අත්‍යුදාරතර බුදුගුණ අනුස්මරණයෙහිලා සුදුසුම දිනය වෙසක් පුන් පොහෝ
දිනයයි
මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ
මල්වතු මහා විහාර පාර්ශ්වයේ
අනුනායක
සාහිත්‍ය චක්‍රවර්ති අග්ගමහා සද්ධම්මජෝතිකධජ
ආචාර්ය
නියංගොඩ
ශ්‍රී විජිතසිරි
අනු නා හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
“බුද්ධෝ හං බෝධයිස්සාමි
මුත්තෝ හං මෝචයෙ පරෙ
තින්මෝ හං තාරයිස්සාමි
සාංසාරෝඝා මහබ්භයා”
“මම සත්‍යය අවබෝධ කරමි. අන් අයටද සත්‍යය අවබෝධ කරවා (බුදුවන්නෙමි) මමද
සසර දුකින් මිදෙන්නෙමි. අන් අයද සසර දුකින් මුදවන්නෙමි. කාම, භව,
දිට්ඨි, අවිජ්ජා යන සසර සයුරෙහි සැඩ පහර භයානකය.” යනුවෙන් දීපංකර පාද
මූලයේ දී සුමේධ නම් තාපසව නියත විවරණ ශ්‍රී ලබමින් අප බෝධිසත්වයන්
වහන්සේ ප්‍රාර්ථනා ඇති කොට ගත්හ. එතැන් පටන් දානාදී සමතිස් පෙරුම්
පුරාලමින් සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවෙන් ප්‍රභාවත් වී සකල
ක්ලේශ සපරිවාර මාර පරාජයෙන් උතුම් වූ සම්බුද්ධත්වයත් අවබෝධ කොට වදාළ
තථාගතයන් වහන්සේගේ අසමසම අනන්ත, අත්‍යුදාරතර බුදුගුණය අනුස්මරණයෙහිලා
සුදුසුම දිනය වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයයි. “යාවතා භික්ඛවෙ සත්තා
අපාදාවා ද්විපාදාවා චතුප්පාදාවා බහුප්පාදාවා..... රූපිනො වා ආරූපිනො වා
සඤ්ඤිනො වා අසඤ්ඤිනො වා නෙවසඤ්ඤානාසඤඤිනෙ වා තථාගතො තෙසං
අග්ගකෙඛාති.....”
“මහණෙනි, පා නැත්තා වූද, පා දෙකක් ඇත්තා වූ ද පා, හතරක් ඇත්තා වූද
,බොහෝ පා ඇත්තා වූද, රූප ඇත්තා වූද ,රූප නැත්තා වූ සංඥා ඇත්තා වූද,
සංඥා නැත්තා වූද, සංඥා ඇත්තාවූත් නො වුද ,සංඥා නැත්තා වූත් නො වූත් යම්
පමණ සත්වයෝ වෙත් ද ඒ හැම සත්වයින්ට වඩා තථාගතයන් වහන්සේ අග්‍ර වන
සේක..... යනු එහි අර්ථයයි.”
"බුද්ධ යනු අවබෝධයයි. ඒ කවර නම් අවබෝධයක් ද? තථාගතයන් වහන්සේම සේල නම්
බමුණාට මෙසේ වදාළ සේක. දතුයුතු සියල්ල (මවිසින්) වෙසෙසින් දක්නා ලදිමි.
(අභිඥේඤ්‍යං අභිංඤ්ඤාතං) වැඩිය යුතු සියල්ල වඩනා ලදිමි. (භාවෙ තබ්බංච
භාවිතං) හළ යුතු සියල්ල හළෙමි. (පහාතබ්බං පහීනමෙම) එහෙයින් මම බුද්ධ
නම් වෙමි. තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ) යනුවෙනි. දුක්ඛ සමුදය, නිරෝධ,
මාර්ගාදී ආර්යය සත්‍යය, ස්කන්ධ, ආයතන, ධාතු, බෝධි පාක්ෂික ධර්ම, පටිච්ච
සමුප්පාද අංග ආදී ගැඹුරු දහම් කොටස් වෙන් වෙන් වශයෙන්, ඉතා සියුම්ව ද,
සත්වයා හා ලෝකය පිළිබඳ වූ උප්පාදඨීති භංගාදී විග්‍රහයන් හේතු ඵලවාදී
විචාරක්ෂියෙන් ද දත් හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේකැ’.යි
අට්ඨකතාචාරීහු පෙන්වා දෙති.
“බුද්ධං අනුසාරොත චිත්තං පසීදති” යන බුදු වදන් සිහියට නගා ගැනීම මේ
වෙසක් සමයේ සැදැහැවතුන්ගේ යුතුකමකි.
තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිදුහත් කුමරුන් ලෙසින් ලොව පහළවීම,
සිදුහත් බෝධිසත්වයන් වහන්සේ සකල ක්ලේශ මාර පරාජයෙන් උතුම් වූ
සම්බුද්ධත්වයට පත්වීම, පන්සාලිස් වසක් තුන් ලෝ වැසි අනන්ත සත්වයින්ගේ
සාංසාරික විමුක්තිය උදෙසාම කැප කොට ඒ තථාගතයන් වහන්සේ පරිනිර්වාණයට
පත්වීම යන තෙමඟුල සිදුවූ මේ උතුම් පූජනීය දිනය තරම් ශ්‍රේෂ්ඨ දිනයක්
බෞද්ධ ලෝකයාට තවත් නොමැත. මෙත්, කරුණා, මුදිතාදී ගුණ සමුදාය ගලා යන
නොසිඳෙන දිය දහරක් මෙන්ම අකාලිකව පවත්නා අනන්ත බුදුගුණය සිහි කරත්ම
සිත් සතන් ප්‍රබෝධයට පත්වීම ස්වාභාවිකය. බුද්ධානුභාවයෙහි සුවිශේෂත්වය
නිරතුරු සිහිකිරීම උදරතර අධ්‍යාත්මික සංවර්ධනයකට මාර්ගෝපදේශ වේ.
තථාගතයන් වහන්සේ සතුවූ සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති විමුක්ති ඤාණ
දර්ශනාදී පරමෝත්කෘෂ්ට ගුණාංග සමුදායන් අසරණ සරණ ගිලානෝපස්ථාන, අටලෝ
දහමින් අකම්පා බව විෂම වූවන් දමනය කිරීම, මහ කාරුණිකත්වය, මහා
ප්‍රඥාවන්තභාවය ආදී ශ්‍රේෂ්ඨ චර්යාත්මක ගුණසමුදායන් සකල සත්ව වර්ගයාටම
ගුණාංග වර්ධනයෙහිලා හැම විටම මාර්ගෝපදේශ වන්නේ ය. පූරිත පාරමී ධර්මය
නිසා ලැබූ කෘතහස්තභාවයත් ප්‍රසාද ජනක පෞරුෂත්වයත් ගරු සම්භාවනීයත්වයත්
,මහා ප්‍රඥාවත්, අපූර්ව දේශනා විලාශයත් යනාදී නන් වැදෑරුම් විශේෂතාවයන්
සකල සත්ව ප්‍රජාවගේම හිත සුව පිණිස යෙදූ බව වටහා ගැනීම මැනවි. සියලු
බුදුවරයන් වහන්සේ ශ්‍රී සද්ධර්මය ගුරුකොට, ශාස්තෘ කොට වැඩ විසූහ. එම
ශ්‍රී සද්ධර්මය වනාහි සමස්ත ලෝක විෂයෙහි යථා ස්වභාවය මැනැවින් මෙන්ම
ගැඹුරින් ද ප්‍රකාශිතය. අචින්ත්‍ය වූ ජගන් මණ්ඩලය සංස්ලේෂණ විශ්ලේෂණ
වශයෙන් විමර්ශිතයට. නිරවශේෂ වශයෙන් ම දේශිතය. උතුම් වූ සද්ධර්මය මනා
කොට අවබෝධ කර ගැනීම ප්‍රඥාවන්ත මනුෂ්‍යයාගේ මූලික කාර්යයක් වේ. බුද්ධ
ධර්මය වනාහි හේතුඵලවාදී දාර්ශනික පදනමෙහි පිහිටි ලෝක ස්වභාවය මැනවින්
අවබෝධ කර ගැනීමට මහෝපකාරී වන චතුරාර්ය සත්‍යය මත පදනම් වූ ඉගැන්වීම
පුද්ගල විමුක්තියටත් සමාජමය විමුක්තියටත් මාර්ගෝපදේශක කර ගැනීම
අත්‍යවශ්‍ය බව තරයේ අවබෝධ කරගත යුතුයි.
ශ්‍රී ලංකාද්වීපයෙහි ජීවත් වන සිංහල බෞද්ධ වූ අපට වෙසක් පොහෝ දිනය
ජාතික වශයෙන් ද ඉතා වැදගත් වේ. වෛශාඛ්‍ය පූජනීයත්වය හා ජාතියෙහි
සමාරම්භය සම්මිශ්‍රණය වූ අයුරු ජාතික ඉතිහාසයෙහි පැහැදිලිව සඳහන් වේ.
විජය කුමරුන් ප්‍රධාන 700 ක් අපේ මුතුන් මිත්තන් ශ්‍රී ලංකාද්වීපයට
සම්ප්‍රාප්ත වූයේ උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය. අපේ ජාතියෙහි
සියලු යහපත් අංගයන් හා සම්බන්ධ සංවර්ධනාත්මක වූත් අධිෂ්ඨාන සහගත වූත්
දිනයක් වශයෙන් මේ දිනය යොදා ගෙන ඇත. ශ්‍රී ලංකාද්වීපවාසී සිංහලයන්
ගුණයෙන් නුවණින් සම්පූර්ණ වූ විශිෂ්ට සංස්කෘතියක් ගොඩනඟා ගත්තේ මේ
උතුම් වූ බුද්ධ ධර්මයෙහි ඉගැන්වීම් ගුරුකොට තබාගෙනය. උට්ඨාන සම්පදා,
ආරක්ඛ සම්පදා, කල්‍යාණ මිත්තතා, සමජීවිකතා යන මූලික සංකල්ප හතර පදනම්
කොට ගෙන ස්වයංපෝෂිත ආර්ථිකයත්, සරල ජීවන පැවැත්මත්, විශිෂ්ට චින්තන
ශක්තියත් උරුම කර ගැනීමට අපේ මුතුන් මිත්තෝ සමත්වූහ. වර්තමානයේ
විශේෂයෙන් අපේ තරුණ පරපුර ඉහත කී කරුණු කෙරෙහි අවධානය යොමු කොට
සිල්වත්ව, ගුණවත්ව, නැණවත්ව කටයුතු කිරීමට අධිෂ්ඨාන සහගතවීම අත්‍යවශ්‍ය
වේ. රටක් වශයෙන් ද, ජාතියක් වශයෙන් ද, පුද්ගලයෙක් වශයෙන් ද, සමාජයක්
වශයෙන් ද ශ්‍රේෂ්ඨත්වයට පත්විය හැක්කේ එමඟිනි. උදාවූ මෙම උතුම් වෙසක්
පුර පසළොස්වක පොහෝ දින පංචශීල, අට්ඨාංග ශීල, දස ශීල ආදී උතුම්
ප්‍රතිපත්තියෙහි පිහිටා දාන, ශීල, භාවනා දී පින්කම් සිදු කොට ලොව්තුරා
සැපත් සිද්ධ කටයුතු යැයි මෙත් සිත් පෙරටුව සඳහන් කරනු කැමැත්තෙමු.
සැමට තෙරුවන් සරණයි! |