Print this Article


ලොව පිළිබඳ පරම සත්‍යය අධ්‍යයනය කළ චින්තකයාණෝ

ලොව පිළිබඳ පරම සත්‍යය අධ්‍යයනය කළ චින්තකයාණෝ

මෙම ලිපියෙහි මුල් කොටස වෙසක් පුර පසොළොස්වක පත්‍රයේ පළවිය..

එකී සංකේතයෙන් අනතුරුව එතුමන් රාජකීයභාවයෙහි තවදුරටත් හිමිකරුවකු නොවේ. මහ වන මැද ගන වන තුරු ලතා මැද හුදකලාව නිහඬ නිසංසලව සිටින මහ බෝසත්තුමන් සාමාන්‍ය පුද්ගලයකු වූයේ හුදෙක් කල්පනා කිරීමටයි. ඒ සඳහා රාජකීය අධිකාරි නොහොත් පියාණන්ගෙන් ඉල්ලූ අවසරය අර්ථසම්පන්නව ප්‍රතිඵලදායි නැති හෙයින් එතුමන්ට සිදුවූයේ ස්වේච්ඡාවෙන් රාජකීයභාවය අතහැර දැමීමටයි. කෙසේ වෙතත් එතුමන් විසින් ගවේෂණය කරනු ලැබ ත්‍රිපිටකය නමින් අද දවස ඉතිරි වී ඇති ලේඛනවලට අමතරව ද බොහෝ දේශනා සිදුකරනු ලැබ තිබිණි.

වචන තුනේ වාක්‍යයන්හි ලෝක ධර්මය විග්‍රහ කරනු ලැබ තිබූ අවස්ථා අපමණවත් දක්නට ලැබේ. නූතන විද්‍යාඥයන්, දාර්ශනිකයන්, චින්තකයන් විසින් ලෝකය විග්‍රහ කරන සූත්‍ර ඉදිරිපත් කරනු ලැබ ඇත. අයිසෙක් නිව්ටන් මහා විද්වතකු ලෙසත් චින්තකයකු ලෙසත් විද්‍යාඥයකු ලෙසත් සැලකේ. ඒ එතුමන් විසින් ලෝකය විග්‍රහ කළ යම් වාක්‍ය කිහිපයක් හේතුකොටගෙනයි. ක්‍රියාවක් ඇත්නම් ඊට නිසි ප්‍රතික්‍රියාවක් ඇතැයි නිව්ටන් කියා ඇත. ඒ නිසාම නිව්ටන් විද්‍යාඥයකු වේ. චින්තකයෙක් ද වේ. ක්‍රියාවක් ඇත්නම් ඊට නිසි ප්‍රතික්‍රියාවක් ඇත යන්න ආගමික ප්‍රකාශයක් නොවේ. එය ලෝකය විග්‍රහ කිරීමක් පමණි. එකී ලෝකය විග්‍රහ කළ වාක්‍යයට වන්දනා කරන්නේ නැත. එකී ලෝකය විග්‍රහ කරන වාක්‍ය හුදෙක් ලෝකය විග්‍රහ කරනවා පමණි. බුදුපියාණන් වහන්සේ “සන්තුටිඨි පරමං ධනං” යනුවෙන්ද “විස්සාස පරමාඥාති” යනුවෙන්ද “අරෝග්‍ය පරමා ලාභා” යනුවෙන්ද, “පරපටිබද්ධා මේ ජීවිකා” යනුවෙන්ද, “අනිච්චා වත සංඛාරා” යනුවෙන්ද “සබ්බං පහාය ගමනීයං” යනුවෙන්ද ආදි වශයෙන් වචන තුනේ වාක්‍යයන්ගෙන් සූත්‍රගතකොට ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ ද, ඉහත කී ආකාරයේ ලෝකය විග්‍රහ කරන වාක්‍යයන්ම වන්නේය. “සන්තුටිඨි පරමං ධනං” සතුට පරම ධනය වේ යන්න ආගමික වාක්‍යයක් නොවේ. “අනිච්චා වත සංඛාරා” යන්න ද ආගමික වාක්‍යයක් නොවේ.

“සබ්බං පහාය ගමනීයං” යන්න ද ආගමික වාක්‍යයක් නොවේ. “අචිරං වතයං කායෝ” යන්නද ආගමික වාක්‍යයක් නොවේ. “පුත්තා වත්ථු මනුස්සානං” යන්නද ආගමික වාක්‍යයක් නොවේ. මේ සියල්ල ආගමික වාක්‍යයවලට වඩා ළංවන්නේ ලෝකය විග්‍රහකළ දාර්ශනික චින්තකයකුගේ වාක්‍ය ගණයටයි. “පේමතෝ ජායතී සොකො” යනු ඇල්මේ පමණට ශෝකය හටගන්නා බවයි. වෙන්වීමත්, එක්වීමත් අතර දාර්ශනික නියමයෙහිදී ඇලීම යම් තරමක්ද, වෙන්වීමේදී දුක ඇතිවන්නේ එකී සාපේක්ෂ ඝනත්වයට පමණි. ඥාති වූ පමණටම මියගිය විට දුකක් ඇති වන්නේ නැත. දන්නා හඳුනන පමණටම මිය ගිය විට දුක් ඇතිවන්නේද නැත. දුක් ඇතිවන්නේ සම්බන්ධිතයා තමාට ඇති සම්බන්ධතාවයේ සාපේක්ෂ ඝනත්වය මතය. එහි ප්‍රතිඵලයක් වශයෙන් බුදුපියාණන් වහන්සේ තවුසකු ලෙස හඳුනාගත් ලෝක විග්‍රහ වාක්‍යයයි “පේමතෝ ජායතී සෝකෝ” යන්න. එය ආගමික ප්‍රකාශයකට වඩා ලෝකය විග්‍රහ කරන වාක්‍යයක් වෙයි. “විශ්වාසපරමා ඥාතී” යන්න ද පරම ඥාතිත්වයය පිළිබඳව බුදුපියාණන් වහන්සේ දේශනා කළ අදහස ආගමික ප්‍රකාශයකට වඩා ලෝකය විග්‍රහ කළ දාර්ශනිකයකුගේ ප්‍රකාශයකට ළංවෙයි. අප දන්නා පරිදි ඥාතින් වර්ග දෙකකි. ඒ ලේ නෑයෝ සහ ලෝ (Low) නෑයෝය. ලේ නෑකම යනු ලේවලින් වන නෑදෑකමයි. ලෝ (Low) යනු ඉංග්‍රීසියෙන් නීතියයි. නීති නෑකමට හා ලේ නෑකමට වඩා විශ්වසනීයභාවය වඩාත් ගාම්භීර ඥාතිත්වයක් බව සිද්ධාර්ථ නම් වූ ආසියාතික විශිෂ්ට චින්තකයා සූත්‍රයක් මඟින් වචන තුනක විග්‍රහ වාක්‍යයකින් කියාපායි.

ඒ අනුව බුදුපියාණන් වහන්සේ නමින් අප විසින් අතිශයින් ගෞරවයෙන් දක්වනු ලබන්නා වූ මේ සිද්ධාර්ථ නම් වූ ගෞතම ගෝත්‍රිය ශාක්‍ය වංශික ඔක්කාක රාජ වංශීය රාජකීය පුත්‍රයා චින්තකයකු බවට පත්වන්නේ ඒ අනුවය. එඩ්වින් ආනල්ඩ් විසින් ‘ලයිට් ඔෆ් ඒෂියා’ නමින් ආසියාවේ ආලෝකය ලෙස, තවත් ආකාරයකින් අපට සිතෙන පරිදි කියන්නේ නම්, ලෝකයේ ආලෝකය ලෙස විග්‍රහ කරන්නේ, බුදුපියාණන් වහන්සේ ලෝක ශාන්තිදායක ශාස්තෘවරයාණන් වහන්සේ කෙනෙකු සේම, ඊටත් වඩා ලෝකය විග්‍රහ කළ දාර්ශිනක චින්තකයකු ලෙස දැකිය යුතු බැවිණි.

‘අනිච්චා වත සංඛාරා’ නොහොත් ‘සබ්බේ සංඛාරා අනිච්චා’ යනු වචන තුනේ වාක්‍ය කොපමණ සත්‍යයක් වන්නේද? තාපසයකු ලෙස හිසකෙන් වවමින් රැවුල වවමින් ඉතා දීර්ඝ කාලයක් කටුක ආහාරද භුක්ති විඳිමින් ලෝකය විග්‍රහ කරගැනීමේ ස්වයං චින්තනයක නිරත වද්දී එතුමන් සැලෙන ලෙළෙන ශාඛාවකින් ගිලිහි යන පත්‍රයක් දකින්නට ඇති. ඒ පිළිබඳ බොහෝ දේ සිතන්නට ද ඇති. කල්පනා කරන්නට ද ඇති.

ඒ පත්‍රය ගිලිහි ගියේ පඬුවන්ව පරවී ගිය පසුව බව ද, සිතෙන්නට ඇති. පඬුවන්ව පරවී ගිය එකී පත්‍රය ස්වභාවයක් වශයෙන් විනාශ වී යන්නේ ස්වාභාවික ධර්මයකට අනුවයි සිතන්නට ඇති.ඒ පත්‍රය පමණක් නොවේ. සියලු පත්‍ර ද එලෙස යැයි සිතෙන්නට ඇති. එසේම ඒ සිතන්නා වූ ආකාරයටම පත්‍ර පමණක් නොවේ සකල විද ගහ කොළ ද, ගහකොළ පමණක් නොවේ සතා සිවුපාවා ද කෙමෙන් කෙමෙන් වියපත්ව ගොස් නැති වන බව සත්‍ය ධර්මතාවක් බව දක්නට ඇති. තැනින් තැන සැරිසරණා මහ බෝසත් මහ තවුසාණන් ඇතැම් විට මියගිය සතෙකුගේ ඇට කටුද දකින්නට ඇති. මිය පරලොව ගිය සත්වයකුගේ එකී ඇට කටු දෙස බලා මේ සත්ත්වයකුගේ සාමාන්‍යය යැයි විග්‍රහ කරගන්න ඇති. එකී විග්‍රහ කරගැනීමේ අවසාන ප්‍රතිඵලය වූයේ මේ මහා විද්වත් ශ්‍රමණයාගේ මුවින් “සබ්බේ සංඛාරා අනිච්චා” යැයි වචන තුනේ විග්‍රහ වාක්‍යයක් දේශනා වීමයි.

මේ නයින් බලන විට ශාස්තෘන් වහන්සේ ලෙසද, ලෝකස්වාමී බුදුපියාණන් වහන්සේ ලෙසද, මහා භාග්‍යවතුන් වහන්සේ ලෙසද, ගෞරවයෙන් වන්දනා කරන අප උන්වහන්සේට එකී ගෞරවය අංශු මාත්‍රයකුදු අඩු නොකොට වන්දනා කරමින්ම මේ මහා විශිෂ්ට ආසියාතික විද්වතාගේ ලෝක විග්‍රාහක වාක්‍යයන් අධ්‍යයනය කළ යුතුව ඇත.

වචන තුනක දෙකක වැනි ඉතා සුළු වචන ප්‍රමාණයකින් ලෝකය දෙස බලමින් ස්වාධ්‍යයනයෙන් විග්‍රහ කළ මේ විශිෂ්ටතම ආසියාතික චින්තකයාගේ එකී ප්‍රකාශ නැවත නැවත විග්‍රහ කර ගැනීමෙන් ලෝකය දෙස යථාවත්ව දැකීමටත් එකී යථාවාදී දැක්ම මත සිටගෙන ලෝකය මැනවින් විග්‍රහ කර ගැනීමටත්, චින්තනයන් රැසක් ලෙස අදට අපට ඉතිරිව ඇති මෙකී විග්‍රහ වාක්‍යයන් භාවිත කර ගැනීමට හැකිවනු ඇති. ලෝකස්වාමි බුදුපියාණන් වහන්සේ විශිෂ්ටතම චින්තකයකු ලෙස තේරුම් අර ගැනීමෙන් අප හැමට යහපතක් ඉෂ්ට වන්නේත් ලෝකය විග්‍රහ කරගතයුතු වන්නේත් එලෙසයි. බුදු සමය යනු එබඳු දාර්ශිනක චින්තන ප්‍රවාහයකි.