Print this Article


අන්තවාද ප්‍රතික්ෂේප කරන බුදුදහමේ මැදුම් පිළිවෙත

අන්තවාද ප්‍රතික්ෂේප කරන බුදුදහමේ මැදුම් පිළිවෙත

බෞද්ධ හේතුඵල ධර්මයට අනුව කිසිවක් ඕපපාතිකව හට නොගනී. බුදුකෙනෙකුගේ පහළවීමට අවශ්‍ය සියලු පාරිසරික ,සාමාජික, හා අධ්‍යාත්මික හේතු සාධක අප බෝසතාණන් වහන්සේ උපන් සමයේ උත්තර භාරතයෙහි සම්පූර්ණව තිබුණි. සිදුහත් කුමරු උපත ලද්දේ රාජකීය පවුලකය. ඒ නිසා පංචකාම සම්පත්වලින් අඩුවක් නොවීය. කාමසුඛල්ලිකානු යෝගය ලෙස හඳුන්වනු ලබන පංචේන්ද්‍රියන් පිනවීම පමණක් අරමුණු කරගත් දර්ශනය එම යුගයේ සමාජය තුළ මතුවෙමින් තිබුණි. සිදුහත් කුමරා වෙනුවෙන් පිය රජතුමා විසින් තුන් ඍතුවටම සුදුසු මන්දිර තුනක් ගොඩනංවා තිබුණු බවද නිකාය ග්‍රන්ථයන්හි සඳහන් වේ.

සිදුහත් බෝසතුන්ගේ ඉඳුරන් පිනවීමට යෙදවූ සංගීත නෘත්‍ය කණ්ඩායම් පවා පුරුෂයන්ගෙන් තොර ස්ත්‍රීන්ගෙන් පමණක් සැදුම්ලත් ඒවා විය. සිදුහත් කුමරුගේ පමණක් නොව බොහෝ, රජ සිටු, ධනවතුන්ගේ ජීවන රටාව පංචකාම සම්පත් අරමුණු කරගත් සුඛ පරම වාදය හෙවත් කාමසුඛල්ලිකානු යෝගයම විය.

පස්කම් සැපද ඉබේම පහළ නොවේ. ඒවා දුකසේ ලබාගත යුතුය. අන්‍යයන් දුකට පත්කොට ලබා ගත යුතුය. එහිදී හොඳ , නරක, කුසල්, අකුසල් සදාචාර වටිනාකම් නොසලකා පස්කම් සැප සෙවීමට පුද්ගලයා නිරායාසයෙන් පෙළඹෙයි. ක්‍රි.පූ. 6 වෙනි සියවසෙහි බුදුුරදුන් දවස උත්තරභාරතයෙහි පැවැති දේශපාලන සමාජ ආර්ථික රටාව එබඳු පීඩාකාරිබවක් ඉසිලීය.

දේශපාලන වටපිටාව, දුබලයා යටකොට බලවතා නැඟී සිටි මත්ස්‍යන්‍යාය ක්‍රියාත්මක වු වකවානුවක් විය. රාජාණ්ඩු රාජාණ්ඩු සමගත් රාජාණ්ඩු කුඩා සමූහාණ්ඩු පාලනයත් සමඟත්, ඤාතීන්, ඤාතීන් අතරත්, අතොරක් නැති ගැටුම්, කැරළි, යුද්ධ ආදියෙන් අඩුවක් නොවීය. ජලය භූමිය, වැනි සම්පත්වලට තම නෑයින් ඇනකොටා ගන්නා අයුරු සිදුහත් කුමරා දැක කම්පාවට පත්වු බව බුදුන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ අත්තදණ්ඩ සූත්‍රයෙන් පැහැදිලි කර ඇත. “දිය කඩිත්තක දිය සිඳුණු කල්හි දඟලන මත්ස්‍යයන් සේම දඟලන , එකිනෙකාට විරුද්ධව ඇන කොටා ගන්නා මිනිසුන් දැක මට බියක් දැනුණි.

ගිහිව සිටියදී සමාජයේ දුක්ඛ දෝමනස්සයන් හා භීතිය, සාංකාව අත්දැකීමෙන්ම අවබෝධ කරගෙන සිටි සිදුහත් බෝසතාණෝ තමන් ජීවත්වන ගණතන්ත්‍රික කිඹුල්වත් රාජ්‍යය යටතේ කවර මොහොතේ ආක්‍රමණයක් එල්ලවේද? යන බියක් තිබුණු බව මෙයින් පෙනේ. මෙය එකල වර්ධනය වෙමින් පැවැති කාමසුඛල්ලිකානු යෝගයේ අයහපත් ප්‍රතිඵලයයි. අනෙකුත් සෙසු කුඩා රාජ්‍යවලටද මේ අනතුරු එසේම තිබුණි. කාමසුඛල්ලිකානුයෝගය කොතරම් උග්‍ර තත්වයකට වර්ධනය වී තිබුණාද යත් මේ යුගයේ දේශපාලන විග්‍රහය හඳුන්වා තිබුණේ “ඛත්ත විජ්ජාවාදය” යනුවෙනි. එම දර්ශනයට අනුව කෙනෙකුට “මව්පියන් මරා හෝ බලය ලබාගත යුතුය” යන්න ඉගැන්වුනි. සැබවින්ම බලලෝභී රාජ කුමාරවරු එය ක්‍රියාවට නැගූ බව කොසොල් රජතුමා විඩූඪභ පුත් කුමරාගෙන්ද බිම්බිසාර රජතුමා අජාසත්ත පුතුගෙන්ද ඝාතනය වීමෙන් පැහැදිලි වේ.

මේ අනුව කාම සුඛල්ලිකානු යෝගයේ ආදීනව හා අතෘප්තිකර බව බුද්ධිමත් සිදුහත්කුමරු අවබෝධ කරගෙන තිබු නිසාත් කාම සම්පත් අනිත්‍ය බවත් කොතරම් බලවතෙකු වුවත් රාජ මරණයෙන් නිදහස් වී නැති බවත් වටහාගත් සිදුහත් කුමරු තමා දේවිය දරුවා ඇතුළු නෑදෑ සියල්ල අතහැර අභි- නිෂ්ක්‍රමණය කළේ සත්වයා හා ලෝකය පිළිබඳ සැබෑ සත්‍යය සොයා සදාකාලික විමුක්තිය පසක් කර ගැනීමටය. තවුස් පැවිද්දෙන් පැවිදි වූ සිදුහත් තවුසාණෝ එතැන් පටන් එකල ප්‍රසිද්ධව සිටි ආලාරකාම, උද්දකාරාම පුත්‍ර වැනි ශාස්තෘන් කරා ගොස් සියල්ලන්ගේ ඉගැන්වීම අත්හදා බලා ඒ කිසිම තැනක තමා අපේක්ෂා කරණ සත්‍යය, විමුක්තිය, නොමැති බව වටහාගෙන සසර දුකෙන් එතෙරවීමේ මග අත්තකිලමතානුයෝගය බව වටහාගෙන එම තවුස්මගේ කෙළවර දක්වා අභ්‍යාසයෙහි යෙදුණාහ. කාමසුඛල්ලිකානු යෝගයේ අනෙක් අන්තය වු අත්තකිලමතානු යෝගයෙන් අපේක්ෂා කළේ සසර දිගින් දිගට අඛණ්ඩව ආත්මයේ පැවැත්ම කර්මය නිසා සිදුවන බැවින් ඒ සියලු කර්ම මෙලොවදීම හැකිතාක් දුරට විඳ ගෙවා දැමීමයි. ඒ සඳහා මිනිසකු ලෝකයේ මෙතෙක් නොවිඳිතරම් දුක් හිංසා තමන් විඳිබව මහාසීහනාද සූත්‍රයෙන් උන්වහන්සේ සැරියුත් හිමියන් ප්‍රමුඛ භික්ෂු සංඝයාට දේශනා කොට ඇත. පස්වග තවුසන් ද විමුක්තිය මඟ එම අත්තකිලමතානුයෝගය බව දැඩිව විශ්වාස කළ නිසා සිදුහත් බෝසතුන්ට උදව් කරමින් උන්වහන්සේ සමග එක්ව සිටියාහ. නමුත් අවසන මරණයට ආසන්න වූ මොහොතේ එම ප්‍රතිපදාවේ නිසරුබව ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධ කරගත් සිදුහත් තවුසාණෝ අත්තකිලමතානුයෝගය කටුක දුක්ගෙන දෙන නිශ්ඵල අනාර්ය මාර්ගයක් සේ සලකා ප්‍රතික්පේෂ කළහ.

සිදුහත් තවුසාණෝ මධ්‍යම ප්‍රතිපදාව තෝරා ගත්තේ මින් පසුවය. උන්වහන්සේට මෙතෙක් උදව් කළ පස්වග තවුසෝ සිදුහත් තවුසාණන් කෙසේවුවත් රාජ පෙළපතක කෙනෙක් නිසා මේ ප්‍රතිපදාව අතහැරි බව කතිකාකොට කලකිරි බෝසතුන් අතහැර බරණැස ඉසිපතන වනයට ගියහ. එයට හේතුව දුෂ්කර ක්‍රියාව විමුක්තිය ලබාගැනීමේ එම වාසිය බව ඔවුහු තරයේ විශ්වාස කළ නිසාය.

සිදුහත් තවුසාණෝ ක්‍රමයෙන් ශරීරයට ප්‍රමාණවත් ආහාර ලබාගනිමින් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරණ සමයෙහි උන්වහන්සේගේ පැරණි අත්දැකීම සිහිපත් විය. සත් හැවිරිදි වියෙහි දඹගස් සෙවනෙහි අනාපාන සති භාවනාවෙන් ලැබු විතක්ක විචාර පී‍්‍රති සුවයෙන් යුත් ප්‍රථම ධ්‍යානය සිහිවිය. ආනාපාන සති භාවනාවට එළඹුණු උන්වහන්සේට ලෝකයේ සැබෑ තතු තේරුම් ගැනීමට හැකිවිය” .සංකිංචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං” හටගන්නා වූ යමක් වේනම් ඒ සියල්ල නැසෙන සුළු බව දැක මෙතෙක් භාරතිය ආගම් දර්ශනයන්ගේ නොපැවැති, කිසිවකු විසින් නොදෙසූ පටිච්ච සමුත්පන්න ධර්මය පිළිබඳ නුවණ පහළ විය. පටිච්ච සමුත්පන්න ධර්මය පදනම් වූ මධ්‍යම දර්ශනය හා මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ ගමන්කොට උන්වහන්සේ චතුරාර්ය සත්‍යාවබෝධයෙන් සම්මා සම්බුද්ධත්වයට පත්ව දුක් කෙළවර කළාහ.

සසර දුකෙන් නිදහස් වීමට නම් ප්‍රථමයෙන් සත්වයා දුක පිළිබඳ සත්‍යය අවබෝධ කරගත යුතුය. මෙතෙක් පුහුදුන් සත්වයා දුක් විඳින නමුත් දුක්ඛ සත්‍යය නොදුටුවාහ. අප බුදුරජාණෝ චතුරාර්ය සත්‍යය මගින් මේ දුක දුකෙහි හටගැනීම, එහි නිරෝධය හා ඒ දුක්ඛ නිරෝධමාර්ගය ලොවට හෙළි කළෝ තමන් විසින්ම දැන දැක ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙනි. වසර දෙදහස් පන්සියක් ඉක්මවා ගොස් තවත් බොහෝ කාලයක් මේ චතුරාර්ය සත්‍යය ධර්මය පසක් කොට ප්‍රඥාවන්තය සසර දුකෙන් මිදෙනු ඇත.

මධ්‍යම ප්‍රතිපදාව සංසාර දුකෙන් සත්වයාට විඳීමට ඇති ඒකායන මාර්ගයයි. මධ්‍යම ප්‍රතිපදාව යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයම මිස වෙනයමක් නොවේ. අය මෙව අරිසො අෂ්ඨාංගිකො මගෙගා” මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය

1.සම්මා දිට්ඨි– නිවැරදි දැකීම
2. සම්මා කම්මන්ත – නිවැරදි කල්පනාව
3. සම්මා වාචා – නිවැරදි වචනය
4 . සම්මා කම්මන්ත – නිවැරදි කායික ක්‍රියාව
5.සම්මා ආජීව – නිවැරදි ජීවිකාව
6. සම්මා වායාම – නිවැරදි උත්සාහ
7. සම්මා සති – නිවැරදි සිහිය
8.සම්මා සමාධි – නිවැරදි චිත්ත ඒකාග්‍රතාවයයි.

ආර්ය අෂ්ටාංගික මාර්ගය, සීල, සමාධි, ප්‍රඥා ඔස්සේ සංවර්ධනය වන්නකි. කාමසුඛල්ලි-කානුයෝගයත් අත්තකිලමතානුයෝගයත් යන අන්ත දෙකම නොගිය තත්වයක පිහිටා සිටින මධ්‍යම ප්‍රතිපදාව නිවන් මාර්ගය විවෘත කරදෙයි. නොමග වසා දමයි. බියකරු නොවූ පී‍්‍රතිය සැපය ගෙන දෙන වු ආර්ය මාර්ගයයි. සත්වයාට නිවන්මග වැසීයන්නේ ලෝකයා තමාගේ කය මුල්කරගෙන සිතන බැවිනි. ඔහුගේ හැම ක්‍රියාවලියක්ම පංචකාම සම්පත්තිය අරමුණුකරගනී. සීලය රැකීම මගින් ආත්ම තෘෂ්ණාව ක්‍රමයෙන් තුනී කර ගැනීමට හැකිවෙයි. මිනිසා පාපයෙහි නිරතවන්නේ මමත්වය පිනවීමටයි. ජීවිත බිය දේපල බිය නිසා ප්‍රාණ-ඝාතය ,සොරකම කරයි. කයින් තොරව වැරදි ක්‍රියා සම්මා කම්මන්තයෙන් ආරක්ෂා වන විට වචනයෙන් වැරදි වචන නොකියෙන විට සත්‍යය වචනයම කථාකරන විට සමාධිය හෙවත් සිතෙහි සන්සුන් බව වැඩෙයි. ක්‍රමයෙන් මෙසේ සමාධිය වඩන පුද්ගලයා ඒකාග්‍ර වූ සිතෙන් ප්‍රඥාව හෙවත් විදර්ශනා ඥානය වැඩීමට යොමුවෙයි. පංච උපාදාන ස්කන්ධය කෙරෙහි බැඳීමි රහිතව හේ නිර්වාණාවබෝධය ලබා සියලු දුක් ප්‍රහීන කරයි.

මධ්‍යම ප්‍රතිපදාව යනු කාම සුඛල්ලිකා-නුයෝගයෙන් අත්තකිලමතානුයෝගයෙත් මැද පිහිටා තිබෙන තත්වයක් නොවේ. එම අන්ත දෙකම බැහැර කිරීමකි.

දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙහි මධ්‍යම ප්‍රතිපදාව යනු අරිඅටඟි මග ලෙසත් එය සත්වයාට සසර දුකින් එතෙර වීමට ඇති ක්‍රමික ප්‍රතිපදාව බවත් අප වටහාගත යුතුය. එසේම මධ්‍යම ප්‍රතිපදාව ඉතා සියුම් ලෙස විග්‍රහ කොට වෙනත් අවස්ථා දෙකක් ත්‍රිපිටකයෙහි දක්නට ඇත. අංගුත්තර නිකායේ මජෙක සූත්‍රය මීට උදාහරණයකි. සංයුක්ත නිකායේ කච්චායනගොත්ත සුත්‍රය මගින්ද මේ මජ්ක්‍ධිම ප්‍රතිපදාවේ ගැඹුරු අර්ථය මතුකොට දක්වයි. පසුකාලීන මහායාන සම්ප්‍රදායේ මාධ්‍යවික ශුන්‍යතා දර්ශනය බිහිවුයේ මෙම පටිච්චසමුප්පාද ධර්මය පදනම් කරගෙනය. මධ්‍යම ප්‍රතිපදාව දාර්ශනික අර්ථයෙන් සලකා බලන විට අන්ත දෙකක මැදින් සිටින අවස්ථාව නොවන බව ඉහත කී මජෙකව සූත්‍රයෙන් විවරණය වන්නේ මෙසේය.

යමෙක් අන්ත දෙක දැක මැද නොතැවරී සිටීනම් තෘෂ්ණාව ඉක්මවු ඔහු මහා පුරුෂයාය” (රහතන් වහන්සේය)” ලෝක සත්වයෝ සියලු දෙනාම ඇත නැත යන අන්ත දෙක භජනය කරති. තථාගතයන් වහන්සේ මේ අන්ත දෙක දැක මධ්‍යම තත්වයෙහි පිහිටා සිටිති. ස්වාර්ථය ,ස්වර්ෂ සමුදය යන අන්ත දෙකින් බැහැරව සවර්ෂ නිරෝධ තත්වයෙන් සිටීමත්, නාම අන්තය හා රූප යන අන්ත දෙකෙන් බැහැරව සිටීමත්, අතීත අන්තය හා අනාගත අන්තය දෙකෙන් බැහැරව සිටීමත් සැප අන්තය හා දුක්ඛ අන්ත දෙකෙහි නොගැටී නො ඇලී සිටීමත් මධ්‍යම ප්‍රතිපදාව නම් වන බව මජෙඛව සූත්‍රයෙන් පැහැදිලි වේ.


අනත්ථජනනො දොසො - ද්වේෂය අයහපත උපදවයි. - චුල්ලනිද්දෙසය