පොසොන් පුන් පෝදා සිදු වූ අසිරිමත් සිදුවීම
කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක
කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික
සහකාර විදුහල්පති
ගල්කිස්ස බෞද්ධායතනාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී
ත්‍රිපිටකාචාර්ය
දිවියාගහ
යසස්සි නා හිමි
ඓතිහාසික තොරතුරු විමසන විට පොසොන් පුර පසළොස්වක පොහෝ දින වැදගත්
සිදුවීම් රාශියක් ම සිදු වී ඇති බව පෙනී යයි. ඒ අතුරෙන් මිහිඳු මහ
රහතන් වහන්සේ ප්‍රධාන ධර්මදූත පිරිස ශ්‍රී ලංකාවට සැපත්වීම, මිහිඳු
මාහිමියන් විසින් ප්‍රථම වරට ලංකාවේ දී ධර්ම දේශනාවක් පැවැත්වීම, ලක්
රජතුමා ප්‍රධාන පිරිස තෙරුවන් සරණ යාම, ලංකාවේ දී ප්‍රථම වරට පැවිද්ද
සහ උපසම්පදා විනය කර්මයක් සිදු කිරීම යන කරුණු විශේෂ ස්ථානයක් ගනී.
ඉන්දියාවේ පාලනය ගෙන ගිය ධර්මාශෝක අධිරාජයාණන්ගේ අනුග්‍රාහකත්වයෙන්,
මොග්ගලී පුත්තතිස්ස මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් දහසක් පමණ භික්ෂූහු
එකතුව පැළලුප් නුවර අශෝකාරාමයේ දී තෙවන ධර්ම සංගායනාව පැවැත්වූහ. එහි
අවසානයේ දී බුදුදහම ව්‍යාප්ත කිරීම අරමුණු කොටගෙන රටවල් නවයකට ධර්මදූත
පිරිස් පිටත්කොට යැවූහ. එම රටවල් අතුරෙන් එක් රටක් වූයේ ශ්‍රී ලංකාවයි.
අශෝක රජතුමාගේ පුත් මිහිඳු මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවේ
වේදිසගිරියෙන් පිටත්ව ආ ධර්මදූත පිරිසට ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල
යන උපසපන් රහත් භික්ෂූහු ද, මිහිඳු මාහිමියන්ගේ සහෝදරියක වූ සංඝමිත්තා
කුමරියගේ පුත් ෂට් අභිඥාලාභී සුමන සාමණේර නම ද මිහිඳු මාහිමියන්ගේ සුළු
මවගේ දියණියගේ පුත්‍රයා වූ අනාගාමීව සිටි භණ්ඩුක උපාසක තුමා ද අයත්
වූහ. ඉතා විමසිලිමත්ව බලන විට අන් රටවලට යැවූ දූත පිරිස්වලට වඩා ලංකාවට
පැමිණි පිරිස රාජකීය සබඳතාව අතින් ඉහළ මට්ටමක පැවතුන බව පැහැදිලි වෙයි.
මෙය ඉන්දීය පාලකවරයාගේ විශේෂ අනුග්‍රහයක් වශයෙන් සිදුවූවා විය හැකි ය.
අශෝක රජතුමා විසින් ලියවන ලද කාල්සි 2 ගිරි ලිපියේ මේ ධර්මදූත සේවාව
ගැන සඳහන්ව තිබීම ඓතිහාසික වටිනාකම වැඩිවීමට හේතුවකි. එපමණක් නොව එදා
මිහින්තලයට වැඩම වූ ධර්මදූත පිරිස පිළිබඳව දීපවංශය හා මහාවංශය යන
ඓතිහාසික ග්‍රන්ථයන්ගෙන් මෙන්ම රජගල සෙල්ලිපියෙන් ද කරුණු තහවුරු වී
තිබීම වැදගත් ය.
පරිනිර්වාණ මංචකයෙහි වැඩ සිටි බුදුරදුන් කරුණාවෙන් ලෝකය දෙස බලද්දී
ඉන්දියාවේ සිංහපුරයේ සිට අප රටට පැමිණෙන විජය කුමාරයා ප්‍රධාන
සත්සියයක් පිරිස දැක ඒ අය නිසා ලංකාවේ බුදුසසුන ව්‍යාප්තිය සඳහා කටයුතු
කෙරෙන බව දැන ඔවුන් ආරක්ෂා කරන මෙන් සක්දෙව් රජුට නියම කළ බව
මහාවංශයෙහි සඳහන් වෙයි.
බුද්ධ කාලයෙහි දඹදිව බෙදී තිබූ සොළොස් මහා ජනපද අතරින් ගන්ධාර හා
කාම්බෝජ යනු නිදහස් රාජ්‍යය දෙකකි. ගන්ධාරයෙහි තක්ෂිලාව අගනුවර කොට
එවකට පාලනය ගෙනගිය පුක්කුසාති රජතුමා තම මිත්‍ර බිම්බිසාර රජතුමාගෙන්
බුදුරදුන් ලෝකයේ පහළ වී ඇති බව දැන රාජ සම්පත්ති හැර දමා මහත්
ශ්‍රද්ධාවෙන් තවුස් වෙසින් බුදුරදුන් සොයා ගිය බව ශාසන ඉතිහාසයෙහි දැක්
වේ. මෙවැනි සිදුවීම් අනුව බලන විට බුදුදහම පැතිර ගිය ඉන්දියාවේ වයඹ දිග
කොටසේ ජීවත් වූ විජය කුමාරයා ඇතුළු පිරිස ද බුද්ධ ධර්මය පිළිබඳ
අවබෝධයක් ලබා සිටින්නට ඇතැයි සිතීම නිවරදය. එම පිරිස ලංකාවේ වයඹ දිග
පිහිටි තම්බපණ්ණියෙන් ගොඩ බැසීමෙන් අනතුරුව සක්දෙව් රජුන්ගේ නියමයෙන්
තවුස් වෙස් ගෙන ගසක් මුල සිටි උපුල්වන් දෙවිඳුගෙන් නො පැකිලිව පිරිත්
පැන් හා පිරිත් නූල් ලබා ගැනීම තුළින් ද ප්‍රකට වන්නේ මේ පිරිසට බුදු
දහම පිළිබඳ අවබෝධයක් තිබූ බවයි.
පසුකාලයේ දී බුදුරදුන්ගේ ඥාති සහෝදරයෙකු වූ පණ්ඩු නම් ශාක්‍ය රජතුමාගේ
දියණිය වූ භද්දකච්චායනා කුමරියගේත්, එතුමියගේ සහෝදරයන්ගේත් ලංකා ගමන්
හා ඒ අය පැමිණ විවිධ තැන්වල පදිංචි වීමත්, අනතුරුව ඔවුන් හා සම්බන්ධව
දැක්වෙන සිදුවීම් ගැනත් සිතන විට පෙනී යන්නේ මහින්දාගමනයට පෙර බුදු දහම
පිළිබඳ දැනගත් බොහෝ සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ විසූ බවයි. ක්‍රි.පූ. 03
වන සියවසට පෙර භාරතයේ පැවති සෑම ආගමක් ම වාගේ ඒ වකවානුවෙහි ලංකාවේ ද
පැවති බවට තොරතුරු දක්නට ලැබෙයි. ඒ අනුව මහින්දාගමනයට පෙර ඉන්දියාවේ
වේගයෙන් පැතිර ගිය බුද්ධ ධර්මය වැළඳ ගත් සෑහෙන පිරිසක් ලංකාවේ වසන්නට
ඇතැයි සැළකීම සාධාරණය. මේ අනුව නිගමනය කළ හැකි වන්නේ මහින්දාගමනයට
පෙරත් බුදුදහම අසංවිධානාත්මකව පැවතුන බවත්, ක්‍රි.පූ. 236 පොසොන් පුන්
පෝදා අනුබුදු මිහිඳු මාහිමියන් ප්‍රධාන ධර්මදූත පිරිස සැපත් වීමෙන්
අනතුරුව බුදු දහම ශ්‍රී ලංකාවේ මුල් බැස ගැනීමත්, ඒ සමඟ අධ්‍යාපන,
ආර්ථික හා සංස්කෘතික ආදී සෑම අංශයකම වේගවත් ගුණාත්මක සංවර්ධනයක් ඇති වූ
බවත් ය.
එදා - පොසොන් පෝදා ධර්ම දූත පිරිස වැඩම වන අවස්ථාවෙහි ලංකාවේ පාලකයා වූ
දෙවන පෑතිස් රජතුමා හතළිස් දහසක් පමණ පිරිවර කැටුව සැණකෙලි සඳහා
මිහින්තලයෙහි මුව දඩයමේ යෙදී සිටියහ. රජතුමා සමඟ මුල දී ඇති වූ
සාකච්ඡාවෙන් අනතුරුව ධර්මය අවබෝධ කර ගැනීමට හැකියාවක් ඇත් ද යි පරීක්ෂා
කිරීම සඳහා මිහිඳු මාහිමියෝ ඥාතීන් හා අඹගස් පිළිබඳ ප්‍රශ්න කිහිපයක්
ඉදිරිපත් කළහ. ලංකා ඉතිහාසයෙහි මේ ප්‍රථම බුද්ධි පරීක්ෂණයෙන් අනතුරුව
රජතුමා ප්‍රඥාවෙන් උසස් තත්ත්වයක සිටින බව දැන මේ උතුම් පෝදා
චුල්ලහත්ථිපදෝපම සූත්‍රය මාතෘකා කොට ධර්මය දේශනා කළහ. ඒ තුළින්
තුණුරුවන් පිළිබඳවත්, ධර්ම මාර්ගය හා නිර්වාණාවබෝධය පිළිබඳවත් ඉතා
පැහැදිලිව කරුණු ඉදිරිපත් කරන්නට හැකි වීම බෙහෙවින් අගනේ ය. දේශනාව
අවසානයෙහි දෙවන පෑතිස් රජතුමා ප්‍රධාන හතළිස් දහසක් පිරිස පැහැද
තෙරුවන් සරණ ගිය උපාසකවරුන් බවට පත්වීම පොසොන් පෝදා සිදුවීම් අතර
ප්‍රධාන තැනක් ගනී. එපමණක් නොව මෙදින සන්ධ්‍යා භාගයෙහි ධර්මදූත පිරිස
සමඟ සැපත් වූ භණ්ඩුක උපාසකතුමා පැවිදි කොට උපසම්පදා කිරීම මේ පෝදා සිදු
වූ තවත් වැදගත් ශාසනික ක්‍රියාවකි.
මෑත ඉතිහාසය දෙස බලන විට පොසොන් පුර පසළොස්වක පොහොය දිනයෙහි තවත්
වැදගත් කරුණු කීපයක්ම සිදු වී ඇති බව පෙනේ. ඒ අතුරින් ‘පුවත්පත්
මහගෙදර’ වශයෙන් බොහෝ අය හඳුන්වන ලේක්හවුස් ආයතනය මඟින් අනුබුදු මිහිඳු
මාහිමියන් ප්‍රථම වරට සැපත් වූ මිහින්තලයෙහි මහා සෑය ප්‍රධාන පුදබිමෙහි
සැදැහැ බැතිය වඩවන අන්දමට දර්ශනීය ලෙස ආලෝක පූජාව පැවැත්වීම ආරම්භ කොට
පණස් තුන් වසරක් සම්පූර්ණ වී ඇති බව සිහිපත් කළ යුතු ය. එසේම ලක්වැසි
බෞද්ධයනට පමණක් නොව බුදුදහම හැදෑරීමට කැමති සෑම දෙනා ම මහත් ඕනෑකමින්
කියවන ධර්ම භාණ්ඩාගාරයක් හා සමාන වූ “බුදුසරණ” පුවත්පත ආරම්භ කොට 2015
පොසොන් පුර පසළොස්වක පොහොය දිනට වසර පණහක් සම්පූර්ණ වීම ද ලක්වැසි
ජනතාව විසින් මහත් සැදැහැතියෙන් සමරනු ලබයි. |