Print this Article


බුදුදහමින් ඔපවත් ව අපේ ජන කවිය

බුදුදහමින් ඔපවත් ව අපේ ජන කවිය

ජන කවිය වූ කලි පැරණි ගම්බද ජනයාගේ එදිනෙදා දිවි පැවැත්ම ඇසුරු කරගෙන උපන් විශිෂ්ට සාහිත්‍යාංගයකි. ව්‍යාජ සාටෝප සාඩම්බර ගති පැවතුම්වලින් තොර වූ හිස පුරවා ගත් මහා දැන උගත්තකම්වලින් බර නොවු සැහැල්ලු එහෙත් වඩාත් හරවත් ජීවන දැක්මකින් හා විවෘත සදාචාර සම්පන්න ගති පැවතුම්වලින්ද සරු වූ ගැමි ජීවිතය ජන කවියෙහි උල්පත වූයේය. ඒ ගැමියනට සුවිසල් මහ මන්දිවරල සුව පහසු යහන් නොවූයේය. රසමසුවුලු සහිත අහර ද නොවිණි. රන්, රිදී ,මුතු, මැණික්, යාන වාහන හෝ කසි සළු, රන්සළු ද ඔවුන් සතු නොවීය. එහෙත් ඔවුහු ලද පමණින් සතුටු වැ අපිස් සතොස් ගුණයෙන් සරු වැ නිහඬ නිස්කලංක හා ශිෂ්ට සම්මත ජීවිත ගත කළෝය.

ගමේ ගහකොළ, ඇළදොළ, කඳුහෙල්, මිටියාවත් , කෙත්වතු ඔවුන් තුළ පැවති ඒ හැදියාවටම අනුබල දෙමින් අව්‍යාජත්වයක්, රසකාමිත්වයක් එක් කළ බව නොරහසකි. ගමට ආවේණික වූ ඒ සැහැල්ලු එහෙත් හරවත් දිවි පැවැත්ම එසේ හැඩගැස්වීමට මුල්වූයේ බුදුදහමයි. ජන කවියට ගැමි අත්දැකීම් මෙන්ම ජීවිතාවබෝධයද පිළිබිඹු කරන කැඩපතක් වැනිය. එය ඔවුන් දිවි ගැටගසා ගැන්ම පිණිස කළ විවිධ වෘත්තීන් සමඟ වෙසෙසින්ම බැඳී පවතී. වී ගොවිතැන, හේන් ගොවිතැන, පතල් කර්මාන්තය, කරත්ත පැදවීම, පාරු පැදීම ආදි විවිධ ග්‍රාමීය ජිවිකා වෘත්තී ඇසුරු කර ගත් එබඳු රසබර ජන කවි ඔවුන්ගේ වෙහෙස නිවන්නටත්, රසවිඳින්නටත් උපකාරි වූයේය. ඒ හැර විවිධ ගැමි ක්‍රීඩා ඇසුරින්ද ජන කවිය ප්‍රභවය ලබා තිබේ.

ප්‍රතිභාව එනම් අපූර්ව නිර්මාණ කෞශල්‍යය, ද ව්‍යුත්පත්තිය එනම් පැසුණු නුවණද , සතතාභ්‍යාසය එනම් කාව්‍යමය ප්‍රකාශන විෂයෙහි වන පරිචය ද ප්‍රකට කළ මුඛ පරපුරින් පැවත එන එම පද්‍ය නිර්මාණ ගැමියාගේ උසස් කවීත්වයට දෙස් දෙයි. චිරන්තන සම්භාව්‍ය පද්‍ය කලාවට අයත් ක්‍රමවේදයන් හා සීමා නියමයන්ගෙන් ආවරණය නොවු ජන කවිය රස හර ඉස්මතු කරලීමෙහි වඩාත් සමත් වූ බවද පෙනේ. ඒවා නිතැතින්ම ගැමි මුවින් ගලා ආ අපූර්ව ගීතමය නිර්මාණ වූයේය. හිස පුරවා ගත් පාණ්ඩිත්‍යයෙන් තොර වූ බැවින් ගැමියෝ නිදහස්ව සිය අව්‍යාජ වූ සිතැඟි කවියට නැඟීමට සමත් වූහ. ගැමි පරිසරය සිසාරා ගිය ඒ ජන කවි අතර ඔවුන් බුදුදහමින් ලද පෝෂණය වෙසෙසින්ම ප්‍රකට වෙයි. මේ එක් නිදසුනකි.

රන් විමනේ සිටිමුත් දුක නැති වෙද්ද
පැණි මීයේ කෑ මුත් බඩගිනි නැද්ද
මිණි බරණින් සැදුමුත් ගත නොදිරද්ද
පැණි වරකා ගහටත් හෙණ නොවදිද්ද

මෙය උපහරණ කවියකි. අපේ ගැමියන් බුදු බණ තුළින් ජීවිතය දුටු හැටි මින් පෙනෙයි. රත්රන් විමානයක බොහෝ සරුසාර ව සිටිය ද සසර දුක මිනිසාට උරුමය. ඉපදීම, ලෙඩ වීම, මහලුවීම, මරණය ඉක්මවා යා නොහැකිය. ගැමි සොබාදහම නිපදවන මිහිරිතම කෑම නම් මී පැණිය. බලවත් සතුටින් ආශාවන් කෑවේ ඒ මී පැණිය. එහෙත් එය තාවකාලික මිහිරකි. මී පැණි කෑවද නැවත බඩගිනි උපදියි. මුතු , මැණික් අබරණින් මේ කය සරසා ගත්තද මෙය දිරන සුළු කුණු කයක්ය. අනිත්‍යය. අසාරය. දුකය. ගහ පැණි වරකා ගහක් වුවද එයටත් හෙණ ගහයි. ජිවිතය කෙතරම් උපභෝග පරිභෝග සම්පතින් ආඪ්‍ය වුවද දුක මිනිසාට උරුම වන්නේය.උචිත රූපකද භාවිත කරමින් සිය අත්දැකීම් හා පරිසරය ඇසුරින් ගැමියකු කවි බණඛක් කී හැටි මින්පෙනේ. මේ තවත් එබඳු නිමැවුමකි.

කල් බලා නොවෙද ගොවිතැන් කරන්නේ
මල්වරා නොවෙද කිරිවැද පැසෙන්නේ
පව් කළා නොවෙද පිං පල නොදෙන්නේ ලොවුතුරා බුදුන් කවදද දකින්නේ

වී ගොවිතැනින් දිවි ගෙවු ගැමියෝ සිය අත්දැකීම්ද මුසු කර සසර පැවැත්මට තුඩු දෙන කර්මයද, සසර නැවැත්ම වූ නිවන ද එසේ කවියෙන් කීහ. කල්යල් බලා ගොවිතැන් කළ යුතුය. වැසි කල නියං කල නොබලා කරන ගොවිතැන නිසි පල උදා නොකරයි. පිනද එබඳුය. එය පල දෙන්නේද නිසි කලටය. කළ පව් ඇති’ විට පින් පල නොදෙන්නේය. මේ සසර පැවැත්මය. ගොයම කිරි වැද පැසෙන්නට නම් මල් වැරිය යුතුය. ඉවරයක් නැති දුක් සැප උදා කරන මේ සසරින් මිදි බුදුන් දැක නිවන් දකින්නේ කවදා දැයි ගැමියාට උපන් ඒ බුදු බණ සිතිවිල්ල එසේ කවියක් වූයේය. ගැමියන් කෙතරම් අපූරුවට සියදිවි පැවැත්ම තුළින් බුදු බණ තේරුම් ගෙන සිටියේ දැයි මින් පෙනේ.

ගොවිතැන ඔහුට සසරද, පින් පව් ද කියා දුන්නේය. නැවත නැවතත් සසර ඉපිද දුක් විඳිතියි වදාළ බුදු බණද මේ ගොවිතැනෙහි නිමක් නොපෙනෙන්නා සේ සසරෙහිද නිමක් නොපෙනේ යැයි දඹදෙණි දවස ධර්මසේන හිමියන් සද්ධර්මරත්නාවලියෙහි කීවම ද මෙම පද්‍ය අසන්නෙකුට සිහිපත් වෙයි. පවක විපාකය දුක යැයි බුදු බණ උගන්වයි. දුක දිළිඳු ගැමියාට හුරු පුරුදුය. මේ ඒ ඇසුරින් උපන් කවියකි.

ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට
කන්නේ කරවලයි රට හාලේ බතට
බොන්නේ බොර දියයි පූරුවේ කළ පවට
යන්නේ කවදාද මව්පියො දකින්නට

ඔහු දුරු රට ගොස් සිටියි. ඒ ගමින් බැහැරවය. පතල් කම්කරුවකු වූ මේ ගැමියාට හෙවන වී ඇත්තේ දුම්බර පිහිටි මහ කළුගලකි. ඔහුගේ වාසය එතැනය. ගමේ උපදින අල බතලින්ද, පලා කොළ ඇඹුලින්ද හේ දුරස්ව සිටියි. කන්නේ කරවල හොද්දත් රට හාලේ බතත් පමණි. එය ඔහුට නීරසය. ගමෙහි සිසිලස ඇති සුපිරිසුදු උල්පතකින් වෑහෙන දිය ඔහුට නැත. බොන්නේ දුම්බර බොර දියයි.මේ දුකින් මිදී සුව එළවන මව්පියන් දක්නට ගමට යන්නේ කවදා දැයි ඔහුට සිතේ. අපේ ගැමියෝ තදින්ම පින්පව් ඇදහූහ. ඔහුට පෙනෙන පරිදි ඒ පතල් දුක පවෙහි විපාකය. එයින් මිදී සැප ලබන්නේ කවදා දැයි උපන් අහිංසක සිතිවිල්ල හෙතෙම එසේ කවියට නැඟුවේය. මේ ගැමියන් තුළ කර්මය අරබයා පැවති දැනුම ප්‍රකට කරන තවත් ජන කවියකි.

තණ්ඩලේ දෙන්නා දෙපොලේ දක්කනවා
කටුකැලේ ගාල නොලිහා වද දෙනවා
හපුතලේ කන්ද දැකලා බඩ දනවා
පව් කළ ගොනෝ ඇදපන් හපුතල් යනවා

මේ කරත්ත කවියකි. කරත්තය අදින ගොනු පසුපස රිය සක ඇදි එන්නා සේ පව් කළ තැනැත්තා පසුපස දුක ඇදි එන්නේ යැයි වදාළ බුදු බණ සිහියට නංවන මේ කවියද ගැමි අත්දැකීම් ඇසුරින්ම උපන්නකි. මේ ගැල්කරු දුෂ්කර වූ කඳු සහිත මගෙක ගැල පදවමින් කී කවියකි. ඔහුට හපුතලේ මහ කන්ද ඉදිරියෙන් පෙනේ. බඩ දන්නෙ එහි උස දකින විටය. ඒ කන්ද නැඟීම නම් මහ දුකකි. එහෙත් යා යුතුය. පව් කළ විට දුක් විඳින්නට සිදුවෙයි. සිය දිවි පැවැත්ම හා දහම එක්කර ගත් මේ කවියා තුළ මහා බරක්ද ඇදගෙන කඳු නඟින ගොනා කෙරේ ඇත්තේ අනුකම්පාවකි. ගොනු විඳින දුක ගැමියාටද දැනේ. පෙනේ.

නහින දෙහින කාලෙට පින් කෙරුම යුත
වහින කලට කුරින් විල්වලින් වත
බහින දියෙන් දෝතක් මුත් ගතොත් ඇත
පනින රිලවුන්ට ඉනිමං කමක් නැත

එක් අතකින් මිනිස් දුබලකම්වලට එල්ල කෙරෙන සියුම් උපහාසයද ඇණුම්පද ස්වරූපයද අනෙක් අතින් පුළුල් ජීවිතාවබෝධයද කැටි කර ගත් මේ කව මද සිනහවකින් ම ගායනා කළ බව නිසැකය. නහින දෙහින කාලෙට එනම් මහලු වියේ දීවත් පින්දහම් කර ගත යුතුය. එහි පල විපාක ලැබෙන්නේ නිසි කලටය. ඒ වැසි කලට විල් උතුරා කුරින් ගොඩට එන්නාක් මෙනි. මේ සංසාරගත ජීවිතයෙන් ගත යුතු එකම ඵලය වන්නේද පින්දහම් කර ගැනීමය.උපදින ජීවිතය මහලු විය තෙක් ගලා ගොස් නිමවෙයි. එබැවින් එසේම මියෙන්නට පළමු පින් කළ යුත්තේය. ඒ පින මැ පරලොව ද පිහිට වෙයි. බහින දියෙන් දෝතක් වුව ද ගත් තැනැත්තාට එය ඵලදායක වන්නාක් මෙනි.