Print this Article


මහින්දාගමනයෙන් අප ලද ශ්‍රේෂ්ඨ දායාදය මහාවිහාරය

මහින්දාගමනයෙන් අප ලද ශ්‍රේෂ්ඨ දායාදය මහාවිහාරය

භික්ෂූන් වහන්සේලා තුන්දහසක් එවකට මහාවිහාරයේ වැඩසිටි බව හයවැනි සියවසේදී ශ්‍රී ලංකාවට පැමිණි ෆාහියන් භික්ෂුවගේ වාර්තාවල සඳහන් වේ. ආරම්භයේ සිටම මහාවිහාරික භික්ෂූන් වහන්සේලා, ධර්මධර විනයධර ඇත්තෝ වූහ. එහි පොහොය ගෙය වූ නව මහලකින් සැදි ලෝවාමහාපාය ,භික්ෂුන් වහන්සේලාට වෙන්කරදි තිබුණු ආකාරය ඊට මනා නිදසුනකි

ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස් කළ ඓතිහාසික සන්ධිස්ථාන දෙකක් අපට හඳුනා ගත හැකිය. ඉන් පළමුවැන්න, ක්‍රි.පූ. හයවැනි සියවසේදී සිදු වූ විජයාගමනයයි. දෙවැන්න ක්‍රි.පූ. 236 පොසොන් පුන් පොහෝ දින සිදු වූ මහින්දාගමනයයි. එහිදී, දඹදිව සිට මෙරටට වැඩම කළ මිහිඳු මහ රහතන් වහන්සේ, ශ්‍රී ලංකාද්වීපයට නිර්මල ථෙරවාදි බුදු දහම නිල වශයෙන් හඳුන්වා දුන්හ. මෙම ඓතිහාසික සිදුවීම පිළිබඳ අපි අතැඹුලක් සේ දනිමු. එහෙත් මහින්දාගමනය ප්‍රායෝගික තලයට ගෙන ආ ‘අනුරාධපුර මහා විහාරය බිහිවීම සහ එයින් සිදු වූ විශිෂ්ට කාර්යය පිළිබඳ අපගේ දැනුම අල්ප බව කිව යුතුය.

මහා විහාරය පිහිටුවීම පිළිබඳ තොරතුරු මහාවංශය, දීපවංශය ආදි වංශකතාවල මෙන්ම සමන්තපාසාදිකාව වැනි ග්‍රන්ථවලද ඉතා සවිස්තරාත්මකව සඳහන් වී තිබේ.

එම තොරතුරුවලට අනුව ක්‍රි.පූ. 236 පොසොන් පුන් පොහෝ දින මිහින්තලාවට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ ඊට පසු දින අනුරාධපුරයට වැඩමකර ජනතාවට දහම් දෙසූහ. දේවානම්පියතිස්ස රජතුමාගේ ඉල්ලීම පරිදි උන්වහන්සේ එදින රාත්‍රිය ගත කළේ මහමෙවුනා උයනේ පිහිටි රාජ මන්දිරයේය. මහමෙවුනා උයන පිහිටා ඇත්තේ අනුරාධපුර ඇතුළු නුවරට යාව, ඊට දකුණින් පිහිටි නන්දන උයනට යාබදව ඊටද දකුණෙනි. සුප්‍රකට ථූපාරාම දාගැබ පිහිටා ඇත්තේ නන්දන උයනෙහිය. පසු දිනට පහන්වූ පසු සිදුවූ අසිරිමත් සිදුවීම සමන්තපාසාදිකාව මෙසේ දක්වයි.

‘රජ තෙමේද වනාහි එම රැයෙහි ඇවෑමෙන් තෙරුන් වහන්සේගේ සමීපයට වැඩමකොට සුවසේ සැතපී විචාළ බැව් විචාරා”ස්වාමීනි, භික්ෂූ සමූහයාට ආරාමයක් කැපද? යැයි විචාළේය. මහරජ කැපය” යැයි වදාරා “මහණෙනි” ආරාමය අනුදනිමි” යන මෙම සූත්‍රය ගෙනහැර දැක්වූ සේක.

රජතෙමේ තුටුවූයේ රන්කෙණ්ඩියක් ගෙන තෙරුන් වහන්සේගේ අතෙහි දිය හෙළා මහමෙව්නා උයන දුන්නේය. ව්ිය වැටීමත් සමඟම පොළොව කම්පාවිය. රජතෙමේ බියපත් වූයේ “ස්වාමීනි, කුමක් හෙයින් පොළොව කම්පාවේද,? යැයි තෙරුන් වහන්සේගෙන් විචාළේය. “මහරජ, බිය නොවන්න. මෙම දිවයිනෙහි බුදුන් වහන්සේගේ සසුන පිහිටන්නේය. මෙය පළමු විහාරස්ථානය වන්නේය. එයට මෙය පෙරනිමිත්තය යැයි වදාළ සේක. රජ තෙමේ බොහෝ සෙයින් පැහැදුණේය.

වංශකතාවේ දැක්වෙන මෙම පළමු විහාරය වූ කලී මෙම පොසොන් පුන් පොහොයට වසර 2251 ක් සම්පූර්ණ කෙරෙන අනුරාධපුර මහා විහාරයයි. ලිඛිත සාධක අනුව ආරම්භ කළ දා පටන් වර්තමානය දක්වා අඛණ්ඩව පවත්නා ලෝකයේ පෞරාණිකම බෞද්ධ විහාරයද අනුරාධපුර මහා විහාරය බව අපගේ විශ්වාසයයි.

මහමෙවුනා උයන මිහිදු මහ රහතන් වහන්සේට පූජා කිරීමෙන් අනතුරුව, දේවානම්පියතිස්ස රජතුමා උන්වහන්සේට දෑසමන් මල් වට්ටියක් පිළිගන්වා තිබේ. උන්වහන්සේ රජතුමා සමඟ මහමෙවුනා උයන පුරා ඇවිද යමින් එහි ස්ථාන හයක් එම මලින්ද තවත් එක් ස්ථානයක් සපු මලින්ද පිදූහ. මෙම අවස්ථා හතේදීම එම මල් පොළොවට වැටෙන්නා හා සමඟම , මහ පොළොව කම්පා වූ බව වංශකතාවල සඳහන් වේ. ඊට හේතු විමසූ රජතුමාට , මිහිඳු මහ රහතන් වහන්සේ පෙන්වා දී ඇත්තේ මහාවිහාරයේ අංග වන සංඝයාගේ කම්මමාලකය, ජන්ථාගාරය සහිත ගිනිහල් පොකුණ මහාබෝධිය, ලහබත් ගෙය, පොහොය ගෙය හෙවත් චතුශ්ශාලාව සහ මහාථූපය එම ස්ථානවල පිහිටන බවයි. මේ අපුර්ව සිදුවීම පිලිබඳ ආචාර්ය වල්පොල රාහුල හිමියෝ සිය “ලක්දිව බුදුසමයේ ඉතිහාසය” කෘතියේ දක්වති.

එදා මිහිඳු මහ රහතන් වහන්සේ අනුරාධපුර මහා විහාරයේ මල් පුදා සලකුණූ කළ ස්ථාන අතුරින්, ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ සහ රුවන්වැලි මහා සෑය වර්තමානයේදි ජීවමානය. සංඝයාගේ කම්මාලකය වූ තැන පිහිටි දකුණූ දාගැබ, ගිනිහල් පොකුණ ලහබත්ගෙය , පොහොයගෙය (ලෝවාමහාපාය) සහ චතුශ්ශාලාව (දාන ශාලාව) යන ඉතිරි අංග පහේ නටබුන් අදත් මහමෙවුනා උයනේ පැහැදලිව විද්‍යමාන වේ. මහමෙවුනා උයන සහිත මෙම ස්ථාන අට ලිඛිත ඉතිහාසයේ, හඳුනාගත හැකි ප්‍රථම අටමස්ථානය වේ.

භික්ෂූන් වහන්සේලා තුන්දහසක් එවකට මහාවිහාරයේ වැඩසිටි බව හයවැනි සියවසේදී ශ්‍රී ලංකාවට පැමිණි ෆාහියන් භික්ෂුවගේ වාර්තාවල සඳහන් වේ. ආරම්භයේ සිටම මහාවිහාරික භික්ෂූන් වහන්සේලා, ධර්මධර විනයධර ඇත්තෝ වූහ. එහි පොහොය ගෙය වූ නව මහලකින් සැදි ලෝවාමහාපාය ,භික්ෂුන් වහන්සේලාට වෙන්කරදි තිබුණු ආකාරය ඊට මනා නිදසුනකි. වංශකතාවලට අනුව ලෝවාමහාපායේ පළමුවන මහලේ මාර්ගඵල නොලද භික්ෂූන් වහන්සේලා ද දෙවැන්නෙ ත්‍රිපිටකධාරි භික්ෂූන් වහන්සේලාද වැඩ සිටියහ. තුන්වැනි සතරවැනි සහ පස්වැනි මහල්වල පිළිවෙළින් සෝවාන්, සකෘදාගාමි සහ අනාගාමි භික්ෂූන් වහන්සේලා වැඩසිටිය. සයවැනි සත්වැනි අටවැනි සහ නවවැනි මහල් මහ රහතන්වහන්සේලාට වෙන්කර තිබිණ. ලෝවාමහාපායේ පමණක් වැඩසිටි භික්ෂුන් වහන්සේලාගෙන් හතරෙන් තුනකටත් වඩා මාර්ගඵලලාභී භික්ෂූන් වහන්සේලා වීමෙන් එකල මහාවිහාරික භික්ෂූන් වහන්සේලා පත්ව සිටිඋතුම් තත්වය වටහා ගත හැකිවේ.

ක්‍රි.පූ.පළමුවැනි සියවසේ වළගම්බා රජතුමාගේ කාලයේදී ඇතිවූ සතුරු ආක්‍රමණ සහ බැමිණිතියා සාය නිසා මහාවිහාරික භික්ෂූහු ඉතා බරපතළ දුෂ්කරතාවන්ට මුහුණ පෑහ.ආහාර හිඟයක් රෝග පීඩාදියත් හමුවේ එතෙක් කල් තමන් කටපාඩමෙන් රැකගෙන ආ ත්‍රිපිටකය සහ අටුවා නොනැසී රැකගැනීමේ අභියෝගයට උන්වහන්සේලා, මුහුණ දුන්හ. මනෝරථපුරණිය උපුටා දක්වන ආචාර්ය ඊ.ඩබ්. අදිකාරම් මහතා සිය පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසමය ග්‍රන්ථයේ මෙම ශෝචනීය තත්වය දක්වයි. අනාගතයේදී මෙවැනි දුෂ්කරතාවක් පැමිණියහොත්, ත්‍රිපිටකයත්, නිර්මල ථෙරවාදි බුදුදහමත් විනාශ වී යා හැකි බව තේරුම් ගත් මහාවිහාරික භික්ෂුන් වහන්සේලා කුන්තගත්තතිස්ස මහතෙරුන් වහන්සේගේ මූලිකත්වයෙන් ලෝවාමහාපායට රැස්වී ඒ පිළිබඳ සාකච්ඡා කර තිබේ. භික්ෂූන් වහන්සේලා , මාතලේ අළුවිහාරයට එක්වී ත්‍රිපිටකය සංගායනා කර එය ග්‍රන්ථාරූඪ කළේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. අදත් මුළු ලෝකයටම නිර්මල ථෙරවාදී බුදදහම සුරැකී පවතින්නේ, අදින් වසර දෙදහසකට පෙර දී මහාවිහාරික භික්ෂූන් වහන්සේලා ගත් එම දූරදර්ශී පියවර හේතුවෙනි.

මේ කාලය වනවිට බොහෝ උගත් භික්ෂූන් වහන්සේලා අනුරාධපුර මහාවිහාරයේ වැඩ සිටියහ. මහා පරිනිබ්බාණ සූත්‍රයේ සයවැනි බණවර අවසානයේ තිබෙන ගාථා පහ ඊට උදාහරණ බව ඔලිවර් දිසානායක මහතා පෙන්වා දී තිබේ. සුමංගලවිලාසිනි කතුවරයාට අනුව මෙම ගාථා සිංහල දේශීය භික්ෂූන් වහන්සේලා විසින් මහාපරිනිබ්බාන සූත්‍රයට ඇතුළත් කර තිබේ. බුද්ධවංශ පාලියේද මීට ඉතා සමාන ගාථා දක්නට තිබෙන බව අබේනායක මහතා දක්වයි. මේ භික්ෂූන් වහන්සේලා මහාවිහාරික භික්ෂුන් වහන්සේලා බවට සැකයක් නැත. මක්නිසාද යත්, ශ්‍රී ලංකාවේ බුදු සසුන ආරම්භ කෙරුණේද, සඟ පරපුර මෙරට පුරා ව්‍යාප්ත වූයේද අනුරාධපුර මහාවිහාරය කේන්ද්‍රකර ගනිමින් වන බැවිනි.

” මහා අට්ඨ්‍ය කථා හෙවත් මූල අට්ඨ කථා “ප්‍රධාන කොටගත් සීහලට්ඨ කථා විසි අටක් මහා විහාරයේ තිබූ බව වංශකතාවල දැක්වේ. මෙම හෙළ අටුවා පාලියට නැගීම පිණිස දඹදිව සිට බුද්ධඝෝෂ හිමියන් ශී‍්‍ර ලංකාවට පැමිණීම, පස්වැනි සියවසේ, බුද්ධදාස රජ සමයේදි සිදුවූ වැදගත් සිදුවීමකි. එසේ වුව එම හෙළඅටුවා එක්වරම බුද්ධඝෝස හිමියන්ට නොදුන් මහාවිහාරික භික්ෂූහු උන්වහන්සේගේ සුදුසුකම විමසා බැලීමට ක්‍රියා කළහ. එය සිදුවූයේ, උන්වහන්සේට ගාථා ද්වයක් ලබා දී, ඊට විවරණයක් ලියන ලෙස ඉල්ලා සිටීමෙනි. බුද්ධඝෝෂ හිමියන් ‘විශුද්ධිමාර්ගය” රචනා කිරීම එහි ප්‍රතිඵලයයි. මෙසේ මහාවිහාරය නිසා අපට ලැබුණූ විශුද්ධිමාර්ගය, බුද්ධ භාෂිතය අලළා ලියැවී තිබෙන සංක්ෂිප්ත වූද අර්ථපූර්ණ වූද අතිවිශිෂ්ට විවරණයක් ලෙස ලෝකයේ අප්‍රමාණ සම්භාවනාවට පාත්‍රවී තිබේ.

ඉන්පසුව මහාවිහාරයේ අනුග්‍රහය ලබමින් එහි ග්‍රන්ථකාර පිරිවෙණේ වැඩිවිසූ බුද්ධඝෝස හිමියෝ පාලි අට්ඨ කථාවලින් අඩකටත් වඩා රචනා කළහ. විනය පිටකයට අයත් “සමන්තපාසාදිකා , කංඛාවිතරණී” සූත්‍ර පිටකයට අයත් සුමංගලවිලාසිනී, පපඤ්චසුදනී, සාරත්ථපඨාසිනී, පරමත්ථජෝතිකා , මනෝරථපූරනී. ධම්මපදට්ඨකථා ජාතකට්ඨකථා, අභිධර්ම පිටකයට අයත් අත්ථසාලිනී, සම්මෝහවිනෝදනී එසේ ලියූ අට්ඨකතාවලින් කිහිපයකි. මේ සැම අටුවාවක් ලිවීමේදීම තමා ගුරුකොට ගත්තේ මහාවිහාරිකයන්ට අයත්ව තිබූ ග්‍රන්ථ බව බුද්ධඝෝෂ හිමියෝ ඉතා පැහැදිලිවම සඳහන් කරති. මේ සියලු ග්‍රන්ථ රචනා කර ඇත්තේ, මහාවිහාරයේ බුද්ධසිරි, සෝන, දාඨානාග, ජෝතිපාල ,කුමාරකස්සප, අත්ථදස්සී, බුද්ධමිත්ත, බුද්ධදේව ඇතුළු මහාවිහාරික භික්ෂූන් වහන්සේලාගේ ආරාධනාවෙනි. මේ නිසා අටුවා වඩ වඩාත් සුරක්ෂිත විය. හෙළඅටුවා ජාත්‍යන්තර භාෂාවක් වූ පාලියට නැගීම නිසා, නිර්මල ථෙරවාදී බුදු දහම ලෝකයට වඩ වඩාත් විවෘත විය.

අග්නිදිග ආසියාව, ප්‍රධාන ලෝකයේ නිර්මල ථෙරවාදි බුදුදහම ප්‍රචලිත කිරීමට සහ ස්ථාවර කිරීමට අනුරාධපුර මහා විහාරයෙන් සිදුවී ඇත්තේ ඉතා විශිෂ්ට සේවාවකි.

එකොලොස් වැනි සියවස් වන විට බෞද්ධ මූලස්ථානය වශයෙන් මුළු අග්නිදිග ආසියාව ශී‍්‍ර ලංකාව පිළිගෙන තිබූ බව ආචාර්ය ආනන්ද ඩබ්.ජී. ගුරුගේ, මහාචාර්ය මැන්දිස් රෝහණධීර ආදි වියත්හු පෙන්වා දෙති. එකල සුවණ්න භූමිය නමින් ප්‍රකට වී තිබුණේ දකුණූ බුරුමය සහ තායිලන්තයේ කොටසකි. ධර්මාශෝක අධිරාජයා සුවණ්න භූමියේ බුදු සසුන පිහිටුවූ නමුත් එය අවිච්ජින්නව පැවති බවට සාධක නැත. ක්‍රි.ව. 1044 දී පගාන්ස්රාජ බව පත් අනුවෘත (අනුරුද්ධ) රජතුමා සහ ලක්දිව පළමුවැනි විජයබාහු රජතුමා අතර පැවති මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලාගේ මාර්ගයෙන් බුරුමයේ ථෙරවාදී බුදුදහම ස්ථාවර වී තිබේ. සියම් දේශයේ බුදුසසුන නංවාලීමට ශ්‍රී ලංකාවෙන් සිදුවූ සේවාව ගුරුගේ මහතා පෙන්වා දෙයි.

බුරුමය, කාම්බෝජය සහ ලාඕසය තෙක් ථෙරවාදි බුදුසමයේ ව්‍යාප්තිය, ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගෙනම සිදුවූ බව හේමපාල විජයවර්ධන සහ පී.බී. මීගස්කුඹුර යන විද්වත්හු පෙන්වා දෙති. දේවසාර නම් ශ්‍රී ලාංකික භීක්ෂුණීන් වහන්සේ නමක්, පස්වැනි සියවසේදි භික්ෂුණී ශාසනයට අදාළ උපසම්පදාව ඇති කිරීම පිණිස චීන අධිරාජයාගේ ආරාධනාවෙන් ශ්‍රී ලංකාවේ මහ රජු චීනයට යවා තිබේ. එම භික්ෂුණී ශාසනය චීනය පුරා ව්‍යාප්ත වූ බව හේමපාල සහ මීගස්කුඹුර විද්වත්හු තවදුරටත් පෙන්වා දෙති. මෙලෙස අන්තර්ජාතික ධර්මදූත සේවාවේ යෙදුණ. මේ සියලුම භික්ෂූ භික්ෂුණීන් වහන්සේලා අනුරාධපුර මහාවිහාරික අයම වූහ. අදින් සියවස් තුනකට පමණ පෙර යළිත් සියම් දේශයෙන් මේ රටට උපසම්පදාව රැගෙන ආවද, ඊටත් පසු කාලීනවය බුරුම දේශයෙන් පැවිදි බව ලබා එම සම්ප්‍රදායට අයත් භික්ෂූන් වහන්සේලා ශී‍්‍ර ලංකාවේ’ බිහිවුවද එම රටවල්වලට නිර්මල ථෙරවාදී බුදුදහම රැගෙන ගියේ මහාවිහාරයෙන් වීම අප අමතක නොකළ යුතු ඉතා වැදගත් සත්‍යයකි.

එබැවින්, මහින්දාගමනය නිසා අප ලද ශ්‍රේෂ්ඨතම උරුමයක් වන අනුරාධපුර මහාවිහාරය, නිර්මල ථෙරවාදි බුදුදහම ලෝකයට නොනැසී සුරක්ෂිත කිරීමට මෙන්ම,ලොව පුරා ව්‍යාප්ත කිරීමටද සිදු කර ඇත. මිල කළ නොහැකි සේවාව බෞද්ධ ඉතිහාසයේ සදානුස්මරණීය එකක් වී තිබේ.