Print this Article


බුදුදහම හා මාර සංකල්පය 14 බුදුරජාණන් වහන්සේ කවියෙකුට සම කළ මාරයා

බුදුදහම හා මාර සංකල්පය 14

බුදුරජාණන් වහන්සේ කවියෙකුට සම කළ මාරයා

“බුදුදහම හා මාර සංකල්පය” යන මාතෘකාව ඔස්සේ පළවන ලිපි පෙලෙහි පසුගිය වෙසක් අව අටවක පොහෝ දිනයේ දී අපගේ සාකච්ඡාවට බඳුන් වූයේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාගේ සිත්සතන් නිවා සනසා නිර්වාණාවබෝධය පිණිස දේශනා කළ වැදගත් දම් දෙසුමක් වන මජ්ක්‍ධිම නිකායට අයත් ‘චුලගෝපාකලක’ සූත්‍රයේ ඇතුළත් මාරයාගේ සැඩ පහරට හසු නොවන ආර්ය ශ්‍රාවකයාගේ ගමන් මාර්ග පිළිබඳව පහදා දීමටයි.

අද දින අපගේ සාකච්ඡාවට බඳුන් වනුයේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලෙහි ගල් පතුරක් වැදීමෙන් හටගත් වේදනාව නිසා හුදකලාව වැඩහුන් අවස්ථාවේ පාපි මාරයා පැමිණ බුදුරජාණන් වහන්සේගේ විවේකය පිළිබඳ ප්‍රශ්න කළ අවස්ථාවක් පිළිබඳ කරුණු ඇතුළත් මාර සංයුත්තයට අයත් ‘සකලික’ සූත්‍රය විමසා බැලීමටයි.

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර අසල “මද්දකුච්ඡි’ නම් මුව වනයෙහි වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ ගේ සිරිපතුළ ගල් පතුරෙකින් පැහැරුණෝ වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙහි හටගත් දැඩිවූ,රළුවු. නොමිරිහිවූ, නොමනාවු මහත් දුක්වේදනා පැවතුනේය. එහෙත් භාග්‍යවතුන් වහන්සේ ඒ සියල්ල එලඹ සිටි සිහි ඇතිව, නුවණ ඇතිව, නොපෙළෙමින් ඉවසති. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඟල සිවුර හතරට නමා එළා දකුණු පය මත වම් පය මඳක් ඉක්මවා තබා සිහි නුවණ ඇතිව උතුම් සැතපුමෙන් සැතපුණු සේක.

එකල්හි පාපි මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. එසේ පැමිණි පාපී මාරයා, භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

පාපි මාරයා
මන්දියා නු ඛො සෙසි උදාහු කාවෙය්‍යමත්තො
අත්ථා නු තෙ සම්පචුරා න සන්ති
එකො විවිත්තෙ සයනාසනම්හි
නිද්දාමුඛො කිමිදං සොප්පසෙවා’ති

සිහි මුළායෙන් නොහොත් කවි බැඳීමට සිත සිතා කවි බැඳුමෙන් මත්ව නිදන කවියෙකු මෙන් මත්ව නිදන්නෙහිද? කළ යුතු වෙනත් බොහෝ වැඩ ඔබට නැද්ද? කිසිවෙකු නැති මේ සෙනස්නෙහි මේ කුමට තනිව නිදිබර මුහුණ ඇතිව නිදන්නෙහිද?

භාග්‍යවතුන් වහන්සේ

න මන්දියා සයාමි නාපි කාවෙය්‍යමත්තො
අත්ථං සමේච්චාහමපෙතසොකො
එකො විවිත්තෙ සයනාසනම්හි
සයාමහං සබ්බභූතානුකම්පි

මුළායෙකින් නොම නිදමි. කවි බැඳීමට සිත සිතා කවි බැඳුමෙහි මත්ව නිදනා කවියෙකු මෙන් මත්ව නිදන්නෙක්ද නොවෙමි. අර්ථයට පැමිණෙන එහෙයින්ම පහවූ ශෝක,ඇතිව, සියලු සතුන්ට අනුකම්පා ඇතිව, කිසිවකු නැති සෙනස්නෙහි තනිව සැතපෙමි.

යෙසම්පි සල්ලං උරසි පවිට්ඨං
මුහුං මුහුං හදයං වෙධමානං
තෙපීධ සොප්පං ලහරෙ සසල්ලා
තස්මා අහං න සුපෙ වීතසල්ලො

යම් කෙනෙකුගේ පපුවෙහි කෙලෙස් හුල ඇනුණේද, එහෙයින්ම සැනෙන් සැනෙන් ළය සැලෙනුයේද, ඒ කෙලෙස් හුල්ඇති, ඔහු පවා නිදි ලබත්, එසේ කල්හි පහවු සියලු හුල් ඇති මේ මම් කවර හෙයකින් නොනිදම්ද?

ජග්ගං න සංකෙ නපි හෙමි සොත්තුං
රත්තින් දිවා නානුතපන්ති මාමාං
හානිං න පස්සාමි කුහිඤ්චි ලොකෙ
තස්මා සුපෙ සබ්බභූතානුකම්පීති

මම වූකලි අවදිව ඉඳිමිනුත් සැක බිය නොගනිමි. නිදන්නට වුවද සැක බිය නැතියෙමි. රෑ දවල්හි මා නොතවත් ලොව කිසිම තැනෙක මට පිරිහීමක් නොදකිමි. එබැවින් සියලු සත් වග කෙරේ දයාවෙන් සැතපෙමි.

බුදුරජාණන් වහන්සේගේ අඩුවක්, වරදක් සොයමින් සත් වසක් මුළුල්ලෙහි පාපීමාරයා උන්වහන්සේ ලුහුබැඳි බව සත්තාවස්සික සූත්‍රයේදි අපි සාකච්ඡා කළෙමු. එහෙත් අවසානයේ පරාජය හිමි වුයේ පාපී මාරයාටමය. එයින් නොනැවතුනු ඔහු ඉඩ ලැබෙන සෑම අවස්ථාවකම උත්සාහ ගත්තේ බුදුරජාණන් වහන්සේ කෙසේ හෝ තමාගේ වසඟයට ගැනීමටය. ඒ සෑම අවස්ථාවකම පාපි මාරයා පරාජයට පත්ව දුක්ඛිතව දොම්නස්ව පලාගොස් ඇත. එයින් නොනැවතුනු ඔහු කිහිප විටක්ම බුදුරජාණන් වහන්සේගෙන් කලින්ම පිරිනිවන් පාන ලෙස අයැද සිටියේය. එහෙත් බුදුරජාණන් වහන්සේගේ පිළිතුරු වූයේ සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ සම්බුදු කිස නිමවන තෙක් පිරිනිවන් නොපාන බවයි. මෙයින් පැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවත්වීම පාපි මාරයාට මහත් කරදරයක් වු බවයි.

තථාගතයන් වහන්සේට පමණක් නොව තථාගත ශ්‍රාවකයන් වහන්සේලාට ද පාපී මාරයා විවිධ කරදර සිදු කළ අවස්ථාවන් අපි පෙර ලිපිවල දී සාකච්ඡා කළෙමු. ශ්‍රාවිකාවන් වහන්සේලාට පාපි මාරයා කරදර කළ අවස්ථාවන් සංයුත්ත නිකායෙහි භික්ඛුණී සංයුත්තය පුරාවටම පෙනෙයි. එම අවස්ථාවන් මතු ලිපිවලදි සාකච්ඡා කරන්නෙමු.

මෙම සකලික සූත්‍රයේදි පැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුළෙහි ගල්පතුරක් වැදීම නිසා හටගත් වේදනාව අඩුකර ගැනීම සඳහා වනයෙහි හුදකලා සෙනසුනක වසන අවස්ථාවක පාපි මාරයා පැමිණ සම්බුදුරජාණන් වහන්සේගේ සිත විමසූ අයුරුය. බුදුරජාණන් වහන්සේ සිහි මුළා වී කවිපද බඳින කවියෙකු මෙන් එයින් මත්ව මුළාවි හුදකලාව වනයෙහි දුක්මුසු මුහුණින් වසන්නේ කුමක් නිසාදැයි ඔහු ප්‍රශ්න කරයි. එයට පිළිතුරු දෙන බුදුරජාණන් වහන්සේ වීතදෝසි, වීතමෝහී, වීතරාගී සිතක ඇති අසිරිය පාපී මාරයාට මනාව පැහැදිලි කරදෙයි.

බුදුරජාණන් වහන්සේ මෙසේ හුදකලාව වනයෙහි වෙසෙන්නේ හුදෙක් විවේකය සඳහා මිස සිහි මුලා වී හෝ නිදිමතින් හෝ මත් වී හෝ නොව සියලු සතුන් කෙරෙහි වූ අනුකම්පාවෙනි. යමෙකුගේ සිත සැලෙන්නේ සිතෙහි කෙලෙස් රැඳීමට අවස්ථාවක් තිබුණහොත් පමණි. එහෙත් බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙස් පහකර ඇති බැවින් කෙලෙස් නමැති හුලින් ඇතිවන වේදනාවක් බුදුරජාණන් වහන්සේට නොමැත. අවදිව සිටීමට ද බුදුරජාණන් වහන්සේට බියක් නොමැත. නිදාගැනීමටද බියක් නොමැත. එබැවින් රෑ දහවල් දෙකෙහිම සම්බුදුරජාණන් වහන්සේ තැවීමට කෙලෙස්වලට නොහැක. ඒ නිසා සම්බුදු රජාණන් වහන්සේලා සැතපුනද සියලු සත්වග කෙරෙහි ඇත්තේ කුළුණු සිතකි. බුදුරජාණන් වහන්සේගේ මේ පිළිතුරින් ලජ්ජාවට පත් පාපී මාරයා සුගතයන් වහන්සේ මා හඳුනාගත්තේ යැයි දුක්ඛිත වු දොම්නස් වු මනසින් යුතුව අතුරුදන්ව ඇත.

මතු සම්බන්ධයි


බුදුදහම හා මාර සංකල්පය 13 මාරයාගේ සැඩ පහර