මිහිඳු මාහිමියන් ලක්දිවට හඳුන්වාදුන් යහපාලනයේ මූලධර්ම
මහාචාර්ය
විලේගොඩ අරියදේව හිමි
සම්බුදු සසුන ලොව බැබළෙන්නේ දැහැමි පාලකයන් බිහිවූ වකවානුවලය. අප
බුදුරජාණන් වහන්සේ දඹදිව කෝසල දේශයේ පසේනදි රජතුමාටත් මගධ දේශයේ
බිම්බිසාර රජතුමාටත් එසේම ලිච්ඡවී, මල්ල, ශාක්‍ය රජවරුන්ටත් රාජ්‍ය
පාලනය පිළිබඳව අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළහ. උන්වහන්සේට ධර්මය
පැතිරවීමට අවශ්‍ය පහසුකම් මේ රජදරුවන්ගෙන් ලැබුණු අතර රාජ්‍ය බලය යොදා
දහම පැතිරවූයේ නැත.
බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන දායකයකුව පිටි බිම්බිසාර රජු මරාදමනු ලැබූ
පිතෘඝාතක අජාසත්ත රජ රජතුමා කෙරෙහි පවා විරෝධ ආකල්පයක් නොදැක්වූ අප
බුදුරජාණන් වහන්සේ ඔහු කෙරෙහි කරුණා මෙත් සිතින් ධර්මය දේශනා කළහ. එදින
බුදුරදුන් දෙසූ සමඤ්ඤඵල සූත්‍ර දේශනාව ඇසූ රජතුමා බුදු දහම වැළඳගත් අතර
ප්‍රථම ධර්ම සංඝායනාවේ ප්‍රධාන දායකයා හා ආරක්ෂකයා බවට පත්විය.
ඉන් අනතුරුව වසර සියයකට පසු කාලාශෝක රජු දවස දෙවැනි සංඝායනාවටද රාජ්‍ය
අනුග්‍රහය ලැබුණු අතර බුද්ධ පරිනිර්වාණයෙන් වසර 200කට පසුව ධර්මාශෝක
අධිරාජ්‍යයාගේ පූර්ණ දායකත්වයෙන් තෙවෙනි සංඝායනාව පවත්වා, සාහිත්‍ය
පිරිසුදුකොට භාරතයෙන් පිටතට රටවල් නවයකට බුදු දහමේ පණිවුඩය ව්‍යාප්ත
කරනු ලැබීය. ථෙරවාදී නිර්මල සම්බුද්ධ ශාසනය ලංකාද්වීපයෙහි අඛණ්ඩව
ආරක්ෂා වූයේ අශෝක ධර්මාධි රාජයාගේ මැදිහත්වීමෙන් සිදුවූ ධර්මදූත සේවාව
නිසාය. අශෝක අධිරාජයාණන් නොසිටින්නට සම්බුදු සසුනක් ලොව නොපවතිනු ඇත.
භික්ෂූන්වහන්සේලාගේ විනය පිරිහීම, ධර්මය විකෘතිකොට දේශනා කිරීම, දහම්
අධ්‍යාපනයේ බිඳ වැටීම ආදිය ලංකාව තුළත් අනෙක් බුදුදහම පැතිරීගිය
රටවල්වලත් සිදුවුණේ රටේ දේශපාලන අස්ථාවරත්වය, විදේශ ආක්‍රමණ හා
ස්වභාවික ව්‍යසනයන් නිසාය. ඒ හැම විට දැහැමි ප්‍රඥාවන්ත ශ්‍රද්ධාවන්ත
රජවරුන්ගෙන් ධනවතුන්ගෙන් ආධාර අනුග්‍රහය මැදිහත්වීම නිසා සම්බුද්ධ
ශාසනය අඛණ්ඩව සුරක්ෂිත විය.
එසේම පාලකයන්ගේ නොමනා ක්‍රියා නිසාද භික්ෂූන් වහන්සේලා තමන්ට පක්ෂපාත
කරගැනීම සඳහා උන්වහන්සේලාට පුද්ගලික ලාභ සත්කාර ලබාදීම වැනි කරුණු නිසා
භික්ෂුවිනයත් ශාසනයත් විවිධ අර්බුද අවස්ථාවන්ට හා පරිහානියට ලක්වූ බව
ඈත මෑත ඉතිහාසයෙන් සනාථ වෙයි. මෙබඳු අවස්ථාවන්හි ශ්‍රද්ධා බුද්ධි
සම්පන්න පාලකයන් හා සංඝ පීතෘන් මැදිහත්වී සංගායනා, කථිකාවත්, සම්මේලන
පවත්වා සම්බුදු සසුන සුරක්ෂිත කර ඇත. වර්තමානයේ වුවද විවිධ පැතිවලින්
පිරිහී යන ශාසනය සුරක්ෂිත කිරීමෙහිලා ශාසන සාරධර්ම සංඝ පීතෘවරුන්ගේත්
පාලක පක්ෂයේත් අවධානය යොමු විය යුතු ය.
රජවරුන්ගේ (පාලක පක්ෂයේ) සහයෝගය සම්බුදු ශාසනය නඟා සිටුවීම හා ආරක්ෂාව
සඳහා ලැබෙන්නේ ඔවුන් ධර්මයේ වටිනාකම අවබෝධ කරගැනීමෙන් පමණි. එසේ නැතිව,
භික්ෂූන් තමන්ට පක්ෂ කරගැනීම සඳහා කෙරෙන විශාල ප්‍රමාණයේ ආධාර දීමෙන්
ශාසන සංවර්ධනයක් දහමේ සුරක්ෂිතතාවක් සැලසෙන්නේ නැත. ඒ සඳහා පළමුකොට
දැහැමි පාලනයක් සඳහා බුදුරජාණන් වහන්සේ පාලක පන්තියට දේශනා කළ දහම්
කරුණු දේශනා කළ යුතු ය. මේ රටට ධර්මය හඳුන්වාදුන් මිහිඳු මාහිමියන්
වහන්සේ ධර්මයේ පණිවිඩය පළමුවෙන්ම ලබා දුන්නේ මේ රටේ පාලකයා වන තිස්ස
රජතුමාටත් ඉන් අනතුරුව මැති ඇමැතිවරුන් ඇතුළු රාජ්‍ය පාලනයේ
සියල්ලන්ටය. රටක පාලක පන්තියෙන් හුදකලාවී එම රටෙහි ජනතාවට පමණක් ධර්මය
කියාදීමෙන් දැහැමි පාලනයක් දැහැමි රටක් ගොඩනැඟීම අපහසුය. ඒ නිසා මිහිඳු
මහරහතන් වහන්සේ මේ රටට ගොඩ බැස්ස සැනෙන් තිස්ස රජතුමා ප්‍රධාන පාලක
පිරිසට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළහ.
මිහිඳු හිමියන් ප්‍රධාන ධර්මදූත කණ්ඩායමේ ලංකාගමනය හුදෙක් අහම්බෙන්
සිදුවූවක් නොව වර්ෂ ගණනාවක් රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයකින් යුතු
දූත මෙහෙවරක් බවට විමසීමෙන් බලන කෙනෙකුට පැහැදිලි වේ. ලෝකයේ ශ්‍රේෂ්ඨ
ඉතිහාසඥයකු වන එච්.ජී. වේල්ස්ට අනුව මෙතෙක් ලෝකයේ බිහිවූ ශ්‍රේෂ්ඨ
අධිරාජ්‍යයන් කිහිපදෙන අතර ශ්‍රේෂ්ඨතම අධිරාජ්‍යයා විමේ ගෞරවය අශෝක
ධර්මාධිරාජයා වෙත ලැබුණේ බුදුදහමේ චක්‍රවර්ති රාජ්‍ය සංකල්පය එනම්
බෞද්ධ දේශනා පාලන මූලධර්ම නිවැරදිව ක්‍රියාත්මක කළ නිසා බව කිව හැකිය.
අශෝක අධිරාජ්‍යයා, තම විදිසා දේවියගෙන් ලැබුණු පුතා මහින්ද සහ දියණිය
සංඝමිත්තා විශේෂයෙන් ධර්ම දූතයන් වහන්සේ මේ රටට එවන ලද්දේ සම්බුදු සසුන
මේ රටේ ප්‍රතිෂ්ඨාපනය වන බව කළ අනාගත වාක්‍යය සනාථ කරමිනි. මේ බැරෑරුම්
වූ වගකීම ඉටුකිරීමට මහා සංවිධානයක් තිබිය යුතු ය. මිහිඳු හිමියන්ට මේ
රටේ සංස්කෘතිය හා භාෂාව ගැනත් රාජ්‍ය පාලනය පිළිබඳවත් පූර්ව දැනුමක් හා
ඔවුන් ඇමතීම සුදුසුකමක් තිබිය යුතු ය. මොග්ගලීපුත්ත තිස්ස මහරහතන්
වහන්සේලා මැදිහත්වීමෙන් රටවල් නවයකට කළ මේ ධර්ම ප්‍රචාරයේ සංවිධාන
ව්‍යුහය පිළිබඳව අප දන්නා කරුණු ඉතා ස්වල්පයකි. කෙසේ නමුත් ‘චුල්ලහත්ථි
පදෝපම’ වැනි සූත්‍රයක් මඟින් සම්බුදු දහම හඳුන්වාදීමට විශේෂ හේතුවක්
තිබිය යුතු ය. බොහෝ ඈත අතීතයේ පටන් මෙරටින් විදේශ රටවලට ඇතුන් යවා ඇති
බව ඈත ඉතිහාසයේ වාර්තා වේ. ඒ ඒ ඇතුන් වර්ගය හා ඔවුන්ගේ ශාරීරික
ස්වභාවයන් මැනවින් දත් පිරිසකට ඒ ඇත් පාද සළකුණ සංකේතවත් කරමින් ප්‍රථම
ධර්මය හඳුන්වාදීමේ දේශනය පවත්වා ඇති බව පෙනේ.
මිහිඳු මාහිමියන් ලක්දිව තිස්ස රජතුමා මුණ ගැසුනු පළමු අවස්ථාවේ
උන්වහන්සේ විසින් නැගූ ප්‍රශ්න මාලාව ලෝක ඉතිහාසයේ සනිටුහන් සුවිශේෂ
බුද්ධි පරිීක්ෂණයක් ලෙස සටහන් වේ. මෙහි එන ‘අඹ ප්‍රශ්නය චතුෂ්කොටික
තර්ක බුද්ධිය හා යම් කරුණක් පිළිබඳ විචාරශීලී ඉවසීමක් මේ පාලකයාට තිබේද
යන්න පිළිබඳ බුද්ධිය උරගා බැලූ අවස්ථාවකි. දෙවෙනිව මිහිඳු හිමියන් නැඟූ
‘මහරජ නෑයෝ සිටිත්ද?” යන ප්‍රශ්න තුන ලෝකයේ සම්මුති සත්‍යය හා පරමාර්ථ
සත්‍යය වටහා ගැනීමට රජුට හැකියාවක් තිබේද? යන්න විමසීමට කළ ප්‍රශ්න
නැඟීමකි.
මහරජ නෑයෝ සිටිත්ද? – එසේය,
මහරජ නොනෑයො, සිටිත් ද? නොනෑයෝ බොහෝ සිටිති.
නෑයන් හා නොනෑයන් හැර තව කිසිවකු සිටිත් ද? එසේමය. ඒ මමය.
රජුට කරුණු තේරුම් ගැනීමට විවේක මනසක් තිබෙන බව මිහිඳු හිමියන්ට මනාව
පැහැදිලි විය. ‘මම් නම් වූ තැනැත්තා සම්මුතියක් බව හේතුඵල ධර්මයට අනුව
‘මම් යනුවෙන් ආත්මයක්, පරමාර්ථ තත්ත්වයක් නොමැතිබව මිහිඳු මාහිමියන්ගේ
ත්‍රිලක්ෂණ ධර්මය දේශනාවෙන් රජතුමාට මැනවින් පසක් වන්නට ඇත.
රටක පාලකයා තුළ මමංකාරය අධිකවීම රටේ සියලු ගැටුම්වලට මුලවේ. ‘මම නම් වූ
චින්තනයක්’ ඇති තැනක එම ගැටුම මූලික වේ. මම, මගේ පක්ෂය මගේ ජාතිය, මගේ
පළාත, මගේ පන්තිය, මේ මම දෘෂ්ටිය සියලු ගැටුම්වලට හේතුවයි. යුද්ධ,
කැරැළි, ගැටුම් මමත්වයේ ප්‍රතිඵල වේ. රටක පාලකයාගේ මමංකාරය දුරු කිරීමේ
ලා සදාචාරාත්මක, මූලධර්මය වන්නේ,දානය, සීල, පරිත්‍යාගය, සෘජුබව, මෘදු
බව, ඉන්ද්‍රිය සංවරය හෙවත් තපස ක්‍රෝධ නොකිරීම, අවිහිංසාව යනුවෙන්
දැක්වෙන මේ දසරාජ ධර්මයන් අනුගමනය කිරීමයි.
සතර අගති තුළින් පාලක පක්ෂය හැමදා වැරැදි කරයි. තම පක්ෂය ගැන බැඳීම
ඡන්දයෙන් අගතියට යාමකි. තම ජාතියට බැඳීමද තම පවුල ගැන පමණක් බැඳීමද මේ
සියලු කරුණු ඡන්දයෙන් අගතියට යාමකි. තම අදහසට විරුද්ධවන්නා කෙරෙහි
ද්වේෂයත් ඇති කරගන්නා එහි අගතියට යන පාලකයාට සාධාරණය, යුක්තිය කළ නොකළ
යුතු දෙය පැහැදිලි නොවේ. ඒ නිසා ද්වේෂයෙන් අගතියට නොයා යුතුය. තීරණ
ගැනීමේ සාධාරණය විය යුතු ය. කිසිවකුට බිය නොවිය යුතු ය. කෙනෙක්
බියවන්නේ තමාට අලාභයක් අපකීර්තියක් වේය යන කරුණ නිසාය. ගතයුතු
ක්‍රියාමාර්ගය සැමට යහපත ගෙන දේ නම් වැරැද්ද වැරැද්ද වශයෙන් දැක එය
ප්‍රතික්ෂේප කරයි නම් ඔහු බියෙන් අගතියට නොයන කෙනෙකි. ඡන්දය, ද්වේෂය,
භය යන මේ අගති තුනට හේතුවන්නේ මෝහය හෙවත් මුලාවයි. පාලකයා ප්‍රඥාවෙන්
යුතු කෙනෙකු වීම සාධාරණ දැහැමි පාලනයට අවශ්‍ය අත්‍යවශ්‍ය සුදුසුකමකි.
බුදු දහමේ රාජ්‍ය පාලනය පිළිබඳ එන චක්‍රවර්ති රාජ්‍ය සංකල්පය හුදෙක්
මනෝ මූලික මනඞකල්පිත, අභූත, ප්‍රායෝගිකත්වයෙන් බැහැර වූ ඉගැන්වීමක්
නොවේ. ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට මේ සංකල්පය ක්‍රියාවට නැඟූ පාලකයා වූයේ
ධර්මාශෝක අධිරාජ්‍යයායි. ඔහු යුද්ධයෙන් අවියෙන් තොරව ලංකාදීපය යටත් කළේ
ය. අභයතිස්ස රජතුමා අශෝක අධිරාජ්‍යයා විසින් පිරිනැමූ ‘දේවානම්පිය’ යන
විරුදාවලිය යටතේ දෙවන වරටත් රාජාභිෂේකයට පත්විය. ධර්මයෙන් යටත් වූ අප,
භාරතයේ අශෝක රජුට බදු ගෙව්වේ නැත. අප වෙත එතුමා මහා සංස්කෘතික දායාදයක්
ප්‍රදානය කළේ ය. ලංකාද්වීශ්වර රජුගේ බලය ධර්මයට යටත් විය.
රජු විධායක ආඥාදායකයකු ලෙස නොව දසරාජ ධර්මයට යටත්ව සතර අගතියෙන් තොරව
ධර්මයෙන් ජනතාව පාලනය කළේ ය.
ධර්මයෙන් ජනතාව පාලනය කරන පිනවන
අර්ථයෙන් රජ නම් වේ. ‘ධම්මේ න ජනං රාජෙති රාජා’ මෙය බෞද්ධ යහපාලනයේ
මූලධර්මයයි. ධර්මය යනු කුමක්ද? ධර්මය යනු ලොව පවත්නා යුක්ති ධර්මයයි.
සැමට සාධාරණ වූ නිසාම ධර්මයයි. රජු රටේ ආරක්ෂකයායි. ඔහුගේ වගකීම වන්නේ
ධර්මය අනුව රට පාලනය කිරීමයි. චක්‍රවර්ති රජුගේ ප්‍රතිපත්ති ක්‍රියාදාම
සතරකි.
1. දැහැමෙන් රට පාලනය කිරීම.
2. ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම
3. රටේ ආර්ථික සංවර්ධනය කිරීම
4. ඒ සඳහා විශාරදයන්ගේ උපදෙස් ලබාගැනීම.
දැහැමෙන් රට පාලනය කිරීමේ දී මිනිසුන්ගේ පමණක් නොව ගහකොළ ගංගා ඇළදොළ,
සතා සිව්පාවා ආදී සියල්ලේ ආරක්ෂකයා බවට පාලකයා පත්විය යුතු ය.
මිහිඳු මාහිමියන් දේවානම්පියතිස් රජතුමාට තදින්ම අවධාරණය කළ උපදේශය අප
රටේ පාලකයෝ බොහෝ දෙනා අමතක කොට ඇත. රජතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට
මිහිඳු මාහිමියන් රාජොවාද සූත්‍රයෙන් හෙවත් අප්පමාද සූත්‍රයෙන් හා
රාජොධාතු ජාතකයෙන් මතුකළ යහපාලන සුවිශේෂ ගතිස්වභාව වන්නේ පාලකයාගේ
ආදර්ශයයි. මහරජතුමනි, ගවරැළේ නායක ගවයා ගවරැළෙහි ඉදිරියෙන් පිහිනයි. ඒ
ගව නායක ගවයාගේ හිස හැරෙන දිසාවට සෙසු ගවයන්ගේද හිස හැරෙයි. නායක ගවයා,
සෘජුව ගඟ තරණය කරද්දී සෙසු ගවයෝද සෘජුව තරණය කරති. මා ඉන්දියාවේ
සිටියදී බුදුරදුන් පාලකයන්ට පෙන්වාදුන් මේ උපමාවේ සැබෑව සියැසින්
දුටුවෙමි.
මෙහිදී රටේ පාලකයාගේ චින්තනය හා ඔහුගේ ක්‍රියාදාමය මැති ඇමැතිවරුන්ගේ
සිට පහළ ශ්‍රේණිය දක්වාම ආදර්ශයක් වන අතර නායකයා අනුව ප්‍රජාවද සිතන
පතන ක්‍රියාකරන තත්ත්වයට වැටෙන බවත් එපමණක් නොව ශ්‍රමණ බ්‍රාහ්මණයන්
පවා නායකත්වය අනුව හැඩගැහෙන බවත් මිහිඳු හිමියෝ, අවධාරණය කළහ. මේ දහම්
අවවාදය කොතරම් බැරෑරුම් එකක් වුවාද යන්න රජු ඇතුළු රාජ සභාව තිගැස්සී
සිටි අයුරු මෙම මහාවංශයේ එන උදානයෙන් පැහැදිලි වේ. මහාථෙරො අමෙහ
ගාළ්හෙන ඔවාරූහ ඔවදති, ගචෙජ්‍යය නුඛෝ” මහ තෙරුන් වහන්සේ අපට දැඩිව
අවවාද කරන්නේ ආපසු වඩින්නවත් දො, මෙයින් අපට පැහැදිලිවන්නේ රට කරවන
පාලකයෝ ආදර්ශවත් අය විය යුතු බවයි. ඒ නිසා ස්ථිරවම පංචශීලය ආරක්ෂා කරන
සදාචාර සම්පන්න පිරිසක් වීමත් අපක්ෂපාතිව පොදු ජනතාවගේ යහපත සඳහා අවංකව
කැපවිය යුතු බවත් මෙමඟින් අවධාරණය කොට ඇත.
අවසාන වශයෙන් යහපාලනයක් හෙවත් දැහැමි රාජ්‍ය පාලනයක් සඳහා බලපාන
අත්‍යවශ්‍ය මූලධර්ම කෙරෙහි අවධානය යොමුකරමු. එනම් ස්වයංපෝෂිත ආර්ථික
සංවර්ධනයයි. මිනිසුන් ධර්ය ඇසීමෙන් හෝ පන්සිල් සමාදන්වීමෙන් පමණක් රටක
දැහැමි පාලනයක් ඇති නොවේ. පන්සිල් රැකීමට හැකිවන්නේ මිනිසාට ශක්ති
සම්පන්න ආර්ථිකයක් හිමිවූවොත් පමණි. අප රටෙහි ඇති භෞතික සම්පත් විශාලය.
කෘෂි ආර්ථිකයක් සඳහා සාරවත් වූ බිමක් ද, ප්‍රමාණවත් වර්ෂාපතනයක් ද
සුවිශාල ගංගා පද්ධතියක් ද අප ලැබූ ස්වභාවධර්මයේ දායාදයන්ය. මේ ස්වභාවික
සම්පත් ආරක්ෂා කර ගනිමින් ඒවා සංවර්ධනය කොට සැලසුම් සහගත අධ්‍යාපනයක් ඒ
තුළින් මනා ආර්ථික සංවිධානයක් ගොඩනැගීමෙන් පමණක් මේ රටේ යහපාලනයක්
ගොඩනැගිය හැකි වේ. මිහිඳු මාහිමියන් මෙරටට ගෙන ආ ඒ ඥාන සම්භාරයෙන්
ප්‍රයෝජනගත් පාලකයා මහසමුදුරු පරදින වැව් අමුණු ඉදිකොට, අධ්‍යාපන ආයතන
පිහිටුවා භෞතික හා අධ්‍යාත්මික සංවර්ධනයෙන් යුතු දැහැමි රාජ්‍යයක් ගොඩ
නැගීය.
චක්කවත්ති සීහනාද, කූඨදත්ත වැනින සූත්‍රවලින් අවධාරණය කළ රටේ ආර්ථික
සංවර්ධනය යහපාලනයේ පදනම බව මිහිඳු හිමියෝ මේ රටේ පාලකයන්ට කරුණාවෙන්
යුතුව අවධාරණය කළ සේක. |