මහින්දාගමනයෙන් ආලෝකවත් වූ ලක්දිව
අනුරපුර අභයගිරි
රජමහා විහාරාධිකාරී,
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය
ආචාර්ය
කල්ලංචියේ රතනසිරි හිමි
සමණාමයං මහාරාජ
ධම්ම රාජස්ස සාවකා
තවෙව අනුකම්පාය
ජම්බුදීපා ඉධාගතා
“මහරජ ධම්මරාජයන් වහන්සේගේ ශ්‍රාවකයන් වූ අපි බෞද්ධ ශ්‍රමණයෝ වෙමු. ඔබට
ම අනුකම්පා පිණිස ජම්බුද්වීපයෙන් මෙහි පැමිණියම්හ. යන අභීත නාදයෙන්
අනුබුදු මිහිඳු මාහිමියන් විසින් උදාකළ අභිනව සංස්කෘතිය හේතු කොට ගෙන
විශාලතම සමාජ විපය¸ාසයත් ආධ්‍යාත්මික විප්ලවයත්, චින්තන ප්‍රබෝධයත් ලක්
වැසියන් අතර ඇතිවිය. මිහිඳු හිමියන් විසින් ඉගැන් වූ පිළිවෙත් මඟ
සාමකාමී එකක් විය. චාම් දිවි පෙවෙතක් විය. රට හදන උපදෙස් මාර්ග කියා
දෙන භික්ෂූන් වහන්සේ රජු ඇතුළු සියලු රටවැසියාට ම මහඟු ආදර්ශයක් විය.
ලක්දිව හැම ගමක ම විහාරාරාමයන් පිහිටුවන ලදී.
ඒවා සිංහල සංස්කෘතියේ කේන්ද්‍රස්ථාන බවට පත්විය. අනුරපුර මිහින්තලා
කන්දෙන් පැන නැගී ලංකාවේ දශ දිශාවට ගලා ගිය නිර්මල ධර්ම ගංඟාව නිසා
සියලු සිංහලයෝ බෞද්ධයන් බවට පත්වූහ. අධර්මයෙන් වෙළී, දුසිරිතෙන් බර වී,
අවිද්‍යාවෙන් මුළා වී පැවැති මේ දිවයිනේ අනුබුදු මිහිඳු මාහිමියන්
විසින් සදහම් මිණිපහන දල්වා සියලු ගණාන්ධකාර දුරුකොට අපේ රට
සද්ධර්මාලෝකයෙන් ඒකාලෝක කරන ලදී. සිංහලයාගේ ඇස් ඇරුණේ, නුවණැස පහළ වූයේ
සත්‍ය ධර්මාලෝකය උදා වූයේ, සමස්ත ලංකා ධරණීතලය ම සදහම් ආලෝකයෙන් එළිය
වැටුණේ මේ උත්තරීතර ඓතිහාසික මහින්දාගමනයෙන් පසුව ය. ගස් ගල් පර්වතවලට
පුද පූජා කරන්නවුන්, මළවුන්, යකුන් අදහන්න වුන්, ක්‍රමයෙන් තුරන්
වෙද්දී සදහම් අමා පණිවුඩය ලංකාවේ අස්සක් මුල්ලක් නොහැර පැතුරුණේ ය.
බෞද්ධ ප්‍රතිපත්තීන් මත සැකසුණු බෞද්ධ ශිෂ්ටාචාරයක් පැන නැගී ස්ථිර
පදනමක් අනුව බුදුදහම හෙළ දිව මුල් බැස ගියේ ය. මෙසේ සත්‍ය ධර්මයෙන්
ආශිර්වාද ලත් සිංහලයෝ ක්‍රමයෙන් ප්‍රබුද්ධ පරිසක් බවට පත් වූහ.
ලක්දිව තිබෙන ජාතික හා ආගමික නෂ්ටාවශේෂයන්ගෙන් අපට ප්‍රදර්ශනය වන්නේ
හෙළ කලාවේ උපත බුදුසමයෙන් එනම්, මිහිඳු යුගයෙන්, පසුව ආරම්භ වුණු බවය.
අලි, කොටි, වග වලසුන්, වැනි බිහිසුණු සතුන්ගේ වාස භූමීන් බවට පත්ව
තිබුණු විශාල ගල් ගුහා ලොව්තුරා මිහිර කැවුණු විහාර ලෙන් බවට පත්
වූයේත්, වනයේ තිබෙන මහ කඵ ගල්වලට කරුණා, මෛත්‍රී, සමාධි ගුණ කැවී
සිංහලයාගේ කලා කාමීත්වය ඔප් නංවමින් ශාන්ත බුදු පිළිම බවට පත් වූයේත්,
වන සතුන්ගේ කෙළි බිම් බවට පත්ව තිබුණ විශාල වන පෙදෙස් රමණීය
විහාරාමයෙන්ගෙන් හා අලංකාර මාලිගාවන්ගෙන් ද මනහර
පුෂ්පෝද්‍යානයන්ගෙන් ද සිත්කලු පොකුණුවලින් ද යුත් ඓතිහාසික ජයභූමීන්
බවට පත් වූයේත් බුදු සමය නිසා ය.
මේ අයුරින් ලංකා භූමියේත් සිංහල මිනිසාගේත් එක් එක් අංශයන් ගෙන් බලන
විට මහින්දාගමනයත් සමඟ ඇති වුණු බෞද්ධ ප්‍රභාවෙන් දීප්තිමත් නොවුණු
එකදු අංශයක් හෝ ඇතැයි කිව නොහැකි ය. සිංහල ඉතිහාසයේ ස්වර්ණමය යුගයක්
යැයි නම් කළ හැකි යම් යුගයක් වේ නම් ඒ සියල්ල ම මහා මහින්ද ශ්‍රී නාමයට
බැඳී ඇති ණයගැතිභාවය පිළිබඳ නොනැසෙන සිහිවටන යැයි කීම ඉතාම අඩුවෙන්
කීමක් මිස අතිශයෝක්තියක් නම් නොවිය හැකිය. ගුණයෙන් වේවයි, ධර්මයෙන්
වේවයි. ප්‍රතාපයෙන් වේවයි, උච්චස්ථානයකට නැංවුණු යම් ම සිංහල
මනුෂ්‍යයෙක් වේ නම් භාග්‍යවන්ත පුරුෂයා මහා මහේන්ද්‍ර මහරහතන් වහන්සේගේ
සුවිනීත අතවැස්සකු වීමට පින්කළ කෙනෙකැයි කීම කිසිම විදියකින් ඔහුට
කෙරෙන නිගරුවක් නොවිය හැක. විචිත්‍ර චරිතයෙන් වේවයි, කාරුණික ගුණයෙන්
වේවයි, ආදර්ශ සම්පන්න පැවැත්මෙන් වේවයි, ජන ප්‍රසාදයටත් ගුණ කථනයටත්
පාත්‍ර වුණු ස්ත්‍රී රත්නයකැ යි කිවහැකි කවර හෝ සිංහල වනිතාවක් වේ නම්
ඇය පරසතු මලින් පිදිය යුතු මහා මහේන්ද්‍ර ගුණ කදම්බය වන පස මලින් පුද
කළ දුගී දැස්සකැයි හඬ නගා කීම කිසිම විදියකින් මදි පුංචිකමක් නොවිය
හැක.
මේ අත්‍යුත්තම පොසොන් පුනු පොහෝ දිනය වූ කලි දීපප්‍රසාදයක මහා
මහේන්ද්‍ර අනු බුද්ධයන් වහන්සේ පිළිබඳවත් දඹදිව අශෝක නරනාථයන්
පිළිබඳවත් අතිවිශිෂ්ට අනුස්මරණයන් එකිනෙක පෙරට ගෙන එන අතිශයින්ම වැදගත්
අති පාරිශුද්ධ දිනයෙකි. මේ අතිශ්‍රේෂ්ඨ මහා පුරුෂයන් පිළිබඳව, අති
සම්භාවනීය චරිතාපදානයන් පිළිබඳ එක්වන් මෙනෙහි කිරීම මෙදින කළ හැකි මහා
කුශල කර්මයක් වන්නේ ය. විසිතුරු සිද්ධීන්ගෙන් විචිත්‍ර වුණු අශෝක
චරිතාපදානය දෙස නෙත් කොණින් හෙළන බැල්මක් වුව ද හැම බෞද්ධ සිතකට ම මහත්
ආලෝකයක් ගෙන දීමට තරම් හැම අතින්ම ප්‍රබලය. එතුමා විසින් ගිරි, පුවරු,
ටැම් ආදියෙහි කොටවා තමන් සතු මහා රාජ්‍යයෙහි තන්හි පිහිටුවන ලද ධර්ම
ලිපිවලින් අංශු මාත්‍රයක් කියවා මෙනෙහි කිරීම වුව ද සියල් සත්නට වැඩ
සාදාලීමෙහි එකසේ පොහොසත් ය. බෞද්ධ සභ්‍යත්වයෙහි දරුවා නැළවුණු තොටිල්ල
යැයි ඉතිහාස විශාරදයන් විසින් විවරණය කරනු ලබන මිහින්තලය ගැන පොසොන්
පොහෝදා මෙනෙහි කරන ඕනෑ ම බෞද්ධයකු වුව ද ප්‍රසාද සංවේගයෙන් ඇළලී යනවාට
කිසිම සැකයක් නැත. මහා භාරත අධීරාජ්‍යය වැනි ඓශ්චය්‍යයකින් අනූන වූ
දේශයක සිංහාසනය අලුයම ලූ කෙළ පිඬක් මෙන් ඉවත දා මිහින්තලාවේ ගල් ලෙනක්
තුළ මුළු ජීවිත කාලයම ගෙවමින් සිංහල රටටත් සිංහල මිනිසාටත් නොනැසෙන
ආලෝකයක් ගෙන දුන් අනුබුදු මිහිඳු මාහිමියන් වෙනුවෙන් බැඳී ඇති ණයබර
පොසොන් පොහෝදා වැඩි වැඩියෙන් පෙනී යතොත් ඒ අතිශයින් ම ස්වාභාවිකය.
මිහිඳු උදාවත් සමඟ ම ඇති ව පරම්පාරවෙන් පරම්පරාවට පැවැත ආ උසස් බෞද්ධ
ප්‍රතිපදාවේ නිර්මල අංග ඔබෙනුත් ආරක්ෂා වී අනාගත පරම්පරාවේ උරුමයක්
හැටියට තබා ජාතියේ උදාර රුධිරය එයින් පෝෂිත කළ යුතු යැයි අවංක
අධිෂ්ඨානයක් බවට පත්කර ගත හැකි නම්, ඔබ උදාර සිංහල බෞද්ධයකු වීමේ මූල
ප්‍රණිධිය සම්පූර්ණ කළ කෙනෙකැයි ඉතා ගර්වයෙන් සිහිපත් කළ හැකි වනු ඇත.
බුදු සමයේ ශුභ කීර්තිය කැටි ගැසුණු කලක් මෙන් අනුරාධපුර මහා මෙවුනා
උයනේ මහාබෝධිය, රුවන්මැලි සෑය, ථූපාරාමය, ජේතවනය, අභයගිරිය,
මිරිසවැටිය, ලෝවාමහාපාය, ඉසුරුමුණිය, වෙස්සගිරිය ආදී පුජනීය ස්ථානත්
මිහින්තලා අපරාජිත ශුද්ධ භූමියේ කණ්ඨක චේතිය, අට සැට ලෙන් අම්බස්ථල
චෛත්‍යය ආදී පූජනීය ස්ථානයත් පහළ වූයේ මහින්දාගමනය නිසා ය. සිසිල් දිය
පිරුණු දෙවැනි මුහුද වැනි කලාවැව, තිසාවැව, මින්නේරියවැව, පරාක්‍රම
සමුද්‍රය වැනි මහා වැව් හෙළ දිව තැනින් තැන නිර්මාණය වූයේත්, උතුරු මැද
මහා නිම්නය රමණීය කෙත් යායක් බවට ක්‍රමයෙන් පරිවර්තනය වූයේත්, පොසොන්
පුනු පොහෝදා ලැබුණු සම්බුද්ධ ධර්ම දායාදය කරණ කොට ගෙනය. පණ්ඩුකාභය
යුගයෙන් පසු මේ සිංහල රටේ උසස් දියුණුවක් උදා වූයේ මහින්දාගමනයෙන්
පසුවය. සිත කය දෙකින් ම හැම ලෙසින් මෙසේ සැනසුණු සිංහලයෝ නිර්මල සිංහල
බෞද්ධ සංස්කෘතියක නිර්මාතෘවරයෝ වූහ.
මහා සාගර වැනි ගැඹුරු නුවණින් හෙබි දිඹුලාගල කාශ්‍යප, ශාරිපුත්‍ර,
ශ්‍රී රාහුල වැනි සඟරජ හිමිවරුන්, ධර්මසේන හිමි, වෑත්තෑවේ හිමි,
මයුරපාද පරිවේණාධිපති බුද්ධ පුත්‍ර හිමි, වීදාගම මෛත්‍රී හිමි, ගුරුළු
ගෝමී, හා දෙවන පැරකුම්බාවන් වැනි මහා පඬිවරුන් බිහි වූයේත් බුදු සමය
නිසා ය. අපේ සිංහල සාහිත්‍යයට ධර්ම ප්‍රදීපිකාව, අමාවතුර, බුත්සරණ,
දහම් සරණ, සඟ සරණ, සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, ජාතික පොත, කව්සිළුමිණ,
කාව්‍යශේඛරය, ගුත්තිලය, බුදුගුණාලංකාරය, ලෝවැඩ සඟරාව හා සුභාෂිතය වැනි
ගද්‍ය පද්‍ය ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථයන් බිහි වූයේත් බුදු සමය නිසා ය.
මෙසේ සිංහලයන්ගේ ලෞකික ලෝකෝත්තර හැම දියුණුවකට ම මුල් වූයේ මිහිඳු
මාහිමියන් විසින් ඇති කොට වදාළ බුදු සමය බව කිවයුතු ය. සිංහලයන්ගෙන්
කිසිදු ගෞරවයක් බලාපොරොත්තු නොවී හුදු කරුණාවෙන් යුතුව තම මාතෘ භූමිය
හැර දමා ලංකා ද්වීපයට වැඩමවා අර්ධ ශත වර්ෂයකට අධික කාලයක් මුළුල්ලෙහි
කරන ලද උදාර ශාසනික සේවය සිංහල ජාතියත් ලංකා සම්බුද්ධ ශාසනයත් පවත්නා
තාක් අමරණීය ව පවතිනු ඇත. මිහිඳු මාහිමියන් ප්‍රධාන ධර්ම දූත පිරිස මුණ
ගැසුණු මිස්සක පවුවෙන් හමා එන සුළං රැල්ල පවා සිංහල සැදැහැතියාගේ ගතට
සිතට ලබා දෙනුයේ විශාල සැනසිල්ලකි. අවුරුදු පතා ලක්ෂ ගණන් බැතිමතුන්
මිහින්තලා පව්වට නැඟ සැනසුම් සුසුම් හෙළන්නේ මිහිඳු මාහිමියන් විසින්
එහි සිට අරඹන ලද ලංකා ද්වීපය ගුණ නුවණින් ප්‍රතාපවත් කළ මහා උත්තමයන්
වහන්සේ කෙනෙකුට කරන කෘතෝපහාර දැක්වීමක් වශයෙනි. |