ලොව පිළිබඳ
පරම සත්‍යය අධ්‍යයනය කළ
චින්තකයාණෝ
කැලණිය
විශ්වවිද්‍යාලයේ සංස්කෘත
අධ්‍යයන අංශයේ
මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
ක්‍රි. පූ. 6 වන සියවසේ භාරතයේ ශාක්‍ය වංශයේ ගෞතම ගෝත්‍රයේ “ඔක්කාක” රජ
පරපුරේ උපන් “සිද්ධාර්ථ” නම් වූ විශිෂ්ට ආසියාතිකයාගේ කතාව අපි
බුද්ධචරිතය නමින් හඳුන්වමු. ලෝකය පිළිබඳව පරම සත්‍යය ගවේෂණාත්මකව
අධ්‍යයනය කිරීම සඳහා කාලය වෙන් කළ සිද්ධාර්ථ යෞවනයා සැම විටම කල්පනා
කළේ දාර්ශනිකයකු ලෙස ලොව විග්‍රහ කිරීමටයි. අඩි හයක් පමණ උස වූ
මනස්කාන්ත ශරීරයකින් හෙබි වයසින් අවුරුදු දහ අටක් වූ මෙම රාජ කුමාරයා
නිතර රාජාභරණයෙන් සැරසී සිටියේය.
හැමදෙනාම ගරු කරන ඉතා රූමත් හා උසැති මේ තරුණයා මනා පෞරුෂයකින් යුක්ත
වූයේය. වයසින් බාල වුවත් කවුරුත් එතුමාට ගරු කළේ ඒ පෞරුෂය නිසයි.
ගැඹුරු කටහඬකින් රාජ්‍ය පාලනය කළ එවකටත් යුවරජකුව සිටි එතුමා මිරිවැඩි
සඟල පැළඳ ස්වර්ණාභාරණ, හස්තාභරණ, කර්ණාභරණ, පාදාභරණ පැළඳ හිස ඔටුනු ලා
වම් උරයෙහි රන් අසිපත දරා සිටියේය.
රාජ පුරුෂයන්ට හා රාජ මාලිගයේ සේවකයන්ට අණදෙමින් දුනු ශිල්පය හා කඩු
ශිල්පය පුරුදු කිරීම සඳහා සෑම දිනකම පුහුණුවීම් සඳහා සැඳෑවරුවම ගෙවම්
කළ මේ රූමත් තරුණයා අශ්වයන් පසුපස දිවගොස් ඔවුන්ගේ කරපටිය අල්ලාගෙන
දුවන අසුන් පිටට පැනීමට තරම් දක්ෂ හා සවිමත් වූයේය. හෙණ්ඩුව ගෙන ඇතුන්
පිටට නැගීමට තරම් ඇත් ශිල්ප පුරුදු කළේය. සැතපුම් ගණනක් දුර ඇති
ඉලක්කයකට නිවැරැදිව විදීමට තරම් දක්ෂ දුනු ශිල්පියෙක් වූයේය.
නන්ද, කිම්බිල, භගු, දේවදත්ත ආදීහු ඔහුගේ හොඳම මිතුරෝ වූහ. ඔවුන් සමඟ
මල්ලවපොර ඇල්ලූ සිද්ධාර්ථ හැමවිටම ජය ගත්තේය.
මේ අතර සර්වමිත්‍ර බ්‍රාහ්මණයාගෙන් ශිල්ප සේම ශාස්ත්‍ර ද ඉගෙනීමට
සිද්ධාර්ථ රාජ කුමාරයා දැක්වූයේ නොතිත් ආසාවකි. ඒ අනුව සංඛ්‍යා යෝග
න්‍යාය, වෛශේෂික, මීමාංශා, වේදාන්ත ආදි දර්ශන ද ගණිතය, මිණිතය
(මිනින්දෝරු ශිල්පය), තාරකා විද්‍යාව (ඡ්‍යොතිශ්ශාස්ත්‍රය) වෛද්‍ය
විද්‍යාව, රාජ නීති ශාස්ත්‍රය (දේශපාලන විද්‍යාව), අර්ථ ශාස්ත්‍රය ආදි
විෂයන් ඉමහත් කැමැත්තෙන් හැදෑරීය.
ඉහත කී ලෞකික ශිල්ප ශාස්ත්‍රයන්ට වඩා ඉහතම කී න්‍යාය, වෛශේෂික ආදි
දර්ශන පිළිබඳව එතුමා දැක්වූයේ මනා කැමැත්තකි. විශේෂයෙන්ම උපනිෂද්
දර්ශනය සිද්ධාර්ථ රාජ කුමාරයාගේ සිත් ඇදගත් විෂයයක් විය. සෘග්, යජුර්,
සාමන්, අථර්ව යන සංහිතා ග්‍රන්ථ ද ඇතුළත් බ්‍රාහ්මණ, ආරණ්‍යක, උපනිෂද්
යන වෛදික සාහිත්‍යය හැදැරීමට සිද්ධාර්ථ රාජකුමාරයා පෙළඹුණේය. ඒ අන්
කිසිවක් නිසා නොව ඒ මඟින් ලෝකය විග්‍රහ කරන බව තේරුණු නිසාය.
රාජකීය සැප සම්පත් විඳ විඳ නිකම්ම සිටීමෙන් ලෝකය හැදෑරීමට ඇති අවස්ථාව
නැති වන බව මේ තරුණයාට සිතිණි. එහෙත් රජ පවුලේ එකම පුතා වශයෙන් ඔහු වෙත
පැවරුණු වගකීම ඉටු කිරීමට ද එතුමාට සිදු විය. එහෙයින්ම රාජ්‍ය පාලන
කටයුතුවලට පියාණන්ට සහාය වීමට සිදු විය. එහෙත් එතුමාගේ සිත නිතර ඇදී
ගියේ ලෝකය පිළිබඳව සිතීමටයි.
“ලෝකය යනු කුමක්ද? පුද්ගලයාට සිදුවන්නේ කුමක්ද? උපදින්නේ කොහි සිටද?
මිය ගොස් යන්නේ කොහාට ද? ගහ කොළ සතා සිවුපාවා නැතිවන්නාක් මෙන් සියල්ලම
නැති වන්නේ නොවේද? ඒ අනුව රජ පදවිය පමණක් නොව ජීවිතය පවා අස්ථිර
නොවන්නේද?” යනුවෙන් ලෝකය පිළිබඳව සිතීමට මේ රාජ කුමාරයා පෙළඹවූයේ ඉහත
කී දාර්ශනික අධ්‍යාපනයයි. පසුකලෙක වනගතව බවුන් වැඩී යැයි පොතපතේ සඳහන්
වන්නේ ලොව පිළිබඳවය. අධ්‍යයනය කරනු සඳහා නිහඬ පරිසරයක සිතිවිලි වලින්
ගෙවන් කළ කාලයයි. සුඛෝපභෝගි ජීවිතයක් ගතකළ එතුමන්ට එය දුෂ්කර වූ
ක්‍රියාවක් වූයේය. එතුමා දුෂ්කර ක්‍රියා කළා යැයි පොතේ සඳහන් වන්නේ
එයයි.
අනුපිය නම් අඹ වනයේ සිට බුද්ධගයාව දක්වා වූ අනෝමා නම් ගංතීරය අසබඩ සැම
සොඳුරු බිම්කඩකම සැරිසරමින් නිදහසේ පියමං කළ යොවුන් සිද්ධාර්ථ රාජ
කුමාරයා එතෙක් උගත් ශිල්ප හා ශාස්ත්‍ර ප්‍රගුණ කිරීම අතහැර දාර්ශනික
කරුණු ගැන සිතිවිල්ලෙන් දවස ගෙවූයේ ගහකොළ පලවැල ආශ්‍රිතව යැපෙමින් රුක්
මුල්හි හිඳිමින්ය. රුක් සෙවණ විඳිමින් මදනල පිස එන විසිතුරු සොඳුරු බව
සිත ආශ්වාදයට පත් කළා පමණක් නොව නිදහස් සිතිවිල්ලට ලබා දුන් ඉඩහසර
අසීමිතය. රාජාභරණ, නාටිකාවන්ගේ රැඟුම්, රසමසුවුළු සහිත බොජුන් වෙනුවට
විලිකුන් සුරත් (ඉදුණු රතුපාට) ඵල අහර ලෙස ලැබෙද්දී සන්තාපයට නොවේ සිත
පත්වූයේ සන්තෝෂයටය. කෙමෙන් කෙමෙන් මේ යොවුන් බර තරුණයා යොවුන් වියේදිම
තවුසෙකු බවට පත්වූයේ එසේය. කොණ්ඩය දිගට වැඩිණි. ජීවිත දුෂ්කරතාව නිසාම
හකුපාඩා හැකිලී ගොස් මුහුණේ රුව මැකී ගියේය. පියකරු බව ඉතිරි වෙද්දී
මස් දිය වී ගොස් සිරුර වැහැරිණි. කෙමෙන් කෙමෙන් සිදුහත්, තවුසකු වූයේ
එසේය. සිදුවූ දෙය වටහා ගනිමු.
ලෝකය ගවේෂණය කිරීම උදෙසා වන දැවැන්ත ව්‍යායාමය උදෙසා ස්වෙච්ඡාවෙන්
කැපවීම කෙරෙහි එතුමන්ගේ සිත් වඩාත් ඇලුමෙන් යොමුවිය. එහි ප්‍රතිඵලයක්
වශයෙන් සිය පියාගෙන් අවසර ඉල්ලූ සිදුහත් යුවරජතුමාගේ අපේක්ෂාව වූයේ
රාජකීය සැප සම්පත් විඳිනු වෙනුවට හුදකලාව ස්වාධ්‍යයනයෙහි යෙදීමයි.
සැබවින්ම රාජකීය සැප සම්පත් අතහැර දුෂ්කර ක්‍රියා කිරීම යනු ගිහිගෙය
කලකිරී දුෂ්කර ක්‍රියා කිරීමට වන වැදීමක් ලෙස අර්ථ නිර්වචනය වීම වැරැදි
වන්නේය. මක්නිසාද යත් ගිහිගෙය කලකිරීමට තරම් සිදුවීමක් ගිහිගෙය තුළ
ජීවත් වූ රාජකීය කුමාරයාට සිදුනොවීමයි. ගිහිගෙය කලකිරීමට හෝ ගිහිජීවිතය
කලකිරීමට හෝ පවුල් ජීවිතය කළකිරීමට සිදුවූ සිදුවීමක් හෝ වෙනත්
දුක්ඛදායක භාවයක් සිද්ධාර්ථ රාජකුමාරයාගේ ගිහිගෙයි දක්නට තිබුණේ නැත.
එහෙත් නූතන යුගයෙහි බලසම්පන්න හා සැප සම්පතින් ආඪ්‍ය පවුලක දරුවකු එකී
සැපසම්පත් භුක්ති විඳ පියාගේ ව්‍යාපාරවලට යොමු නොවී අධ්‍යයනය සඳහා
ජීවිතය යොමුකරන්නේ යම්සේද, ඊටත් වඩා වැඩි වේගයකින් හා උත්තරීතරභාවයකින්
මේ සැපසම්පත් කෙරෙහි වෙනත් කෝණයකින් බැලීමට සිද්ධාර්ථ නම් මෙම
ආධ්‍යාත්මික යෞවනයාට හැකිවිය. ඒ අනුව කෙළි දෙලෙන් කල් ගෙවීමද,
නාටිකාවන්ගේ විප්‍රකාර බැලීමද, රාජකීය පරිසරයක් තුළ යුවරජකුගේ භූමිකාව
ඉටු කරමින් පංචතූර්ය නාදයද සහිත චතුරංගනී සේනාවට විධාන දෙමින් ගතකරන
ජීවිතයට වඩා ලොව පිළිබඳ සත්‍ය ගවේෂණයට යොමුවිය යුතු යැයි එතුමන් සිත්
ඇතිකර ගත්තේ සෘග් යජූර් සාමනි අථර්ව යන සංහිතා ද බ්‍රාහ්මණ ද, ආරණ්‍යක
ද විශේෂයෙන් උපනිෂද් ද හැදැරීමෙනි. එසේම අධ්‍යාත්මය ගවේෂණය කිරීමට හා
ලෝකය විවරණය කිරීමට තමාගේ කැපවීම අත්‍යවශ්‍ය යැයි සිතූ හෙයිනි.
ඒ අනුව එතුමන් සිය රාජකීයභාවයේ සිට සාමාන්‍ය පුරවැසිභාවය දක්වා ගමන් කළ
යුතු විය. රාජකීය අයිතිවාසිකම් ද රාජකීය නම්බුනාම සහ රාජකීය පරම්පරා
ගෝත්‍ර අයිතිවාසිකම් තවුරටත් හිමිකරගෙන තිබීමෙන් සාමාන්‍ය තත්ත්වයට යා
නොහැකි බව සිදුහත් තරුණයා පළමුවෙන්ම වටහාගත්තේය. එහෙයින් ස්වෙච්ඡාවෙන්
ස්වාධ්‍යයනයෙහි යෙදීමට නම්, රාජකීය භාවයේ සිට සාමාන්‍ය ජීවිය දක්වා
ගමන් කළ යුතු විය. ඒ අනුව එතුමන් පළමුවෙන්ම කළේ කෙස් කපා රන් අසිපත
සහිත ආභරණ ද, රාජකීය වාහනය ද අත්හැරීමයි. එවකට පිට මැද්දට කෙස් වැටී
තිබෙන තරමට කෙස් වැවීම රාජකීය කුමාරයකුගේ ලක්ෂණයක් විය. අනෝමා නදී
තෙරදී කෙස් කපා ඉවත් කරනු ලැබුයේ එකී රාජකීය භාවය ස්වේච්ඡාවෙන්
අතහැරීමක් වශයෙනි. කෙස් වවා තිබීමෙන් තවදුරටත් එකී රාජකීයභාවයට
අයිතිවාසිකම් කිව හැකි යැයි එතුමන් පමණක් නොව එවක විසූ අනෙකුත්
සාමාන්‍ය පුරවැසියා ද දැන සිටි කරුණක් විය. අනතුරුව කළේ රාජකීය අසිපත
ඡන්නට බාරදීමයි. ආභරණ සහ රාජකීය අසිපත යනු සිහසුනට උරුමකම් කියන
අනෙකුත් සංකේතයි. එකී රාජකීය චිහ්න (සලකුණු) රාජකීයභාවයට නැවතත්
අයිතිවාසිකම් කීම සඳහා පාවිච්චි වන්නක් ලෙස සැළකේ. ශ්‍රී ලංකාවේ
දළදාවහන්සේ රාජකීය චිහ්නය වූයේ යම්සේ ද අසිපත ලෝකයේ සෑම තැනකම පාහේ
රාජකීය චිහ්නයක් ලෙස සැළකේ. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ රාජකීයභාවය
ඉවත්කර සාමාන්‍යතාවයට පැමිණීමට නම් රන් අසිපත ඉවත් කිරීමයි. රාජකීයභාවය
යටත් වෙමින් ඉවත් කෙරෙන අවස්ථාවකදී ද යටත්භාවය ප්‍රකාශයට පත් කරනු
ලබන්නේ රාජාභරණ, ඔටුන්න, සිහසුන හා රන් අසිපත බාරදීමයි. එහෙත් එකක්
ඉතිරි වී තිබිණි. එනම් ඒ රාජකීය අශ්වයා බාරදීමයි. ඒ අනුව සිදුහත්
මහබෝසතුන් විසින් මෙතැනදී කරනු ලැබ ඇත්තේ රාජකීයභාවය ශාරීරිකව කෙස් කපා
ඉවත්කිරීමත්, රාජාභරණ සහ ආයුද බාරදීමත් රාජකීය වාහනය, රාජ්‍ය වාහනය,
නිල වාහනය පෙරළා බාරදීමත්ය. නිල වාහනයත්, නිල ආයුදත් බාරදීමෙන් අනතුරුව
සිද්ධාර්ථ ගෞතමයන් නැවතත් සැරයක් සාමාන්‍ය පුද්ගලයකු බවට පත්වීම
සංකේතවත් කරනු ලැබ තිබිණි.
ඉතිරි කොටස 11වනදා පත්‍රයේ පළවේ.
හේමමාලා රන්දුනු
කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ - බුද්ධෝත්පාද කාලය අතිශයින් දුර්ලභයි-
ධම්ම
පදය |