ලොවේ සදාතන සත්‍යය
කැලණිය විශ්ව විද්‍යාලයේ,
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
මහාචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද හිමි
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද චතුරාර්ය සත්‍ය ධර්මය
වූකලී බුදු ඇසට හසුවුනු ලොව උසස්ම සත්‍ය හතරයි. එසේම එය බුදුදහම අනුව
සත්ත්වයා ඇතුළු ලෝකය පිළිබඳව යථාර්ථයයි. අවබෝධ කර ගැනීමට අපහසු එහෙත්
සසර සැනසීම සඳහා කවදා හෝ අප විසින් අවබෝධ කරගත යුතුම කාරණයයි. භාවනාවක්
මෙන් මානසික ඒකාග්‍රතාවෙන් පසක් කළ යුතු (භාවෙතබ්බං) තර්ක ඥානයෙන්
අවබෝධ කිරීමට නොහැකි (අතක්කාවචර) යථාර්ථයයි.
අනෙක් කිසිදු ශාස්තෘවරයෙකුට පසක් කළ නොහැකි වූ බුදුන් වහන්සේ විසින්
තමන් වහන්සේ විසින්ම සොයා ගෙන කරන ලද දේශනාවයි. (සාමුක්කංසිකා දෙසනා)
තවද එය සමස්ත බුද්ධධර්මයම අන්තර්ගත වන දේශනාවයි. මේ නිසා බුදුදහමේ
උගන්වනු ලබන චතුරාර්ය සත්‍ය දේශනාව පිළිබඳව බෞද්ධයන්ගේ සිත් තුළ
ප්‍රමාණවත් අවබෝධයක් තිබීම අත්‍යාවශ්‍ය කාරණාවක් වේ.චතුරාර්ය සත්‍ය
දේශනාවේ පළමු වන ආර්ය සත්‍යය දුක්ඛ ආර්ය සත්‍යයයි.ධම්මචක්කප්පවත්තන
සූත්‍රයෙහි දුක නැමැති ජීවිත අත්දැකීම පිළිබඳ බුදුන් වහන්සේගේ විවරණය
පැහැදිලිව දක්වා ඇත. එහි ඉපදීම, වයසට යාම, ලෙඩවීම, මරණය, අප්‍රියයන් හා
එක්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, කැමැති දේ නොලැබීම යනාදී ප්‍රායෝගික
ජීවිතයේ දී අප විසින් අත්විඳිනු ලබන සිද්ධි කිහිපයක් දුක වශයෙන් දක්වා
ඇත. එහි වැදගත්ම කොටස නියෝජනය වන්නේ කෙටියෙන් කිවහොත් පඤ්ච
උපාදානස්කන්ධයම දුකක්ය. (සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා) යන්නයි.
මේ නිසා ජීවිතය පවත්වාගෙන යාම සඳහා කරනු ලබන හෝ මුහුණ දෙනු ලබන විවාහය,
අඹු දරුවන් පෝෂණය කිරීම, ඉගෙනීම, ඥාති සබඳතා පැවැත්වීම, ගෙවල් දොරවල්
සෑදීම, රැකී රක්ෂා කිරීම යනාදී සියලු ජීවිත ක්‍රියාකාරකම් දුක හා
ප්‍රතිබද්ධ වේ. සැබැවින්ම ඒවා දුක් වන්නේ තණ්හා මාන දෘෂ්ටි වශයෙන් දැඩි
සේ වැළඳ ගැනීම (උපාදාන) නිසාය. මෙය පරම සත්‍යයකි.
මෙම දුක්ඛාර්ය සත්‍ය ධර්මය විස්තර කිරීමේ දී ජාතිපි දුක්ඛා යනුවෙන්
ආරම්භ කෙරෙන දේශනාව අතිශය ගැඹුරුය. මව් කුසක කළලයක් වශයෙන් බිහිවීමේ
පටන් මරණය දක්වා සියලු ජීවිත අත්දැකීම්වල ඇත්තේ දුකක් පමණි යන්න ඉන්
අදහස් කෙරේ. එම ගැඹුරු අදහස ථේරවාදී මහතෙරවරුන් විසින් පවා දීර්ඝ
කාලයක් තිස්සේ නො නසා සුරක්ෂිතව විවරණය කරමින් පවත්වා ගෙන ආ නමුත්
වර්තමානයේ ඇතැමුන් විසින් ජාතිපි දුක්ඛා යන්නෙන් අදහස් වන්නේ ගස්
ජාතිය, වැල් ජාතිය, ස්ත්‍රී ජාතිය, පුරුෂ ජාතිය යනාදී විවිධ ජාති හෙවත්
වර්ග දුකක්ය යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කළහයි දුර්මත වපුරන බව ද
තේරුම් ගත යුතුය. එය බුද්ධ වචනය දූෂණය කිරීමක් වේ. බණ පොත නොසලකා ධර්මය
එසේ එකිනෙකාගේ හිතූ මනාපෙට විවරණය කිරීමේ මුලාවෙන් ආරක්ෂා වී සිවුසස්
දහම්හි සත්‍යය වටහා ගනිත්වා. එබැවින් කෙටියෙන් දෛනික ජීවිතයේ සියලු
ක්‍රියාකාරකම් ම දුක හා බැඳී ඇති බව බුද්ධිමය වශයෙන් තේරුම් ගැනීම
දුක්ඛාර්ය සත්‍යය බව දළ වශයෙන් තේරුම් ගැනීමක් වේ.
වෛද්‍යවරයෙකු රෝගයට බේත් දීමට පෙර තීරණය කරනුයේ එකී රෝගයට හේතු වූ
වෛරසය කුමක් ද යන්න තේරුම් ගැනීමයි. එමෙන්ම බුදුන් වහන්සේ ද විවිධ
ස්වභාවයෙන් පැමිණෙන ජීවිතයේ දුක නමැති රෝගයට තෘෂ්ණාව නමැති වෛරසය හේතුව
බව වටහා ගත්හ. බුද්ධ දේශනාව අනුව භෞතික වස්තූන් අරභයා අප තුළ වැඩෙන
කැමැත්ත (ඡන්ද) පදනම් කොට ගත් තෘෂ්ණාව පිළිබඳ අප දැනුවත් විය යුතුය. ගේ
දොර, වතුපිටි, මිල මුදල්, යාන වාහන, අඹු දරු, කෙත් වතු ආදිය විෂයෙහි
දැඩි ආශාව අඩු කර ගැනීමේ ක්‍රියා පිළිවෙතකට පැමිණීමේ ක්‍රමවේදය
විශේෂයෙන් බෞද්ධයා විසින් සොයාගත යුතු වන්නේ එයින් ජීවිත දුක අඩුවන
හෙයිනි. නිරපේක්ෂකව දන්දීම හා ත්‍යාගය පුරුදු පුහුණු කිරීම, කැඩෙන
බිඳෙන නැසෙන දේවල් විෂයෙහි කම්පා නොවන මානසික තත්ත්වයක් පවත්වාගෙන යාම
වැනි ක්‍රියාදාමයන් දුක අඩු කර ගැනීමේ භාවිතාවන් වේ. ඉහත දැක්වූ පරිදි
භෞතික වස්තූන් කෙරේ ආශාව කාම තණ්හාවයි. මිනිසෙකු, රජෙකු, සිටුවරයෙකු,
දෙවියෙකු, බ‍්‍රහ්මයෙකු, ධ්‍යානලාභියෙකු ආදී වශයෙන් නැවත නැවත භවයේ
පෙනී සිටීමේ ආශාව භවතණ්හාවයි. එසේ පෙනී නො සිටීමේ ආශාවක් ද ඇතැම් අය
තුළ පවතී. එයද ආශාවකි. එය විභව තණ්හාවයි. කෙබඳු තරාතිරම්වලින් පෙනී
සිටිය ද සාමාන්‍යයෙන් පෘථග්ජනයා තණ්හාවේ දාසයෙකි. මෙනිසා වයසින් මහලු
බවට පත් වෙතත් ඔහුගේ තණ්හා තරුණ වන බව එක් පෙරදිග පඬිවරයෙක් පවසා ඇත.
මේ නිසා තණ්හාවට වසඟ නොවී, තණ්හාව තමාගේ වසඟයට ගැනීම ප්‍රඥාවන්තයෙකුගේ
හැකියාවක් වේ. එබැවින් තණ්හාව අනුක්‍රමයෙන් දුරු කිරීමට පුරුදු විය
යුතුය. දුකට හේතුව තණ්හාව යන සත්‍යය දුක්ඛ සමුදය ආර්ය සත්‍යයයි.
නිරෝධ ආර්ය සත්‍යය යනු තෘෂ්ණා රහිතවීම් සංඛ්‍යාත නිවනට පැමිණීමය.
තෘෂ්ණාව සහමුලින්ම දුරු කිරීමෙන් කෙලෙස් දැවිලි රහිත ශාන්ත ප්‍රණීත
උතුම් තත්ත්වයට පත්විය හැකිය. අලෞකික වූ එම සුවය අවින්දනීය පරම
උත්කෘෂ්ට සුවයකි. බුද්ධාදී උතුමන් වහන්සේලා විසින් වදාළේ එම සුවය
ලබාගන්නා ලෙසය. දුක්ඛ, නිරෝධ, ආර්ය සත්‍ය නම් එයයි. බෞද්ධයාගේ ගමන් මග
සකස්විය යුත්තේ දුක නැමැති කර්කෂ අත්දැකීමෙන් තොර එම නිවන නමැති
උත්කෘෂ්ට අත්දැකීම ලබා ගැනීම සඳහාය.නිවන සඳහා ඇති ඒකායන මාර්ගය වන
උතුම් මාර්ගය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයයි. එය අංග
අටකින් සමන්විතය. එබැවින් නිවන් අරමුණු කොට හැසිරෙන්නෙක් නම් ඔබ 1.
නිවැරැදි දැක්මක් (සම්මාදිට්ඨි) ඇත්තේ විය යුතුය. 2. එසේම ඔබට කම් සැප
අත්හැරීම, තරහ නොගැනීම සහ මෛත්‍රී කිරීමේ සංකල්පනා (සම්මා සංකප්පො)
තිබිය යුතුය, 3. යහපත් වචන (සම්මා වාචා) කථා කළයුතුය, 4.
ප්‍රාණඝාතාදියට සම්බන්ධ නැති ජීවන වෘත්තීන්හි (සම්මා කම්මන්ත) නිරත විය
යුතුය. 5. නිවැරැදි ජීවනෝපායක් ඇති තැනැත්තා විසින් නිවැරැදි ලෙස
ජීවත්වීම (සම්මා ආජීව) ද කළ යුතුවේ. 6. තමා තුළ නූපන් කුසල් ඇති කර
ගැනීමේ සහ උපන් කුසල් ඉපදවීමේ උත්සාහය (සම්මා වායාමො) තිබිය යුතුය. 7.
මේ සියල්ල සඳහා මනා සතියක් හෙවත් සිහියක් (සම්මා සති) තිබීම අත්‍යවශ්‍ය
වේ. 8. එම සතිය සම්මා සමාධිය දක්වා වැඩීමෙන් හා දියුණු කිරීමෙන්ම මෙම
නිර්වාණය පසක් කළ හැකි වේ.මෙම අංග අට අන්‍යොන්‍ය වශයෙන් බැඳී ඇති අතර
එකක් හෝ කඩකරමින් ජීවත්වීම දුක්ඛ නිරෝධ ප්‍රතිපදාව නොවේ. දුක ඉක්මවනු
කැමැති උතුම් සැනසීම පතනු ලබන බෞද්ධ කුලපුත්‍රයන්ට හිමි එකම ජීවිත ගමන්
මග මෙයම මිස අනෙකක් නොවේ.
ධම්ම දෙස්සි පරාභවො – ධර්මයට ද්වේශ කරන්නා
පිරිහෙයි. - සු. නි. පරාභව සූත්‍රය |