Print this Article


මිහින්තලේ ඓතිහාසික පුරාණය

මිහින්තලේ ඓතිහාසික පුරාණය

ශ්‍රී ලාංකේය බෞද්ධ ඉතිහාසේ මෙන්ම සිංහල සංස්කෘතියේ ද වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් වන කාල පරිච්ඡේදයක් ලෙසින් ක්‍රිස්තු පූර්ව තෙවැනි සියවස සැලකීම නිවැරදිය. අදවන් පොසොන් පුර පසළොස්වක් පොහෝ දිනක සිය පුත් වූ මිහිඳු හිමියන් ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, භද්දසාල, සුමණ සාමණේර හා භණ්ඩුක උපාසකගෙන් සැදුම්ලත් පඤ්ච ධර්මදූත කණ්ඩායමක් ලක්දිව බුද්ධශාසනය පිහිටුවීම අරභයා පිටත්කොට එවීමද ශාසනික වශයෙන් සිදු වූ ආගමික වශයෙන් මෙන්ම ශාසනික වශයෙන් සිදු වීම වැදගත් කරුණක් ලෙසින් සැලකිය හැකිය.

මිහිඳු හිමියන් ප්‍රමුඛ ධර්මදූත කණ්ඩායම ලක්දිවට වැඩමකොට මිහින්තලාවේ අම්බස්තලයේදී රජුට දහම් දෙසා තෙරුවන පිළිබඳ හැඟීමක් හා දැනීමක් ඇති කිරීම ලක්දිව බෞද්ධ ශාසනයේ ආරම්භක පියවර සනිටුහන් කරයි. මිහින්තලයෙන් ආරම්භ කළ මිහිඳු හිමියන් ප්‍රමුඛ ධර්ම දූතයන් වහන්සේලාගේ ශාසනික මෙහෙය රජුගේ සිට සාමාන්‍ය ජනතාව දක්වා සැමට සමානාත්මතාවයෙන් පිරිපුන් ශාසනික හා සංස්කෘතික කාර්යදාමයක් සඳහා අවතීර්ණවීමට මේ හෙළිකිරිමක් වූ අතර ලක්දිව ඉතිහාසය එතෙක් ගමන්කළ මඟ වෙනස් මාවතකට යොමු කිරීමට බලපෑ ප්‍රධාන එක් සාධකයක්ද විය. එබැවින් සිංහල ශිෂ්ටාචාරයේ උල්පත වූ මිහින්තලය ශ්‍රී ලංකා ඓතිහාසික භූමිකාව තුළ සුවිශේෂිත ස්ථානයක් අතීතයේ සිට වත්මන දක්වා හිමි කරගෙන ඇත.

ශි‍්‍ර ලංකාවේ සෑගිරිවෙහෙර හෙවත් චේතියගිරිය හා මිස්සක පව්ව යනු අතීතයේ සිට මිහින්තලය හැඳින්වූ නාමයෝ වෙති. මිහිඳු හිමියන් සහ දේවානම්පියතිස්සයන් පළමුව හමුවූයේ මිස්සකපව්වේදීය. මිස්සක යන්න සංස්කෘත මිශ්‍රක පර්වතයට යනුවෙන් නම් ලැබුවා විය හැකිය. එහි අරුතද උයන යන්නයි. වෛදික සාහිත්‍යයේ සඳහන්වන ඉන්ද්‍ර දෙවියන්ගේ නන්දන නම් උයනට ව්‍යවහාර වූ තවත් නාමයක්ද වේ. පාණිනිගේ ග්‍රන්ථයෙන් මේ බව තවදුරටත් තහවුරු වේ. මුලදී අඹරුවකින් ගැවසීගත් හෙයින් අම්බස්තලය වූවාක් මෙන්ම පසුව මිහිඳු හිමියන්ගේ වැඩමවීමෙන් පසු පළමුව ධාතුන් වහන්සේලා ගෙනවිත් තැබූ ස්ථානයට වන නිසාත් මිහිඳු මාහිමියන්ගේ භෂ්මාව තැන්පත්කොට මිහිඳු සෑය කරවීමත් මිහින්තලයේ වෙහෙර විහාරයන් ඇතිවීමත් සමඟ චේතිය පබ්බත හෙවත් චේතියගිරිය නම් විය. සිංහලෙන් සෑගිරිය නම් විය. බුදුරදුන්ගේ අකු ධාතුව හා පාත්‍රා ධාතුව සුමණ සාමණේරයන් වහන්සේ විසින් අශෝක රජු වෙතින් ලබාගෙන එය පළමුව වැඩම වන ලද්දේ මිහින්තලයටය. පසුව එහි දී මිහිඳු හිමියන් වෙත භාර දී තිබේ. උන්වහන්සේ එම ධාතුන් වහන්සේලා එහි තැබූහ. ඒ හෙයින් මිස්සක පර්වතය වේචික පබ්බත නම් විය. පාත්‍රා ධාතුව සෑගිරියේම තැබු අතර පසුව අකුධාතුව මහානාග වනයට ගෙන ගොස් එහි නිදහන් කොට ථූපාරාමය කරවූයේය. මිහිඳු හිමියන්ගේ ඇසුර නිසා මෙම කලාපයට මිහින්තලය ලෙසින් ව්‍යවහාරයට පත් වන්නට ඇතැයි අනුරාධ සෙනෙවිරත්න අදහස් කරයි. එදා මිහිඳු හිමියන් ප්‍රමුඛ ධර්මදූතයන් වහන්සේ ලක්දිවට වැඩම කළ දින මිස්සක පර්වතය මුදුනේ පැවැතියේ ඉන්ද්‍ර දේවියන් වෙනුවෙන් පැවැති උත්සවයකි. එදින නැකත් කෙළි දිනයකි. අවුරුද්දේ වැසි පතා ඉන්ද්‍ර දේවියන් වෙනුවෙන් පැවැත්වූ උත්සවයකි. වැස්ස වළාහක දෙවියන් වෙනුවෙන් පැවැති උත්සවයක්ය යන්න ගත් විට ජෙට්ඨ මූලක නැකත් කෙළිය වූ කලි දිය කෙළියෙන් හා දේව පූජාවන් ගෙන් සමන්විත වූ සශ්‍රීක්තවය බලාපොරොත්තුවෙන් සිදු කළ උත්සවයකි. ඒ අනුව ප්‍රාග් මහින්ද යුගයේ සිටම මිහින්තලය ආගමික වශයෙන් වැදගත් වුවද මහින්දාගමනයත් සමඟ පුණ්‍ය භූමියක් ලෙසින් එහි වැදගත්කම තවදුරටත් වර්ධනය විය.

භාරතීය ශ්‍රමණ සම්ප්‍රදාව නියෝජනය කරමින් වඩාත් සංවිධිත වූ සංවිධානයක් ලෙසින් සමාගත වූ සංවිධානාත්මක බවින් තොර වූ ආගම් රැසකින් හෙබි සමාජයකට දෙලොවට වැඩ සැලසෙන සංවිධානාත්මක ආගමක් ලෙසින් බුදුදහම ලක්දිව වැසියනට හඳුන්වා දෙනු ලැබුවේ මිහිඳු හිමියන් ප්‍රමුඛ ධර්ම දූත කණ්ඩායම මිහින්තලයට වැඩම කරවීමෙන් පසුවය. එදා මිහින්තලයේ දී පාලකයා ප්‍රමුඛ සැමට තමන් ධර්මරාජයන් වහන්සේලාගේ ශ්‍රාවකයන් වන්නෙමු යන ප්‍රකාශයත් සමඟ භික්ෂුව පිළිබඳ පළමු දැක්ම හා ආකල්පය ශී‍්‍ර ලාංකේයන් තුළ ඇති කරනු ලැබුවේ මිහින්තලා භූමිය තුළ සිටය. ඒ අනුව බුදුරදුන්ගේ ශ්‍රාවකයන් වූ කසාවතින් බබළන භික්ෂුව පළමුවෙන් ලක්වැසියන් හඳුනාගනු ලබන්නේ අම්බස්තලයේදීය. එබැවින් ශ්‍රී ලාංකේය භික්ෂූ ශාසනයේ ආරම්භය සනිටුහන් වූ භූමිය ලෙසින්ද මිහින්තලයට විශේෂ වැදගත් කමක් හිමිවේ. භණ්ඩුක උපාසක මහණ කිරීම ඔස්සේ ලක්දිව පළමු පැවිද්දේ උරුමයද මිහින්තලය හිමිකර ගනියි. එමෙන්ම පළමු භික්ෂුව වාසස්ථානය ලෙසින් ඉතිහාසගතවන්නේද මිහින්තලයයි. මිහිඳු හිමියන් ප්‍රමුඛ පළමු ධර්මදූත පිරිස ලක්දිවට වැඩම කළ දිනයේ උන්වහන්සේලා පළමු රාත්‍රිය ගත කරනුයේ මිහින්තලයෙහිය. එමෙන්ම පළමු වස් සමයේදී වස්කාලයද ගත කිරීමට තෝරාගනු ලබන්නේ මිහින්තලයයි. රජු පළමු පැවිද්ද ලද ශ්‍රී ලාකේය භික්ෂු පිරිසද ඇතුළු වන ලෙසින් භික්ෂුවාසය සඳහා අටසැට ලෙනක් දේවානම්පියතිස්ස රජු විසින් මෙහි සකසන ලද්දේය. භික්ෂුවගේ පළමු වාසස්ථානය ලෙසින් ලෙන පත්වීමත් සමඟ පසුව“ ලක්දිව සියලු තැන්හි භික්ෂුවාසය සඳහා ගල්ලෙන් පිළියෙල කළ බව ඇති ලෙන් ලිපි හා ලෙන්වලින් සනාථ වේ. සිවුදෙසින් වැඩම කරනු ලැබූ භික්ෂූන් විෂයෙහි මෙම ලෙන් පූජා කොට තිබේ. ඒ අනුව දේවානම්පියතිස්ස රජු විසින් ඉදිකරන ලද පළමු අටසැට ලෙන ලක්දිව ලෙන් සම්ප්‍රදායේ ආරම්භය සනිටුහන් කරයි. ගල්ලෙනක වෙසෙමින් පිණ්ඩපාතයෙන් ලත් ආහාරයෙන් සිය ජීවිතය ගෙන යමින් පරාර්ථය සිය අරමුණ කොට සරල ජීවන මාර්ගයක ගමන් කළ භික්ෂුව ශී‍්‍ර ලාංකේය සමාජය තුළට ඇතුල්වීම දේශීය සංස්කෘතියේ පරිවර්තනයේ ආරම්භයේ මුලාවස්ථාව විය. එමෙන්ම ශ්‍රී ලාංකේය ආරාම පරිණාමයේ මූලයද චේතියගිරිය බව පැහැදිලිය.

වසර දෙහස් තුන්සිය ගණනක් මුළුල්ලේ මෙරට දේශනා කරනු ලබන බුදුරදුන්ගේ ධර්ම දේශනාවන්හි මූලාරම්භයද මිහින්තලයයි. එදා රජු ඇතුළු හතළිස් දහසකට චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කිරීමත් සමඟ ධර්මදේශනා කිරීමේ ක්‍රමවේදය හා එමඟින් ලැබෙන ආශිර්වාදය පිළිබඳ නිර්වචනය පළමුවෙන් ලබාගනු ලැබුවේද තෙරුවන හඳුනාගනිමින් තෙරුවන් සරණ ගිය පළමු ශී‍්‍ර ලාංකේය කණ්ඩායම බිහිවන්නේද මිහින්තලයෙනි. එතැන් සිට තෙරුවන සරණයමින් බුදුසමයේ ආභාසයට ලක්වූ වැසියනට මෙතෙක් තමා විශ්වාස කළ දේව, නාග, යක්ෂ හා මළවුන් පිදීම වැනි විශ්වාසයනට මෙන්ම ගස් ගල් පර්වත සරණගොස් සිටි පිරිසට නව අර්ථකථනයක් යටතේ තමාගේ ස්වාමිත්වය ගැන විශ්වසනීයත්වය වර්ධනය කර ගැනීමට මිහිඳු හිමියන් විසින් දේශනා කළ මුල් ධර්ම කොට්ඨාශයන් තුළින් මෙන්ම භික්ෂූන් දෙසූ දහමින් ද හැකිවිය. පුද්ගල චරියාවේ වටිනාකම හා ආත්ම සංයමයේ උසස් බව වටහා දෙමින් සදාචාරාත්මක මාවතකට පුද්ගල ක්‍රියාකාරිත්වය බද්ධකරන ආකාරය සිංහල සමාජයට හඳුන්වාදීමට මිහිඳු හිමියන් ප්‍රමුඛ ධර්මදූත කණ්ඩායම කටයුතු කිරීම කෙටිකලක් තුළ බුදුදහම ලක්දිව පුරා සීඝ්‍රයෙන් පැතිරයාමට හේතු වූ කරුණක් වෙයි. මිහින්තලයේ අම්බස්ථලයේ දී ලක් පාලකයා ප්‍රමුඛ රාජකීය පිරිසගෙන් ආරම්භ කළ දේශනා මාලාව අවසන් වූයේ ඈත පිටිසර ගම්දොරිනි. භික්ෂුව විසින් ගෙන ගිය මෙම සුචරිතවාදි පිළිවෙත දේශීය ජන ජීවිතයේ ආධ්‍යාත්මික පෝෂකත්වයට මුල් වූ අතර ජන දිවියේ සැකැසුමේ මූලාවස්ථාවන් ප්‍රදර්ශනාත්මකව සමාජය තුළ ඉස්මතුවීමට වැඩි කලක් ගත නොවීය. පඤ්චශීලයෙන් ශික්ෂණය ලද ජනතාව අවිහිංසාව සිය ජීවිතයේ පදනම් කරගනිමින් කෘෂිකර්මයෙන් සිය ජීවනෝපාය සරු කරගත්හි නොපෙනෙන දෙවියන් වෙනුවට තිසරණය ජීවිතයට ළඟා කරගත් අතර ගස් ගල් සරණ යාම වෙනුවට බුදුන් වහන්සේගේ පාරිභෝගික වස්තුවක් වූ බෝධියටත් චෛත්‍යයටත් එම ස්ථානය හිමිකර දෙමින් එතෙක් පැවැති විශ්වාසයනට වඩා අර්ථාන්විත සංස්කෘතියකට උරුමකම් කීමට අවශ්‍යය පසුතලය සකස් කර ගත්හ.

ඉතිරි කොටස ජුනි 09 වනදා පොසොන් අව අටවක පත්‍රයේ පළවේ.