අටමස්ථානය
වහුමුවේ විජයවංස නා හිමි
ලාංකේය ඉතිහාසය සොයා යන චාරිකාවේදී අනුරාධපුර රාජධානිය අමතක කර
කිසිසේත්ම එම චාරිකාව නිම කළ නොහැකිය. බුදුන් වහන්සෙගේ පරිනිර්වාණයෙන්
වසර 236 කට පසුව එළඹුණූ පොසොන් පුර පසළොස්වක දින මිත්‍යා දෘෂ්ටියෙන්
මිදුණු ලාංකීය ජනතාව සම්‍යක් දෘෂ්ටියෙන් පරිපූර්ණ වූ විශිෂ්ට දර්ශනයක්
රැගත් බෞද්ධාගමිකයෝ බවට පත්වූහ. එතැන් සිට අපි ශිෂ්ඨාචාරවත් ජාතියක්
බවට පත්වුණෙමු. මේ ශිෂ්ඨසම්පන්න ගමන් මාර්ගයේදී අපගේ සභ්‍යත්වය
සංස්කෘතිය ගොඩ නැගෙන්නේ බෞද්ධාගමේ පදනම මතය.
එසේ නම් ඉතිහාසය සොයායන චාරිකාව – ශිෂ්ඨාචාරයේ ගමන් මග සොයා යන
චාරිකාවක්මය. බෞද්ධාගම හා සබැඳෙන නිසාම මෙය හුදු විනෝද චාරිකාවක් නොව
වන්දනා චාරිකාවක්ය.
බෞද්ධ ශිෂ්ඨාචාරයක දීර්ඝ වන්දනාවේ සන්ධිස්ථානය අනුරාධපුර රාජධානියයි.
මෙම අසිරිමත් පුරවරයේ කේන්ද්‍රීය සළකුණ සටහන් තබන්නේ ද බෞද්ධ ලකුණ
විසින්මය.
වැවයි දා ගැබයි ගමයි පන්සලයි කෘෂි කර්මාන්ත ආර්ථිකයත් බෞද්ධාගමික
සන්හිඳියාවත් සමගාමිව ගමන් ආරම්භ කරන්නේ අනුරාධපුරයේ සිටය.
අද ගමක් නගරයක් පාසා විහාරස්ථාන ඉදිවී දම් දීපයේ වරුණ ලෝකයට හඬ ගා
කියන්නට අවස්ථාව සැලසුණේද ලංකාවේ ප්‍රථම රාජධානිය වූ අනුරාධපුරය
රාජධානියේ මහාමේඝ නොහොත් මහමෙවුනා උයනේදී ප්‍රථමයෙන්ම ඉදිවෙන මහා
විහාරය නිසාය. මහා විහාරය යනු සමස්ත විහාර සංචිතයේ ආරම්භය සටහන් කරන
උත්තුංග සංකේතයයි.
මහා විහාරය සඳහා සීමා සම්මත කරන්නේ මිහිඳු මහ රහතන් වහන්සේගේ
අනුශාසනකත්වයෙන් මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ දිනට පසුව එළඹෙන පස්වන
දිනයේදී බව මහා වංශය සඳහන් කරයි.
”ඉතිහාසඥයන් ගණන් බලා ඇති අන්දමට මහා විහාරය පිහිටුවන ල්දදේ ක්‍රි.පූ.
307 දීය යන අදහස වඩා නිවැරදි විය හැකිය”
ඇත්තෙන්ම මෙය එක් ගොඩනැගිල්ලක් නොව විහාර සංකීර්ණයකි. මහා විහාර
සංකීර්ණය ආරම්භ කරන්නේ දේවානම්පියතිස්ස රජතුමා විසින්ය. පැරණි ලංකාවේ
සියලුම භික්ෂු ආරාම පැවතියේ මහා විහාරයේ ශාඛා විහාරස්ථාන වශයෙනි.
ක්‍රි.පූ. 1 වන සියවසේදී මහා විහාර සම්ප්‍රදායට එරෙහිව අභයගිරි විහාර
සම්ප්‍රදාය බිහිවිය.
ඉන් පසුව 4 වන සියවසෙහි ජේතවන විහාරය ආරම්භ වීමෙනුත් මහා විහාර
සම්ප්‍රදායේ යම් ඛණ්ඩනය වීමක් සිදු විය. ඒ කෙසේ වෙතත් මහා විහාර
සම්ප්‍රදායේ ගෞරවණීය තත්වය ඓතිහාසික වශයෙන් ලඝු කොට තැකිය යුතු නොවේ’.
මහා විහාර සංකීර්ණයට අනුයුක්ත වූ පූජනීය ස්ථානයන් අට තැනක් පිළිබඳව
මිහිඳු මහ රහතන් වහන්සේ මලින් පුදා සටහන් කර තබයි. එම ස්ථානයන් අට
කකුසඳ කෝණාගම, කාශ්‍යප ගෞතම යන සතර මහා බුදුවරුන්ගේ පාදශ්පර්ශයෙන්
පූජනීය වූ පවිත්‍රවූ ස්ථාන 8 ක් වශයෙන් වංශ කතාවන්හි සටහන්ව තිබේ.
ඒ අනුව පැරණි අටමස්ථාන හඳුන්වා ඇත්තේ
1.තිස්සමහාරාමය
2. භික්ෂුන් වහන්සේ විනය කර්ම කරන කම්මමාලකය
3
,ඡන්තාගාර පොකුණ
4. ශ්‍රී මහා බෝධින් වහන්සේ
5. පෝය ගෙය (ලෝවාමහාපාය)
6. සංඝයාට ලැබෙන ලාභය බෙදන ලහබත්ගෙය
7. දාන ශාලාව සහ රුවන්වැලි සෑය යන
පූජනීය ස්ථානයන්ය.
කාලයේ දිගු ගමන් මගේදී ජාතික උරුමයන් කෙරෙහි දක්වන අවධානය ගිලිහී යන්නේ
නම් ඉතිහාසයේ ඇතැම් ලක්ෂයන්හි විකෘතිතා ඇතිවීම නොවැළැක්විය හැකිය. ඒ
අනුව 1856 ඉංගී‍්‍රසි රජයෙන් පත් කළ විහාර දේවාල කොමිසම මගින් අටමස්ථාන
වශයෙන්
1. ශ්‍රී මහා බෝධින් වහන්සේ 2. ලෝවාමහාපාය 3. ථූපාරමාය 4. මිරිසවැටිය
5. රුවන්වැලිමහා සෑය 6. අභයගිරිය 7. ලංකාරාමය සහ ජේතවනාරාමය යන ස්ථාන
නම් කර එය 1872 වසරේදී ඉංගි‍්‍රසි ආණ්ඩුව විසින් ඔප්පුවක් මගින්
ප්‍රදානය කරන ලදී.
එපරිද්දෙන් අද අප වන්දනාමාන කරන අටමස්ථාන ස්ථාපිත වී තිබේ. ඒ කෙසේ
වුවත් මෙම අටමස්ථාන ආගමික වශයෙන් සුවිශේෂි වූ ස්මාරකයන් බව පැහැදිලිය.
ශ්‍රී මහා බෝධින් වහන්සේ
අටමස්ථානයන්ගෙන් ප්‍රමුඛ වූ විශේෂ සැමරුමක් ලෙස නම් කර ඇති ශී‍්‍ර මහා
බෝධින් වහන්සේ ඓතිහාසික වශයෙන් සුවිශේෂී වූ ස්මාරකයකි. සමස්ත ලෝකයේම
ලිඛිත සාක්ෂිමත ඇති ජීවමානව පවතින පැරණිතම ශී‍්‍ර මහා බෝධින් වහන්සේය.
මහා විහාර භූමියට අයත් අනුරාධපුර පූජා භූමියෙහි මහමෙව්නා උයනෙහි මෙම
උත්තරීතර වෘක්ෂය රෝපණය කරවන ලද්දේ දෙවනපෑතිස් රජතුමා විසිනි.
බුද්ධ වර්ෂ 237 උඳුවප්පුර පොහෝ දින දඹදිව තාමුලිප්තයෙන් නැව් නැඟී
සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ විසින් ශී‍්‍ර මහා බෝධින් වහන්සේගේ
දක්ෂිණ ශාඛාව දඹකොළ පටුන නැව් තොට වෙත රැගෙන ආ බව වංශ කතා වල සඳහන්ව
තිබේ.
එතැනින් මහා පෙරහරින් අනුරාධපුර මහමෙව්නාව වෙත වැඩමවාගෙන පැමිණි බෝධින්
වහන්සේ රාජද්වාරයේම රෝපණය කරන ලදී. බුද්ධ වර්ෂයෙන් වසර 2323 ක පමණ ඉතා
දීර්ඝ කාලයක් නොනැසී පවතින මෙම අසිරිමත් ඓතිහාසික ආගමික උරුමය ජීවමාන
බදුන් වහන්සේගේ උණුසුම ස්පර්ශ කළ නිසාම එහි පූජනීයත්වය මොනතරම් දැයි
කියා නිම කළ නොහැක.
අනත්තතාපරිමාණ සංසාර චක්‍රයේ යථා ස්වරූපය මනාසේ දැක පරම සත්‍යාවබෝධය
ලබා ගැනීම ‘බුද්ධ යන වචනයේ අර්ථයයි. එම උත්තරීතර ඵලය ලබා ගැනීම උදෙසා
සෙවණ සිසිලස සළසාදෙන ලද යකු නම් වෘක්ෂය බුද්ධියේ වෘක්ෂය බවට පත්විය.
බුද්ධියේ වෘක්ෂය බෝ වෘක්ෂය වෙමින් සමස්ත ලෝක සදැහැති ජනතාවගේ ගෞරව
බහුමානයයට, පූජනීයත්වයට පත්වූ ශී‍්‍ර මහා බෝධින් වහන්සේ මෙම දක්ෂිණ
ශාඛාවට පුද උපහාර දැක්වීම මතින් සංකේතවත් කරන්නේ බෞද්ධ මානවයා සතු
කෘතගුණ සැලකීමේ උදාර පණිවිඩය වේ.
ථූපාරාමය
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ බු.ව. 236 ඉල්මස පුර පසළොස්වක පුන් පෝදා
දෙවනපෑතිස් නිරිඳාණන් වෙත පැමිණ පැවසුවේ සම්බුද්ධ ධාතු වන්දනාව සඳහා
පෙරළා දඹදිව් තලයට වැඩම විය යුතු බවය.
සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන නොවන කල සර්වඥ ධාතු වන්දනාව ජීවමාන බුදුන්
වහන්සේට වැඳුම් පිදුම් කිරීම හා සම වන නිසා අනුබුදු හිමිට මෙම
අවශ්‍යතාවය පැන නැගුණේය.
එසේම ලාංකේය බිමේ’ පිවිතුරු සම්බුදු දහම වඩා හිඳුවා පරිපූර්ණත්වයට පත්
කිරීමට නම් සර්වඥ ධාතුන් වහන්සේ වැඩමවීම අත්‍යාවශ්‍යය.
එසේම අනු බුදු මිහිඳු මහහරතන් වහන්සේ මේ බිමෙහි රඳවා ගැනීමටද රජතුමාට
අවශ්‍ය විය.
ඒ අනුව මහරහතන් වහන්සේගේ නියමයෙන් පූජනීය සර්වඥ ධාතුන් වහන්සේ වැඩමවා
ගැනීමේ පින් ඇති දූත මෙහෙවර වෙනුවෙන් දූතයකු ලෙස යොදවන ලද්දේ සුමන
සාමණේරයාණන් වහන්සේය.
ෂට් අභිඥා ලාභී සුමන සාමණේරයන් වහන්සේ සක් දෙවි පුරයට ඍධියෙන් වැඩමවා
බුදුන් වහන්සේගේ දක්ෂිණ අකු ධාතුව සිළුමිණ සෑයෙන් රැගෙන පැමිණීයේය. එය
නිධන් කර සෑදු ථූපාරාමය ලංකාවේ ඉදිවූ ප්‍රථම ස්ථුපය බව සඳහන් වේ.
එතැන් සිට පැවතෙන ධාතු වන්දනාව මෙන්ම ස්ථූප වන්දනාව අද දක්වාම අඛණ්ඩව
නොනැසී පවතින බෞද්ධ චාරිත්‍රයක් බවට පත් වී තිබේ.
ස්ථූපයේ ආරම්භක පෙනුම ධාන්‍යාකාර විය. 1862 වසරේදී කළ
ප්‍රතිසංස්කරණයෙන්ගෙන් පසුව මෙය ගන්ඨාකාර හැඩතලය දක්වා පරිවර්තනය වී
තිබේ. ලජ්ජිතිස්ස (ක්‍රි.පූ. 119-110) ගෝඨාභය (ක්‍රි.ව. 248-263) අග්බෝ
(ක්‍රි.ව. 604-614) මානවම්ම (ක්‍රි.ව. 648-718) යන රජවරු මෙහි
ප්‍රතිසංස්කරණයන්ට දායක වී තිබේ’. මෙය වටදාගෙයක් සහිත ස්ථූපයක් බවට පත්
කරවන ලද්දේ මානවම්ම රාජ්‍ය කාලයේදී බව කියැවේ.
1215 මාඝ ආක්‍රමණයෙන් ථූපාරාමය විනාශයට පත් වූ පසුව එය පිළිසකර කර
ඇත්තේ 1862 වසරේදීය. මේ ලෙස ලාංකේය ස්ථූප වංශ කතාව ගොඩනැගෙන්නේ
ථූපාරාමයත් සමඟය. වර්තමානයේ ස්ථූපය වටා ඇති වේදිකාවේ වට ප්‍රමාණය අඩි
165 ක් පමණ වෙන අතර පොළවේ සිට උස අඩි 11.4 ක් පමණ වෙයි.
ඉතිරි කොටස ජුනි 09 වනදා පොසොන් අව අටවක පත්‍රයේ පළවේ |