Print this Article


අදින්නාදානා වේරමණී ශික්ෂා පදය

අදින්නාදානා වේරමණී ශික්ෂා පදය

සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සත්වයා විසින් කරන පස්පව් ප්‍රධාන කරගත් පාප ක්‍රියාවන්ගෙන් ලබන ප්‍රතිවිපාකවලින් මිදෙන්නට මඟ හරින්නට නුපුළුවන් බවත් කෙදිනක හෝ එයට මූන දෙන්නට සිදුවන බවත්, තමන්වහන්සේගේ සර්වඥතාඤාණයෙන් ප්‍රත්‍යක්ෂ කර දේශනා කොට වදාළ සේක. මෙම මානව පරපුර මිහිපිට ඇති වූ දා සිට සත්වයාගේ පැවැත්ම හෝ සද් අසද් ක්‍රියාවන් පිළිබඳවද ප්‍රත්‍යක්ෂයෙන් දැන ගන්නට සමත්වූයේ අප සම්බුදුරජාණන් වහන්සේ පමණි. සත්වයාගේ චින්තාව එක ආත්මයක ක්ෂණ මාත්‍රයකින් ඇතිවෙන දෙයක් හෝ වෙනත් ලෝකයක බලවතෙකුගේ අවශ්‍යතා අනුව සිදුවන දෙයක් හෝ නොව අති දීර්ඝ කාලීනව භවාන්තරගතව වෙනස් වෙමින් එහෙත් හේතුඵල අනුව කර්ම න්‍යායානුකූලව ක්‍රියාත්මක වන ශක්තියක් බව අප බුදුහු දැන වදාළ සේක.

කර්ම ශක්තිය මේ විශ්වයේ පවත්නා සියලු බලවේගයන් අභිභවා ක්‍රියාත්මක වන බැවින් එහි ඇති සංකීර්ණත්වය ප්‍රත්‍යක්ෂයෙන් දැන වදාළ අප භාග්‍යවතුන් වහන්සේ එයින් වෙන්වන තුරු (විසංඛාරගතං) සත්වයාට සැප දුක නමැති සංකල්පයේ තෙරපෙමින් සිටින්නට සිදුවන වග යථා පරිදි පහදා දුන් සේක.

අප බුදුරජාණන් වහන්සේ කර්මය පිළිබඳ ප්‍රධාන කාරණා හතරක් දේශනා කළ සේක.

01. කර්මවල මූල ධර්ම
02. පින් පව්
03. කර්ම ක්‍රියාත්මක වන ආකාරය
04. කර්ම වලින් මිදීම

“චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” චේතයිත්වා කම්මං කරොති කායෙන, වාචාය, මනසා” ආදීනයින් දක්වා ඇති පරිදි සිතීම හෙවත් චින්තනය කර්මවල මූල ධර්මය වන අතර සිතා, කියා, කරන දේ කර්ම නිසා සත්වයාට තම චින්තනය ප්‍රකාශ කරන්නට ශරීරයේ ප්‍රධාන අංග තුනක් නිතරම සූදානම්ව පවතී.

කර්ම න්‍යාය කවදා කෙසේ ඇති වූයේ දැයි කිසිම කෙනෙකුට කිව නොහැකි අතර කර්ම ක්‍රියාත්මක වීමෙන් සත්වයාගේ පැවැත්ම සිදුවන ආකාරය බුදුදහමෙහි හොඳින් පැහැදිලි කර ඇත.

"මනෝ පුබ්බංගමාධම්මා" යනුවෙන් දක්වා ඇති පරිදි මනසේ සකස්වීම අනුව ඇතිවන කර්ම පින් පව්, කුසල් අකුසල් වශයෙන් වර්ග වන්නේ ය. රාග, ද්වේෂ, මෝහයෙන් සංවෘත හෙවත් ආවරණවූ සිතින් කරන, කියන දේ පව් වශයෙන් වෙන් කෙරෙන්නේ ය. වීත රාග, වීත දෝස, වීත මෝහ සිතින් කරන කියන දේ පින්, කුසල් වශයෙන් වෙන් වේ. කෙනෙකුගේ චින්තනය ක්‍රියාත්මක වීමට ප්‍රධාන කාරණා කීපයක් අවශ්‍ය වන්නේ ය.

01. පෙර ආත්මයේ සිට ගෙනෙනා භාවාංගසිත
02. මේ ආත්මයේ ලබන පරිසරය
03. ඉඳුරන්ගේ ක්‍රියාකාරීත්වය

මෙසේ ක්‍රියාත්මකවන සිත රාගාදී චේතනා නිසා ප්‍රාණඝාතය ,අදත්තාදානය, කාම මිථ්‍යාචාරය, මුසාවාදය, සුරාපානය යන පස්පව් ක්‍රියාත්මක කරන්නේ ය.

සත්ව පරම්පරාව බිහිවන්නේ අන්‍යෝන්‍ය ප්‍රතිබද්ධතාවය අනුව නිසා ජීවයක් විනාශ කිරීම තබා ඒ පිළිබඳව සිතීම පවා මහා අකුසලයක් බව අප බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවල මනෝවිද්‍යානුකූලව හා සමාජ ධර්මතා අනුව දේශනා කළ සේක.

සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ භායන්ති මච්චුනෝ
අත්තානං උපමං කත්වා
න හනෙය්‍ය නඝාතයෙ

ආදී නයින් දක්වා ඇති පරිදි සරල වශයෙන් තමා උපමාකරගෙන ජීවාත්මකභාවයේ වටිනාකම දැනගෙන ජීවිතයක් විනාශ නොකළයුතු අතර ඒ වෙනුවට සියලු සත්වයන්ට මෛත්‍රී කිරීම මහා කුසල චේතනාවක් වන්නේ ය. යමෙක් ප්‍රාණ වධ කළේ නම් ඔහු අහසේ මහා මුහුදේ හෝ පර්වත ගුහාවල හෝ ආවරණය වී සිටියද එම පාපකර්මයේ ප්‍රතිවිපාකයෙන් බේරෙන්නට නොහැකි වන්නේමය.

පෙර එක් මිනිසෙක් කර්මාන්තයෙන් නිදහස් ගොනෙකු බැඳ පිදුරු ගිණින් දවා එහි විපාකයෙන් අවීචි මහා නරකයෙහි වසර කෝටි සියයක් පැසී එයින් මිදී සියක් ආත්ම භාවයන්හි පිදුරු ගින්නෙන්ම මැරී මැරී දුක්වේදනා වින්දේය. මෙසේ ප්‍රාණඝාත අකුසල කර්මයෙහි විපාක මහා භයානක වන්නේ ය.

මානව පරපුරේ ප්‍රගතියට බාධාවන අන්‍යෝන්‍ය සම්බන්ධය නැති කරන අදත්තාදානය වූ කලී මෙලොවදීම ධනහානියට පත්කරන භවයක් පාසා දුගී දුප්පත්ව උපදින මහා අකුසල කර්මයකි.

“අදින්නාදානං භික්ඛවෙ ආසෙච්තං භාවිතං බහුලීකතං නිරය සංවත්තනිකං හොති තිරච්චානයොනි සංවත්තනිකං හොති පෙත්ත විසය සංවත්තනිකංහොති, යො සබ්බලහුසො අදින්නාදානස්ස විපාකො මනුස්සභූතස්ස මනුස්සදොභග්ග සංවත්තිනිකොහොති.

ආදී නයින් අප බුදුරදුන් දේශනා කළ පරිදි අදත්තාදානයේ ප්‍රතිවිපාක වශයෙන් අපාගතවීමට, තිරිසන් යෝනියේ ඉපදීමට ප්‍රේත ආත්මයේ ඉපදීමට මෙන්ම මනුලොව දුගී දුප්පත්ව හීන දීනව ඉපිද ජීවිතයේ පහත්ම තත්ත්වයට වැටෙන්නේ ය. මානව සමාජයේ සැමදාම මෙම හොරකම පවතින අතර එය විවිධාකාරයෙන් ක්‍රියාත්මක වන්නේ ය. අදත්තාදාන අකුසලයට ප්‍රධාන කාරණා කීපයක් හේතු කාරක වන්නේ ය.

01. සංසාරික පුරුද්ද
02. දෙමව්පිය පුරුද්ද
03. සමාජ විෂමතාවය
04. ආගම දහම නොදැනීම.

බොරුව, වංචාව, අල්ලස ආදී නයින් ක්‍රියාත්මක වන අදත්තාදානය නිසා සිදුවන අනිෂ්ඨ ප්‍රතිවිපාක

01. පුද්ගල පරිහානිය
02. සමාජ ප්‍රගතියට බාධා වීම
03. හිරගෙවල් පිරී ප්‍රශ්න ඇතිවීම
04. වෙනත් අපරාධවලට හේතුකාරකවීම.

සමාජය යනු පුද්ගලයන්ගේ ඒකකයක් බැවින් පුද්ගලයා ස්වභාවයෙන් හොරෙකු වීම සමාජ දූෂණයට මූලිකවන අතර එම පාප කි‍්‍රයාව සමාජ ප්‍රශ්න සිය ගණනකට හේතුවනවා මෙන්ම පරම්පරා ගණනකට ආර්ථික හා ආධ්‍යාත්මික සංවර්ධනය පසුබසින්නේය. හොරකමින් උපයන ධනය නිසා තාවකාලික සතුටක් ලබන නමුත් ක්‍රමයෙන් විනාශවන විට තමාට මෙන්ම අඹුදරුවන්ට ද ආශ්‍රය නිශ්‍රය කරන ඤාති හිතමිත්‍රාදීන්ටද සිදුවන අවනම්බුව, අප කීර්තිය පාඩුව අපමණ වන්නේ ය.

අප බුදුරජාණන් වහන්සේ පරාභව සූත්‍රය, වසල සූත්‍රය ආදී දේශනාවලින් මෙම හොරකම, වංචාව මිනිසාගේ වසලත්වයට, පිරිහීමට හේතුවන ආකාරය ඉතා පැහැඳිලි ලෙස දේශනා කළ සේක. මිනිසාගේ මානුෂික ගුණාංග අගයන කිසිම සමාජයක් හොරකම අනුමත නොකරන්නේමය. ධාර්මික යහපත් සමාජයක් සඳහා හොරකම, වංචාව දූෂණය පිටුදැකීම සඳහා ඔබ සැම දෙනාම අදිටන් කර ගන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි.


න විස්සසෙ ඉත්තරදස්සනෙන - දුටුපමණින් විශ්වාස නොකළ යුතු - සත්තජටිල සූත්‍රය