Print this Article


බෞද්ධ සදාචාරාත්මක ජීවිතයේ වැදගත්කම

බෞද්ධ සදාචාරාත්මක ජීවිතයේ වැදගත්කම

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වදාළ ආර්යය මාර්ගය ආචාර විද්‍යාත්මක (ශීල) මනෝවිද්‍යාත්මක (සමාධි) හා දාර්ශනික පදනමකින් (ප්‍රඥා) යුක්ත වේ. මධ්‍යම ප්‍රතිපදාව යනුවෙන් හැඳින්වෙන එහි ආරම්භක පදනම ශීලය හෙවත් සදාචාරයයි. ආර්යය අෂ්ටාංගික මාර්ගයේ සම්මාවාචා, සම්මා කම්මන්ත, හා සම්මා ආජීව යනුවෙන් හැඳින්වෙන අංග තුන ශීලයට අයත් වේ. කායික, වාචසික සංවරය ආවරණය කෙරෙන ශීලය ගිහි පැවිදි වශයෙන් විවිධ ප්‍රභේද යටතේ දැක්වේ.

ඒ අනුව පැවිදි සමාජය උදෙසා උපසම්පදා ශීලයත්, සාමණේර දස ශීලයත් හඳුන්වා දී තිබේ. ගිහි සමාජය සඳහා නිත්‍ය ශීලය වන පංච ශීලයත්, ගිහි උපෝසථ ශීලයත් නිර්දේශ කොට ඇත. මේ කවර ප්‍රභේදයක් යටතේ වුවද මූලික වශයෙන් දැක්වෙන්නේ ආර්යය අෂ්ටාංගික මාර්ගයේ ශීලයට අයත් කායික, වාචසික හා ජීවන ප්‍රතිපදාව හා සම්බන්ධ චර්යාවන්හි ශික්ෂණයයි. අවසානයේ එයින් බලාපොරොත්තු වන්නේ පුද්ගලයාගේ කායික වාචසික සංවරයයි. එය විවිධ ප්‍රභේද යටතේ දැක්වුවද එහි මූලික අරමුණ වූයේ පුද්ගල සදාචාරයයි.

විමුක්තිය උදෙසා කෙරෙන කැපවීමේ ප්‍රමාණය අනුව සංවරයේ සීමාවද පුළුල් වේ. කඩිනමින් විමුක්තිය අපේක්ෂා කරන පැවිදි සමාජය උදෙසා වැඩි ශික්ෂාපද ප්‍රමාණයකින් ශීලය ආවරණය කර තිබේ. එබැවින් පැවිදි සාමජයේ ශීලය වර්තමාන ජිවිතයේම විමුක්තිය කඩිනම් කරන අතර නෛෂ්ක්‍රම්‍ය ප්‍රතිපදාව පිළිබඳ සමාජ ආදර්ශයක්ද සපයයි. වෙනත් අයුරකින් ප්‍රකාශ කරන්නේ නම් කය හා වචනය සංවර කරගත් සිල්වත් භික්ෂුව හා භික්ෂුණිය දකින්නාට හා ඇසුරු කරන්නාට මහත් ආශිර්වාදයකි. ගිහි පිරිස කඩිනමින් නිවන් අවබෝධය සඳහා කැප නොවන හෙයින් ඔවුන්ගේ ශීලය අවම ශික්ෂාපද සමූහයකින් ආවරණය කර තිබේ. නිත්‍ය ශීලය වන පංච ශීලය අරිය කන්ත ශීලය යනුවෙන් දැක්වෙන අතර එය සෝතාපත්ති ඵලය සාක්ෂාත් කිරීම සඳහා ප්‍රමාණවත් වන බව දැක්වීමෙන් පැහැදිලි වන්නේ විමුක්තිය සාක්ෂාත් කිරීම උදෙසා පංච ශීල සදාචාරය වුවද ප්‍රමාණවත් බවයි. මේ අනුව පංච ශීලය මැනවින් රකින ගිහියාට විමුක්තිය ඈත නොවන බව පැහැදිලිය.

බුදුරදුන් වදාළ ශීලය හුදෙක් පුද්ගල විමුක්තිය පමණක් නොව සමාජ ජීවිතයේ යහපැවැත්මත් මානසික සුවයත් අවධාරණය කර ඇති බව සිල්වත් වීමේ ආනිසංස හා දුසිල්වත් වීමේ ආදීනව විමසීමෙන් පැහැදිලි වේ. ත්‍රිවිධ ශික්ෂා යටතේ දැක්වෙන බෞද්ධ විමුක්ති ප්‍රතිපදාවේ මූලික පදනම ශීලය වන අතර එය චිත්තසමාධිය යනුවෙන් අදහස් කෙරෙන සමාධිය සඳහාත්, සමාධිය ප්‍රඥාව සඳහාත් හේතුවේ. ඒ අනුව ශීලයෙන් තොරව විමුක්තිය සාක්ෂාත් කළ නොහැකිය. කය වචන දෙක සංවර කෙරෙන ශීලයට අයත් ශික්ෂා මගින් අකුශල සහගත චිත්තවේග බාහිර වශයෙන් ක්‍රියාවට නැංවෙන අවස්ථා වළක්වනු ලැබේ’. පුද්ගල සන්තානයේ පවතින ලෝභ, දෝස, මෝහ යන මූලික අකුසල මානසික ස්වභාවයන් පදනම් කරගත් අකුශල සහගත පාප සහගත සිතිවිලි කය වචන දෙකින් ක්‍රියාවට නැංවේ. එම අවස්ථාව වීතික්කම යනුවෙන් හැඳින්වේ. වීතික්කම යනු, ඉක්මවා යාමයි. සිතේ ඇතිවෙන අයහපත් සිතිවිලි විචාරය බුද්ධියෙන් තොරව ක්‍රියාත්මක කළ විට එහි බලපෑම පුද්ගලයා හා සමාජයට පමණක් නොව බාහිර භෞතික පරිසරයටද හානිකර වේ. සිතෙහි පහළවන අකුශල සහගත සිතිවිලි ඒ ආකාරයෙන්ම ප්‍රකාශයට පත් වුවහොත් පුද්ගලයා තිරිසනකු හා සමාන තත්ත්වයට පත් වේ. ඔහුගේ චර්යාවන් නිසා සමාජයේ සදාචාරය , නීතිය, යුක්තිය පමණක් නොව විනය හා සාමයද බිඳ වැටෙයි’. බුදුරදුන්ගේ දේශනය අනුව එහි අයහපත් බලපෑම වර්තමාන ජීවිතයට පමණක් සීමා වන්නේ නැත. එය පුද්ගලයාගේ මරණින් මතු ජීවිතයට බලපෑම් කරයි. කයින් වචනයෙන් අකුශල චර්යාවන්හි නිරතවන පුද්ගලයා මෙලොව වශයෙන් භය හා වෛරය රැස් කරයි. (දිට්ඨ ධම්මිකම්පි භයං වෙරං පසවති) පරලොවදීත් භය හා වෛරය රැස්කරයි. (සම්පරායිකම්පි භයං වේරං පසවති) එපමණක් නොව තම අකුශල චර්යා නිසා මානසික වශයෙන්ද දුකට වේදනාවට පත්වේ. (චේතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවේදෙති) මේ අනුව බුදුසමයේ දැක්වෙන ශීලය මූලික කරගත් සදාචාරය මෙලොව ජීවිතයට පමණක් නොව පරලොව ජීවිතයට බලපාන බව පැහැදිලිය.

දුසිල් බවට පත්වීමෙන් සිදුවන අයහපත බුදුරදුන් විසින් නිතර දේශනා කළ අයුරු අංගුත්තර නිකායේ අධිකරණ වග්ගයෙන් පැහැදිලි වේ. ඒ අනුව අයහපත් කායික, වාචසික චර්යා හේතුවෙන් හෘදය සාක්ෂිය විසින් පුද්ගලයා ප්‍රශ්න කරනු ලැබේ’. (අත්තාපි අත්තානං උපවදති) වරදකාරී හැඟීම් ඇති වී මානසික වශයෙන් දැඩි ලෙස අසහනයට පත්වේ. ඇතැම් විට දරුණු අපරාධ කළ පුද්ගලයන් සියදිවි නසා ගැනීමට මෙන්ම, මානසික විකෘති බව ඇති කෙරෙන මත්ද්‍රව්‍ය සඳහා යොමු වන්නේ මෙම වරදකාරි මානසික හැගීම නිසයි. දෙවනුව තම විනය විරෝධි හැසිරීම් නිසා සමාජයේ නැණවතුන්ගේ ගැරහුමට ලක්වීමට සිදුවේ. (අනුවිච්චවිඤ්ඤූගරහන්ති) තෙවනුව තම සාවද්‍ය චර්යා හේතුවෙන් අපකීර්තියට පත්වේ. (පාපකො කිත්ති සද්ධො අබ්බුග්ගච්ඡති) මෙම කරුණු දෙකම සමාජ විද්‍යාත්මක පදනමකින් යුක්තය. පුද්ගල චර්යා සම්බන්ධයෙන් සමාජ ප්‍රතිචාර අතිශය වැදගත් වන්නේ එක් අංශයකින් එම ප්‍රතිචාර පුද්ගලයා තුළ වරදට පෙළඹවීමේ උනන්දුව අවම කරන හෙයිනි. සිව්වෙනුව විනය විරෝධි දුශ්ශීල ජීවිතය හේතුවෙන් මරණාසන්න අවස්ථාවෙහි තමා කළ වැරැදි සිහිපත් වීමෙන් සිහි මුලා බවට පත්වේ. (සම්මූල්හො කාලං කරොති) බොහෝ අපරාධකරුවන් තම චර්යාව සම්බන්ධයෙන් දීර්ඝකාලීන විශාදයෙන් පෙළේ. ඔවුහු මරණයට මහත් බියක් දක්වති. දුරාචාරයේ අවසාන ප්‍රතිඵලය ලෙස මරණින් පසුව දුගති සංඛ්‍යාත නිරයේ ඉපිද දුක් විඳීමට සිදුවේ. (අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති) අංගුත්තර ශීල සූත්‍රයෙන් මෙම කරුණු මෙන්ම අතිරේක කරුණු දෙකක්ද ආදීනව ලෙස ඉදිරිපත් කොට ඇත. එනම් දුශ්ශීල ජීවිතය හේතුවෙන් ඇතිවන ප්‍රමාදය නිසා ආර්ථික වශයෙන් පරිහානියට පත්වේ. (සීලවිපන්නො) පමාදාධිකරණං මහතිං භෝග ජානිං නිගච්ඡති) පංචශීලයේ අවසන් ශික්ෂාපදය දෙස විධානය යොමු කිරීමෙන් මෙය වටහාගත හැකිවේ. ලංකාවේ ග්‍රාමීය ජනයාගේ ආර්ථික පරිහානිය කෙරෙහි මත්පැන් භාවිතය අතිශයෙන් බලපා තිබෙන බව ප්‍රකටය. ආර්ථික වශයෙන් මිනිසා දුර්වල වන විට සමාජ සදාචාරය බිඳ වැටෙන අයුරු චක්කවත්ති සීහනාද සූත්‍රයේ පැහැදිලි කොට තිබේ. දුශ්ශීල ක්‍රියා හේතුවෙන් මනා පෞරුෂයකින් යුක්තව සමාජය හමුවේ ක්‍රියාකාරි විය නොහැකිය. (අවිසාරදො උපසංකමති මංකුභූතො සමාජයේ ගාමක බලවේග වශයෙන් සැලකෙන ආගම අධ්‍යාපනය හා පාලන අධිකාරිය නියෝජනය කරන පුද්ගලයන්ගේ සදාචාර විරෝධි චර්යා හේතුවෙන් ඔවුන්ගේ පෞරුෂය බිඳවැටී තිබෙන අතර ඔවුන් පිළිබඳ ගෞරවය හා විශ්වාසය සමාජයෙන් තුරන් වෙමින් පවතී. බුදුරදුන් වදාළ මෙම අදීනව සියල්ලෙන් පැහැදිලි වන්නේ කායික හා වාචසික වශයෙන් සිදුවන වැරැදි ක්‍රියා හේතුවෙන් කොතරම් පුළුල් ආකාරයෙන් පුද්ගලයා පීඩාවට පත්වන්නේද යන්නයි.

සිල්වත් වීමේ ආනිසංස යනු, ඉහතින් දැක්වූ ආදීනවයන්හි ප්‍රතිවිරුද්ධ පැත්තයි. සිල්වත් වීම විමුක්තිය සාක්ෂාත් කිරීම කඩිනම් කරන අතර ඉහතින් සඳහන් කළ මානසික පීඩාවලින් තොරව මනා පෞරුෂයකින් යුක්තව ආර්ථික වශයෙන් සමෘද්ධිමත් ලෞකික ජීවිතයකට මග පෙන්වයි. එය වර්තමාන ජීවිතය සැපවත් කරනවා පමණක් නොව සාංසාරික පැවැත්මද යහපත් කිරීමට හේතුවේ. මේ අනුව ආර්යය අෂ්ටාංගික මාර්ගය යටතේ ශීලය කොතරම් පුළුල් පදනමකින් ඉදිරිපත්කොට තිබේද යන්න පැහැදිලි වේ.

සදාචාර සම්පන්න ජීවිතයේ බලපෑම වර්තමාන ජීවිතයෙන් ඔබ්බට ගොස් සාංසාරික පදනමකින් ක්‍රියාත්මක වන්නක් බව ඒ හා සම්බන්ධ ආදීනව මෙන්ම ආනිසංසත් විමසීමෙන් පැහැදිලිවේ. මේ සියල්ල මානව අත්දැකීම්වලට ගෝචර වන එසේම දෛනික ජීවිතය තුළ ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිපත්ති සමූහයක් වන අතර හුදෙක් න්‍යායක් පමණක් නොවේ. ශීලය යටතේ ඉදිරිපත් කරන ලද ශික්ෂා බලහත්කාරයෙන් පුද්ගලයා වෙත පවරන ලද නීති සමූහයක් නොව ඒ සියල්ල ආත්මාවබෝධය පදනම්කරගෙන (අත්තානං උපමං කත්වා) ක්‍රියාත්මක කළ යුතු චර්යා පද්ධතියකි. කයින්, වචනයෙන් ක්‍රියාත්මක කරන චර්යා පුද්ගලයාට මෙන්ම සමාජයට බලපාන ආකාර විචාර බුද්ධියෙන් විමසා බලා ක්‍රියාවට නැංවීමේ නිර්ණායක සමූහයක්ද බෞද්ධ සදාචාර දර්ශනයෙන් ඉදිරිපත් කර ඇති හෙයින් එය පුද්ගල නිදහස උපරිමයෙන් ආරක්ෂා කොට ඇත. ගිහි වුවද, පැවිදි වුවද ශීලයෙන් හෙවත් සදාචාරයෙන් තොරව අත්පත්කරගන්නා ආධ්‍යාත්මික හෝ භෞතික කිසිවක් බුදුසමයෙන් ඇගයීමට ලක් නොවේ.