Print this Article


සිංහල රටේ ප්‍රථම මහණ උපසම්පදාව

සිංහල රටේ ප්‍රථම මහණ උපසම්පදාව

ශ්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නෙහි පොසොන් පුර පසළොස්වක් දා මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීමෙන් ලංකා, සම්බුද්ධ ශාසනය ආරම්භ වූ බව අපේ ශාසන ඉතිහාසය කියයි. ඒ අතර ඊට ප්‍රථම බුද්ධ ධර්මය පැවැති බවත් බෞද්ධයන් සිටි බවත් ඇතැම්හු කියති. මේ කියුම් දෙක මැ සත්‍යයයි.

බුදුරජාණන් වහන්සේ තෙවරක් ලංකාවට වැඩම කළ බවත් උන්වහන්සේගේ ධර්මය ශ්‍රවණයකොට ඇතැම් අය මාර්ගඵල ලැබූ බවත් අපේ පොත්වල මැ සඳහන් වෙයි. තවද දේවානම්පියතිස්ස රජුට පෙර ඉන්දියාවේ සිට පැමිණි බෞද්ධයන් මෙහි වාසය කළ බවත් සඳහන් වේ. එහෙයින් මිහිඳු මහරහතන් වහන්සේට පෙරැ බෞද්ධයන් සිටියා යයි කීමෙහිද සත්‍යයක් ඇත. එහෙත් අපේ පොත්වල සඳහන් වන පරිදි යම් කිසි ධර්මයක් යම්කිසි රටෙකැ පිහිටීම පිළිබඳ ප්‍රධාන ලක්ෂණයන් එකකුදු පහළ වී නැත. එනම් පිළිගැනීම, පිහිටීම, මුල්බැස ගැනීම යන කරුණු තුන මැ සිදු වූයේ මිහිඳු මහරහතන් වහන්සේ පැමිණි අවස්ථාවෙහි ය.

මිහිඳු මහරහතන් වහන්සේ පැමිණි අවස්ථාවෙහි දේවානම්පියතිස්ස රජතුමා ප්‍රධාන පිරිස බණ අසා පැහැදි බුද්ධ ධර්මය මේ රටෙහි ජනතාවගේ ආගම හැටියට පිළිගන්නා ලද බව අපේ ඉතිහාසයෙහි සඳහන් වෙයි. බුද්ධ ශාසනයෙහි පිහිටීම වශයෙන් සැලැකෙන සීමා බන්ධන නම් වූ විනය කර්මය සිදු කිරීම ද මීට පෙරැ සිදුවී නැත. මේ කටයුතු ද අවසාන වී ටික දිනකට පසු මහරජතුමා මිහිඳු මහරහතන් වහන්සේගෙන් ඇසුවේ ‘ස්වාමීනි, දැන් රටෙහි බුදුසමය පිහිටා අවසානය ද යන්නයි’ මහරජ, මේ රටෙහි බුද්ධශාසනය පිහිටා ඇත. එහෙත් මුල් බැසගෙන නැත යනු මහරහතන් වහන්සේගේ පිළිතුර වීය. එවිට රජතුමා, ස්වාමීනි බුද්ධ ශාසනය මේ රටෙහි මුල් බැසගන්නේ කෙසේදැයි නැවතත් ඇසීය. ‘මහරජ සිංහලද්වීපයෙහි දෙමාපියන් ගේ සිංහල කුල පුත්‍රයකු, සසුන් ගත වැ. මහණ උපසම්පදා ලබා විනය ඉගෙන විනයධර වැ ශාසන භාරය ගන්නා තුරු ශාසනය මුල් බැසැ ගත්තා වන්නේ නැතැයි පිළිතුරු දුන්හ. පසු වැ අරිට්ඨ කුමාරයන් සසුන් ගත වැ මහණ උපසපන් ලබා විනය හදාරා විනය සංගායනාව කිරීමෙන් සම්බුද්ධශාසනය මුල් බැසැ ගන්නා ලදී. මේ කරුණු නිසා ලංකා ශාසනය ආරම්භ වූයේ මිහිඳු මහරහතන් වහන්සේගෙන් යැයි කියනු ලැබේ.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට එවන ධර්මාශෝක රජතුමා බෝ පිරිවර වශයෙන් නානා ශිල්ප ශාස්ත්‍රය උගතුන් රැසක් ද එවන ලද බව වංශ කතාවන්හි සඳහන් වෙයි. එයින් ආගමික වශයෙන් පමණක් නොවැ සාමාජික වශයෙන් ද ලංකාවේ සිංහල පරිවර්තනයක් ඇති විය.

අභිෂේක ලත් දේවානම්පියතිස්ස රජතුමා බෞද්ධයකු වශයෙන් නැවැත වර අභිෂේක කිරීමෙන් සමාජ පරිවර්තනය ආරම්භ කරන ලද්දේ අභිෂේක මංගල්‍යයට බෞද්ධ මුහුණුවරක් දීමෙනි සිංහලයන් බුද්ධ ධර්මය පිළිගත් ආකාරයට ලෝකයෙහි අන් කිසි මැ ජාතියක් බුද්ධ ධර්මය නොපිළිගන්නා ලදැයි කිව යුතු වේ. එසේ කිවයුත්තේ සිංහලයා සතුවැ තැබුණු ආගම ශිෂ්ටාචාරය ආදී හැම දෙයක් මැ හැරැ දමා බුද්ධාගමත් බෞද්ධ ශිෂ්ටාචාරයත් ආදී කොට ඇති හැම දෙයක් මැ සම්පූර්ණයෙන් මැ පිළිගත් බැවිනි. මෙයින් ඇති වූ සමාජ පරිවර්තනය කෙතරම් දැයි කිවහොත් බුද්ධාගම නැතිදාට සිංහල ජාතියත් නැත්තට මැ නෑ. බුද්ධාගමයෙන් තොර සිංහලයකුත් නෑ. සිංහලයාට බුද්ධාගමයෙන් තොර කිසිවකුත් නෑ යනු සිංහලයන්ගේ සිද්ධාන්තයන් වී ඇත.

බුද්ධාගමයෙන් සිදු වූ සමාජ පරිවර්තනය කොතරම් විශිෂ්ට දැයි පෙන්වීමට එකම නිදසුනක් දක්වාලමි. මිහිඳු මහරහත් හිමියන් වහන්සේ වැඩම කරන්නට පෙරැ ද පොසොන් උත්සවය සිංහලයාගේ ජාතිකෝත්සවයක් ව පැවතිණි. එහි වූ නොයෙක් කෙළි සෙල්ලම් අතරට දඩයමේ යෑම එක් කොටසක් විය. ඒ බව එදා රජතුමා ප්‍රධාන දහස් ගණනක් ජනයා මිහින්තලාවේ මුව දඩයමේ ගොස් සිටි පුවතින් පහැදිලි වේ. එහෙත් අද පොසොන් උත්සවය කුරා කුහුඹුවකුට වත් හිංසාවක් පීඩාවක් නැති පූජෝත්සවයෙකි.

මේ කරුණු අනුව, සිංහල ජාතිය බුද්ධාගම නිසා ඔප් නැඟුණු සැටිත් අභ්‍යන්තරික වශයෙන් පමණක් නොවැ බාහිර වශයෙන්ද දියුණු වූ සැටිත් නුවණීන් සලකා බලා ඒ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කැරැගන්නටත් ඒ ධර්මය අනුවැ ජීවිතය සකස් කැරැගැනීමෙන් ඇතුළතින් පමණක් නොවැ පිටතින් ද මෙලොවින් පමණක් නොවැ පරලොවින් ද දියුණු වන්නට මේ පොසොන් පොහොදා ඉටා ගන්නේ මැනැවි.