Print this Article


බුදුසසුනේ චිරස්ථිතිය පැතූ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණෝ

බුදුසසුනේ චිරස්ථිතිය පැතූ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණෝ

ඩී.ආර්. විජයවර්ධන පරපුර සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදොස අනූපමේය සේවයක් කළ පරපුරකි. බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශය පාරිශුද්ධියට පත් කැලණිය රාජමහා විහාරස්ථානයේ නව විහාර කර්මාන්තය ඉටුකරන ලද්දේ දෝන හෙලේනා විජයවර්ධන ළමාතැනිය විසිනි. කැලණි විහාරය අභිනව චිත්‍ර කර්මාන්තය සෝලියස් මැන්දිස් මහතා ලවා කරවා එය දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ බුද්ධාලම්භන පී‍්‍රතිය වඩන විහාරස්ථානයක් බවට පත් කෙළේද, ලෝ පතළ චිත්‍ර කලා රසිකයන්ගේ අග්‍රගණ්‍ය කලාගාරයක් බවට පත් කළේද හෙලේනා විජයවර්ධන ළමාතැනී විසිනි.

එතුමිය ගේ පුත් දොන් රිචඩ් විජයවර්ධන හෙවත් ඩී.ආර්. විජයවර්ධන සූරීන් දකුණුූ ආසියාවේ විශිෂ්ටතම පුවත්පත් ආයතනය ලෙස ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති සමාගම (ලේක්හවුස්) ප්‍රතිෂ්ඨාපනය කොට සම්බුද්ධ ශාසනයත් සිංහල ජාතියත් පෝෂණය කිරීමෙහිලා ගත් පියවර ඉතිහාසගත වී ඇත.

1909 එච්.එස්. පෙරේරා විසින් ආරම්භ කරන ලද දිනමිණ පත්‍රය මිලදී ගෙන 1919 සිට එය ජාතික නිදහස උදෙසාත් ජාතියේ අභිවෘද්ධිය උදෙසාත් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසාත් උපයෝගි කර ගත්තේය. 1915 උඩරට ගිවිසුමට සිය වසරක් සපිරෙද්දී එංගලන්තයට ගෙන ගොස් ලන්ඩන් නුවර වෙල්සි රෝහලේ තැන්පත් කර තිබුණූ ලංකාවේ සිංහ කොඩිය දේශමාමක ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතා විසින් සොයා ගැනිණි. ලන්ඩනයේදි එහි වර්ණ මුද්‍රණ අච්චුවක් සාදාගෙන ලංකාවට ගෙනා ඩී.ආර් විජයවර්ධන සූරීන් 1915 උඩරට ගිවිසුමට සියවස පිරුණුදා දිනමිණ පත්‍රයේ මහනුවර අන්තිම රජවූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේත් වෙන්කත රංගම්මුල් බිසවගේත් ඡායාරූප දෙක සමඟ සිංහ කොඩියේ ඡායාරූපයද ප්‍රථම වරට වර්ණයෙන් දිනමිණ පත්‍රයේ පළ කරවීය.

1915 අපේ‍්‍රල් 5 වැනිදා දිනමිණ පත්‍රයේ ධර්ම පද සපද්‍ය විවරණ යන හිසින් ධම්මපද ගාථා සිංහල පරිවර්තනයක් පළ කළේ ය. මනෝ පුබ්බංගමා ධම්මා ගාථාව සිංහල පද්‍යයට නඟා තිබුණේ මෙසේය.

මනස පෙරදැරිහ වෙයි නැ දැරූ කඳ
මනස සෙට මනසමින් නිපනහ එකඳ
මනස පදොස කැරකිව කළ එයිනි තද
විවස දුක එඅනුවෙයි සෙසක ගෙනු පද

1939 ඔක්තෝබර් 18 වැනිදා අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ කොත් පැළඳවීමේ මහෝත්සවයට ප්‍රමුඛස්ථානයක් දෙයි. 1939 ඔක්තෝබර් 18 වැනිදා ප්‍රථම පිටුවේ ප්‍රධාන සිරස්තලය පලවන්නේ මෙසේය. හතළිස් දහසකගේ සාධූ නාද මධ්‍යයේ පටන් ගත් උත්සවය රුවන්වැලි චෛත්‍ය රාජයාගේ කොත් පැළඳවීම

පුරාණ ලංකාවේ චාරිත්‍ර ධර්මයන්ගේ හා ශ්‍රී විභූතියේ ප්‍රතිරුත්ථාපනය

ජය ශ්‍රී මහා බෝධි විහාරයෙන් පැමිණි මහා පෙරහැර සිරස්තලවලින්ද වෙඩි මුර පහක් පැවැත්වීමේ පුවත හා මහාසෑයේ ඉතිහාස කතාවද පළකරයි. 1929 දී දිනමිණ වෙසක් විශේෂ අතරේකයක් ලෙස ලේක්හවුසිය දිනමිණ වෙසක් විශේෂාංගයක් නිකුත් කරයි. එතැන් පටන් සෑම වෙසක් උත්සවයක් වෙනුවෙන්ම සාරගර්භ ධර්ම සංග්‍රහයක් ලෙස දිනමිණ නිකුත් කර ඇත.

1931 අගෝස්තු 1 වැනිදා අනගාරික ධර්මපාල තුමාගේ වියෝවද ප්‍රමුඛ පුවතක් ලෙස පළකරනුයේ මෙසේය.

දඹදිව බරණැස් නුවරින් ලැබුණු සංවේගජනක ප්‍රවෘත්තිය ලංකාවේ බෞද්ධ ජනතාවට සිදුවූ විපත සිරිදේවමිත්ත ධම්මපාල ස්වාමීන් වහන්සේගේ අපවත්වීම

1933 මැයි 8 වැනිදා දිනමිණ ප්‍රමුඛ පුවත් වන්නේ සම්බුද්ධ ජන්මෝත්සවයට සූදානම්වීම යන්නයි. දිනමිණ පුවත්පත ආරම්භක අවදියේ සිටම වෙසක් පොසොන් දුරුතු පොහොය නිමිත්තෙන් විශේෂ අතිරේකද මහනුවර දෙවුන්දර කතරගම ඇසළ උත්සව වෙනුවෙන් විශේෂාංග පළකිරීමෙන්ද පසළොස්වක පෝය දොළහටම පළමු පිටුවේ ධර්මානුශාසනයක් පළ කිරීම චාරිත්‍රයක් බවට පත් කර ගත්තේය.

එපමණක්ද නොවේ. ලේක්හවුස් ඉංගිරිසි පත්තර සිලෝන් ඩේලිනිව්ස් සහ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත්වලද බුද්ධ ධර්මය පිළිබද විශේෂාංග හා අතිරේක පළකිරීම විජයවර්ධන සූරින් විසින් අනිවාර්ය කර තිබිණි. එසේම එවක පැවැති ඉංගිරිසි පත්තර සුද්දන් ඉලක්ක කර නිර්මාණය වූ අතර ලේක්හවුස් ඉංගිරිසි පුවත්පත් සිංහල සංස්කෘතිය අපේ උරුමය සහ බුද්ධ ධර්මය පිළිබඳ ලිපිවලින් යුක්තවීම වැදගත් කොට සැලකිය යුතුය.


රංජිත් විජයවර්ධන

දිනමිණ පත්‍රයේ අනුග්‍රහය ඇතිව සාරගර්භ ධර්ම ශාස්ත්‍රීය ලිපි කවි ආදිය ඇතුළත් විශේෂ ධර්ම සංග්‍රහයක් දිනමිණ වෙසක් කලාපය නමින් නිකුත් කිරීම ආරම්භ කරන ලද්දේ ක්‍රි.වර්ෂ 1933 හෙවත් ශ්‍රී බු. වර්ෂ 2477 සිටය. එවක බුදුදහම වැලඳගත් බටහිර පඬිවරුද බටහිිර පැවිදි පක්ෂයද Ceylon Daily News `Vesak Annual  හෙවත් ඩේලිනිව්ස් වෙසක් කලාපයට ලිපි සපයා ඇති බව පෙනේ. මුල් අවදියේ වෙසක් කලාපවලට ලිපි ලියූ පැවිදි පඬිරුන් අතර පැළෑණේ ශ්‍රී වජිරඥාන කොත්මලේ ශී‍්‍ර ධර්මානන්ද වටද්දර මේධානන්ද, දැවමොට්ටාවේ සාසනසිරි, ගොඩගම විපුලසාර, කොටවිල සිද්ධාර්ථ ගොඩඋඩ සුමනතිස්ස ආදී මහ සඟරුවනද මහාචාර්ය ධර්මසිරි රත්නසූරිය මහාචාර්ය ගුණපාල මලලසේකර එවක පුරා විද්‍යා අධිකාරි ඇම්. සම්සුදීන් ආම වෛද්‍ය ජී.එම්.ඩී. කුමාරදාස ඇෆ්. ජී. වියර්ස් ,ඩී.ඇම්. ඒ විජයවර්ධන,හක්ගල්ලේ පී.කේ. ඩී. සෙනෙවිරත්න මීමන පේ‍්‍රමතිලක, ඇස්.පී. චාල්ස් වැනි පැවිදි පඬිවරුද වෙති. 1933 සිට මේ දක්වා පළකළ දිනමිණ වෙසක් කලාපය පිළිබඳ ගවේෂණාත්මක හැදෑරීමක් කිරීමෙන් ලේක්හවුස් ආයතනය ධර්ම සන්නිවේදනය වෙනුවෙන් කරන ලද මාහැඟි මෙහෙවර කවරේදැයි නිගමනයකට එළඹිය හැකිය.

1965 පියසේන නිශ්ශංක සූරීන්ගේ කර්තෘත්වයෙන් ආරම්භ කරන ලද බුදුසරණ පත්‍රය මෙරට ධර්ම සන්නිවේදන ක්‍රියාවලියේ අතිශය වැදගත් සන්ධිස්ථානයක් ලෙස අගැයීමට ලක්වියයුතු වන්නේය.

එදා මෙදා තුර වෙසක් උත්සවය, පොසොන් උත්සවය, ඇසළ උත්සවය ඇතුළු බෞද්ධාගමට වැදගත් උතුම් පසළොස්වක පොහොය දොළහ අරබයා විශේෂ අතිරේක පළ කරමින් මෙරට ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාව බුද්ධාලම්භන පී‍්‍රතියෙන් ඔද ගැන්වීමටත් මෙරට බෞද්ධ ජනතාව පිළිවෙත් සරු සැබෑසැදැහැති බෞද්ධ ජනතාවක් බවට පත් කිරීමටත් බුදුසරණ පත්‍රය අඩ සිය වසරක් කළ මෙහෙවර අනූපමේය වෙයි. මල්වතු අස්ගිරි මහ නා හිමිවරන් ප්‍රමුඛ මෙරට මහ සඟරුවනේ දායකත්වය ඇතිව මෙරට ජනතාව වෙත බුද්ධධර්මය පිළිබද සැබෑ අවබෝධයක් ඇති කරලීමට සාරගර්භ ධර්ම ලිපි පළ කරමින් මෙරට දහම් පාසල් සිසු දරු දැරියන්ගේ ධර්මඥානය, වර්ධනය කරමින් ගුණවත් සමාජයක් බිහි කිරීමට ‘බුදුසරණ” පත්‍රය කළ මෙහෙවර විශිෂ්ටය. 2500 සම්බුද්ධ ජයන්තිය 2550 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය ඇතුළු ශාසන වංශ කතාවේ අතිශය වැදගත් සැම අවස්ථාවකදීම බෞද්ධ ජනතාව පෙළගැස්වීමෙහිලා බුදුසරණ පෙරමුණේ සිටී. ලේක්හවුස් ආයතනය බුද්ධ ශාසනයේ අභිවෘද්ධියත් චිරස්තිථියත් පතා ආරම්භ කළ මිහින්තලේ ආලෝක පූජාව මෙරට සෙසු මාධ්‍ය ආයතනවලට ප්‍රබල පූර්වාදර්ශයක්ද මග පෙන්වීමක්ද කළ බව පොසොන් උත්සවයට ප්‍රධාන ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානවල පවත්නා ආලෝක පූජෝත්සව දෙස බලන විට පැහැදිලිය.

ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව ආගමික වශයෙන්ද සංස්කෘතික වශයෙන්ද අතිශය වැදගත් පොසොන් පොහොය ශ්‍රී සද්ධර්මය රැගෙන මිහිඳු මහ රහතන් වහන්සේ මිහින්තලා පුද බිමට වැඩම කළ උතුම් දවසය. ශ්‍රී ලංකික ජන සමාජයට ජාතික සංස්කෘතික ප්‍රබෝධයක් උරුම කළ මේ උතුම් ලංකාගමනය සිදුවූ ඓතිහාසික පූජා භුමිය වන මිහින්තලා පූජා භූමිය බුදුසරණ පත්‍රය, දිනමිණ පත්‍රය හා ඒකාබද්ධව ආරම්භ කළ ආලෝක පූජාව 53 වසරක් අඛණ්ඩව පවත්වාගෙන යෑම ඉතිහාසගත වන වැදගත් සංසිද්ධියකි.

ප්‍රථමයෙන්ම මිස්සක පව්ව ආලෝකවත් කිරීමේ කාර්යය ඉටුකරන ලද්දේ ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් විසිනි. එතුමාගේ අභිමතාර්ථය මස්තකප්‍රාප්ත කරමින් 1963 දී ලේක්හවුස් සභාපති පදවියට පත් රංජිත් විජයවර්ධන ශී‍්‍රමතුන් විසින් මිහින්තලා පුදබිමත් දාගැබත් විදුලි ජනක යන්ත්‍රානුසාරයෙන් ආලෝකවත් කිරීම ආරම්භ කෙරිණි. එදා මෙදා තුර පොසොන් පොහොය සමයේ මේ ඓතිහාසික පුදබිමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ට රාත්‍රි කාලයේද මිහින්තලා පව්ව තරණය කර වැඳ පුදා ගැනීමේ අවස්ථාව උදාවිය. කාලයාගේ ඇවෑමෙන් ලංකා විදුලි බල මණ්ඩලයත් ශාසනාලයැති ව්‍යාපාරික අනුග්‍රාහක භවත්හුද මේ වැදගත් ක්‍රියාවලියට දායකත්වය දැක්වූහ. මිහින්තලේ ආලෝක පුජාවට සමගාමීව ඓතිහාසික මිහින්තලේ මහ විදුහලට ගොඩනැගිල්ලක් ඉදිකර දිනමිණ, බුදුසරණ පුස්තකාලය නමින් අංගසම්පූර්ණ පුස්තකාලයක් පරිත්‍යාග කිරීම මිහින්තලේ කනිටු විදුහල් භූමියේ දන්ත චිකිත්සාගාරයක් පිහිටුවීම කුරන්දන්කුලම විදුහලය වඩු කාර්මික මධ්‍යස්ථානයක් ලබාදීම මිහින්තලා මහා විද්‍යාලයට පරිගණක මධ්‍යස්ථානයක් ප්‍රදානය කිරීම, උඩ මළුවේ දොළොස් මහ පහනක් සහ ඊට යෝග්‍ය මැදුරක් ඉදිකිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පොහොය ගෙයක් ඉදිකිරීම ලේක්හවුස් ආයතනය ඉටු කළ ශාසනික කටයුතුවලින් කිහිපයකි. එසේම ඓතිහාසික මිහින්තලා පුද බිමේ සෑරදුන් සුණුපිරියම් කර අලංකාරවත් කිරීම ඇතුළු ප්‍රතිසංස්කරණ කටයුතු රාශියක්ද බුදුසරණ අනුග්‍රහයෙන් සිදුකර ඇත. මෙම ජුනි 2 වැනිදා යෙදෙන පොසොන් පොහොය නිමිත්තෙන්ද මිහින්තලේ ආලෝක පූජාව ඇතුළු පින්කම් රැසක් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට ලේක්හවුස් ආයතනයේ සභාපති කාවන් රත්නායක මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය සියලු විධිවිධාන යොදා ඇත. ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම දිනමිණ, බුදුසරණ ප්‍රමුඛ පුවත්පත් එක්ව අඛණ්ඩව සම්බුද්ධ ශාසනයේ චිරස්තිථියත් අභිවෘද්ධියත් වෙනුවෙන් කරන්නාවු ශාසනික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමට අධිෂ්ඨාන කරගෙන සිටින බව විශේෂයෙන් සඳහන් කල යුතුය.