Print this Article


තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියක් පතාගෙන යන ගමන

තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියක් පතාගෙන යන ගමන

පොසොන් පුර පසොළොස්වක පොහොය සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට අනභිභවනීය දිනයක් බවට පත්වන්නේ මෙවන් පොසොන් පොහොය දවසක මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවීමයි. ශ්‍රී ලංකාවට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ එවකට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ත්‍රන්තය බාරව සිටි දේවානම්පියතිස්ස රජු සමඟ ආගමික වශයෙන් සිංහල සමාජයට ඉමහත් පෙරළියක් සිදුකළ නිසාම මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩියාද? නැද්ද? කියන කාරණාව අද පවා කතාබහට ලක්ව තිබේ. මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළේ අහසින්ද ? දියෙන්ද ? වෙනත් ක්‍රමයකින් ද? යන කාරණාවත් බොහෝ අවස්ථාවල සාකච්ඡාවට බඳුන් වී තිබේ.

මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවීමට පෙර ශ්‍රී ලංකාව තුළ පැවති ආගමික ඇදහිලි හා විශ්වාස අතර මළවුන් ඇදහීම, මළවුන් පිළිබඳ විශ්වාසය බරපතළ වශයෙන් මේ සමාජය තුළ පැවතුණ නිසාත් ඔවුන් කරනු ලැබුවේ කිසියම් කෙනකු මරණයට පත්වුවාට පසුව ඒ පුද්ගලයා දේවාත්මයකට හෝ යක්ෂ ආත්මයකට නැතහොත් වෙනත් ආකාරයකට පත්කරගෙන සැලකීම් කරනු ලැබුවේ ය. මරණයට පත්වන අය අදහමින් මළවුන් ඇදහීමක් සිදුකරනු ලැබුවේය. මහාවංශයට අනුව කාලවේල, චිත්‍රරාජ පිළිබඳව, වලවාමුකී යක්ෂණිය පිළිබඳව, ව්‍යාජ දෙවියෙක් පිළිබඳව මළවුන් ඇදහිළි පිළිබඳ විශ්වාසය තහවුරු කරගැනීමට ඇතුළත් කරගත හැකි කරුණු.

මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළාට පසුව ශ්‍රී ලංකා ජනතාව තුළ පැවැති මළවුන් ඇදහීමේ අදහස හොඳින් අධ්‍යනය කර තිබේ’. මිහිඳු මහරහතන් වහන්සේගේ දේශනාවලට අමතරව වැඩිපුරම ධර්මදේශනා කරනු ලැබුවේ පේතවත්ථු නමැති කෘතිය ඇසුරෙනි. පේතවත්ථුවේ බණ කතා පිළිබඳව විස්තර කිරීම ධර්ම දේශනා ලෙස උන්වහන්සේ දේශනා කරුනු ලැබූහ. මිහිඳු මහ රහතන් වහන්සේ මෙවැනි ධර්ම දේශනා කරන අතර තුර මළවුන් අදහන අපේ සිංහල ගෝත්‍රික ජනතාවට කරණු කාරණා පැහැදිලි කරමින් බුද්ධාගම තුළත් මේ වගේ සංකල්පයක් තිබෙනවාය කියන කාරණාව පෙන්වා දුන්හ.

බුද්ධාගම තුළ තිබෙන මේ වගේ සංකල්පය කුමක්ද ? කෙනකු මරණයට පත්වුවාට පසුව ඒ මරණයට පත්වූ පුද්ගලයා තැනැත්තා හෝ තැනැත්තිය සිහිකරමින් පින්කම් කිරීම බුද්ධාගම තුළ තිබෙන කාරණාවක්. සිත, කය, වචනය යන තුන් දොරින් මළගිය ප්‍රාණ කාරයා අරමුණු කරගෙන පින්කම් සිදුකිරීම, එම කළ පින්කම්වල පුණ්‍ය මහිමයත් මියගිය ඥාතිවරයාට අනුමෝදන් කිරීම මළවුන් ඇදහීම වැනි එකක් කියලා කිව්වේ එම කාරණාවයි. මළවුන් ඇදහීම නොවුණත් ඒ වගේ වෙනත් ක්‍රමවේදයක්. මෙම කාරණාව පිළිබඳව කරුණු මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකික ජනතාවට පැහැදිලි කළාට පසුව ශ්‍රී ලාංකේය ජනතාව මෙම කාරණාව ඉතා හොඳින් පිළිගත්තේය. ඊට පසුව ඔවුන් මළවුන් ඇදහීම කියන කාරණාවත්, මියගිය ඥාතින්ට පින්පෙත් අනුමෝදන් කිරීම යන කාරණාවත් යන කරුණු දෙකම ඔවුන් අනුගමනය කළේය.ඇතැම් පිරිස් මෙම කාරණා දෙක දෙකක් වශයෙක් නොව එකක් ලෙස සිතා සිටී. කලින් පැවතුණ ක්‍රමවේදයන් මිහිඳු මාහිමි දේශනා සමඟම පත් ව ගිය බවට ඇතැම් පිරිස් තුළ විශ්වාසයක් පවතී. ඒ සියල්ලම වැරැදි අදහස් වේ. මිහිඳු මාහිමියන්ගේ දේශනා තුළින් පසුවත් පැරැණි ක්‍රමය පැරැණි ක්‍රම හැටියට අනුගමනය කළේය.නව ක්‍රමවේදය නව ක්‍රමයක් ලෙස අනුගමනය කළේය.

මේ ක්‍රම දෙකම අනුගමනය කරන්නට පටන් ගත්තේය. ඒ අනුව අද වර්තමාන සමාජය තුළත් මළවුන් ඇදහීම කියන සංකල්පය තිබේ’. මිය පරලොව ගිය ඥාතින්ට පින්දීම කියන අදහසක් තිබේ. මෙම ක්‍රමවේද දෙකම වර්තමානය තුළ පවතී. මළවුන් ඇදහීම යනු, මෙලොව ජීවත්වූ අයෙකු මරණයට පත්වුවාට පසුව එම පුද්ගලයා දේවාත්මයෙන් යක්ෂාත්මයක් ආදී වශයෙන් වෙනම තත්වයක් ආරෝපණය කර එම පුද්ගලයා වෙනුවෙන් පුද පිළිවෙත් කිරීම, වර්තමානය තුළත් එම ක්‍රමය පවතී. රට ජාතිය වෙනුවෙන් දිවි පුදපු රණවිරුවෙකුගේ පින්තූරය අඹමින් එසේ නැතහොත් මංමාවත් ඒ නමින් ලකුණු කර ඔවුන්ට ගරු සැළකිලි කරනු ලැබේ’. රට ජාතිය වෙනුවෙන් සේවය කරපු ශ්‍රේෂ්ඨ නායකයකු මිය යාමෙන් පසුව ඔහුගේ ප්‍රතිමාවක් හදාගෙන එයට මල් පහන් පූජා කරගෙන ඒ පුද්ගලයාට ගරු සම්මාන දක්වනු ලැබේ. මළවුන් ඇදහීම අම්මා තාත්තා මිය පරලොව යාමෙන් පසුව ප්‍රතිමා ස්මාරක සොහොන් කොත් හදාගෙන ඒවා සඳහා මල් පහන් පත්තුකරමින් මළවුන් අදහනු ලැබේ. මළවුන් ඇදහීම තුළ අයහපත් දෙයක් නොපැවතුණත් එහි අර්ථවත් අරුතක් ගැබ්ව නැහැ. මළවුන් ඇදහීම මළවුන්ට වැඩක් නැති වුවත් ජීවත් වන්නන්ට යහපතක් තිබේ. එනම් මෙවැනි අභිමානවත් විරෝධාර අය මෙවැනි ශ්‍රේෂ්ඨ විශිෂ්ට පුද්ගලයන් මෙම භූමිය තුළ ජීවත් වූවාය යැයි උදම් අනන්නට අභිමානයක් ඇතිකරගන්නට අපට ඇතිවන හැකියාව.

මළවුන් ඇදහීම බුදුරජාණන් වහන්සේ දේශනා කරණු ලැබූ දෙයක් නොවුණත් ඒ තුළ වරදක් නොමැති නිසා මිහිඳු හාමුදුරුවන් එය ප්‍රතික්ෂේප කළේ නැහැ. මිය පරලොව ගිය ඥාතින්ට පින් පෙත් අනුමෝදන් කරනවාය කියලා කියන්නේ බුද්ධාගමේ උගන්වන විශේෂිත ක්‍රියාදාමයක්. එය මළවුන් සමඟ සම්බන්ධතාවයක් නැහැ.

හතර වර්ගයක ඥාතීන් පිරිසක් පුද්ගලයකුට ඉන්නවා. එම හතර වර්ගයේ නෑදෑයෝ අපට ලැබෙන්නේ පෙර සංසාරයේ පින්පව් අනුව. එම ඥාතීන් ලේ ඥාතීන් ලෙස අප සළකනු ලැබේ’. ලේ ඥාතීන් ජීවත්වෙලා සිටින කාලය තුළ අපේම පිරිසක්. ශරීර ස්වභාවය බැලුවත් ලේ ඥාතින් එක වගේයි. ජාන වශයෙන් ඇතිවන රෝග දෙස බැලුවත් එක වගේ රෝග පවතී. මෙම පිරිස පාරම්පරිකව පරම්පරානුගතව කර්මය සම්බන්ධ කරගෙන එන පිරිසක්. ඇතැම් වෙලාවට කර්ම රෝග වශයෙන් හඳුන්වනු ලබන්නේද මෙම පාරම්පරිකව එන රෝගවලට. මිය පරලොව ගිය ඥාතින් කියන්නේ තමන්ගේම පිරිසට. අපේම අය අපේම ලේ අපේ ලේ ඥාතීන් මිය ගියාට පසුව ජීවත්ව ඉන්න ඥාති පිරිසගේ යුතුකම වන්නේ ඒ අය මියපරලොව ගිය තමන්ගේ ඥාතියාට ලේ ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කිරීමය. එය මළවුන් ඇදහීමත් සමඟ සම්බන්ධයක් නොමැත. සහෝදරත්වය, සමීප බව ,ඥාතීත්වය, ආරක්ෂා කිරීම වෙනුවෙන් බුද්ධාගම තුළින් සිංහල සංස්කෘතියට උගන්වපු කාරණාවකි.

මිය පරලොව ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට මිනිසුන් කැමැතියි. තමන් ජීවත්වන ගේ ඇතුලෙ සිට මිය පරලොව ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඇතැම් අය බයයි. මේවා පිළිබඳව නිවැරැදි අවබෝධයක් නොමැති බොහෝ අය දැනුම නැතිකම නිසාම මනසෙහි බයක් ඇතිකර ගනී. දැණුම නැති හැමදේම මනසට බයක් ඇතිකර ගෙන එනු ලැබේ. දැනුම ඇතිකරගත්තාට පසුව බය නැතිවෙනවා. නිවස තුළ සිට මිය පරලොව ගිය ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කළාට පසුව ඒ ඥාතිවරු පින්ගන්න නැවත නැවත ගෙට එන්නේ නැහැ. ඒ අය ඒ අයගේ නිවස සමීපයට වෙලා පින් ඉල්ලාගෙන ඉන්නේ නැහැ. අනුමෝදන් කළ පින්ටික අනුමෝදන් වෙලා සුවපත් ආත්මභාව ලබා ගැනීමට පෙළඹේ. පින් අනුමෝදන් කර නැත්නම් ප්‍රශ්නය ඇතිවනවා සේම පින් අනුමෝදන් කරනවා නම් ප්‍රශ්නයක් මතුවන්නේ නැහැ. මිය ගිය ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කිරීම ලස්සන ජීවිතයක් ගතකරන්න බලාපොරොත්තු වන ප්‍රභාමත් ජීවිතයක් ගතකරන්න බලාපොරොත්තු වන කොයි කවුරුන් විසිනුත් ඉෂ්ට සිද්ධ කළ යුතු බවට බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. “පුබ්බ පේත බලි” නමින් බණ පොතේ එය සඳහන්ව ඇත. තමන්ගේ නමින් නැසී මිය පරලොව ගිය ඥාතීහු සිහිකරමින් මතක් කරමින් ඒ අයට පින්පෙත් අනුමෝදන් කිරීම ඉතාම වැදගත් කාරණාවක් ලෙස බුද්ධාගම සලකනු ලැබේ. මිය පරාලොව ගිය ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කිරීම කියන කාරණාව ලෝකයේ වෙනත් ආගම් තුළ දකින්න ලැබෙන්නේ නැහැ. බුද්ධාගම තුළ පමණක් එය පැවතීමට එක හේතුවක් තිබේ. බොහෝ නිර්මාණවාදී ආගම් පටන් ගන්නේ දරුවා මවුකුසේ පටන් එළියට පැමිණුන අවස්ථාවේ සිට මිනීවල දක්වා පමණයි. දරුවා මව් කුසට ඒම දක්වා අපට නොපෙනෙන සියලු සිද්ධිත් බුදුදහමේ කර්ම සංකල්පය යටතේ විග්‍රහ කරනු ලැබේ. මරණයට පත්වුණාට පසුව ඔහුට හෝ ඇයට කුමක්ද? වන්නේ කියන කාරණාව බුදුදහමේ කර්ම සංකල්පය යටතේ විග්‍රහ කරනු ලැබේ. මිය පරලොව ගිය ඤාතින්ට පින් අපි අනුමෝදන් කරන්නේ මතුදා සංසාරයේ කවදා හෝ දවසක ඒ අය අපට හමුවන නිසා. නිවන් දකින්නට පෙර වෙනත් කිසියම් ආත්මයක මේඅය අපට එකට හමුවන නිසා. මේක සංසාරයේ ඉපදෙමින් මැරෙමින් නැවත ඉපදෙමින් සංසාරය පුරා අප යන ගමනක්. ඒ යන ගමන තුන්තරා බෝධියකින් එක්තරා බෝධියක් පතාගෙන යන ගමනක්. ඒ බෝධියකින් එක බෝධියක් ලබාගත්ත දාට අපගේ මේ සංසාර ගමන නතර වන්නේ. එහෙම නතර වනතුරු අප සංසාරයේ ඇවිද යනවා. ඇවිද යන්නේ හුදකලාව නොවේ. මහා විශාල නෑදැ පිරිවරක් සමඟය.

හතර වර්ගයක නෑදෑයන් කියන්නේ ඒ පිරිසට යි. මිය පරලොව ගිය ඥාතීන්ට අපි පින් පෙත් අනුමෝදන් කරන්නේ එක අයුරකින් යුතුකමක් ලෙසය. අනෙක් කාරණාව ලෙස මෙම පිරිස මතුදා සංසාරයේ කිසියම් දවසක හමුවූ විට මනසේ වෛරයක්, ක්‍රෝධයක්, නැතිව සුහදව, ලෙන්ගතුව හමුවීමට අවශ්‍ය වන නිසාය.