බුදුදහම හා මාර සංකල්පය 13
මාරයාගේ සැඩ පහර
ශාස්ත්‍රපති
රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි
මේ ලෝක විෂය පිළිබඳ එනම්, සියලු ධර්මයන්ගේ නැසෙන සුළු, විනාශ වන සුළු
ස්වභාවය යමෙක් නොසිතන්නේ නම්, නොසිතා කටයුතු කරන්නේ නම්, ඔහු අඥාන
පුද්ගලයෙකි. ඔහුට ඇත්තේ ලෝකය පිළිබඳ අල්ප වූ දැනීමකි. ඔහු නිතර උත්සාහ
කරන්නේ නොමැරෙන්නෙක් ලෙස සිතා භෞතික දේ රැස් කිරීමට පමණි
‘බුදුදහම හා මාර සංකල්පය’ යන මාතෘකාව ඔස්සේ පළවන ලිපි පෙළෙහි පසුගිය
පොහෝ දිනයේ දී අපගේ සාකච්ඡාවට බඳුන් වූයේ පාපී මාරයාගේ දූවරු ගැන සඳහන්
වන “මාරධීතු සූත්‍රය” විමසා බැලීමටයි. අද අප සාකච්ඡා කිරීමට
බලාපොරොත්තු වන්නේ අපගේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාගේ
සිත්සතන් නිවා සනසා නිර්වාණාවබෝධය පිණිස දේශනා කළ වැදගත් දම් දෙසුමක්
වන මජ්ක්‍ධිම නිකායට අයත් “චූලගෝපාලක” සූත්‍රයේ ඇතුළත් මාරයාගේ සැඩ
පහරට හසු නොවන ආර්ය ශ්‍රාවකයාගේ ගමන් මාර්ගය පිළිබඳව පහදා දීමටයි.
මෙම සූත්‍රයේ සඳහන් වන්නේ එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ වජ්ජි ජනපදයෙහි
“උක්කවේලා” නම් නුවර සමීපයෙහි ‘ගංගානම්’ ගංතෙර වැඩ වාසය කරන කල්හි
භික්ෂූන් අමතා පෙර සිදු වූ කතාවක් දේශනා කළහ. මෙය ගඟෙහි තරම නොදැන
ගවයන් එතෙර කිරීමට ගොස් ගවයන් සියලු දෙනා විනාශ කරගත් ගොපල්ලෙකු හා
ගඟෙහි තරම දැන ගවයන් එතෙරකොට ගවයන් බේරාගත් ගොපල්ලෙකු පිළිබඳ කථාවකි.
එම ගොපල්ලන් පිළිබඳ කරුණු මෙසේ ය. එනම්, ඉතා අඥාන ස්වභාව ඇති මගධ රට
වැසි වූ ගොපල්ලෙක් වස්සාන සෘතුවේ අන්තිම මාසයෙහි සරත් කාලයෙහි, ගංගානම්
නදියෙහි මෙතෙර නොසලකා එතෙර නොසලකා විදේහ රටට එතෙර කරනු පිණිස නුසුදුසු
තොටින් ගවයන් ගඟට බැස්ස විය. මහණෙනි, ඒ ගවයෝ ගංගානම් නදියෙහි මැද සැඩ
පහරෙහි දිය සුළියකට අසු වී, එහිම විනාශයට පත්වූහ. ඊට හේතුව නම්, ඉතා
අඥාන ස්වභාව ඇති මගධ රට වැසි ඒ ගවපාලකයා වස්සාන සෘතුවේ අන්තිම මාසයෙහි
සරත් කාලයෙහි ගංගා නම් ගඟෙහි මෙතෙර නොසලකා එතෙර නොසලකා විදේහ රටට එතෙර
කරනු පිණිස ගවයන් ගඟට බැස්ස වීමය. අදක්ෂ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ එපරිද්දෙන්
ම යම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ ලෝකය පිළිබඳව අදක්ෂයෝ වෙත් ද,
පරලොව පිළිබඳව අදක්ෂයෝ වෙත් ද, මාරයාට අයත් වූවෙහි. අදක්ෂයෝ වෙත් ද,
මාරයාට අයත් නොවූවෙහි අදක්ෂයෝ වෙත් ද, මැරෙන ස්වභාව ඇති දෙයෙහි අදක්ෂයෝ
වෙත් ද, නොමැරෙන ස්වභාව ඇති දෙයෙහි අදක්ෂයෝ වෙත් ද, ඔවුන්ගේ, ධර්මය
ඇසිය යුතු යැයි ද, ඇදහිය යුතු යැයි ද, යම් කෙනෙක් හඟින්නාහු ද, ඔවුන්ට
ඒ ඇසීම හෝ ඇදහීම හෝ බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස වන්නේ ය. දුක්
පිණිස වන්නේ ය.
නුවණැති ගොපල්ලා
මහණෙනි, මෙය ද පෙර වූවකි. නුවණැත්තා වූ මගධරට වැසි ගොපල්ලෙක් වර්ෂා
සෘතුවේ අවසාන මාසයෙහි සරත් කාලයෙහි ගංගානම්, මෙතෙර සලකා බලා එතෙර සලකා
බලා විදේහ රටට එතෙර කරනු පිණිස සුදුසු තොටින් ගවයන් ගඟට බැස්ස විය.
හෙතෙම පළමු කොටම ගව පියන් වූ, (ප්‍රධාන වූ) ගවනායක වූ යම් ඒ ගවයෝ වෙත්
ද, ඔවුන් ගඟට බැස්සවීය. ඒ ගවයෝ ගඟෙහි සැඩපහර සිඳ ගඟ හරහා සැපසේ එතෙරට
ගියාහුය. ඊට අනතුරුව බලවත් වූ ද දමනය කටයුතු වූ ද ගවයින් ගඟට බැස්සවීය.
ඔවුහු ද සැඩපහර සිඳ ගඟ හරහා සැපසේ එතෙරට ගියාහුය. ඊළඟට නහඹු වස්සන් හා
නහඹු වැස්සියන් ද බැස්සවීය. ඔවුහු ද සැඩපහර සිඳ ගඟ හරහා සැපසේ එතෙරට
ගියාහුය. ඊළඟට කුඩා වසු පැටවුන් ගඟට බැස්සවීය. ඔවුහු ද සැඩපහර සිඳ ගඟ
හරහා සැපසේ එතෙරට ගියහ. මහණෙනි, ඉතා බාල වූ එකෙණෙහි ම උපන් මවු දෙනගේ
හඬින් ගෙන යනු ලබන වසුපැටියා පවා ගඟෙහි සැඩපහර කපා සුවසේ එතර වීය.
නුවණ ඇත්තා වූ මගධ රට වැසි ගොපල්ලා වර්ෂා සෘතුවෙහි අන්තිම මාසයෙහි ශරත්
සෘතුවෙහි ගංගානම් ගඟෙහි මෙතෙර සලකා බලා එතෙර සලකා බලා එතෙර වූ විදේහ
රටට නිසි තොටින්ම ගවයන් එතෙර කරවීම නිසා සියලු ගවයෝ බේරුණහ.
දක්ෂ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ,
එසේම යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ ලෝකයෙහි (ස්කන්ධ
ආයතනාදියෙහි) දක්ෂයෝ වෙත් ද, පරලෝකයෙහි දක්ෂයෝ වෙත් ද, මාරයාට අයත්
වූවෙහි දක්ෂයෝ වෙත් ද, මාරයාට අයත් නොවූවෙහි දක්ෂයෝ වෙත් ද, මැරෙන
ස්වභාව ඇති දෙයෙහි දක්ෂයෝ වෙත් ද, නොමැරෙන ස්වභාව ඇති දෙයෙහි දක්ෂයෝ
වෙත් ද, යමෙක් තුමු ඔවුන්ගේ ධර්මය ඇසිය යුතු කොට, ඇදහිය යුතු කොට
නඟන්නාහු ද, ඔවුන්හට ඒ ඇසීම හා ඇදහීම බොහෝ කලක් මුළුල්ලෙහි හිත පිණිස
වන්නේ ය. සැප පිණිස වන්නේ ය.
යම්සේ ගවපියන් වූ, ගවයින් ප්‍රධාන වූ, යම් ඒ ගවයෝ ගඟෙහි සැඩපහර සිඳගෙන
සැපසේ එතෙරට ගියාහු ද, මහණෙනි, එපරිද්දෙන් ම යම් ඒ භික්ෂු කෙනෙක්
නැතිකළ කෙලෙස් ඇති වැස නිමවූ බ්‍රහ්මචරියා ඇති, නිම වූ කටයුතු ඇති, බහා
තබන ලද කෙලෙස් බර ඇති, පිළිවෙළින් පැමිණි රහත්බව ඇති, නැති කළ භව
සංයෝජන ඇති මනා කොට දැන කෙලෙසුන්ගෙන් මිදුණ, රහතන් වහන්සේලා වෙත් ද,
උන්වහන්සේලා මාරයාගේ ( තෘෂ්ණා) සැඩපහර සිඳ සැපසේ (නිර්වාණයට) එතෙරට
යන්නාහ. යම්සේ ඒ බලවත් ගවයෝ ද, හික්ම විය යුතු ගවයෝ ද සැඩපහර සිඳ ගඟ
හරහා සුවසේ ගියාහු ද, මහණෙනි, එසේම යම් ඒ භික්ෂු කෙනෙක් ඕරංභාගිය
සංයෝජනයන් සිඳීමෙන් බඹලොව ඕපපාතිකව ඉපිද එයින් කාම ලෝකයට නො පැමිණෙන්නා
වූ, අනාගාමී පුද්ගලයෝ වෙත් ද, ඔවුහු ද මාරයාගේ සැඩපහර කපා සුවසේ
එතෙරවන්නාහ. යම්සේ නහඹු වස්සෝ ද, නැහැඹු වැස්සියෝ ද සැඩපහර සිඳ ගඟ හරහා
සුවසේ එතෙර වුවාහු ද, මහණෙනි, එසේම යම් ඒ භික්ෂුහු ත්‍රිවිධ සංයෝජනයන්
නැති කිරීමෙන් රාග, ද්වේෂ, මෝහයන් තුනී කිරීමෙන් සකෘදගාමී වූවාහු එක්
වරක්ම මේ කාම ලෝකයට එන ස්වභාව ඇතිව දුක් කෙළවර කරන්නාහු වෙත් ද, ඔවුහු
ද මාරයාගේ (තණ්හා) සැඩපහර සිඳ සුවසේ එතෙරට යන්නාහ. යම්සේ දුර්වල වූ
වස්සෝ සැඩපහර සිඳ ගඟ හරහා සුවසේ එතෙර වුවාහු ද, මහණෙනි, එපරිද්දෙන්ම
යම් ඒ භික්ෂූහු සංයෝජන තුන නැති කිරීමෙන් සෝවාන් වුවාහු සතර අපායෙහි
නොවැටෙන සුළු වුවාහු, නියතයෙන් ම රහත් බව ලබන්නාහු වෙත් ද, ඔවුහු ද
මාරයාගේ (තණ්හා) සැඩපහර සිඳ සුවසේ එතෙරට යන්නාහ.
යම්සේ එකෙණෙහි උපන් ළදරු වසු පැටවා ද මවුදෙනගේ ශබ්දය අනුව එතෙර වන්නේ
සැඩපහර සිඳ ගඟ හරහා සුවසේ එතෙරට ගියේ ද, එපරිද්දෙන් ම ධර්මානුසාරී නම්
වූ ද, සද්ධානුසාරී නම් වූ ද යම් ඒ සෝවාන් භික්ෂූහු වෙත් ද, ඔවුහු ද
මාරයාගේ (තණ්හා) සැඩපහර සිඳ සුවසේ එතෙරට යන්නාහ. මම වනාහි මේ ලෝකය
පිළිබඳව ද දක්ෂ වෙමි. පරලෝකය පිළිබඳව ද (ස්කන්ධධාතු ආයතනාදියෙහි දක්ෂ
වෙමි. මාරයාට අයත් දෙය දැනීමෙහි දක්ෂ වෙමි. මාරයාට අයත් නො වූ දෙය
දැනීමෙහි දක්ෂ වෙමි. මැරෙන ස්වභාව ඇති දෙය දැනීමෙහි දක්ෂ වෙමි. නොමැරෙන
ස්වභාව ඇති දෙය දැනීමෙහි දක්ෂ යම් කෙනෙක් මාගේ ධර්මය ඇසිය යුතු යැයි
සිතන්නේ ද, ඔවුන්ට එය බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත පිණිස වන්නේ ය. සැප
පිණිස වන්නේ ය. සම්බුදු දහම හිත පිණිස වන්නේ ය. සැප පිණිස වන්නේය.
සියල්ල දත් සර්වඥයන් වහන්සේ විසින් මෙලොව (ස්කන්ධධාතු ආයතනාදිය) ද,
පරලොව (ස්කන්ධධාතු ආයතනාදිය) ද මනාව වදාරණ ලදී. මරහු විසින් පැමිණෙන ලද
යම් ධර්මයක් වේද, මරහු විසින් නොපැමිණෙන ලද යම් ධර්ම වේද, සියල්ල දත්
සර්වඥයන් වහන්සේ ඒ සියල්ල දැන නිවණට පැමිණීම පිණිස නිර්භය වූ මාර්ග
දොරටුව විවෘත කරන ලදී. මාරයාගේ තෘෂ්ණා සැඩපහර සිඳින ලදී. මානය නමැති
සුළඟ විනාශ කරන ලදී. එහෙයින් මහණෙනි, සතුට බහුලකොට ඇත්තාහු වන්න,
නිර්වාණය පැතිය යුතු ය.
මේ ලෝක විෂය පිළිබඳ එනම්, සියලු ධර්මයන්ගේ නැසෙන සුළු, විනාශ වන සුළු
ස්වභාවය යමෙක් නොසිතන්නේ නම්, නොසිතා කටයුතු කරන්නේ නම්, ඔහු අඥාන
පුද්ගලයෙකි. ඔහුට ඇත්තේ ලෝකය පිළිබඳ අල්ප වූ දැනීමකි. ඔහු නිතර උත්සාහ
කරන්නේ නොමැරෙන්නෙක් ලෙස සිතා භෞතික දේ රැස් කිරීමට පමණි. ඔහුගේ
ආධ්‍යාත්මය හිස්ය. ඔහු ලෙහෙසියෙන් ම මරුවාගේ වසඟයට යයි. ඔහු සමාන කර
ඇත්තේ අනුවණ ගොපල්ලාටය. එහෙත් ලෝකය පිළිබඳ අවබෝධය ඇති පුද්ගලයා
අප්‍රමාදීව කුසල් දහම් රැස් කරන අතර උත්සාහ කරන්නේ මරුවාගෙන් නිදහස්
වීමටය. එනම්, පංචකාම විෂයෙන් ඉවත්ව අප්‍රමාදීව සසරෙන් එතර වීමටය. ඔහු
උපමා කොට ඇත්තේ නුවණැති ගොපල්ලාටය. එබැවින් අප උත්සාහ කළ යුත්තේ ද මෙම
ධර්මතාවය අවබෝධ කොට ගෙන මැරෙන අය මෙන් ජීවත්ව සසරෙන් එතෙර වීමටය.
මතු සම්බන්ධයි.
බුදුදහම හා මාර සංකල්පය 12 - බුදුරදුන් වසඟ කරන්නට තැත් කළ මාර දූවරු |