන්ට මාතෘපිතෘත්වය ලබා-දෙමින් මෙලොව ජනිත වූහ.

එම දරුවා පිළිබඳ අගලිය. ශෛලතරාරාමාධිපති බද්දේගම ශ්‍රී ප්‍රඥාසාර නාහිමිපාණන්ගේ කන වැකුන සැණින් කුඩා දරුවා තුදුස්වියේදී බද්දේගම බුද්ධසාර යන නාමයෙන් 1947 ජුනි මස 09 වන දින පැවිදි දිවියට පා තැබුවේය.

සසුන්කෙත බබුළුවමින් උගතමනා ශිල්පය අල්ප ස්වල්ප නොකොට ඉගෙනුම සඳහා පිරිවෙන් අධ්‍යාපනය සඳහා යොමු වූ සාමණේරයෝ බණදහම් මෙන්ම ගුණදහමද දිවියට නතු කරගත්හ. මූලික අධ්‍යාපනය හමාර කළ පොඩි සමිඳාණෝ උසස් අධ්‍යාපනය සඳහා සරසවි වරම් ලදහ.ශාස්ත්‍රවේදී උපාධිය ලබා පණ්ඩිත හිමිපාණෝ වනවාස නිකායේ නිර්මාතෘවර වතුරුවිල ශී‍්‍ර ඤාණානන්ද හිමිපාණන්ගේ ඇරයුමෙන් ග්‍රාමවාසයෙන් වනවාසයට යාමට නායක ස්වාමීන්ද්‍රයන් විචාළහ. ග්‍රන්ථ ධුරයට වඩා විදර්ශනා ධුරය අගය කල ලොකු සමිදාණෝ ද විමුක්තිමාර්ගය අනුයාත වෙන තම අතිජාත ශිෂ්‍යරත්නය නො වැළැක්වූහ. ඒ 1969 ජනවාරි මස 04 වන දිනයි. එදිනට අප හිමිපාණන්ගේ 36 වැනි ජන්ම දිනය යෙදී තිබීමද දෛවෝපගතය.

හිමිපාණෝ මතු ජාති ජාතින් මාතෘත්වය පතන කරුණාරත්න මැණියන්ගේ නිමන්ත්‍රණයෙන් සුද්දැල්ලාව ගම්පියසේ පරිසරය ඇසුරුකොට වන සෙනසුනක් ඇරඹූහ. ඒ 1983 ජූලි 25 වෙනි දිනදීය. එතැන් පටන් ආත්මාර්ථිය හා පරත්ථිය යන උභයාර්ථිය සළසා ගනිමින් භික්ෂුවක් ලෙස බොදුමන පුබුදුවමින් විචිත්‍රධර්ම දේශනාද, තම ආධ්‍යාත්මය සලසා ගනු රිසියෙන් බණ භාවනා කටයුතු නො පිරිහෙළා ඉටු කරගත්හ.

නියම්ගම් සිසාරා ධම්මචාරිකා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම උන්වහන්සේ කළ මහාර්ඝතම පුණ්‍යකර්මය බව වරක් මා හා ප්‍රකාශ කළහ. සැබවින්ම එයම මහඟු පුණ්‍යකර්මයක් වන්නේ, බුද්ධකාලීන ධම්මචාරිකා පිළිබඳ අසා ඇති බෞද්ධයන්ට ඇසින් දකින්නට නෙත් විවර කළේ අප පණ්ඩිත හිමිපාණන් වහන්සේ බැවිනි.

උන්වහන්සේ ගේ ජීවන මඟෙහි සිත් ඇළ වු වාසභූමිය වූයේ සුද්දැල්ලාව වන සෙනසුනයි. පොල් අතු මඬුවකින් ආරම්භ කළ එකී සෙනසුන ශත වර්ෂ තුනකට අඩු කාලයක් තුළ දී සුදුසඳ එළියෙන් නැහැවෙන සධාතුක චෛත්‍ය රාජයන් වහන්සේගෙන්ද බුදුරැස් විහිදෙන ගල්තලාවේ වැඩසිටින බෝධිරාජයාණන් වහන්ස්ගෙන්ද, නෙත් සිත් නිවමින් එම ගල් තලාව මත වැඩසිටින කිරි බැබළෙන සමාධි බුද්ධ ප්‍ර‍්‍රතිමාවෙන්ද ලුම්බිණිය, බුද්ධගයාව, ඉසිපතනය,කුසිනාරාව, යන දඹදිව පිහිටි ප්‍රධාන සිද්ධස්ථානවල අනුරුව සකස් කර තිබීමෙන්ද මෙම වනගත සෙනසුන දෙව් මිනිසුන්ගේ වන්දනාවට පාත්‍ර වී තිබෙන අයුරු දැකගත හැකිය.

අරුණට පළමුව නැඟී සිට දැහැටි වළඳා මුව දොවා බුද්ධ උපස්ථානයේ යෙදීමෙන් අනතුරුව වත පිරිත දේශනා කරමින් තම සිසු දරුවන් සමඟ පරිසරය පිරිසුදු කිරීමේ වත සපුරා කාලසටහනකට අනුව දවස අරඹන අප මාහිමිපාණන් වහන්සේ ප්‍රබෝධමත් මනසකින් යුතුව කාලය ගෙවති. වයසින් අශීති වර්ෂාධික වුවද තරුණ යතිවරයෙකු සේ ක්‍රියාශීලි මාහිමියෝ “මගේ කය දුබල වුවද හිත ශක්තිමත්” යනුවෙන් පවසනු මා අසා ඇත. ආධ්‍යාත්මික ගුණවගාව නො අඩුව අස්වද්දන පණ්ඩිත මාහිමිපාණෝ සැබවින්ම ධෛර්යවත් සිතැත්තෝය. අෂ්ටලෝක ධර්මයෙහි අකම්ප්‍ය ගුණ ඇත්තෝය. කරුණා දයා බාහුල්‍යයෝය. සංවේදී බවේ හිණිපෙත්තට වන් කල්හි දෑසින් කඳුලු කඩා වැටෙන්නේ අසල සිටවුන්ද සංවේගයට පත් කරවමිනි. එතරම්ම හදවත සිසිල්ය. දුටු දුටුවන්ගේ නෙත මැවෙන්නේ බුද්ධකාලීන මහතෙර නමකි. සැබෑ භික්ෂූරූපය අප පණ්ඩිත මාහිමිපාණන් වෙතින් චිත්‍රණය වේ.

යතිවරයාණන් වහන්සේ පැවිද්දෙන් වර්ෂ හැට අටක් පූරණය කරණ මෙම වසරේදී උන්වහන්සේගේ චරිතාපදානය පිළිබඳ සමාලෝචනයක් කළද කළ තැත හා සමාන වෙතැයි සිතමි. එසේම අප පණ්ඩිත හිමිපාණන් වහන්සේට ලෝක ශාසනික වැඩ වඩන්නට දීර්ඝායුෂ නිදුක් නිරෝගී සුවපත්භාවය තුණුරුවනේ පිහිටාශිර්වාදයෙන් ලැබේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරමි.