Print this Article


සසරින් මිදී නිවනින් සැනසේ

සසරින් මිදී නිවනින් සැනසේ

විශ්වය , සත්වයා, පැවැත්ම යන ත්‍රිකෝණය කේන්ද්‍ර කරගෙන ඇතිවන තණ්හා ජාලය සත්වයාට අසීමිත දුකක් ගෙන දෙන්නේය. තම ආත්මභාව ආධ්‍යාත්මික ආයතන පිළිබඳව තණ්හාව උපදනා විට අන්තොජටා නම් වන්නේය. බාහිර ආත්ම භාව පිළිබඳ ආයතන තණ්හා උපදනාවිට බහිජටා නම් වන්නේය.

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤෝ
චිත්තං පඤ්ඤංච භාවයං
ආතාපී නිපකෝ භික්ඛු
සො ඉමං විජටයෙ ජටං

සුපින්වත්නි,

සකල ජන මන ආනන්ද කරවු අප භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම මහවෙහෙර වැඩවසන සමයෙහි එක්තරා දේවතාවෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මෙම ගාථා ධර්මය දේශනා කළ සේක.

එම දේවතාවා මධ්‍යම රාත්‍රියක අවුත් බුදුරදුන් වැඳ එකත්පස්ව හිඳ බුදුරදුන්ගෙන් මෙසේ ඇසීය.

අන්තෝජටා බහි ජටා
ජටාය ජටිතා පජා
තං තං ගොතම පුච්ඡාමි
කො ඉමං විජටයෙ ජටං

ඇතුළත් අවුල් පිටතත් අවුල් මුළු සත්ව ප්‍රජාවම මේ අවුලෙන් අවුල්ව සිටිති. ගෞතම සර්වඥයන් වහන්ස, මේ අවුල නිරවුල් කරන්නේ කවුදැයි ඔබ වහන්සේගෙන් අසමි.

මෙම ප්‍රශ්නයට පිළිතුරු සපයන බුදුරජාණන් වහන්සේ “දේවතාවෙනි” සීලයෙහි පිහිටි නැණවත් මිනිසා සමාධිය හා විදර්ශනාව වඩන්නේ උත්සාහයෙන් ප්‍රඥාවෙන් යුක්ත වූයේ මේ අවුල් නිරවුල් කරන්නේය.

උණ පඳුරක අතුපතර මුල පටන් අග දක්වාද අග පටන් මුල දක්වාද නැගී ගැවසී සිටින්නාසේ සත්වයාගේ තණ්හාව රූපාලම්බනයේ පටන් ධර්මාලම්බනය දක්වාද ධර්මාලම්බනයේ පටන් රූපාලම්බනය දක්වාද හැදී ගැවසී පවතින්නේය. එසේ හෙයින් එම තණ්හා ජාලයෙන් වෙලී පැටලී සිටින සකල සත්ව ප්‍රජාවම අභ්‍යන්තර බාහිර මහා අවුලකට අසුවී ඇත.

විශ්වය , සත්වයා, පැවැත්ම යන ත්‍රිකෝණය කේන්ද්‍ර කරගෙන ඇතිවන තණ්හා ජාලය සත්වයාට අසීමිත දුකක් ගෙන දෙන්නේය. තම ආත්මභාව ආධ්‍යාත්මික ආයතන පිළිබඳව තණ්හාව උපදනා විට අන්තොජටා නම් වන්නේය. බාහිර ආත්ම භාව පිළිබඳ ආයතන තණ්හා උපදනාවිට බහිජටා නම් වන්නේය.

අප බුදුරජාණන් වහන්සේ ලෝකයේ පෙර පහළ වු ලක්ෂ සංඛ්‍යාත බුදුවරුන් දැකීමෙන් වැඳීමෙන්, පිදීමෙන් විවරණ ලැබීමෙන්, පෙරුම්දම් පිරීමෙන් ලබාගත් මහා කුසල බල මහිමයෙන් එම තණ්හා ජාලනි විදර්ශනා ඤාණයෙන් සුනුවිසුනු කොට අමා මහ නිවණින් සැනසුනු සේක.

සීලයෙහි පිහිටා ගත් තිරසර ගුණයෙන් අධිශීල සංඛ්‍යාත සීලවිශුද්ධිය ප්‍රථමයෙන් අවශ්‍ය වන්නේය.ඇස්. කන්, නාසාදී ඉඳුරන් රූපාදී අරමුණු ගැටීමෙන් ඇතිවන චංචල භාවය ක්‍රම ක්‍රමයෙන් අඩුකරන විට හිත සන්සුන් කරගැනීමට හැකිවන්නේය.

චිත්තං පඤ්ඤංච භාවයං යනුවෙන් දක්වන්නේ චිත්ත සමාධිය හා විදර්ශනාවයි. සම සතළිස් කර්මස්ථාන අතරින් තම තමන්ගේ චරිතවලට යෝග්‍ය කර්මස්ථානයක් තෝරාගෙන චිත්ත භාවනාව පුරුදු පුහුණුූ කිරීමෙන් චිත්ත සන්තානයට ක්ෂණයකින් කාමච්ඡන්දාදී නීවරන ඇතුල්වන්නේ නැත.

නරෝ සපඤ්ඤෝ යනුවෙන් දැක්වෙන ප්‍රඥාව සත්වයාගේ උපතත් සමඟ පිහිටන ජාති ප්‍රඥාව වන අතර චිත්තං පඤ්ඤංච භාවයං යනුවෙන් දැක්වෙන දෙවන අවස්ථාවේ විදර්ශනා ප්‍රඥාව පහළවන්නේය. ප්‍රඥාවත් වීරියත් නිසා අවසානයේ සර්ව කෘත්‍ය හෙවත් මාර්ග ඵල වශයෙන් ඇතිවන ප්‍රඥාව “නිපකො” යනුවෙන් අර්ථාන්විතව දක්වා ඇත.

මිනිසත් බව ලබන්නට භවාන්තරව කරන ලද මහා කුසලයන් හේතුවාසනා වන්නේය. ප්‍රඥාවෙන් යථාර්ථ දැනීමත් වීර්යයෙන් පරමාර්ථය සඳහා අධිෂ්ඨානවීර්යත් අවශ්‍යම වන බැවින් ‘නරෝ සපඤ්ඤෝ’ යනුවෙන් දක්වා ඇත.

සික්ඛතීති සීලං

කය, වචන දෙකේ හික්මීම සීලය වන අතර එයින් ඇස්, කන් නාසාදි පසිඳුරන් දමනය කෙරෙන්නේය. රාගාදී කෙලෙස් සමනය වන්නේය. සීල ශික්ෂාවෙන් කෙලෙස් තදංග වශයෙන් සමනය වන අතර සීල විශුද්ධියට මූලාධාරවේ. එමෙන්ම සියලු ගුණාංග වලට ප්‍රතිෂ්ඨාපන ශක්තියක් වන අතර හිරිඔතප් දෙකින් ආවරණය වන්නේය.

යමෙක් පන්සිල්, අටසිල් ආදි නයින් දක්වන සීලය ජීවිතාන්තය දක්වා නොකඩවා ආරක්ෂා කරන්නේද ඔහු සීලවා සීල සම්පන්නෝ අසමම්මුල් හෝ කාලං කරොති. සීලවා සීල සම්පන්නෝ කායස්ස භේධා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති වශයෙන් දක්වා ඇති පරිදි මරණාසන්න චිත්ත සන්තානය සීලයෙන් පවිත්‍රව සිහි මුළාවක් නැතිව මරණයට පත්වන අතර මරණින් මතු සුගතියෙහි උපදින්නේය. ශීලයෙන් තිරසරවු විට සිත සමාධියට යොමු කිරීමට පහසුවන්නේමය. සමසතළිස් කර්මස්ථාන අතරින් රාග ද්වේෂ ,මෝහ, ශ්‍රද්ධා, බුද්ධි, විතක්ක යන චරිත හය පිළිබඳ විමර්ශනය කොට චරිතානුකූලව කර්මස්ථානයක් ගෙන භාවනා කළයුතුවන්නේය.

භාවනාවෙන් කෙරෙන්නේ හිත හදා ගැනීමයි. එය එතරම් පහසු කාර්යක් නොවන්නේ අති දීර්ඝ කාලයක් හිතුමතේ කය ඇරගෙන සසර ඇවිද්ද නිසාය. කෙතරම් දුක්වේදනා ඇතිවුවද යළි යළිත් සැප සංකල්පයට මුලාවන සත්වයා මෙම කුණුූ කය නිසා නිත්‍ය, ශුභ, ආත්ම සංකල්පයෙන් අපමණ අකුසල් කොට සතර අපා දුක් විඳින්නේය. මෙයින් මිදීමට නම් ප්‍රථමයෙන් සීලයත් දෙවනුව සමාධියත් විදර්ශනා ප්‍රඥාවත් අවශ්‍යම වන්නේය.

පසිඳුරන්ගේ ප්‍රසන්නතාවය සීලයෙන්ද සිතේ එකඟතාව සමාධියෙන්ද සිදුවන නමුත් පඤ්ඤංච භාවයං යනුවෙන් දැක්වූ පරිදි ප්‍රඥාභාවනාව ඉතාම දුෂ්කර වන්නේය.

පරමානුවේ පටන් විශාල වස්තූන් දක්වා වර්ණ වශයෙන් සටහන් වශයෙන් සංඥාවෙන් දැනගැනීමට පුළුවන. එයින් ඔබ්බට අනිත්‍ය, දුක්ඛ අනාත්ම වශයෙන් දැන ගන්නේ විඤ්ඤාණයෙනි.

සංස්කාර ධර්මයන්ගේ උදයව්‍යය වශයෙන් යථාර්ථය දැනගැනීමට විදර්ශනා ප්‍රඥාව අවශ්‍ය වන්නේය. ලෝකයේ සෑම දේම ප්‍රථමයෙන් හැඳින ගැනීමට උපකාරිවන්නේ සංඥාවයි. එය පංච ඉන්ද්‍රියයන්ට ගෝචර වේ. විඥානයෙන් පංච ඉන්ද්‍රියන්ගෙන් ගත්දේ විමර්ශනය කොට අනිත්‍යාදි නයින් විශේලේෂණය කෙරෙන්නේය.

අරමුණු විවිධාකාරයෙන් දැනගෙන සෝවාන් ආදි මාර්ගඵල ඉපදවීමේදී ‘ආතාපී නිපකො භික්ඛූ” යනුවෙන් දක්වා ආර්ය දර්ශන ඤාණයෙන් තණ්හා ජටාව සම්පූර්ණයෙන් විනාශ කොට සසරින් මිදී නිවන් සුවයෙන් සැනසෙන්නේය.

මෙම ධර්මානුශාසනාව කියවීමෙන් ඔබ සැමට භවාන්තර සැපදුක් කෙළවර අමාමහ නිවනින් සැනසීමට හේතුවාසනා වේවා.

ඔබ සැමට තෙරුවන් සරණයි !