ජාතියෙන් ධනයෙන්
උඩගු නොවෙමු
දෙල්ගොඩ උඩුපිල යොවුන් සිතට දහම් සිසිල
විපස්සනා භාවනා මධ්‍යස්ථානය
බණ්ඩාරවෙල අමිතානන්ද හිමි
වර්තමාන සමාජයේ ඇතැම් පිරිස් සැම විටම උත්සාහ දරන්නෙ අනුන් පරයා නැඟී
සිටීමටය. අනෙක් තැනැත්තාට වඩා තමන් උසස් ලෙසින් දිවි ගෙවීමටය. තමන්
උසස් බව පෙන්වීමටය. තමන් උසස් බව සිතා සෑම විටම අනෙක් සියලු දෙනා පහත්
කොට සැලකීමට පුරුදු වෙයි.
මෙය සැබැවින්ම මිනිසාගේ පිරිහීම ළඟා කරවන දුර්ගුණයකි. බුදුරජාණන්
වහන්සේ ඒ බව පරාභව සූත්‍රයේ සත්වන ගාථාවෙන් මෙසේ දේශනා කර වදාළහ.
ජාතිත්ථද්ධො ධනත්ථද්ධො
ගොත්තත්ථධො ච යො නරො
සඤ්ඤතිං අතිමඤ්ඤෙති
තං පරාභවතො මුඛං
යම් පුද්ගලයෙක් ජාතිය නිසා දැඩිමානය ඇත්තෙක් වෙයිද? ධනය නිසා දැඩි මානය
ඇත්තෙක් වෙයිද? ගෝත්‍රය නිසා දැඩි මානය ඇත්තෙක් වෙයිද? තම ඥාතීන් පහත්
කොට සිතයිද? එය පිරිහීමට හේතුවක් වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර
වදාළහ.
බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ විශේෂයෙන් බ්‍රාහ්මණයන් තමන් උසස් බව
පවසමින් අන් සියලු දෙනා තමන්ට වඩා පහත් බව පවසා ලෝකයා මුළා කර තිබුණි.
විශේෂයෙන් මානව හිමිකම් අයිතීන් කිසිවක් ලබා නොදුන් ශුද්‍රයන් ලෙස
හැඳින්වූ වර්ණ භේදයේ සිවුවැනි කුලයට අයත් වූවන්ට හිමිව තිබුණේ තිරිසන්
සතුන්ටත් අන්ත තත්ත්වයකි. බුදුරජාණන් වහන්සේ වදාළේ කිසිවකු උපතින්
බ්‍රාහ්මණයකු හෝ වසලයකු නොවන බවත් ඔහු ක්‍රියාවෙන් බ්‍රාහ්මණයකු හෝ
වසලයකු වන බවත්ය.
පරාභව සූත්‍රයේ ඒ බව තව දුරටත් පැහැදිලි කරමින් බුදුරජාණන් වහන්සේගේ
දේශනාව වී ඇත්තේ තම ජාතිය නිසා උඩඟුව මානය ඇති කරගන්නා තැනැත්තා
පිරිහෙන බවයි. ඔහු සෑම විටම අන්අයට වඩා තම ජාතිය පෙළපත උසස් යැයි
පවසමින් මුල් තැන ලබන්නට උත්සාහ දරයි. තෙවැදෑරුම් මානයෙන් තමන් අන් අයට
වඩා උසස් යැයි සලකාගෙන සිටිනු ලබන ‘සෙයිය මානය’ ඔහු උපදවා ගනියි.
සෙයිය මානය උපදවා ගැනීමත් සමඟ සෙසු අය සමඟ කතාබහ කිරීම හෙතෙම අඩුකරයි.
එක්ව ආහාරපාන ගැනීමෙන් වැළකීමට උත්සාහ දරයි. එක්ව ගමන් බිමන් යෑම
විනෝදවීම ආදියෙන් ඈත්ව තමන් සුපිරි පත්තියෙහිලා සලකා එවන් පෙළැන්තියේ
අයගේ පමණක් ඇසුර පතයි. මේ නිසා සෙසු පිරිස් අනිත් ඔහු සමාජයෙන් කොන්
වේ. අන් අය ඔහුගේ ඇසුරු පිළිකුල් කරයි.
මේ නිසා හෙතෙම තනිවෙයි. ඔහු ගැන ගැරැහුම් ප්‍රකාශ නිකුත් වේ.
’මිනිහගෙ ඔලුව ලොකුයි’
’එයා උඩින්නෙ යන්නෙ’
‘මහදැනමුත්තා’ මේ ප්‍රකාශ කුඩා දරුවන් අතරට පවා ක්‍රමයෙන් යොමුවන නිසා
ඔහු සමාජයෙන් පිරිහීමට ලක්වේ.
එසේම තමන්ගේ වත්පොහොසත්කම් යානවාහන මන්දිර නිසා තමන් උසස් යැයි සිතා
සාමාන්‍ය නිවසක සිටින තැනැත්තා පහත් ලෙසින් සලකයි නම් හෙතෙම ද
පිරිහෙයි.
බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ සුදත්ත වැනි මහ ධන කුවේරයන් අනාථයන්ට,
දුගී දුප්පතුන්ට පිහිට වූ නිසා අනේ පිඬු සිටාණන් යන නම්වලින් පවා ඔවුන්
හැඳින්වුණි. ඒ තමවත් පොහොසත්කම් ධනය ගැන උඩඟු නොවී සිටීම නිසාය.
එහෙත් වත්මන් සමාජයේ ධනයෙන් ආඪ්‍ය බොහෝ පිරිස් තව තවත් යසඉසුරු රැස්
කරනවා විනා දනට පිනට නැඹූරු වීමට මැලිකමක් දක්වන බව පෙනේ. තම මවුපියන්
විසින් ලබා දුන් පන්සලේ මුරදානය පවා නිවසේ මෙහෙකරුවන් අත යැවීමට තරම්
ඔවුන් ගුණයෙන් අවතැන් වී ඇත.
බුදුරජාණන් වහන්සේ ධනය පරිභෝජනය අප කෙසේ කළ යුතුද යන්න ව්‍යඝ්ඝපජ්ජ
සූත්‍රයේදී පැහැදිලිව දක්වා ඇත.
එසේම දනට පිනට තමන් හරිහම්බ කර ගත් ධනය වැය කළ යුතු බවද බුදුදහමේ ඉතා
පැහැදිලිය. තමන් පමණක් ධනයෙන් සැප විදිමින් තම හිතවතුන් ඥාතීන්
නොසලකන්නාට ඔවුන්ගේ උදවු උපකාර නොලැබේ. මේ නිසා හෙතෙම හුදකලා වේ. ඔහුට
ඒ බව වැටහෙන්නේ විපතක් වූ විටකදීය.
ඉන්න කල් උඩින්නේ ගියේ දැන් බිමට වැටිලා.
එවන් පුද්ගලයන්ට සමාජයෙන් ලැබෙන ගැරහුම් ඒ අයුරිනි. ඒ සියල්ල පිරිහීමේ
දොරටු බවද අප පසක් කරගත යුතුවේ.
එසේම තම කුල ගොත් ඉහළ බව සිතමින් අනුන් හෙළා දකින්නා ඥාතීන් පහත් කර
සලකන්නාට ද පිරිහීම උරුම වන බව බුදුදහමේ දැක්වේ.
මිනිසාගේ උසස් පහත් බවට පත් කෙරෙනුයේ ජාතිය හෝ ධනය හෝ කුලය නිසා හෝ
නොවන බව බුදුරජාණන් වහන්සේ වාසෙට්ඨ සූත්‍රයේදී ඉතා පැහැදිලිව දේශනා කර
ඇත.
ජ ාතිය, ධනය, ගෝත්‍රය, නිසා අහංකාරත්වයට පත්වන මිනිසාගේ උඩඟුකම
ක්‍රමයෙන් වර්ධනය වේ.
ඔහු සැමවිටම මම උසස් මට ගරු කළ යුතුයි යනුවෙන් දැඩි මාන්නයක් උපදවා
ගනියි. සෙස්සස්ගෙන් ගරුනාම අපේක්ෂා කරන ඔහු සැමවිට අන් අයට හෙළා දැකීම
ඔවුන් තම අතවැසියන් සේ සැලකීමට පුරුදු වේ. උඩඟුකම වර්ධනය වීමත් සමඟම මේ
තත්ත්වය තවත් වැඩිවේ.
නිරතුරුවම තමා හුවා දක්වමින් (අත්තුක්කංසනය) හා අනුන් හෙළා දැකීම
(පරවම්භනය) නිසා මේ පුද්ගලයන් සමාජයෙන් නිරතුරුවම කොන් වීම සිදුවේ. මේ
පුද්ගලයා දානය, පි‍්‍රයවචනය, අර්ථර්යාව, සමානාත්මතාව යන සතර සංග්‍රහ
වස්තුවෙහි නොඇලෙයි. එහෙයින් සමාජයේ බොහෝ දෙනාගේ හිත සුව පිණිස ඔහුට වැඩ
කළ හැකි නොවේ. පිරිහීම ඔහු වෙත එයි.
සාකච්ඡා කළේ
තාරක වික්‍රමසේකර |