Print this Article


කලු ගලින් නිමවන කුළුණුබර බුදුපිළිමයෙන් අසිරිමත් නෑවකඩ ශ්‍රී ශෛලගිරි විහාරය

කලු ගලින් නිමවන කුළුණුබර බුදුපිළිමයෙන් අසිරිමත් නෑවකඩ ශ්‍රී ශෛලගිරි විහාරය

ගමයි පන්සලයි වැවයි, දාගැබයි වටිනා සංකල්පය කුළු ගන්වමින් ස්වභාව සෞන්දර්යයෙන් අනූන වූ වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, බිංගිරිය, මැතිවරණ කොට්ඨාශයේ උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නෑවකඩ ශ්‍රී ශෛලගිරි විහාරස්ථානය සුවිශේෂී පුදබිමකි.

ගමයි පන්සලයි වැවයි, දාගැබයි වටිනා සංකල්පය කුළු ගන්වමින් ස්වභාව සෞන්දර්යයෙන් අනූන වූ වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, බිංගිරිය, මැතිවරණ කොට්ඨාශයේ උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නෑවකඩ ශ්‍රී ශෛලගිරි විහාරස්ථානය සුවිශේෂී පුදබිමකි.

අතීත ශ්‍රී විභූතිය විදහා පාමින් ඉපැරැණි විහාරස්ථානයක අනන්‍යතාව සපථ කරමින් අති රමණීය භූමි භාගයක මෙම පුණ්‍යභූමිය පිහිටා ඇත. 20 වන සියවසේ සත්කෝරළය බැබළවූ මහා යතිවරයාණන් වහන්සේ නමක් වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ හිටපු දිසාපාලක ධුරන්දර යටගම ඤාණුක්කංස නා හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් 20 වන සියවසේ මැද භාගයේදී පමණ මෙම ශෛලගිරි විහාරය ආරම්භ වී ඇත.

වත්මනෙහි මෙම විහාරස්ථානයේ අධිපතිධූරය දරන්නේ ඉලිප්පදෙණියේ සීවලී නාහිමියෝය. තවද ඊට බොහෝ කාලයකට පෙර සිටම මෙම ස්ථානයේ ඇතැම් රජවරු තම ආරක්ෂාව පතා පරිහරණය කළ බවද ජනප්‍රවාද මතයයි. එය එසේ සනාථ කිරීමට සාක්ෂි විහාර භුමිය තුළ ශේෂව පවතී.

ඉදි කෙරෙමින් පවතින සෙල් පිළිමය

විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ

චෛත්‍යරාජයාණන් වහන්සේ

1484 දී කෝට්ටේ රජ පැමිණි අම්බුළුගල කුමාරයා නොහොත් 8 වන වීර පරාක්‍රමබාහු රජතුමාගේ පාලන සමයේදි ඔහුගේ දෙවන බිසවගේ පුතුන් දෙදෙනා වන සකල කලා වල්ලභ සහ තනිය වල්ලභ කුමාරවරුන් දෙදෙනාගෙන් තනිය වල්ලභ කුමාරයාට ප්‍රාදේශීය රජ කෙනෙකු ලෙස මාදම්පේ ප්‍රදේශය පාලනය කිරීමට හා වෙරළබඩ තීරය ආරක්ෂා කිරීමට බාර කර ඇත.එම කාලය තුළ එතුමා මෙම නෑවකඩ වැව හා විහාරභූමිය ආශ්‍රීත ප්‍රදේශය තම වාස භුමිය කරගෙන තිබු බව ප්‍රදේශයේ ජනතාවගේ බහුතර මතයයි.

එතුමා ස්නානය කළ නානමංකඩ නිසා නෑවකඩ වූ බව කියැවේ. තම අසිපත මුවහත් කළ ශෛලමය ස්ථම්භය වැවෙහි ජලය බොහෝ සෙයින් සිඳී යන කාලවල කඩු ගෑ ගල නමින් වැව මධ්‍යයේ දිස්වෙන බවද ගැමියෝ කියති.

ඓතිහාසික අතින් ඉතාම වැදගත් වන නෑවකඩ වැව අක්කර 30 යි. රූඩ් 01 ක පමණ විශාලත්වයක් දරන අතර මෙයින් අක්කර 120 ක පමණ වපසරියක් අස්වැද්දීමට හැකියාව ඇත. ගොවි පවුල් 60 ක් පමණ ගොවි කටයුතු සඳහා නෑවකඩ වැව උපයෝගි කර ගනිති.

විහාරස්ථානයෙහි පිහිටා ඇති බෝධි රාජයාණන් වහන්සේ රෝපණය කිරීමෙහිදි පූජනීයත්වයෙහිලා සැලකිය හැකි යම් වස්තූන් හමුවී ඇතිබවද පැරැන්නෝ පවසති. ඒ මීට දශක ගණනාවකට පෙරය.

වත්මන චෛත්‍යය රාජයාණන් වහන්සේ පිහිටි ස්ථානයද බෝධි රෝපණයට සමගාමීව ඉදි වී ඇති අතර එය ඉදිවීමට පෙර සිටම එම ස්ථානය වඩා උස් ස්ථානයක්ව පැවැති බවත් පුෂ්පයන්ගෙන් වන්දනාවට පාත්‍ර වූ බවත් ජනප්‍රවාදයෙහි සඳහන්ය.

1950-1960 දශකය තුළ විහාරස්ථානය ඉදිවීමේදි තනා ඇති සංඝාවාස ගොඩනැගිල්ලද වර්තමානයේ පිළිසකර කළ යුතුව පවතින්නකි.

භූගෝලීය වශයෙන් ඉතා වැදගත් කමක් දරන පන්ඩ මැන්ඩල් බෙන්ඩිමාර්ක් හෙවත් දිස්ත්‍රික්කයේම භූමිය මැනීම සඳහා උපයෝගීවන චන්ද්‍රිකා තාක්ෂණය ස්ථාන ගතවන ත්‍රිකෝණමිතික ස්ථානයක් පිහිටා ඇති අතර එයද දුර්ලභ ස්ථානයකි.

තවද පැරැණි රජවරු විසූ බවට සාක්ෂි දෙන මහා පර්වතයද ඊට යාබදව පිහිටා ඇති ශෛලමය පොකුණ හා උඩමලුවේ පිහිටා ඇති ශෛලමය පොකුණද විහාරස්ථානයට අලංකාරයක් සපයයි. වත්මනෙහි ආරණ්‍යවාසි රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදි ආලංකුලමේ පේමසිරි නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් චිත්ත විවේකාශ්‍රමයක් ගොඩනඟා ඇත. දූ දරුවන්ගේ හා දායක පින්වතුන්ගේ ධර්මඤාණය වැඩි දියුණූ කිරීමේ අරමුණින් විවිධ දුෂ්කරතා මධ්‍යයේ ආලංකුලමේ පේමසිරි නාහිමි උපහාර පුස්තකාලය ආරම්භ කර පවත්වාගෙන යයි. එපමණක් නොව 2600 සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව 21 වන සියවසේ හෙළ කලාකරුවන්ගේ කලා හැකියාව විදහා පාමින් ආලංකුලමේ පේමසිරි නා හිමියන්ගේ ගෞරවනීය අනුශාසකත්වයෙන්, පිහිටි විශාල පර්වතයෙහි ශෛලමය හිටි පිළිම වහන්සේ නිර්මාණය කිරීම සිදුවෙමින් පවතී.

මෙම පිළිම වහන්සේගේ උස ප්‍රමාණය අඩි 60 ක් පමණ වන අතර විතර්ක මුද්‍රාවෙන් නිරූපිතය.

පිළිම වහන්සේ නිර්මාණය කිරීම සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් කෝටි තුනකට ආසන්න වේ යැයි ගණන් බලා ඇත.

විහාරස්ථදායක සභාව, සෙල් පිළිම නිර්මාණ සංසදය, හා ධර්ම විජය පදනම මෙන්ම උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා උඩුබද්දාව ප්‍රාදේශීය සභාව මෙම සෙල්පිළිමය සඳහා දැක්වූ දායකත්වය පැසසිය යුතුය.