Print this Article


භික්ෂුණී ශාසනයේ ආරම්භය හා ව්‍යාප්තිය

භික්ෂුණී ශාසනයේ ආරම්භය හා ව්‍යාප්තිය

මෙම ලිපියේ මුල්කොටස වෙසක් පුර පසළොස්වක (03 වැනිදා) පත්‍රයේ පළවිය.

දිනක් අධික සීතලෙන් නාමින් සිටි බමුණෙකු ඇමැතු පුණ්ණා තෙරණිය කවර හෙයකින් සීතලෙන් ගැහෙමින් දිය නාන්නෙහිදැයි විමසුවා ය. පව් සෝදා හැරීමට මෙසේ කරන බව බමුණාගේ පිළිතුර විය. එවිට පුණ්ණා තෙරණිය ජලයෙන් පව් සේදේ නම් එහි වසන මැඩියන්, කැසුබුවන්, දියබරියන්, කිඹුලන් වැනි ජලචර සත්වයන්ගේ සියලු පව් සේදී ඒකාන්තයෙන් ස්වර්ගයට යනවා ඇති නේද? ජලයෙන් පව් පමණක් නොව පින් ද සේදී යනවා නේද? යනුවෙන් විමසීමත් සමඟ බමුණාගේ මනස පුබුදු විය. එහිදී අඳින සළුව බමුණා එතුමියට පූජා කිරීමට සැරසුනමුත් එය ප්‍රතික්ෂේප කොට තෙරුවන් සරණ ගොස් නියම පිරිසුදු බව ලබා ගන්නා මෙන් එතුමිය අවවාද කළා ය. වසවර්තී මාරයා පැමිණ උප්පලවණ්ණා, කිසා ගෝතමී, සේලා, වජිරා, ආදී භික්ෂුණීන් කලකිරීමට පත්කොට සසුනෙන් බැහැර කිරීමට විවිධ උපක්‍රම යෙදූ නමුත් ඒ කිසිවකින් නොසැලී සිටීමට ඒ සෑම දෙනාට ම පුදුම ආත්මශක්තියක් තිබුණි. භික්ෂුණීන්ගේ ශ්‍රේෂ්ඨත්වය හා ප්‍රඥා මහිමය කියා පෑමට මෙවැනි සිදුවීම් ඇත්තේ එකක් දෙකක් නොවේ.

භික්ෂූන් වහන්සේ මෙන් ම භික්ෂුණීහු ද දක්ෂතාවන් සමඟ පෙර කරන ලද පුණ්‍යමහිමයෙන් විවිධ අංගයන්ගෙන් උසස් වූ තනතුරු බුදුරදුන් වෙතින් ලැබූහ. සැරියුත් මුගලන් දෙනම භික්ෂූන් අතර අග්‍රශ්‍රාවකස්ථානයට පත් වූවාක් මෙන් ඛේමා, උප්පලවණ්ණා දෙදෙන අග්‍රශ්‍රාවිකා තනතුරුවලට පත් කළහ. මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය චිරරාත්‍රඥ අය අතර අග තනතුර ලැබුවා ය. විනයධර භික්ෂුණීන් අතර පටාචාරා තෙරණියත්, දිවැස් ඇති භික්ෂුණීන් අතර සකුලා තෙරණියත් ආදී වශයෙන් අග තනතුරු ලැබූ භික්ෂුණීහු දහතුන් නමක් වූහ.

සුවිශේෂ සේවාවක්

බුද්ධ කාලයේ බොහෝ දෙනා මගඵල ලැබීමෙන් ද තවත් අය ධ්‍යාන උපදවා ගැනීමෙන් ද වෙනත් අය විවිධ දක්ෂතාවන් ඇතුව කටයුතු කිරීමෙන් ද ව්‍යාප්ත වී ගිය භික්ෂුණී ශාසනය දීර්ඝ කාලයක් දඹදිව පැවතුණු බව පැහැදිලිය. බුදුරදුන් පිරිනිවන් පෑමෙන් සියක් වසරක් යනවිට භික්ෂු සමාජය තුළ විවිධ මතභේද නිසා පරිහානි ලක්ෂණ පහළ වන්නට විය. මේ බව වටහාගත් ප්‍රථම සංගායනාවට සහභාගී වූ ථෙරීය සඟ පරපුරට අයත් භික්ෂූන් එකතුව කලාශෝක රාජ්‍ය කාලයේ දී දෙවන වරට ධර්ම සංගායනාවක් පවත්වා සසුන පිරිසුදු කිරීමට උත්සාහ ගත් නමුත් වජ්ජිපුත්තක භික්ෂූහු එය සම්පූර්ණයෙන් කඩාකප්පල් කිරීමට විවිධ උපක්‍රම යෙදූහ. වැරැදි දුර්මත ඉදිරිපත් කොට එවකට පාලනය ගෙන ගිය කාලාශෝක රජතුමා ද තම පක්ෂයට එකතු කර ගැනීමට ඒ අය සමත් වූහ. මේ භයානක අවස්ථාවෙහි පැවිදි වී සිටි රජුගේ බාල සොහොයුරිය වූ නන්දා තෙරණිය රජුට බලවත් සේ කරුණු ඉදිරිපත්කොට වටහාදීම නිසා යස මහතෙරුන් ප්‍රධාන භික්ෂූන් වහන්සේට රාජ්‍ය අනුග්‍රහය ඇතුව දෙවැනි ධර්ම සංගායනාව සිදු කිරීමට භාග්‍යය උදාවිය. එසේ නො වූයේ නම් ථේරවාදී බුදුදහම විනාශ වන්නට තිබුණි. එය වැළකූ නන්දා තෙරණිය රාජපාක්ෂිකත්වය ලබා දෙමින් සිදු කළ උදාර සේවාව මුළු භික්ෂුණී සමාජයට ම මහත් ගෞරවයක් ලැබීමට හේතු විය.

දඹදිව පැවැති භික්ෂුණී ශාසනය තෙවන ධර්ම සංගායනාවෙන් පසුව ද නිර්මලව පැවැති බවට සාධක ඇත. අශෝක රජුගේ පළමු වන අග මෙහෙසිය වූ දේවි හෙවත් අසන්දිමිත්‍ර බිසවගේ දියණිය වූ සංඝමිත්තා රහත් තෙරණිය දඹදිව මෙහෙණි සස්න බැබළවූ ශ්‍රේෂ්ඨතම උත්තමාවක් වූවා ය. ලංකාවේ පාලකයා වූ දෙවනපෑතිස් රජතුමාගේ ඉල්ලීම පරිදි භික්ෂුණී ශාසනය පිහිටුවීම සඳහා දඹදිව සිට කවර සංඝ කර්මයක් සිදු කිරීමට වුවත් ප්‍රමාණවත් වූ එකොළොස් නමක් පමණ වූ භික්ෂුණීන් සමඟ එතුමිය සිරිලකට සැපත් වුණා. දීප වංශය සහ බෝධිවංශය සඳහන් කරන අන්දමට උත්තරා, විචක්ඛණා, හේමා, මාසගල්ලා, අග්ගිමිත්තා, මතංවදා, තප්පා, පබ්බතච්ඡින්නා, මල්ලා, ධම්මදාසිකා, බෝධිමිත්තා යනුවෙන් දැක්වෙන එම භික්ෂුණීන්ගේ සැපත් වීමත් සමඟ ශ්‍රී ලංකාවේ භික්ෂුණී සාසනය ආරම්භ කිරීම සදානුස්මරණීය සිදුවීමකි. දඹදිව ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව සංඝමිත්තා රහත් මෙහෙණිය විසින් එදා ලංකාවට වැඩමවා ගෙන ඒමෙන් ශ්‍රී ලාංකිකයනට ලබා දුන් උතුම් වූ ආශිර්වාදය අපි සදා ගෞවරයෙන් සිහිපත් කරමු.