Print this Article


සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 41  තුන් බිය දුරු කළ විසාලා නුවර

සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 41 

තුන් බිය දුරු කළ විසාලා නුවර

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාවෙන් පොසොන් පුර පසළොස්වක පෝදා විසාලා නුවර වන්දනාව ආරම්භ කළෙමු. අද එතැන් සිට වන්දනාව නැවත අරඹමු.

ඉතා රමණීය විසාලා මහනුවර පැවැති තුන් බිය දුරු කරගැනීම සඳහා බුදුරදුන්ට වඩිනා ලෙස ලිච්ඡවී රජ දරුවන් ආරාධනා කරන ලදී. දිනක් උන් වහන්සේ විසාලා නුවරට වඩින විට මහා පෙරහරකින් ලිච්ඡවී රජවරු නගරද්වාරයට පැමිණ සිටියහ.

සෑම සැදැහැවතකුම පාහේ මේ වන විට කට පාඩමින් කියන රතන සූත්‍රය බුදුරදුන් දේශනා කළේ විසාලා නුවර තුන් බිය දුරු කරනු පිණිසය.

පෙර විසාලා නුවර වැසි නොවැසීමෙන් මහා දුර්භික්ෂයක් ඇති විය. බොහෝ දෙනෙක් මිය ගියහ. මළ සිරුරු බැහැර කිරීම දුෂ්කර විය. එනිසාම වසංගත රෝග ද දරුණු ලෙස පැතිර ගියේය. මරණ සංඛ්‍යාවද දෙගුණ තෙගුණ විය. අමනුෂ්‍යයන්ගේ පැමිණීම නිසා අමනුෂ්‍ය උපද්‍රව ද බහුල විය.

දුර්භික්ෂ, රෝග, අමනුෂ්‍ය යන ත්‍රිවිධ බිය නිසා රට වැසියෝ අපමණ දුකින් පෙළුණාහ.

ලිච්ඡවී සමූහාණ්ඩුවේ ප්‍රත්‍යන්ත රජවරු හත්දහස් හතක් දෙනා රැස්වී සාකච්ඡා කළහ. ඒ තම පිළියම වන්නේ බුදුරජාණන් වහන්සේ වැඩම කිරීම බව ඔවුහු ඒකමතිකවම තීරණය කළහ. රජගහනුවර වැඩ සිටි බුදුරජාණන් වහන්සේ මහත් බුහුමන් සහිත පෙරහරකින් තම රාජ්‍යයට වැඩම කරවූහ.


රහතන් වහන්සේලාගේ ධාතු ස්තුප

බුදුරජාණන් වහන්සේ විසාලා නුවරට වැඩම කරනවාත් සමගම හිරිපොද වැස්සක් ද, මල් වැස්සක් ද, මුතු පිනි වැස්සක් ද, රිදී වැස්සක් ද, ආදි වශයෙන් සත්රුවන් වැස්සෙන් සියලු කුණු කසළ සේදී ගියේය. නගරය පිරිසුදු විය. විසාලා නුවර වැසියන්ගේ දුකින් පිරි ඉරිතලා තිබූ හදවත්වලට මහත් සැනසිල්ලක් දැනිණි.

බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් කැඳවා යංකිච්චි විත්තං ඉධවා හුරංවා... ආදි වශයෙන් රතන සූත්‍රය උගන්වා වැස්සෙන් පාත්‍රයට පිරුණු පිවිතුරු අහස් පැන්ද රැගෙන පිරිත් කියමින් නගරය පුරා පැන් ඉසින්නට නියම කළ සේක. රතන සූත්‍රය සජ්ඣායනය කිරීමෙන් සියලු උවදුරු පහ වී විසාලා නුවරට ශාන්තිය සැලසිණි.

සැදැහැවතුනි විසාලා මහනුවරට යන ඔබ එහි ඇති සිංහ කුලුන අසල හිද රතන සූත්‍රය සජ්ඣායනය කළ යුතුය. අප බෞද්ධයන් ලෙස මේ සූත්‍රය තුළ ඇති අපිරිමිත තුනුරුවන්ගේ ගුණ හොඳින් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ, ධර්මයේ ගුණ, සංඝරත්නයේ ගුණ ඇතුළත් කරමින් බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රය දේශනා කරන ලදී. ඔබද බෞද්ධ අනුගාමිකයන් ලෙස මේ සූත්‍රය හොඳින් කියවා එහි පිහිට ආරක්ෂාව ඔබ ජීවිතයටද ලබා ගන්න. නිසැකවම මේ සිංහ කුලුන පිහිටි තැන සිට බුදු හිමියන් මුලින්ම රතන සූත්‍රය දේශනා කරන ලද බවට පුරා විද්‍යාඥයන් සොයාගෙන ඇත.

යානීධ භූතිනා සමාගතානි

මේ භූමියේ හෝ අහසේ යම් අමනුෂ්‍ය කෙනෙක් රැස්ව සිටිත්ද, ඒ අමනුෂ්‍යයෝ සැම සතුටු සිත් ඇත්තෝ වෙත්වා මා කියනා මේ බස අසත්වා

තස්මානි භූතා නිසාමෙථ සබ්බේ

එබැවින් සියලු අමනුෂ්‍යයන් මාගේ දෙසුම අසන්න. මනුෂ්‍ය වර්ගයා කෙරෙහි මෛත්‍රී කරන්න. ඔබට පුද පූජා පවත්වන මනුෂ්‍ය වර්ගයා නොපමාව ආරක්ෂා කරන්න.


කූටාගාර ශාලාවේ නටබුන්

මේ ආදි වශයෙන් රතන සූත්‍රය සජ්ඣායනය කරමින් එහි සිංහල අරුත මෙනෙහි කරන්න. රතන සූත්‍රයේ මහිමයෙන් ඔබටද සෙතක් වේවායි. සිතන්න සැදැහැවතුනි, අපට නොපෙනෙන බලවේග මේ විශ්වයේ ක්‍රියාත්මක වන බව අප තේරුම් ගත යුතුය. මේ නොපෙනෙන බලවේගයන්ගෙන් අපට එල්ල වන උපද්‍රව දුරු කළ හැක්කේ එය නිශේධනය කළ හැකි ප්‍රතිනිනාදයක විශ්වයට යැවීමෙනි. පිරිතෙන් සිදු කෙරෙන්නේ එම වාග් ශක්තිය විශ්වයට යැවීමයි. එහි අරුත, එහි තේරුම හදවත පත්ලේ රඳවාගෙන විශ්වයට නිනාදය යැවීමෙන් ලබාගත හැකි ප්‍රයෝජන බොහෝය. මෙය අප හට හොඳින් කියවා අවබෝධ කරගත් කල්හි බොහෝ ප්‍රතිඵල ලබාගත හැකිය. එම නිසා රතන සූත්‍රය හොඳින් සජ්ඣායනය කර එහි අරුත ඔබේ ජීවිතයටද ලබා ගන්න.

දඹදිව චාරිකාවේ යෙදීමට තවමත් අවස්ථාවක් නොලද අයෙකුට විසාලා නුවර තුන් බිය දුරු කිරීමට අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩම කර සත් රුවන් වැසි මැද පාත්‍රයේ පැන් පුරවා ආනන්ද හිමි ලවා එය නගරයේ ඉසිමින් චාරිකා කළ මොහොත සිතින් දකිමින් සිහිපත් කරමින් රතන සූත්‍රය සජ්ඣායනා කිරීමෙන් බොහෝ යහපත් ප්‍රතිඵල ඔබ සැමට ලබාගත හැකිය. එම නිසා හොඳින් අවබෝධ කර ගනිමින් මේ සූත්‍රය සජ්ඣායනා කරන්න.

විශ්වයේ සැරිසරන අපද්‍රව්‍ය අපේ ජීවිතයට කාන්දු වීමට නොදි ඈත් කිරීමට පිරිත තරම් බලසම්පන්න සූත්‍රයක් තවත් නැත. තෙරුවන් නමැද පිරිසුදුව වත් පිළිවෙත් පුරා සජ්ඣායනා කිරීමෙන් සැදැහැවතුන්ට මහඟු ප්‍රතිඵල ලබාගත හැකිය.

මෙයට විසාලා යන නම ඇති වූයේ කෙසේද?
වජ්ජිරට වූයේ කෙසේද?

මේ ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙයි. පෙර බරණැස බ්‍රහ්මදත්ත රජුගේ බිසෝ කෙනෙක් මස් වැදැල්ලක් බිහි කළාය. මස් වැදැල්ලක් නිසා රජු එය බඳුනක දමා ගං දියෙහි පා කර හැරියේය. ගඟ අසබඩ සිටි තවුසෙක් ගඟේ පා වෙන රන් බඳුන අසපුවට ගෙනාවේය. විවෘත කළ කල්හි රන් පැහැති පිරිමි දරුවකු සහ ගැහැනු දරුවකු යනු දෙදෙනෙකු දුටුවේය. දරුවන් දුටු සැණින් තවුසාගේ සිතේ මහත් සෙනෙහසක් උපන්නේය. තවුසාගේ දසැඟිල්ලෙන් ක්ෂිර ධාරා වැගිරෙන්නට වන දෙදෙනා ඒ කිරි බී වැඩුණහ. සමත වූ ඡවී වර්ණ ඇති වූයෙන් ලිච්ඡවී යන නම ලැබූහ. දරුවෝ අඹුසැමිව වෙසෙන අතර විශාල දූ පුතුන් පිරිසක් ලදහ. මුනුපුරු මිනිපිරියෝද ඇති වූහ. ලිච්ඡවී පරපුර මෙසේ විශාල ලෙස පැතිර යෑම නිසා මගධයේ සෙසු වැසියෝ ඔවුන් වර්ජනය කළේය. රජු ඔවුන්ට වෙනම බිමක් වෙන් කළහ.

වර්ජිතයන් ජීවත් වූ බිම (වජ්‍ර) වජ්ජි නම් වියැ. දරු මුනුපුරන් දිගින් දිගටම වැඩි වීම නිසා ගමේ ඉඩ කඩ මදි වීමෙන් ගම වටා බැදි පවුර තෙවරක්ම විශාල කරන්නට සිදු විය. ලිච්ඡවීන් වජ්ජින් ජීවත් වූ පෙදෙස තෙවරක් විශාල කළ බැවින් එය විසාලා මහනුවර නම් විය.

තවත් කොටසක්  පොසොන් අමාවක පොහෝදා ජුනි 16 වනදා පත්‍රයේ


සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 40 - තුන්බිය දුරු කළ විසාලා මහනුවර