භාග්‍යවතුන් වහන්සේ වදාළ කළමනාකරණ පිළිවෙත්
කුරුණෑගල
විශුද්ධායන විද්‍යායතන
පිරිවෙනේ ආචාර්ය,
ශාස්ත්‍රපති, වික්‍රමසිංහ අතපත්තු
මිනිසා ස්වභාව ධර්මයේ අනර්ඝතම දායාදයකි. එසේම ඔහු ස්වභාව ධර්මයේ එක්
ඒකකයක්ද වන්නේ ය. තම අවශ්‍යතා වෙනුවෙන් ස්වභාව ධර්මයේ අනෙකුත් දායාද
පරිහරණය කිරීමටත් පරිභෝජනය කිරීමටත් මිනිසාට සිදුවේ. එයින් පවතින
සම්පත් ක්ෂය වීමත් විනාශ වීමත් සිදුවේ. එයට හේතු වන්නේ සම්පත්
පරිභෝජනයේ දී ඇතිවන අකාර්යක්ෂම භාවය, නොසැලකිල්ල, දුරාවබෝධය වැනි
කරුණුය. සම්පත් ක්ෂය වෙතැයි බියෙන් ඒවා පරිහරණය නොකර සිටීම ධර්මානූකූල
නොවේ. කළමනාකරණ මූලධර්ම ආරක්ෂා කර ගනිමින් අනාගත සංරක්ෂණ වැඩ
පිළිවෙළක්ද භාවිතා කළ යුතු ය.
බුද්ධ නියමයට අනුව විනය ශික්ෂා පිරික්ෂීමේ දී හමුවන ඇතැම් කරුණුවලින්
පෙනීයන්නේ ඉහත කී පරිභෝජන හා සංරක්ෂතා ක්‍රියා මාර්ග දෙකම බුදුදහමේ
ඇගයුමට ලක්කර ඇති බවයි. බුද්ධ දේශනා පැහැදිලි කිරීමට උපයෝගී කරගෙන ඇති
උපමා ආදිය තුළින් ද මෙම කරුණූ කෙරෙහි දැඩි අවධානයක් යොමුකර ඇති බවක්
පෙනේ. ස්වභාවික සම්පත් තිබූ තැන්වලට ඒ අයුරින්ම තිබෙන්නට හැරීම
කළමනාකරණයක් නොවේ. ඒවා පරිභෝජනයේ දී භාවිතා කරන ක්‍රමවේදයන් මෙහිදී ඉතා
වැදගත් වේ.
“යථාපි බඹරෝ පුප්ඵං
වණ්ණ ගන්ධං අහෙට්ඨයං
ඵලෙති රසමාදය
ඒවං ගාමේ මුනී චරේ”
යම් සේ බඹරා මලත් එහි පැහැයත් සුවඳත් විනාශ නොකොට මෙහි හැසිරෙන්නෝය. මල
නොතලා ගන්නා රොන් තැන්පත් කොට මී මැස්සා වටිනා ආහාරයක් තනයි. එසේ ම
මලින් මලට ඔහු ගමන් කිරීම නිසා පරාග පෝෂණයක්ද සිදු කරයි. ඔහු එක විටම
කාර්යයන් දෙකකට දායක වෙයි. සම්පත් කළමනාකරණය හා සංරක්ෂණය ගැන වටිනා
උපදේශයක් මේ උපමාව තුළින් අප හට පැහැදිලිව ලබා දෙයි.
“උදකං හි නයන්ති නෙත්තිකා
උසුකාරා නමයන්ති තේජනං
දාරුං නමයන්ති තච්ඡකා
අත් තානං දමයන්ති පණ්ඩිතා”
දියාලුවෝ තමන් කැමැති තැනකට ජලය ගෙන යති. හී වඩුවෝ තමන් කැමැති පරිදි
හි දඬු නමති. වඩුවෝ තමන් කැමැති ආකාරයට ලී නමත්, පණ්ඩිතයෝ තමන්ට වුවමනා
ලෙසට ආත්ම දමනය කර ගනිති.
මෙහි මුල් පාඨ තුන මඟින් පාරිසරික කළමනාකරණය ගැන අපූරු කතාවක් ප්‍රකාශ
වෙයි. ලෝකයේ ඇත්තේ සීමිත සම්පත් ප්‍රමාණයකි. මිනිසාගේ අවශ්‍යතාවයන්
අසීමිතය. එම අසීමිත අවශ්‍යතා වෙනුවෙන් සීමිත සම්පත් ප්‍රමාණය සුදුසු
කළමනාකරණයකින් තොරව භාවිතා කළහොත් මිනිසාගේ පැවැත්ම ද දැඩි අවදානම්
තත්ත්වයකට පත් වෙයි.
බුද්ධ කාලීන භාරතීය සමාජයේ විසූ බමුණෝ මහායාග සංවිධානය කළේ තමන්ගේ යස
ඉසුරු හා පාලක පන්තියේ යස ඉසුරු ද වර්ධනය කර ගැනීමේ අටියෙනි. සතුන්
දහස් ගණනක් මරා විනාශ කොට දහස් ගණන් ස්වභාවික සම්පත් වනසා දමන ලදී. මෙම
කටයුතු බුදු දහම අනුමත නොකළ අතර ව්‍යග්ග පජ්ජ සූත්‍රයේ දීඝජානු කෝලිය
පුත්‍රයාට දේශනා කළේ ගිහි ජීවිතය මනා ලෙස කළමනාකරණය කර ගන්නා ආකාරයකි.
යම් පුද්ගලයෙකුට දිවුල් කෑමට අවශ්‍ය වූ විට දිවුල් ගසකට නැග එහි අතු
සොලවා ගෙඩි කඩා ගැනීමට උත්සාහ නොකළ යුතු ය. අතු සෙලවීමෙන් ගසේ ඇති
සියලුම ගෙඩි හා මල් ගිලිහී වැටෙයි. තමා ප්‍රයෝජනයට ගන්නේ ඉදුණු ගෙඩි
පමණකි. පුද්ගලයාගේ අඥානකම පාරිසරික පැවැත්මට හානිකරන තරම මෙයින් සිතාගත
හැකිය.
ජලය -
ජලය මිනිසාට අත්‍යවශ්‍යම පාරිසරික සම්පතකි. සත්ව ප්‍රජාව මෙන්ම ගස්වැල්
ආදී ආවේනික ස්වභාවික සම්පත් ද ජලය සාධකයක් කොටගෙන පවතී. මේ නිසා බුදු
දහම ජල සුරක්ෂිතතාවය හා මනා කළමනාකරණය ඇගයුමට ලක් කොට ඇත.
චීවර -
භෞතික සම්පත් විෂයෙහි ලා ගැනෙන තමන් පරිහරණය කරන සිවුර, පාත්‍රය හා
අනෙකුත් උපකරණ පිළිබඳව භික්ෂූන් වහන්සේලාට දී තිබෙන උපදේශනයන්ද මෙහිදි
ඉතා වැදගත් වෙයි. අවම සම්පත් උපරිම ප්‍රයෝජනය සඳහා යොදා ගත හැකි බව
පැහැදිලිව දේශනා කර තිබේ.
උදේනි රජතුමාගේ බිසෝවරු ආනන්ද හිමියන්ගෙන් බණ අසා පැහැදී සළු 500 ක්
පූජා කළේ ය. උදේනි රජුට මෙය සැළ වී අල්පේච්ඡතාවය පුරුදු පුහුණු කළ
ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයන් වහන්සේලා බහුභාණ්ඩික වූයේ කෙසේ දැයි සැක උපදවා
ඒ පිළිබඳව ආනන්ද හිමියන්ගෙන් විමසූහ. එයට පිළිතුරු දුන් උන්වහන්සේ කියා
සිටියේ එම සිවුරු 500 ම දිරාපත් වූ සිවුරු ඇති භික්ෂූන් වහන්සේලාට පූජා
කළ බවයි.
මින් පෙනී යන වැදගත්ම කරුණු දෙකකි. එනම් භික්ෂූන් වහන්සේලා තම සිවුරු
දිරායන තෙක්ම පරිහරණය කළ බව සහ සංඝයා සතු සම්පත් නාස්තිය, බහුභාණ්ඩික
බව, අලංකාරය ආදී නොවටිනා කරුණු සඳහා නොයොදන බවත්ය. මෙය සංඝ සමාජයේ
සම්පත් කළමනාකරණය පිළිබඳ අසිරිමත් සාධකයකි.
පිරිස් කළමනාකරණය
මානව සම්පත ඵලදායීව යොදා ගැනීමද සම්පත් කළමනාකරණය හා බැඳුණු වැදගත්
කරුණකි. ප්‍රථම රහත් සැට නම ලෝකාර්ථ චර්යාවෙහි යෙදෙනු පිණිස අනුදැන
වදාළ දේශනා පාඨය මෙසේ ය.
“චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය, අත්ථාය හිතාය, සුඛාය
දේව මනුස්සානං ...... මා එකේනදෙව අගමිත්ථ.......
මහණෙනි, බොහෝ ජනතාවගේ හිත සුව පිණිස දෙව් මිනිසුන්ට වැඩ පිණිස චාරිකාවේ
හැසිරෙන්න, දෙදෙනකු එක මග නොයන්න. මානව සම්පත් කළමනාකරණය පිළිබඳ මහඟු
ආදර්ශයකි.
දඹදිව එකල සුවිශේෂ දේශයකි. මොහඳුරින් මුළා වූ සත්වග ඉන් මුදාලීමට
ධර්මධර විනයධර භික්ෂු පරපුරක් චාරිකාවේ යෙදුණි. එක මඟක එක් හිමි නමක්
බැඟින් යාම සීමිත සම්පතකින් අසීමිත සේවාවක් ලබා ගැනීමේ මහඟු
කළමනාකරණයකි. ඉතා කෙටි කලකින් සුවිශාල ශ්‍රාවක පිරිසක් බුද්ධ ශාසනයට
ඇතුළත් වීමත් සමඟ උන්වහන්සේලා තුළ ස්වයං පාලනයක් ඇති
වීමට සුදුසු පරිසරයක් තථාගතයන් වහන්සේ නිර්මාණය කළහ.
මූල්‍ය කළමනාකරණය -
මුදල් පරිහරණය, ශාසනික වැදගත්කමක් නොමැති කරුණක් වුව ද ගිහි සමාජයේ
සුඛෝපභෝගී පැවැත්ම තුළ පැන නගින විවිධ ගැටලු නිරාකරණය කර ගැනීමේ
ක්‍රමවේදයක් බුදුදහමේ දේශනා වී ඇත. දිළිඳුකම දුකකි. නිර්ධනභාවය මේ දුකට
හේතුවයි. සෑම පුද්ගලයෙකුට උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කළ්‍යාණ
මිත්තතා, සමජිවිකතා ආදි ක්‍රම වේද හතරක් නිවැරැදිව භාවිතා කොට දිළිඳු
බවින් නිදහස් වී ධනවතෙකු විය හැකි බව පෙන්වා දෙයි. සිඟාලෝවාද සූත්‍රයේ
පෙන්නුම් කරන මෙම ගිහි සම්පත් සාධනය එලොව මෙලොව දෙලොවටම යහපත උදාකරණ
පිළිවෙත් මඟකි.
“ඒකේන භෝගේ භුඤ්ජෙය්‍ය
ද්වීහි කම්මං පයෝජයේ
චතුත්ථංච නිධාපෙය්‍ය
ආපදාසු භවිස්සති”
මූල්‍ය කළමනාකරණය පිළිබඳ ආර්ථික විද්‍යාත්මක ක්‍රමවේදයක් මෙම ඉගැන්වීම
තුළ විද්‍යාමාන වෙයි. තම ආදායම කොටස් හතරකට බෙදා වෙන්කොට එක් කොටසක්
පරිභෝජනයට ද කොටස් දෙකක් තම කර්මාන්ත සඳහා ආයෝජනය පිණිස ද හතර වැන්න
ආපදාවකදී ප්‍රයෝජනයට ගනු පිණිසද තැන්පත් කර තබනු ලබයි.
මෙහිදී කොටස් දෙකක්ම නව ආයෝජන සඳහා යෙදවීමටත් සිව්වැනි කොටස ඉතිරි
කිරීමටත් දී තිබෙන උපදේශය මනා වු මූල්‍ය කළමනාකරණය වැඩ පිළිවෙළක
ලක්ෂණයකි. තමන්ට විපතක් සිදු වූ විට පරිහරණයට ගැනීම පිණිස මුදලක්
තැන්පත් කර තබා ගැනීමෙන් ලෝකයට ණය වීමේ ප්‍රවණතාවය අවමකර ගත හැකිය.
මූල්‍ය කළමනාකරණයේ දී අතිශයින් වැදගත්වන භෝග විනාශ දොරටු හයක් පිළිබඳ
පැහැදිලි කිරීමක් ද සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් වේ.
1. මත්පැන් පානය
2. නොකල්හි විදි සංචාරය
3. නෘත්‍ය ශාලා ආදී විනෝද ස්ථානය සොයා යාම
4. සූදු ක්‍රීඩාවෙහි යෙදීම
5. පාප මිත්‍ර සේවනය
6. අලසකම
මෙම විනාශ මුඛ හයෙන් දුරස්ව ජීවන යාත්‍රාව පදවාගෙන යාම දෙලොව දියුණුව
සලසාලන මහඟු ප්‍රතිපදාවක් බව පැහැදිලිය.
කාල කළමනාකරණය
යහපත් ජීවන තත්ත්වයක් ගොඩනඟා ගැනීමේ දී මිනිසා විසින් කළ යුතු සියලු
කළමනාකරණයන් අතර කාලය පිළිබඳ වඩාත් අවධානයක් යොමුකළ යුතු ය. බුදුන්
වහන්සේ අනුගමනය කළ කාල කළමනාකරණය අන් කිසිම ශාස්තෘවරයෙකුට නොදෙවෙනි
එකකි. බුදුරජාණන් වහන්සේ තම සමාජ මෙහෙවර වූ ලෝක සත්වයා සුවපත් කොට
නිවන් මඟට පමුණුවාලීමේ ක්‍රියාවලිය පැහැදිලි කාල සටහනකට අනුව සිදුකළහ.
පංච බුද්ධ කෘත්‍ය ලෙස හැඳින්වෙන මෙම කාල සටහනට අනුව කාල හෝරා පහක් යටතේ
කාලය කළමනාකරණය කළහ.
එනම්,
පෙරබත් කිස, පසුබත් කිස ,පෙරයම් කිස ,
පැසුළුයම් කිස යනුවෙනි.
පිඬුසිඟා යාම, දන් වැළඳීම, සැතපීම ආදී සිය ශාරීරික අවශ්‍යතා සඳහා ඉතාම
කෙටි කාලච්ඡේද ප්‍රමාණයක් වෙන්කළ තථාගතයාණෝ වැඩිම කාලයක් වෙන්කර තිබුණේ
ලෝකයාට සෙත සලසනු පිණිසයි.
මිනිස් සමාජය සිය යහපත උදෙසා ගෙන යන කවර වැඩපිළිවෙළක් වුවද ක්‍රමානුකූල
කළමනාකරණයක් යටතේ සිදුවිය යුතු ය. විශේෂයෙන් බෞද්ධ ප්‍රතිපදාවන් අනුව
ක්‍රියාකරන බුද්ධිමත් මිනිසා සිය වැඩකටයුතු සියල්ල එක සේ හිස මතට ගෙන
පීඩා විඳින්නෙක් නොවේ. කළයුතු සියල්ල වර්ගීකරණය කොට ඒ සඳහා වෙන්කරන ලද
කාල පරිච්ඡේද යටතේ මනා කළමනාකරණයකින් සිදුකළ යුතු ය. එවිට සියලු අරමුණු
ජයගත හැකි කාල පරිච්ඡේදයක් වෙත ඔහුට හෝ ඇයට පිවිසිය හැකිය. |