Print this Article


බුද්ධ කාලයේ ප්‍රකට ශ්‍රාවක තෙරවරු

බුද්ධ කාලයේ ප්‍රකට ශ්‍රාවක තෙරවරු

බුද්ධකාලීන ශාසනභාරධාරී ශ්‍රාවකශ්‍රාවිකා අපදාන නැතහොත් ජීවන චරිත පිළිබඳ වෘතාන්ත මෙන්ම පූර්වචරිත ඉතා ආකර්ෂණීය වන අතර ඔවුන්ගේ අපරිමිත මෙහෙවර ද වර්ණා විෂයාත්‍රික්‍රාන්ත වේ. අනේකවිධ දෘෂ්ටිවාදයන්ගේ කඩතුරාවෙන් වැසී ගිය භාරතීය ජන සමාජයට නව ධර්මයක් දේශනා කිරීමේ දි බුදුන් වහන්සේ විසින් ප්‍රථමයෙන්ම කරන ලද්දේ ඊට ප්‍රතිබල සම්පන්න ශ්‍රාවක පිරිසක් බිහි කිරීමය. තම ශ්‍රාවකයන් ව්‍යක්ත විනීත ප්‍රතිබල සම්පන්න පිරිසක් වන තුරු පිරිනිවන් පෑමේ අදහසක් තමාට නැති බව වරක් බුදුරදුන් විසින් ප්‍රකාශ කරනු ලැබීම මෙයට කදිම නිදසුනකි.

බුද්ධියෙන් මෙන්ම හදවතින් අද්විතීය පුරුෂයෙකු වු බුදුන් වහන්සේට සියලුම ශ්‍රාවකයන් ඉමහත් භක්තියකින් සහාය වූවාට සැක නැත. විශේෂයෙන් බුදුරදුන් විසින්ම නම් කරන ලද මහා ශ්‍රාවකයන් අසූ නමක් සිටීම බුද්ධකාලීන තෙරුන් වහන්සේලා ශාසනික ක්‍රියාදාමයන්හි දැක්වු උනන්දුවට සාක්ෂියකි. මෙම සුවිශේෂ චරිත කියැවීම යහපත් චරිතයක් ඇති කරවා ගැනීම සඳහා අතිශය ඉවහල් වන හෙයින් අතිවිශිෂ්ට චරිත ලෙස බෞද්ධ සම්ප්‍රදාය තුළ ගැනෙන බුද්ධකාලීන මහාශ්‍රාවක චරිත කිහිපයක් ගැන මෙසේ සංක්ෂිප්ත සටහනක් තැබේ.

බුදුරදුන් විසින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා පෙරුම් දම් පිරීමෙන් කූටප්‍රාප්ත කර ගන්නා ලද මහාපුරුෂත්වයේ අරමුණූ සමාජගත කිරීමෙන් ඵලප්‍රාප්තිය කරා ගෙන යාමට අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ සිට සහස් සංඛ්‍යාත තෙරවරුන් විසින් කරන ලද මෙහෙවර අපරිමිත වේ. එකී තෙරවරුන් අතර කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට ශාසනික ඉතිහාසය හා එහි නිසි අනිසි සිදුවීම් පිළිබඳ මනා දැනුමක් තිබුණු බවට සැක නැත. එක්සිය විසි වසක් ආයු වැළදු තෙරනමක් ලෙස සඳහන් වන උන්වහන්සේ චිරරාත්‍රඥ ශ්‍රාවකයන් අතර අගතැන්හි තැබීමෙන් මෙය තවත් තහවුරු වේ. යම් යම් ශාසනික තීන්දු තීරණ ගැනීමේදි සෙසු ශ්‍රාවකයන්ට සමාජ චර්යාවෙහි ස්වභාවය පහදා දීමෙන් විශාල මෙහෙවරක් උන්වහන්සේ අතින් සිදු වන්නට ඇත. එපමණක් නොව ප්‍රධාන ශ්‍රාවකයෙකු වශයෙන් මූලිකව ක්‍රියාකළ කෙනෙකු හැටියටද කොණ්ඩඤ්ඤ හිමියන් සඳහන් කළ යුතුය. නාලාගිරි ඇතුට රා කල හතක් පෙවීමෙන් බුදුරදුන්ට හානි පැමිණවීමට දෙව්දතුන් යෙදු උපාය දැන සිටි මහජනයා බුදුරදුන් වෙත පැමිණ පිඬු පිණිස නො වඩින ලෙස අයැද සිටියේය. එහෙත් බුදුරදුන් පිඬු පිණිස වඩින කල්හි තම කොණ්ඩඤ්ඤ තෙරුන්ද බුදුරදුන් සමඟ වැඩී ආකාරය බුත්සරණ කතුවරයා දක්වා ඇත්තේ “අප පියාණන්ට මෙහෙයන මතැත්හට යැපීම සිංහවිලාස දක්වම්හ” යනුවෙනි. බුදුරදුන් වෙනුවෙන් කවර වු හෝ කැප කිරීමක් කිරිමට උන්වහන්සේලා සූදානම්ව සිටි අයුරු එයින් පෙනේ.

මේ හැරුණු විට සමස්ත සංඝ ශාසනයට අනුශාසනය කිරීම විසින් මහත් වගකීමක් ඉසිලූ ශ්‍රාවකයන් දෙදෙනෙකු ලෙස සැරියුත්, මුගලන් අග්‍රශ්‍රාවක මහරතන් වහන්සේලා දෙනම දැක්විය යුතුය. එයින් එක් නමක් මහාප්‍රාඥයෙකු වීමත් අනෙක් තෙර නම ඍද්ධිමතුන් අතර අග්‍රවීමත් සැලකිය යුතු කරුණකි. ආදානග්‍රාහී දෘෂ්ටිවාදවලින් පීඩිත භාරතීය සමාජයෙහි නිදහස් චින්තකයන් ලෙස සියලු මතවාද හදාරමින් සිටි උපතිස්ස, කෝලිත යන දෙදෙනා සාරිපුත්ත, මොග්ගල්ලාන යන නමින් බුදුසසුනට ඇතුළත්ව ප්‍රධාන ශ්‍රාවකයන් ලෙස විශිෂ්ට චරිතය හා සේවාව මගින් ශ්‍රාවක සංඝයා අතර පෙනී සිටි ආකාරය අතිශය වැදගත් වේ. උපතින් බ්‍රාහ්මණ වංශිකයන් වු ශාරිපුත්‍ර , මොග්ගල්ලාන හිමිවරුන්ට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම සම්බන්ධයෙන් බුදුරදුන්ට ඇතැම්හු චෝදනා කළහ. එහෙත් ප්‍රඥා මහත්වය අපූර්ව ඍද්ධිබල මහිමය පමණක් නොව සැරියුත් තෙරුන් ඉතා කුඩා සාමණේර නමකගෙන් වුවද අවවාද පැතීමට තරම් නිහතමානී වීමද බුදුරදුන් කෙටියෙන් දෙසු ධර්මය විස්තර විවරණ සහිතව විශ්ලේෂණාත්මකව දේශනා කිරීමෙහිලා ප්‍රසිද්ධව නිරන්තර උද්‍යෝගිමත් තෙරවරුන් වීම ද නිසා බුදුරදුන්ගේ එම තීරණයෙහි නිවැරදි බව නොබෝ කලකින් තහවුරු විය. බොහෝ භික්ෂූන් වහන්සේලා ඇතැම් ගැඹුරු ධර්ම පර්යායන් විවරණය කරවා ගැනීම සඳහා සැරියුත් තෙරුන් මුණ ගැසීමට ගියහ. ධර්මය සම්බන්ධයෙන් සැරියුත් හිමියන් කරන ලද ප්‍රකාශ බුදුරදුන් විසින් සිංහනාද වශයෙන් අගයා ඇති බව මහාපරිනිබ්බාණ, සම්පසාදනිය වැනි සූත්‍රවලින් දැකගත හැකිය. එසේම භික්ෂූන් වහන්සේලා ධර්ම කරුණු පැහැදිලි කරවා ගැනීමට සැරියුත් තෙරුන් හමු වු අවස්ථා රාශියක් වේ. එසේම මානය හේතුවෙන් භික්ෂුන්ට මහත් හානි පැමිණවීමට වෑයම් කළ නන්දොපනන්ද නාරජු දමනය කිරීම වැනි කාර්යයන් මුගලන් තෙරුන් විසින් කරන ලදී. පේතවත්ථු, විමානවත්ථු වැනි කෘතිවලින් පේ‍්‍රත ලෝකවලට හා දිව්‍ය ලෝකවලට ඍද්ධියෙන් වඩිමින් නන් වැදැරුම් දෙවියන් හා දෙවඟනන් පේ‍්‍රතයන් හා පේ‍්‍රතියන් හමුවී ඔවුන් විඳි සැප හා දුක්වලට හේතු විමසමින් ඒවා මිනිස් ලොවට පැහැදිලි කරමින් කරන ලද මෙහෙවර අතිශය උත්තුංග වේ.

තවද බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුද්ධ වචනයේ චිරස්තිථිය සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කිරීමෙහි මහා කාර්යභාරයට උරදුන් ප්‍රධාන ශ්‍රාවකයා වන මහාකාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරදුන්ගේ මහත් ගෞරවාදරයට පාත්‍ර වු කෙනෙකි. ධූතාංගධාරි වෘද්ධතර යතිවරයෙකු වන මහාකාශ්‍යප හිමියන් බුද්ධ පරිනිර්වාණයෙන් පසු භික්ෂූ සංඝයා විසින් ප්‍රධානත්වයෙහිලා ගෞරව සත්කාර කළ බැව් පෙනේ. ඊට බලපෑ කරුණු කීපයකි. බුදුරදුන් විසින් චීවරය, හුවමාරු කොට ගෙන පරිභෝග කළ එකම ශ්‍රාවකයා වීම තමන් වහන්සේට යම් පමණ කාලයක් සමවතට සමවැදි සිටිය හැකි නම් එබඳුම කාලයක් මහකසුප් හිමියන්ට ද සිටිය හැකියැයි තමන් වහන්සේ හා සමස්ථානයෙහි තැබීම මහාපුරුෂ ලක්ෂණ හතක් තිබීම රූපශ්‍රීයෙන් බුදුරදුන්ට සමාන වීම එකසිය විසි වසක් ආයු වැළැඳු වෘද්ධතර මහතෙරුන් වීම භාවනායෝගී නිහතමානී යතිවරයෙකු වීම පසාදනීය ලක්ෂණ දහයකින් සමන්විත වීම යනාදිය ඒ අතර වේ. බුදුරදුන් විසින් මහාකාශ්‍යප හිමියන් වර්ණනා කළ ආකාරය සංයුත්තනිකායේ මහාකස්සප සංයුත්තයෙන් හඳුනා ගත හැකිය. බුදුරදුන් හා රූපශි‍්‍රයෙන් සමවීම හේතුවෙන් මහාකාශ්‍යප හිමියන් මුහුණ දුන් අකැරතැබ්බ මගහරවා ගැනීම පිණිස මහාකාශ්‍යප හිමියන් වනගත වු බව ද සඳහන් වේ. එතෙකකුදු වුවත් අටුවාකරු දක්වා ඇත්තේ අගසවු මහ දෙනම තමන් වහන්සේ වෙත දක්වන ගරුබුහුමන් දැක වනගත වු බවයි. අග්‍රශ්‍රාවක මහරතුන්ගේ පිරිනිවීමෙන් පසු බුදුරදුන්ට සමීපව සිට වගකිම් සහිතව ක්‍රියා කළ ප්‍රධාන ශ්‍රාවකයා වන මහාකස්සප තෙරණුවන් අටුවාවන්හි හඳුන්වා ඇත්තේ තෙවන මහා ශ්‍රාවකයා වශයෙන්ය.

මහාකාශ්‍යප තෙරුන් වඩාත් පි‍්‍රය කළ චරිතයක් හැටියට ආනන්ද හිමියන් හඳුනා ගැනීම සුදුසු බව හැඟේ. ස්මරණ ශක්තියෙන් අනූන ශ්‍රාවකයන් අතර අග්‍රස්ථානය දැරූ අනඳ හිමියෝ සියලු බුද්ධවචනය මතක ශක්තියෙන් ඉසිලූ ධර්මභාණ්ඩාගාරික යතිවරයා වේ. බහුශ්‍රැත සතිමත් ගතිමත් හා ධිතිමත් ශ්‍රාවකයන් අතර අග්‍රස්ථානයද ආනන්ද හිමියන්ට පිරිනමා ඇත. ප්‍රධාන උපස්ථායකයා වශයෙන් වැඩිම කාලයක් බුදුරදුන් ළඟ සිටි එසේම බුද්ධ දේශනා සියල්ල ඉතා විධිමත් ලෙස මතකයේ තබා ගනිමින් ප්‍රථම සංඝායනා අවස්ථාවේදි ඒවා විධිමත් ලෙස සංග්‍රහ කිරීම සඳහා විශාල මෙහෙවරක් කළ ශ්‍රාවකයා වන්නේ ආනන්ද හිමියන්ය. බුදුරදුන්ට සෙවණැල්ල මෙන් ළඟ හිඳිමින් දැහැටි දඬුවේ සිට අත්පා දෝනා ජලය දීම, අසුන් පිළියෙළ කිරීම, අත්පා සම්බාහනය කිරීම, පවන් සැලීම, සිවුරු පිරිකර සැකසීම , බේත් හේත් පිරිනැමීම, යනාදී කුදු මහත් සියලු කටයුතු උන්වහන්සේ විසින් මැනවින් සම්පාදනය කරන ලදී. මෙම කාලය තුළ බුදුරදුන් කෙරෙහි දයාබරිත හැගීමෙන් සිතිවිලි හා වදන් උපදවමින් ක්‍රියා කළ ආකාරය අනඳ හිමියන් විසින්ම පවසා ඇත. එපමණක් නොව බුදුරදුන්ගේ පණිවුඩ භික්ෂුන් අතරට ගෙන යාම බුදුරදුන් විසින් කරනු ලබන දෛනික ක්‍රියාවලට උදව් කිරීම යනාදිය ද උන්වහන්සේ වෙතින්ම සිදුවිය. අසාධ්‍ය රෝගී තත්ත්වයකින් පෙළෙමින් කිසිදු භික්ෂුවකගේ අවධානයට පාත්‍ර නොවී සිටි හිමිනමක් ස්නානය කරවා පිලියම් කිරීමට බුදුරදුන්ට සහාය වීම ඉන් එක් අවස්ථාවකි. මේ හැරුණුවිට සැරියුත් , මුගලන් මහතෙරවරුන් සමඟ දහස් ගණන් ශ්‍රාවකයන් හා තථාගතයන් වහන්සේ අතර විධිමත් සන්නිවේදනය පවත්වා ගෙන යාමටත් අනේක සංඛ්‍යාත ජනයා සමඟ සුහදශීලි පැවැත්ම රැක ගැනීමටත් උන්වහන්සේ සමත් වූහ. ස්ත්‍රින්ට පැවිද්ද ලබා දීම ඝෝෂාකාරි භික්ෂූ පිරිසක් සුමඟට ගැනීම ගිරිමානන්ද ඵග්ගුන වැනි තෙරුවරුන් ගිලන් වු විට බුදුරදුන් එහි වැඩම කරවීම වැනි කාර්යයන් රාශියකට මහත් කුළුණෙන් අනඳ හිමියන් දායක වු අයුරු නිකාය හා විනය ග්‍රන්ථවලින් අපට දැකගත හැකිය. මේ අයුරින් විමසන විට සංඝ ශාසනයේ උන්නතිය හා පැවැත්ම විෂයෙහි අනඳ හිමියන්ගේ දායකත්වය අමරණීය වේ.

ආනන්ද, අනුරුද්ධ, භද්දිය, භගු, දේවදත්ත, කිම්බිල යන ශාක්‍යවංශික කුමාරවරු සමඟ සසුන් ගතවූ උපාලි ගිහි කල කරණවෑමියෙකු විය. ශාක්‍ය කුමාරවරුන්ගේ ඉල්ලීම මත බුදුරදුන් විසින් ඔවුන්ට පළමුව උපාලි පැවිදි කරන ලදී. විනයධර ශ්‍රාවකයන් අතර අග තැන් ලැබු උපාලි තෙරුන් වහන්සේ විනය පිළිබඳ බුදුරදුන් සමඟ කරන ලද බොහෝ සාකච්ඡා විනයෙහි දක්නා ලැබේ. නවක භික්ෂුන් හික්මවීම සඳහා පි‍්‍රයශීලි ලෙස මහත් මෙහෙවරක් කරනු ලැබු උපාලි හිමියෝ විනයධර භික්ෂූන් අතර ප්‍රධානත්වයෙහිලා සැලකුණූ බව පෙනේ. බුද්ධ පරිනිර්වාණයෙන් පසු විනය ශික්ෂාවන්හි සුරක්ෂිතතාව උදෙසා පවත්වන ලද සංඝායනාවෙහි දී අසන ලද සියලු විනය ප්‍රශ්නවලට පිළිතුරු සපයන ලද්දේ උපාලි හිමියන් විසිනි.

ගිහි කල අතිශය සුඛෝපභෝගි ජීවිතයක් ගත කළ සිදුහත් බෝසතුන්ගේ ඥාති සොයුරකු වන අනුරුද්ධ කුමරු කිසිදු දිනක නැහැ යන වචනය අසන්නට නො ලැබුණූ කෙනෙකු බව සඳහන් වේ සසුන්ගත වීමෙන් පසු දිවැස් ඇතියවුන් අතර අග්‍රගණ්‍ය ශ්‍රාවකයා වූයේ. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ප්‍රථම ධර්ම සංගීතියේදී අංගුත්තර නිකාය මුඛ පරම්පරාගතව පවත්වා ගෙන යාමේ’ තම භාරදූර කර්තව්‍යය භාරගත් අනුරුද්ධ හිමියෝ ඒ සඳහා තම ශිෂ්‍යයන් පුරුදු පුහුණු කළහ. සමස්තයක් වශයෙන් සැළකු කළ ශාසනයේ වගකීම් සහිතව ක්‍රියා කළ ප්‍රධාන ගණයේ හිමි නමක් ලෙස සටහන් වේ.

බුද්ධ දේශිත සද්ධර්මය විශ්ලේෂණාත්මකව දේශනා කළ හැකි ශ්‍රාවකයන් අතර මහාකච්චාන හිමියෝ අග්‍රගණ්‍ය වෙති. බුද්ධ දේශිත සූත්‍ර දේශනාවන්හි කිහිප තැනකම මහාකච්චාන හිමියන්ගේ පාණ්ඩිත්‍යය මහත් සේ ඇගයුමට ලක් කොට ඇත. බුදුරදුන් විසින් සංකේෂපයෙන් දෙසු දහම් කොටස් සවිස්තරව දැනගත යුතු අවස්ථාවන්හි ශ්‍රාවකයෝ බොහෝ විට මහාකච්චාන තෙරුන් හමුවූහ. එහිදී තම වැටහීම අනුව එයව විස්තර කළ මහාකච්චාන තෙරණුවෝ එහි නිරවද්‍යතාව බුදුරදුන් වෙතින් තහවුරු කර ගන්නා ලෙසද ඔවුන්ට උපදෙස් දුන්හ. එබඳු අවස්ථාවල මහාකච්චාන හිමියන්ට පැවසු බුදුන් වහන්සේ එය අනුමත කරන ලද්දේ ඔබලා මගෙන් මෙම කරුණ විමසුවේ නම් මමද එය විසඳන්නේ මහාකච්චාන මෙනැයි වදාරමිනි. මෙය අතිශය ප්‍රබල වගකීම් සහිත කර්තව්‍යයක් බව අමුතුවෙන් කිවමනා නොවේ. එබැවින් මහාකච්චාන තෙරුන් වහන්සේද බුද්ධකාලීන යතිවරුන් අතර විසු වැදගත් මහතෙර නමක් වූවාට සැක නැත. සංක්ෂේපයෙන් දෙසූ ධර්ම කරුණු විස්තර වශයෙන් දෙසන භික්ෂූන් අතර ධර්ම සේනාපති සැරියුත් තෙරුන් හා මහාකච්චාන හිමියන් හැරුණූ විට සඳහන් වන අනෙක් ශ්‍රාවකයා වන්නේ මහාකොට්ඨිත මහරහතන් වහන්සේය. උන්වහන්සේ ප්‍රතිසම්භිදාප්‍රාප්ත භික්ෂූන් අතර අග්‍රවෙති.

ධර්ම සන්නිවේදනය ශාසන ප්‍රතිෂ්ඨාපනයේ මුල් වකවානුවේ දී බුදුරදුන්ගේ මූලික අවශ්‍යතාවක් විය. මේ නිසා ධර්මදූත ව්‍යාපාරයෙහි නියුතු වු ශ්‍රාවකයන්ගේ මෙහෙවර ප්‍රබලව දැනෙන්නට ඇත. බුදුරදුන් විසින් කුමාර කාශ්‍යප හිමියන්ට විචිත්‍ර කථිකයන් අතර අගතනතුරු පිරිනැමීමත් නන්දක හිමියන්ගේ ධර්ම දේශනාවක් ඉතා සුමිහිරි බව පවසමින් ඇගයීමත් මෙයට නිදසුන්ය. තවද ධර්මකථික භික්ෂූන් අතර අග්‍රස්ථානය ලත් මන්තානිපුත්ත පුණ්ණ මහරතන් වහන්සේ පුණ්ණ යන සංක්ෂේප නාමයෙන් ද හඳුන්වන ලද අතර ඉවසීමේ මාහැගි ගුණය උත්කෘෂ්ට වශයෙන් ඉසිලූ තෙර නමක් ලෙසද ප්‍රකටය. සුනාපරන්තය නම් අතිශය සැහැසි මිනිසුන්ගෙන් ගහණ පෙදෙසකට බවුන් වැඩීමට යාමට සූදානම් වු විට බුදුන් වහන්සේ එම ගමනෙහි පවතින බිහිසුණු බව පිළිබඳව පුණ්ණ තෙරුන්ට පැහැදිලි කර දුන් සේක. එහිදී අපහාස කළොත් පහර නොදුන් බව සිතාද පහර දුන්නොත් කැට කැබිලිතිවලින් පහර නොදුන් බව සිතාද එසේ කළහොත් නොමැරූ බව සිතාද ඉවසන බව පැවසූහ. ඉන් අනතුරුව එම ගමන යාමට බුදුන් වහන්සේ අවසර දුන්හ. පසුව එහි වැඩි පුණ්ණ තෙරුණුවන් පළමු වසර තුළදි පමණක් තම අවවාදයෙහි පිහිටි උපාසකයන් පන්සියයක් හා උපාසිකාවන් පන්සියයක් ත්‍රිවිද්‍යාප්‍රාප්තවූවන් බවට පත් කරවු බව සඳහන් වේ. මුන්වහන්සේගේ ගුණ පිළිබඳ අසා සැරියුත් තෙරණුවෝ වරක් පුණ්ණ හිමියන් හමුවීමට අන්ධවනයට වැඩම කළහ. එහිදී සිදුවු විසිතුරු ධර්ම සාකච්ඡාවක් අවසානයේ දෙදෙනාම දැන හඳුනාගත් තෙරුන් වහන්සේලා එකී හමුවීම පිළිබඳව අතිශය ප්‍රමෝදයට පත්වු බව සඳහන් වේ. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ බුදුරදුන්ගෙන් වෙන්ව වනගතවීමට පෙර තම ගමට වැඩම කොට පැවිදි කරවු බෑණා වුයේද මෙම පුණ්ණ තෙරුන්මය. විචිත්‍ර ධර්ම කථාවන් අනෙක් ජනයාට නිවන් මග දොරටුව විවර කළ පුණ්ණ හිමියන්ගේ සේවාව බුදුරදුන්ගේ ධර්මදූත ව්‍යාපාර උදෙසා මහත් පිටිවහලක් වූවාට කිසිදු සැක නැත. මේ හැරුණූ විට සියලු දෙනා සමඟ අදහස් හුවමාරු කර ගැනීමේදි පි‍්‍රය තෙපුල් බිණීම බෞද්ධ භික්ෂුවගේ මූලික ලක්ෂණයකි. කුටිකණ්න සෝණ හිමියන්ට මිහිරි වදන් ඇති භික්ෂුන් අතර අගතනතුර බුදුන් වහන්සේ විසින් පිරිනමන ලදී. මෙය එක් අතකින් සෙසු භික්ෂූන් දිරි ගැන්වීම් ලෙසද සිතිය හැකිය.

ගිහි කළ ත්‍රිවේද පාරප්‍රාප්ත උගතෙකු මෙන්ම පන්සියයක් මානවකයන්ට ආචර්යවරයෙකු වූ පිණ්ඩෝල භාරද්වාජ තෙරණුවෝ නිවටුන්ගේ මන් බිඳීම සඳහා මහත් ඍද්ධි ප්‍රාතිහාර්ය පෑමෙන් මහජනයා බුදුසසුනෙහි පැහැදවීම පිණිස මහත් මෙහෙවරක් කළ කෙනෙකි. සසුන තුළ සිහනාද කළ හැකි ශ්‍රාවකයන් අතර අග්‍රස්ථානය බුදුරදුන් විසින් මුන්වහන්සේට පිරිනමන ලදී. උත්තරීමනුෂ්‍ය ධර්ම ප්‍රකට කරවනු වස් ඍද්ධිප්‍රාතිහාර්ය පෑම බුදුරදුන් විසින් තහනම් කරන ලද නමුත් ශ්‍රාවකයන් තුළ පැවැති මෙම හැකියාව බුදුසසුන කෙරේ ජනයාගේ ආකර්ෂණය වැඩිවීමට හේතු වූවා විය යුතුය. එබඳු ශ්‍රාවකයන් වහන්සේලා කිහිප නමක් වෙති. නිදසුනක් ලෙස චුල්ලපන්ථක මහරහතන් වහන්සේට මනෝමය කාය සිය දහස් ගණන් මැවීමේ හැකියාවක් පැවතුණි. දෙවියන්ට පි‍්‍රයමනාප ශ්‍රාවකයන් අතර පිළින්දවච්ඡ මහරහතන් වහන්සේ අග්‍රගණ්‍ය වෙති. මුගලන් තෙරුන්ගේ ඍද්ධි මහිමය අපූර්ව බව නනෝදාපනන්ද නාගරාජ දමනය ආදි වගතුගවලින් අනාවරණය වේ.

සැබැවින්ම ඒ ඒ ශ්‍රාවකයන් තුළ පැවති උසස් ගුණාංග හේතුවෙන් බුදුන් වහන්සේ උන්වහන්සේලාට අගතනතුරු ප්‍රදානය කළහ. ආනන්ද හිමියන්ට ස්ත්‍රී පක්ෂය වැඩි වශයෙන් පි‍්‍රය කළ බවට සාධක හමුවේ. එහෙත් කුල ප්‍රසාදක භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබී ඇත්තේ කාලුදායි තෙරුන්ටය. සසුන්ගතවීම සඳහා විශාල අනුගාමිකයන් පිරිසක් සහිතව පැමිණි උරුවේල කස්සප තෙරණුවෝ විශාල පිරිස් ඇති ශ්‍රාවකයන් අතර අග්‍ර වූහ.

සසුන්ගතවීමේ දි ශ්‍රද්ධාව මූලික කරුණක් වේ. එසේ පැවිදි වූවන් අතර රට්ඨපාල තෙරුන්ට බුදුරදුන් අගතනතුරු පිරිනමා ඇත. වක්කලී තෙරුන් වහන්සේ ශ්‍රද්ධාව බහුල ශ්‍රාවකයන් අතර අගවෙති. මෙය සෙසු අයගේ ශාසනික ශික්ෂණය සඳහා ඉවහල් වූවාට සැක නැත. ශාසන බ්‍රහ්මචර්යාව තුළ සැරියුත් හිමියන් කුඩා සාමණේර නමකගෙන් වුවද අවවාද පැතු බව ප්‍රසිද්ධය.ළදරු විය මහණ වූ රාහුල හිමියන්ට මෙම අත්දැකීම ආශිර්වාදයක් වන්නට ඇත. පසුකලෙක ශික්ෂාකාමි භික්ෂූන් අතර අගතනතුර බුදුරදුන් විසින් පිරිනමන ලද්දේ රාහුල හිමියන්ටය. පේ‍්‍රමය හේතුවෙන් අකැමැත්තෙන්ම සසුන්ගත වූවෙකු වන නන්ද කුමරුන් පැවිදි වු පසු සංසුන් ඉඳුරන් ඇති ශ්‍රාවකයන් අතර අගතැන්පත් වීමෙන් පෙනී යන්නේ ශාසනික බ්‍රහ්මචරියාවෙන් ඒ ඒ අය ලැබු අධ්‍යාත්මික පිරිපුන් බවෙහි ස්වභාවයයි.

,භාරතීය ආගමික ක්ෂේත්‍රය අත්තකිලමථානුයෝගය කෙරේ වැඩි ඇල්මක් දැක්වු බව අපි දනිමු. බුදුදහමටද මෙම බලපෑම යම් අයුරකින් බලපෑ බව කිව යුතුය. එක් අතකින් අනුගාමිකයාගේ වැඩි රුචිකත්වයක් ද එයට හිමි වුණි. බුදුදහමෙහි දෘඬ ව්‍රතවලට වටිනාකමක් නැත. එහෙත් එහි භාවනාවට මුල් තැනක් ලැබේ. බුදුන් දවස ධුතංගධාරි භික්ෂුන් අතර මහාකස්සප හිමියෝ අගතැන් පත් වූහ. මෙය බොහෝ ජනයාගේ ආකර්ෂණය බුදුදහම වෙත යොමු වීමට හේතු වන්නට ඇත. මෙම නිසා ශ්‍රාවකයන් අතර අරණ්‍යගතව භාවනා යෝගීව විසු මහ තෙරුන් වහන්සේලාගෙන් සිදුවු මෙහෙවර ද අමතක නොකළ යුත්තකි. එබඳු අරණ්‍යවාසි භික්ෂූන් අතර ඛදිරවනිය රේවත තෙරහු අග්‍ර වෙති. ධ්‍යානයෝගීව විසීමට කඬඛාරේවත හිමියෝ අතිශය පි‍්‍රය කළහ. බවුන් වැඩීම ධ්‍යාන සමාපත්ති ආදියට සමවැදීම ආදිය ශ්‍රාවකයන් අතර පැවති සාමාන්‍ය ක්‍රියාවලියකි. ධ්‍යානයන්ට සමවදින භික්ෂූන් අතර කඬඛාරේවත හිමියන්ද තේජෝ කසින සමාපත්තියට සමවදින භික්ෂූන් අතර සාගත තෙරුන්ද අග තැන්හි තැබීමත් මෙයට නිදසුන්ය.

මෙසේ බුද්ධකාලීන ප්‍රකට ශ්‍රාවකයන් වහන්සේලා පොදු ජන හිතකාමිත්වය පෙරදැරි කොට ගෙන කරන ලද මෙහෙවර ශාසනික ඉතිහාසයෙහි සටහන් වී ඇත්තේ පසුකාලීන සාධු ජනයන් තුළ උන්වහන්සේලා කෙරෙහි පැවැති අපිරිමිත භක්තිය නිසාවෙනි.