මානව දයාවේ සාරධර්මය
නුගේගොඩ පාගොඩ ධර්මදූත සම්මාන විහාරාධිපති
කාව්යකලා විශාරද රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යාය
ගොඩපිටියේ ධම්මරතන නා හිමි
යමෙකු ජීවිතය ගුණයෙන් සුවඳවත් කරගන්නේ නම් සියලු සංස්කාරයන්ගෙන් මිදී
නිවන අවබෝධ කරගැනීමට එය හේතු වාසනා වේ. ඒ නිසා එදිනෙදා ජීවිත නිරවුල්ව
පැවැත්මට මෙත්තා ගුණය පුරුදු කර ගනිමින් භාවනා වඩා දෙලොව සැනසුමටත්,
නිර්වාණාවබෝධයටත්
අප්‍රමාදි වන්න.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
මෙත්තා විහාරි යො භික්ඛු
පසන්නෝ බුද්ධ සාසනෙ
අධිගච්ඡෙ පදං සන්තං
සංඛාරූප සමං සුඛං තී
සැදැහැවත් පින්වතුනි
ගතවුයේ ශ්‍රී බුද්ධවර්ෂ 2559 වෙසක්පුර පොහොයයි. බුද්ධ චරිතයේ පුජනීය
ශ්‍රේෂ්ඨ අවස්ථා තුනක් සඳහන් වේ. ඉපදීම , බුදුවීම, පිරිනිවීම ඒ කරුණු
තුනයි. කිඹුල්වත සුද්ධෝදන රජතුමාට සහ මහාමායා දේවියට පුත්ව වෙසක් දවසක
මෙලොව එළියදුටු කුමරු සිද්ධාර්ථ නම් වූයේය. ළමා වයසේදී ශිල්ප ශාස්ත්‍ර
ඉගෙනීම කළේය. වයස දහසයේදී යශෝධරා ශාක්‍ය කුමරිය සමඟ විවාහ වූයේය. වයස
විසිනවයේදී යශෝධරාවට පුතෙක් ලැබුණේය. පුතා රාහුල නම් වූයේය.
ඒ වන විට සිද්ධාර්ථ යුවරජ ජීවිතයේ අනිත්‍ය ස්වභාවය දැක දැන කළකිරී
සිටියේය. ඒ නිසා තම දේවියට පුතෙක් ලැබීම නිසා තවත් පමා වුවහොත් ජීවිතයට
නිවනක් නැතැයි නොපමාව තපසට යමියි සිතා කිසිවෙකුටත් නොදැනෙන ලෙස අස්
ගොව්වා සහ අශ්වයා සමඟ රජමැදුරෙන් මහ රෑ තපෝවනයට ගොස් පැවිද්දෙක්
(තාපසයෙක්) වූයේය
සිද්ධාර්ථ තාපසයා යෝගී ගුරුන් කරා ගොස් භාවනා ඉගෙන ගත්තේය. විවිධ යෝගී
ක්‍රම අනුගමනය කළේය. අවුරුදු හයක් මෙසේ වු තාපස යෝගී පැවැත්ම අත් හැර
සාමාන්‍ය පැවැත්මට හුරු වී (මධ්‍යමප්‍රතිපදාවෙන්) දඹදිව බුද්ධගයාවට
පැමිණ එහි වු ඇසතු ගසක් යට බුද්ධ පර්යංකයෙන් වැඩ සිට භාවනාවෙන් සමාධිගත
වූයේය. වෙසක්දාට එළිවෙන්නට සතර මග සතර ඵලයෙන් සියලු කෙලෙස් නැති කරමින්
රහත් පදවියෙන් අනන්ත බුදු නුවණ ලබා ගනිමින් සිද්ධාර්ථ ගෞතම නමින්
බුදුවරයෙක් වූයේය.
භික්ෂු භික්ෂුණී උපාසක, උපාසිකා සිවු පිරිසක් ඇති කොට හතළිස් පස්
අවුරුද්දක් සසුන් මෙහෙවරක යෙදී වයස අවුරුදු අසූවේදී කුසිනාරා නුවර මල්ල
රජ දරුවන්ගේ සල් උයනෙහි පනවන ලද අසුනෙහි වැඩ සිට පරම පූජනීය බුද්ධ සේවය
නිමා කොට පිරිනිවන් පා වදාළ සේක. එදත් වෙසක් පොහොය දිනයක් විය.
මා මුලින් සඳහන් කළ ගාථා ධර්මයේ කෙටි තේරුම මෙසේයි. “යම් ශ්‍රාවකයෙක්
මෙත් සිතැතිව වෙසේ ද, බුදු සසුනේ පැහැදුනේද, ඒ ශ්‍රාවකයා සියලු සංස්කාර
ධර්මයන් සංසිඳුවන්නා වු නිවන් සුව ලබන්නේය”.
නිවන් සුව ලබනු කැමති නම් ඒ සඳහා මෙත් වඩන්න . යනු මෙහි තේරුමයි.
“මෙත් සිත” නම් ප්‍රබන්දයක් නැතිව වෙනසක් නැතිව හැමදෙනාම සුවපත්
වෙත්වායි හදවතින්ම පැතීමයි. අනුන්ගේ දියුණුව සැපත කෙරෙහි කැමති වීම,
හිතවන්ත භාවය සිතෙහි පහළවන ධර්ම ශක්තිය මෛත්‍රියයි. මේ අද්වේෂ
චෛතසිකයයි. මානව දයාව සෙනෙහස නමින් හඳුන්වන්නේද මෙත්තා චෛතසිකයයි.
සම්බන්ධතාවයන්ට හිතවත් වු රාගික ක්‍රියාවන්ට අදාළ වු සිතිවිලි මෙහිලා
ඇතුලත් නොවේ’. එබඳු සන්තානයන්හි පිරිසුදු චේතනාවක් ඇති විය නොහැකි
බැඳීම් වර්ධනය වන බැවිනි. වර්ණ භේදයක තුළින්ද වර්ග භේදයක් තුළින්ද
මෙත්තා පහළ විය නොහැක. මානව හිතවාදි බව ධර්මානුකූලව දියුණුූ කර ගැනීමට
හැකි වෙතොත් එවැනි සන්තාන බුදුන් වදාළ මෙත් ගුණයට තෝතැන්නක් වේ. “සබ්බේ
සත්තා භවන්තු සුචිකත්තා” යි හදවතින්ම සිතන්නට හැකිවීම එයින් අදහස්
කෙරේ.සියලු සත්වයෝ සුවපත් වෙත්වා”යි වචනයෙන් නම් කීමට වධකයෙකුට වූවත්
අපහසුවක් නැත. අමනාපයක්, තරහක්, ක්‍රෝධයක්, වෛරයක්, ධර්මානූකූලව
පුරුදු කරන මෙත් සිතක් සමඟ ඇති නොවේ’. මෙත් වඩන්නා කිසිවෙකුගේවත් දුකක්
වේදනාවක් අනුමත නොකෙරේ. තමාගෙන් පටන්ගෙන මුළු ලොව වාසීන්ටම සැප පැතීම
මෙත් භාවනාවේ අනුපිළිවෙළයි. අපි‍්‍රය තැනැත්තාය. ඉතා පි‍්‍රය
තැනැත්තාය. මධ්‍යස්ථයාය, තරහකාරයාය යන මේ අයට පළමු කොටම මෙත් වැඩීම
දහමින් අනුමත නොකෙරේ.
මෙත් සිතට සීමා ප්‍රභේදයක් නොමැත. සබ්බේ සත්තා” (සියලු සත්වයෝ) මෙත්
සිතට එකම අරමුණ විය යුතුය. සපුරා මෙත් සිතක් වන්නේ එම තත්ත්වයට සිත
පුරුදු කළ විටය. “භාවනා” යනු එම පුරුදු කිරීමයි.
මෙත් භාවනාවේ උපචාර සමථ අර්පනා අවස්ථා ධර්මානුකූලව සවිස්තරාත්මකය.
මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන කරුණු සතර “සතර බ්‍රහ්ම විහාර”
නමින් හඳුන්වයි. උතුම්ය. නිදොස්ය යන තේරුමින් මේ ගුණධර්ම හතරට
බ්‍රහ්මවිහාරයයි කියති.තරහ, ක්‍රෝධය, වෛරය බලවත් අයට එම ආවේගයන්ගෙන්
සැනසුමට මෙන්ම, මෛත්‍රිය නිවනටද උතුම් මාර්ගය වේ. බුදුරජාණන් වහන්සේ
අග්ගික්ඛන්දෝපම සූත්‍රදේශනාවේදි මෙත්තානිශංසය භික්ෂූන් වහන්සේට
දේශනාකොට ඇත.
අසුරු සනක් (තත්පරයකට සමාන කාලයක්) යම් භික්ෂුවක් මෙත් සිත් වඩා නම්
එවැන්නෙක් සැදැහැවතුන්ගේ පුද පූජා ලැබීමට සුදුසු වේ. පැවිදි ගුණයද උරුම
වේ. උතුම් ද වේ.
පොදුවේ අප ජීවිතවලට අත්‍යවශ්‍ය ඉතා ප්‍රයෝජනවත් කරුණු එකොළසක් මෙත්
වැඩීමෙන් ලැබෙන බව මෙත්තානිසංස සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කෙරේ.
සුවසේ නිදා ගැනීමට, සුවසේ පිබිදීමට නපුරු සිහින නොදැකීමට හැමටම
පි‍්‍රයමනාප වීමටය, භූතදෝෂ නැති වීමට, දෙවියන්ගේ රැකවරණය ලැබීමට,
ගින්නෙන් වසවිසෙන්, ආයුධ වලින් හානි සිදු නොවීමටය, වහා සිත සන්සුන් කර
ගැනීමට, මුහුණ පැහැපත් වීමට නොමුලාව සිහියෙන් මරණය සිදුවීමට, මරණයෙන්
පසු බඹලොව ඉපදීමට, මෙත් වැඩීම මහෝපකාරි වේ. සමානාත්මතා ගුණයෙන් මෙත්තා
සහගතව හැම සුවපත් වෙත්වායි අල්ප මාත්‍රව හෝ සිතන්නේ නම් මිනිසාත් ඔහු
නිසා ලෝකයත් කෙතරම් සහනසීලිව නිවුනු තත්ත්වයකට පත් නොවේද?
මානව දයාව, සහෝදරත්වය අයිති වන්නේ එවිටය. ඒ සඳහා බුදුන් වදාළ අසහාය
ධර්මය මෛත්‍රියයි. නිවන ලැබීමට සියලු සංස්කාර ධර්මයන් සහ සියලු පාප
ධර්මයන්ගේත් අභාවය සිදු විය යුතුය. මෙත්තා සහගතව කාම කෝපයන් නැති කොට
ගුණෙන් පිරිපුන් වන විට සතර මග සතර ඵල පිළිවෙළින් නිකෙලෙස්ව ශාන්ති
තත්ත්වයට පත්වීමට හැකි වන්නේය. ධර්මානුකූලව මෙත්තාසහගතව යමෙකු ජීවිතය
ගුණෙන් සුවඳවත් කරගන්නේ නම් සියලු සංස්කාරයන්ගෙන් මිදී නිවන අවබෝධ
කරගැනීමට එය හේතු වාසනා වේ. ඒ නිසා එදිනෙදා ජීවිත නිරවුල්ව පැවැත්මට
මෙත්තා ගුණය පුරුදු කර ගනිමින් භාවනා වඩා දෙලොව සැනසුමටත්,
නිර්වාණාවබෝධයටත් අප්‍රමාදි වන්න.
හැමටම සම්මා සම්බුදු සරණයි |