ධම්මික මෙහෙයවන ධම්ම සාකච්ඡා
“ධම්මික මෙහෙයවන ධම්ම සාකච්ඡා” ආරම්භයේදී පිළිතුරු සම්පාදනය කරන ලද්දේ
පණ්ඩිත මිරිස්සේ ගුණසිරි මා හිමිපාණන් වහන්සේය. උන්වහන්සේගේ
අපවත්වීමෙන් පසු උන්වහන්සේගේ ශිෂ්‍ය මිරිස්සේ ධම්මසිරි මහා
ස්වාමීන්ද්‍රයන් වහන්සේ එම උතුම් පුණ්‍ය කර්මයට දායක වූහ. උන්වහන්සේලා
දෙනම සිදුකළ උතුම් මෙහෙවර සැමදා අනුස්මරණය කරමු. එම සඟ පරපුරෙහි
විද්වත් යතිවරයන් වහන්සේ නමක් අපගේ ඇරැයුමෙන් මෙසේ “බුදුසරණ” ට
අනුග්‍රහය දක්වන බව ගෞරවයෙන් සිහිපත් කරමු. “ධම්මික මෙහෙයවන ධම්ම
සාකච්ඡා” සඳහා පාඨකයන්ගේ දහම් ගැටලුවලට පිළිතුරු සපයන බැවින් අදාළ දහම්
ගැටලු කෙටියෙන් ලියා “ධම්ම සාකච්ඡා” බුදුසරණ ලේක්හවුස් ලිපිනයට යොමු
කරන්න.
ප්‍රශ්නය -
ධම්මපදය පාප වග්ග අංක 12 දරන ‘න අත්තළිකෙඛ න සමුද්ද මජෙඣ’ යන ගාථාවෙන්
පාපයෙන් මිඳිය නොහැකි බව කියවේ. එහිම ලෝක වග්ගයේ 7 ගාථාවේ ‘යස්ස පාපං
කතං කම්මං යැයි යමෙක් කළ පාප කර්ම කුසලයෙන් වසාලනු ලැබේ යැයි ද කියැවේ.
මෙහි අදහස් පරස්පර විරෝධි නොවන්නේද? ධර්මානුකූලව විවරණයක් සපයන්න.
එම්.ඩී.ජේ. ජයතිලක
අංක 53.1 මොරොන්තුඩුව පාර,
වාද්දූව
න අන්තළික්ඛෙ යන ගාථාවෙන් කියවෙනුයේ සත්වයකුට තමා කළ පවින් මිදෙන්නට
හැකි බිම් ප්‍රදේශයක් නැති බවයි. අහසෙහි සිටියද, මුහුද මැද සිටියද,
පර්වත කුහරයකට වැදි සිටියද පවින් නොමිදිය හැකි යන්නයි. මෙම දහම් කරුණ
දේශනා කර ඇත්තේ තමාම ගින්නට වැද මිය ගිය කවුඩකු, මහ මුහුදු මැද නැවතුණු
නැවක සිට, පව්කාරියකැයි හඳුනාගෙන මහ මුහුදට බිලි කළ කාන්තාවක හා ගල්
ගුහාවක හිර වුණු භික්ෂූන් පිරිසක් අරමුණු කර ගෙනයි. අතීත කර්ම වන
පිදුරුවලින් වසා ප්‍රාණි හරකකු ගිනිතබා, මැරීම, බල්ලකු දියේ ගිල්වා
මැරීම හා තලගොයෙකුගේ ජීවිතය ඉතා දුබල බවට පත් කිරීම යන බරපතළ අකුසල
කර්ම ස්වභාවය පැහැදිලි කිරීමටයි.
ධම්මපද ලෝක වග්ග 7 ගාථාව දේශනා කර ඇත්තේ අංගුලිමාල රහතන් වහන්සේ
නිමිත්තෙනි. අංගුලිමාල වැනි මනුෂ්‍ය ඝාතකයන් වුව යථාවබෝධය ලබා කුසලයේ
යෙදී උට්ඨානවීර්ය හා කෞශල්‍යතා පදනම් කර ගෙන බලවත් විපාක ලැබීම වළකාගෙන
ඇත.
අනන්තරිය පාප කර්මයක් නම් මෙම භවයේදී ලබන විපාකය වසා දැමිය නොහැකිය. එම
පාප කර්මය සිදු කළ අජාසත් රජු පසු කාලයේ බුදුරජාණන් වහන්සේගේ භක්තිමත්ම
දායකවරයා බවට පත්විය. ප්‍රථම ධර්ම සංගායනාවේ දී දායකත්වය ලබා දුන්නේය.
එහෙත් අවිචි මහා නරකයේ ඉපදීම නියතව සිදු විය. එහෙත් කළ කුසල් නිසා
හෙතෙම යම් කාලයක නැවත මිනිස් භවය ලබා කෙලෙස් නසා අරහත්වයට පත් වේ.
තම ජීවිතයේ කිසියම් අවස්ථාවක වරද නිවරද කර ගන්නේ නම් අකුසල විපාක මඟ
හරවා ගත හැකිය. අකුසල විපාක දීමට පෙර නිර්වානාවබෝධය ලැබිය හැකියි.
උපපප්ජවේදනීය (ඊළඟ භවයේ විපාක දෙන) අපරාපරියවේදනීය (සසර කවදා හෝ විපාක
දෙන) විපාක ඔහුගෙන් මග හැරේ. එහෙත් මේ පව මම කරමි. නැවත කුසල වඩමි.
උපක්‍රමයෙන් විපාක මඟ හරිමි’යි සැලැසුම් කොට විපාකය මඟ හැරිය නොහැකියි.
අහිංසක කුමරු අංගුලිමාල නම් රුදුරු මනුෂ්‍ය ඝාතකයා බවටත්, එසේම
අංගුලිමාල මහා රහතන් වහන්සේ බවටත් පත්විය.මේ අංගුලිමාල නම් මනුෂ්‍ය
ඝාතකයා කළ පවු කම් වලට විපාක ලැබීම නවතින්නේ නැත. එහෙත් ඒ විපාක විඳීමට
තරම් කාලයක් ඔහු සසර ගත නොකළේ ය. රහතන් වහන්සේ ලෙස භව නිරෝධය කළේ ය.
එහෙත් අංගුලිමාල මහා රහතන් වහන්සේ සුපින්වත් වැඩ සිටි කාලයේ නිකරුණේ
අහක යන ගල් මුල් වැදි තුවාල සිදුවන පරිසර තිබූ බව අටුවා කථාවල පෙන්වා
දී ඇත. එබැවින් මේ ඉගැන්වීමේ පරස්පර විරෝධි බවක් නොපෙනේ.
2 ප්‍රශ්නය
ඤාතියකුට පින්දීමේදී සමහරු පෙර දින රාත්‍රියේ සර්වරාත්‍රික පිරිත්
දේශනාවක් කර පසුදින මහා සංඝරත්නය උදෙසා දන් දෙති. සමහරු පළමුව දන් පුදා
පසුව සර්වරාත්‍රික පිරිත් දේශනය කරති. එසේ කරනුයේ මිය ගිය ඤාතීන්ට
පිරිත් දේශනාවෙන් පසු පින් ලබා ගැනීමට අපහසු නිසා යැයි පවසති. මෙහි ලා
නියම පිළිවෙළ කුමක්ද?
කේ.ජේ. පෙරේරා
පණිරෙන්ඩාව, මැදගම
මිය ගිය ඤාතීන් උදෙසා දාන පූජා කිරීමේ සිරිත ඉපැරැණියි බුදුරජාණන්
වහන්සේ තිරෝකුට්ඨ සූත්‍රයේ පින් දීමේ ක්‍රමය හා අර්ථය පැහැදිලි කර දී
ඇත. මිය යන කෙලෙස් සහිත සියල්ලෝ පුනර්භවයට පත් වෙති. විවිධ ස්ථානවල ඒ
අනුව උපදිති. බ්‍රහ්ම, දිව්‍ය, මනුෂ්‍ය, සතර අපා ආදිය එම ස්ථානයයි.
ආහාරපාන සහිත දානයක් පූජා කර අදහස් කරනුයේ මිය ගිය ඤාතිවරයාට ආයුෂ,
වර්ණ, සැප, බල, ප්‍රඥා යන පංච බලය ලබා දීමයි. “පෙතානං දක්ඛිණං දජ්ජා”
යයි ඒ සඳහා දක්ඛිණාව හෙවත් දානය කළ යුතු වෙයි.
පිරිත් දේශනය යනු ශ්‍රවණය කරන්නාට ආරක්ෂාව ලබා දෙන ක්‍රියාවලියයි.
සියලු දුක්, සියලු භය, සියලු රෝග විනාශය කර සියලු සම්පත් සඳහා පිරිත්
දේශනය කරති. එයින් ඤාතීන්ට පින් අනුමෝදන් සෘජුව සිදු නොවේ. එහිදී ධර්මය
කෙරෙහි වූ සද්ධාව, ධර්ම ගරුත්වය ආදී දහසකුත් පින් තමන්ට ලැබේ. ඒවා ද
මිය ගිය අයට අනුමෝදනා පවත්වයි පැතිය හැකියි. පින් අවශ්‍ය කරන හෙවත්
බලාපොරොත්තුව සිටින සත්වයා “පරදත්ථ උපජීවි’ නම් සත්ව නිකායේ උපත ලබා
ඇති තැනැත්තායි. මිය යන සියල්ලෝ මෙම සත්ව නිකායේ උපදින්නේ නොවේ.
බ්‍රහ්ම, දිව්‍ය, මනුෂ්‍ය ආදී භව ජීවිත ලද්දන්ට පින් අනුමෝදන් වීම
අවශ්‍ය නැත. එබැවින් පින් අනුමෝදනය සඳහා පවත්වන පින්කම් වල මූලික අරමුණ
ඤාතිවරයාට පංච බල ලබා දීම වුවත් තවත් බොහෝ අරමුණු වලින් එය යුක්ත වෙයි.
ඤාති ධර්ම ඉටු කිරීම, මිය ගිය අයට (පේත) පින් දීම භික්ෂූන්ට පංච බල
ලබාදීම, තමා සඳහාම පින් කර ගැනීමද ඊට අදාළ වෙයි. පිරිත නිසි දින
කිසිවකුට හිංසා කරන දේශනයක් නොවේ. එහි ඇත්තේ ජීවත් වන්නාට ආරක්ෂාවකි.
මිය ගිය ඥාතියා පින් ගන්නා භවයක වන්නේ නම් ඥාතියාට පින් ගැනීමට බැරි වන
ලෙස වැට කඩොලු තැනීමක් පිරිතෙන් සිදු නොවේ. දානයට පෙර පිරිත් දේශනා
කළද, පිරිතෙන් පසු දානය පූජා කළ ද එහි වෙනසක් නැත. එහෙත් සාමාන්‍ය
සම්ප්‍රදාය කිසියම් බෞද්ධ උත්සවයක් වන සර්වරාත්‍රික පිරිත් දේශනාව
සිදුකර පසුව දන්දීමයි.
3 ප්‍රශ්නය -
භික්ෂූන් වහන්සේලා හිඟකම අද බරපතළ ගැටලුවකි. අපගේ ආගමික වතාවත් සඳහා
ප්‍රමාණවත් භික්ෂූන්වහන්සේ නොමැති බැවින් සමහර ගිහි දේශකයන් ලවා
සර්වරාත්‍රික පිරිත් දේශන කරවා ගනිති. මේ චාරිත්‍රයේ වරදක් තිබේද?
ඒ.අයි.ඒ. දිල්රුක්ෂි මිය, මාරකොල්ලිය, තංගල්ල
පිරිත යනු සම්බුද්ධ දේශනාවයි. සතර බණවරේ ඇතුළත් සියලු සූත්‍ර දේශනා,
සූත්‍ර පිටකාගත දේශනායි. සමස්ත බුදු දහම හෙවත් පර්යාප්තියම රැකගැනීම
භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව් පිරිසේ වගකීමයි. තමන්ගේ
ශ්‍රාවක භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා පිරිස් ධර්මය දැන උගෙන පරමත
ඛණ්ඩනයේ බුහුටිව, මැනවින් දහම විග්‍රහ කිරීමේ ශක්තිය ලබන තෙක් තමන්
වහන්සේ පිරිනිවන් නොපාන බව පාපී මාරයාට බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.
තම වයසින් අවුරුදු 80 දී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන බව පවිටි
මාරයාට ප්‍රකාශ කළේ, සිව්වණක් පිරිස එම තත්ත්වයට පත්ව ඇති බව
පිළිගනිමිනි. දීඝ නිකායේ මහා පරිනිර්වාණ සූත්‍රයේ මේ සියලු කරුණූ
ඇතුළත් වෙයි. මේ නිසා ධර්මය ඉගෙනීම, දේශනා කිරීම, මිථ්‍යා මතවලට දහමට
ඇතුල්වීමට ඉඩ නොදීම ආදී ගිහි ජනතාවටත් අනිවාර්යය වූ වගකීමයි.
එය එසේ වන්නේ නම් ගිහි පින්වතුන් පිරිත් දේශනා කිරීම වරදක් වන්නේ
කෙසේද? ශ්‍රද්ධා සම්පන්න ගෘහස්ථ සීල සමාදානයක යෙදෙන නිවැරදි උච්ඡාරණය
සහ දේශනාවේ අරුත් දන්නා, බුද්ධ භාෂිතයේ ශක්තිය සත්‍ය ක්‍රියාවකට
හැරවීමට සුදුසු උපාසක පුණ්ඩරික (උපාසක නෙළුම) ලෙස බුදුරජාණන් වහන්සේ
නිර්දේශ කළ ගිහි පින්වතුන් පිරිත් දේශනය කිරීමට සුදුස්සෝ වෙති. |